අදහස්

සසිකා ඇගේ අම්මා වුන මාලනීට දුරකථන ඇමතුමක් ගත්තේ හදවත වේගයෙන් ගැහෙද්දි .අම්මා ඇමතුමට සම්බන්ධ වෙනකන් ඇය තුළ තිබුණේ ලොකු නොඉවසිල්ලක්

” හෙලෝ අම්මා “

සසිකා කතා කළේ බිඳුණු හඬින්

” කියන්න “

” අක්කගෙ බබාගේ බර්ත්ඩේ එකට පාටියක් තියෙනවා කියලා ඔයාලා මට කිව්වේ නැහැනේ ? “

” ඉතින් ? “

” ඉතිං අහන්නේ ? නිකමටවත් මට කිව්වෙ නෑනෙ. අක්කා එෆ්බී එකේ ෆොටෝස් දාලා තියෙනවා දැකලා මං මේ කෝල් කරේ “

” ඒක ඉතින් ඔයා අහන්න ඕනේ අක්කගෙන් නේ. එයා කැමති අයට නේ එයා ඉන්වයිට් කරන්නේ ළමයෝ “

” අම්මලවත් මට කිව්වේ නැහැනේ පාටි එකට යනවා කියලා “

” තාත්තටයි මටයි අක්කා එන්න කිව්වා .ඒ නිසා අපි ගියා .ඔයා අක්කගෙන්ම කෝල් කරලා ඕක අහගන්න “

තරමක් තදින් එහෙම කියපු මාලනී ඇමතුම විසන්ධි කළා.මොහොතක් එහෙමම නතර වෙලා හිටපු සසිකාගේ දෑස් වලට කඳුළු උනා එමින් තිබුණා.උපන්දින සාදය වෙනුවෙන් අක්කා තමන්ට ආරාධනා නොකිරීමට හේතුවත් සසිකා ඒ එක්කම අනුමාන කළා.

තවත් දවස් කිහිපයකට පස්සේ සති අන්තයේ උදේ වරුවක මාලනී සසිකා ගේ ගෙට ගොඩ උනා.ඒ වෙලාවේ හදිසි කටයුත්තකට යන්න උන නිසා සසිකාගේ සැමියාවුන දිනේෂ් ගෙදර හිටියේ නැහැ

” ලබන සෙනසුරාදා අපි සීයා වෙනුවෙන් දානයක් දෙන්න හිතුවා.පුළුවන් නම් ඔයා විතරක් ඇවිත් යන්න එන්න බලන්න “

මාලිනී කිව්වේ කටහඬ බාල කරලා ගේ පුරාම බලන ගමන්

” සෙනසුරාදට දිනේෂ්ටත් නිවාඩු අම්මේ. අද මේ එයා නැත්තෙ යාළුවෙකුගේ වැඩකට ගිහින්.අපි එන්නම් “

” නෑදෑයෝ යාළුවෝ සේරම එන තැනට ඒ ළමයව එක්කගෙන එන්න ඔයාට පිස්සුද සසිකා ? “

” මොකක්ද අම්මේ ඒ කතාවෙ තේරුම ? මම මගේ හස්බන්ඩ් එක්ක එන එකේ ඇති වැරැද්ද මොකක්ද ? “

” වැරැද්ද ඔයා හස්බන්ඩ් එක්ක එන එකේ නෙමෙයි. ඔයා තෝරගත්ත හස්බන්ඩ්ගෙයි වැරැද්ද “

මාලිනීගේ අසාධාරණ කතාවට පිළිතුරු දෙන්න වචන දහසක් මුවට ගලාගෙන ආවත් සසිකා නිහඬ වුණා

” තාත්තයි මමයි ඔයා දිනේෂ්ව බඳිනවට අකමැති නොවුනේ ඔය සම්බන්ධ ගැන අපි දැන ගන්න කොටත් ඒක ගොඩක් දුර දිග ගිය එකක් කියලා හිතලා. දිනේෂ් කියන්නේ ඉතින් දික්කසාද වෙච්ච මනුස්සයෙක්නේ. පොඩියට engagement එක අරගෙන ඔය දෙන්නම ඉක්මනට පිළිවෙලක් කරලා පැත්තකට කළේ ඒකයි “

” මට පුළුවන් වුණොත් දානෙට එන්නම්.අම්මා දැන් ගියොත් හොඳයි “

මාලනි උළුවස්සෙන් පිට වෙනකොටම ගෙදර දොර වහගත්ත සසිකා හිතට ආව කේන්තියත් දුකත් සෑහෙන වෙලාවක් තිස්සේ කඳුළුවලින් පිට කළා.

” ඇයි සසී මේ ? ඔයාගේ මූණත් එක්ක ඉදිමිලා? මුකුත් අසනීපයක්ද ? “

පැයකට විතර පස්සෙ ගෙදර ආව දිනේශ් , සසිකා ව දැක්ක ගමන්ම ඇගේ වෙනස තේරුම් ගත්තා.මොනදේ වෙනස් වුණත් වෙනස් නොවන දිනේෂ්ගේ නොවුන ආදරණීය බව හමුවේ සසිකාගේ කඳුළු ආයෙමත් අලුත් උනා.සසිකාට අඩන්න හේතුවක් තමන් දැනුවත්ව සලසන්නේ නැති නිසාත් , සසිකාගේ කඳුළු වලට හේතු වෙන්නේ එකම හේතුවක් බව දන්න නිසාත් මොහොතක් නිහඬව හිටපු දිනේශ් ආයෙමත් හඬ අවදි කළා

” ගෙදරින් කතා කළාද මැණිකේ ?”

” අම්මා ඇවිත් ගියා “

සසිකා කතා කළේ හැඬුම් අතරින්

” ලබන සතියේ සීයගෙ දානේ.පුළුවන්නම් මට විතරක් එන්නලු “

” ඉතිං ගිහින් එන්න. මම ඔයාව ඇරලවන්නම්. ඔයා ගිහින් ගිහින් එයාලත් එක්ක ඉඳලා එයාලට උදව් වෙන්න. හවසටත් මම එන්නම් ඔයාව ගන්න “

දිනේෂ් කිව්වේ බොහොම සන්සුන්ව

” මම කොහොමද අනේ ඔයා නැතුව යන්නේ ? “

” එයාලා තාමත් මාව පිළිගන්න අකමැති නම් ඒක එහෙම උනාවේ සසී.හැබැයි එහෙමයි කියලා මම නිසා ඔයා පවුලේ අයගෙන් ඈත් වෙන්න ඕනේ නැහැ. තේරුණාද ඔයාට ?”

දිනේෂ් බොහොම කරුණාවෙන් ඒ විදියට කරුණු පැහැදිලි කරත් නීත්‍යානුකූලව තමන්ගේ ස්වාමිපුරුෂයා වෙච්ච ඔහු නැතිව පවුලේ විශේෂ අවස්ථාවකට සහභාගි වෙන්න සසිකාගේ හිත ඉඩ දුන්නේ නැහැ.

” අර මිනිහා තමුසෙට එන්න එපා කිවුවද සීයගෙ දානෙට ? “

බලාපොරොත්තු වුන විදිහටම සසිකා ට අක්කගෙන් ඇමතුමක් ආවේ ඊළඟ සතියේ ඉරිදා වෙද්දි

” කවුද අර මිනිහා කියන්නේ ? “

අක්කගෙ නොවැදගත් භාෂාව ගැන සසිකා ට ඇති වුණේ අප්‍රසාදයක්

” දිනේෂ් තමයි ඉතින් වෙන කවුද ? ඔය විදිහට ඒ මිනිහා නිසා අම්මලාගේ හිත රිද්දලා තමුසෙට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා නම් හිතන්න එපා “

” අක්කේ මේ. කරුණාකරලා මිනිස්සුන්ට වැදගත් විදිහට කතා කරන්න “

” වැදගත් විදියට කතා කරන්න තිබුණා තමුසේ වැදගත් වැඩ කරානම්.දික්කසාද වෙච්ච මිනිහෙක් බැඳගෙන පවුලටම ලැජ්ජ කරලා වැදගත් කම් ගැන කතා කරන්න එනවද ? “

” ඇයි දික්කසාද උන මනුස්සයෙකුට ආපහු බඳින්න බැරිද ? එහෙම බැහැ කියලා කොහේ හරි ලියවිලා තියෙනවද ? “

” ලැජ්ජ නැති වැඩ කරලා තව කියවන්නත් එන්න එපා. ඔය මනුස්සයාව ඉස්සර කරගෙන එන නිසා තමයි මම තමුසෙට අපේ දේකටවත් එන්න කියන්නෙ නැත්තෙ.කටක් ඇරලා අපේ සමන්තගේ නෑයන්ට කියන්න පුළුවන්ද නංගි බැඳලා ඉන්නේ දික්කසාද උන මිනිහෙක්ව කියලා ? “

” කියන්න බැරි නම් නොකියා ඉන්න.මට කිසි ප්‍රශ්නයක් නැහැ. අනිත් එක මේකත් මතක තියාගන්න අක්කේ. මගේ පෞද්ගලික තීරණ ගැන විවේචනය කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ “

කෙළවරක් නැති අපහාස හමුවේ නිහඬව සිටීම තවදුරටත් තේරුමක් නැහැ කියලා හිතපු සසිකා ඒ වචන ටික කියලා ඇමතුම විසන්ධි කරල ලොකු හුස්මක් ගත්තා. නොගැලපෙන විවාහයකින් වෙන් වීම ලැජ්ජාවට කරුණක් නොවන බව පවුලේ අය තේරුම් නොගන්නා තාක් මේ ගැටුම් වල කෙළවරක් නැහැ කියලා සසිකාට වැටහෙමින් තිබුණා

” ඔයා අක්කට කතා කරලා තියෙන විදිහ නම් හරිම නරකයි සසිකා. අක්කාගේ හිත රිදිලා තියෙන්නේ “

බලාපොරොත්තු වුන ඊළඟ ඇමතුම සසිකාට ආවේ මාලිනිගෙන්.

” මගේ හිත රිදෙන්නෙ නැද්ද අම්මේ එතකොට ඔයාලා කියන අසාධාරණ කතා වලට ? “

” අක්කා ඉතින් වැරැද්දක් කියලා නැහැනේ “

” දික්කසාද වෙලා කියලා දිනේෂ්ගේ ඇගේ ගහලා නැති කොට , අඩුම ගානේ දැන් ඒ ගැන එයාවත් හිතන්නේ නැති කොට ඇයි ඔයාලා ඔය තරම් ඒ ගැන වද වෙන්නේ ?”

” තාත්තයි මමයි පසුතැවෙනවා ඔයාට ඔය කසාදෙ කරල දීපු එක ගැන.කවුද දන්නේ ඔයාටත් දික්කසාද වෙන්න වෙයිද කියලා “

පටු අදහස් දරන පවුලේ අය ගැන සසිකා ට ඇති වුණේ කළකිරීමක්.නොනවත්වාම සිද්ධ වෙන මේ වාද විවාද නතර නොකළොත් ඉදිරියේදී මීටත් වැඩිය ගැටලු ඇති වෙන්න පුළුවන් කියලා කල්පනා කරපු සසිකා ඉතා ඉවසීමෙන් කටයුතු කරන්න තීරණය කළා.

මාස දෙක තුනක් පුරාවටම පවුලේ අයට දුරකථන ඇමතුම් දීමෙන් වැළකිලා හිටපු සසිකා සිංහල අලුත් අවුරුද්දට කැවිලි පිඟානකුත් අරගෙන තමන්ගෙ සැමියා වුන දිනේෂ් එක්ක මහ ගෙදරට ගොඩ උනේ ආරාධනාවකින් තොරවම.දෙමව්පියන්ගේ සහ අක්කගේ දෑස් පුදුමයෙන් මහත් වෙද්දි සසිකා කිසිම වෙනසක් නොපෙන්වා ගෙදරට ඇවිත් හිටපු නෑදෑයන් එක්කත් කතා බහ කලා.අම්මා ,අක්කා සහ ලොකු අම්මා කුස්සිය පැත්තට යනවා දැක්කහම සසිකාත් ඒ පස්සෙන් ගියා

” සසිකාව දැක්කෙ කාලෙකින් “

ලොකු අම්මා කතාව පටන් ගත්තේ අම්මා තේ හදන්න සූදානම් වෙනකොට

” ඔයා නම් පුදුම දරුවෙක් සසිකා “

ලොකු අම්මා එහෙම කියනකොට අම්මා වගේම අක්කත් එකවරම සසිකා දිහා බැලුවා

” දිනේෂ් දික්කසාද වුණ කෙනෙක් නේද ?”

ලොකු අම්මා ඇහුවේ සසිකාගෙන් වුණත් ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්න මාලනි ඉස්සර වුනා

” ඔව් අක්කේ දන්නේ නැද්ද මේ ළමයින්ගේ පටලැවිලි ඉතින්. එයාලගේ කැමැත්ත නිසා අපිත් ඉඩ දුන්නා “

මාලනී කිව්වේ වැරැද්දක් නිවැරදි කරන්න වගේ

” අද කාලේ ඔයා වගේ තීරණ ගන්න පුළුවන් ළමයි අඩුයි සසිකා.දික්කසාදයක් වෙනවා කියන එක ලේසි නැහැ. එහෙම ළමයෙක්ගෙ ජීවිතේ ආපහු පිළිවෙලක් කරන්නත් ලේසි නැහැ. දිනේෂ්ව දැක්කහම මූනෙන්ම පේනවා ඒ ළමයා දැන් කොච්චර සතුටෙන් ඉන්නවද කියලා. ගොඩක් අයට හරිම කෙනා හම්බ වෙන්නේ පරක්කු වෙලා කියනවා නේ ඉතින් “

ලොකු අම්මාගේ මූනේ සතුටු හිනාවක් ඇඳෙනකොට අක්කත් අම්මත් මුහුණෙන් මුහුණ බලා ගන්න හැටි සසිකා ඇස් කොනෙන් දැක්කා. පවුලේ අයට තියෙන ගැටලුව විසඳන්න තව දුරටත් තමන් මහන්සි ගන්න ඕනෙ නැහැ කියලා සසිකාට හිතුනේ එතකොට

More Stories

Don't Miss


Latest Articles