අහසේ ඝණඳුරු බවක් වූයේ නැත. වලාකුළෙන් ගහන වීම නිසා දෝ එහි යම් සුදුමැළි පැහැයක් විය. ඒ හින්දා ම අතුරු සිදුරු නැතිව තරු බැබළුණේ ත් නැත. ඉඳ හිට තැනින් තැන දිළුණ තරුවකත් වූයේ මළානික බවකි.
“කෝ ඉතිං උත්තර”
මගේ කල්පනා ලෝකය විසිරුවා හරිමින් රවීන් ගේ පිරිමිකාර හඬ දුරකතනයෙන් මගේ සවනට රිංගා ගත්තේ ය. මම දුරකතනය සවනට තද කොට ගතිමි.
“ම්…මතකයි කිව්ව නේද ඇයි එදා දවසම නිදා ගත්තෙ කියල…”
“ඊරිසියාවට”
ඇස් දෙක තද කොට පියා, හිත ද තද කොට ගෙන මම ඉක්මන්- තනි වචනේ පිළිතුරකින් සියල්ල කීවෙමි.
ලෝකය එක මොහොතකට නතර විය. ඒ තරම් තද සුළඟක් ඒ වෙලාවේ නො තිබුණත්, හෝ හඬින් මගේ කන් අගුල් වැටෙන්නට ආසන්න බවක් මට දැනෙමින් තිබුණේ ය. හදිසියේ පහළ වූ ටර්නාඩෝවකට මා මැදි වී ගසා ගෙන යන්නට ආසන්න බවක් ද දැනෙන්නට විය. කෙසේ වෙතත් දැනුණා වූ ඒ සියල් සංවේදනයන් මා බදා වැළඳ ගෙන සිටියේ මහත් වූ තෘෂ්ණාවකිනි.
සුළි ප්‍රවාහයන් තුනී වී ගිය පසු මට මා හුස්ම ගන්නවා දැනිණ. රවීන් හුස්ම ගන්නා හඬ ද මට ඇහුණා කියා සිතමි. ඔහු ගේ හදවතේ ස්ඵන්දනීය බව ද මට දැනුණේ ය. ඒ සියල්ලට වඩා, කිසිදු හැඟීමක් ප්‍රකාශ නො කරන සෙයින් පාෂාණීභූත වී ඇති ඒ මුහුණ මට පෙනුණේ ය. ලා කහ පැහැති විදුලි එළිය ඒ මුහුණේ එක් අර්ධයක් මත කාන්තිමත් ව වැතිර තිබිණි.
“මං ඒ ඊරිසියාව අඳුර ගත්තා. මං ඒ ඊරිසියාවට හේතුවත් අඳුර ගත්තා. එහෙම ඊරිසියා කරන එක හොඳ නෑ කියලත් මං දන්නව. තාම හිතා ගන්න බැරි…මං දැං මොකද්ද කරන්න ඕන කියල විතරයි”
ඒ ටික කීවාට පස්සේ මට සැහැල්ලුවක් දැනිණ. ටික දවසක සිට හිස මත පැටවී තිබූ බරකින් නිදහස් වූවා සේ දැනිණ.
“අයියෙ”
මගේ ස්වරයේ වූ අති මහත් ආදරයට මගේ ම හද තත් පවා කම්පිත ව ගියේ ය.
“ම්…”
රවීන් හිටියේ වචනයක් මුවට නගා ගත හැකි තත්වයක නො වන බව මම දනිමි.
“මං එහෙනං තියන්නද…ගුඩ් නයිට්”
ඔහු රාත්‍රියට සුබ පැතුවේ හෝ නැත. මම දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. ඔහු තව දුරටත් මදෙස බලා ගෙන ම සිටියේ ය. මම ඔහු ගේ අංකය දුරකතනයේ ගබඩා කරමින් ම කාමරයට ආවෙමි.
“මොකෝ…”
පාඩම් කරමින් උන් නංගී මදෙස බැලුවේ අමුතු විදිහකට ය.
“මොකද…”
“බ්ලෂ් වෙලා වගේ…”
“බ්ලෂ්…මොළේ අමාරුවක්ද…”
“කාටද…ඔයාටද…”
“ඔයාට මං හිතන්නෙ”
කියාගෙන මම යහනේ පෙරළී ගතිමි.
වසන්තය ඇවිත් ජීවිතේ දොරකඩ නතර වී හදවත් දොරටුවට තට්ටු කරමින් සිටියේ ය. ජීවිත උයනේ නෙක කුසුම් පිබිඳ සුවඳ සලන්නට විය. වසන්තයේ වුණත් කුණාටු ඇති වන්නට පුළුවන් බවත්, කුණාටු වලට බියෙන් වසන්තය අහිමි කර ගත නො හැකි බවත්, පෙර සංසාරයේ උගෙන තිබූ පාඩමක මතකය මගේ යටි හිත විසින් මට යළි සිහිපත් කොට දෙන ලදී.
රෑ කෑම මේසය අපේ ගෙදර සුන්දරතම ස්ථායයි. තාත්තා කන ගමන් නොයෙකාකාර කතන්දර කියයි. ඉන් බොටහාමයක් ඔහු ගේ අතීතයේ දී සිදු වූ සත්‍ය සිදුවීම් ය. සමහර ඒවා ඔහු කියවූ, ඇසූ හෝ දුටු ඒවා ය. තාත්තා ඒ කොයික කියන්නේ ත් සිදු වූ මොහොතට වඩා ලුණු ඇඹුල් දමා පදමට රස කොට ය. ඒ නිසා මට ඒවා රස කතා ය. අපේ මාමලා නම් ඒවා ‘පච’ යයි කියමින් සිනහ වෙති. ඔවුන් එසේ හඳුන්වන්නේ තාත්තා එකතු කරනා රස අඩුවැඩිය නිසා ය. මාමලා රස වින්දනයක් ඇති අය නොවෙති.
මේ රාත්‍රී කෑම මේසයේ මම අමුතු දැවීමක් වින්දෙමි. පිරිමියෙකු සමගින් සාමාන්‍ය තත්වය ඉක්මවූ කතා බහකට මුහු වීමෙන් පසු තාත්තා ට මුහුණ දීමේ දී ඕනෑ ම ගැහැනු ළමයෙකු ඒ තිගැස්ම විඳිනවා ය කියා මම සිතමි.
“දෙවෙනි අයිය ඇවිත් ඔයාව අහල ගියා”
අම්මා තාත්තා ට දැනුම් දීමක් කළා ය.
“ඉරිදට එහෙ දුව නදීව බලන්න මනමාලයෙක් එනවලු. ඔයාට ඒ වෙලාවට පොඩ්ඩක් එහෙට එන්න පුළුවන් ද ඇහුව”
“ඉරිදට දවසම වගේ ටියුෂන්නෙ. බලමුකො මොකක් හරි කරන්න”
කොයි තරම් වැඩ තිබුණත් කෙනෙකු උදව්වක් ඉල්ලූ විට තාත්තා බැරි අමාරුකම් ගැන වචනයක් කියන්නේ නැත. නමුත් ටිකක් ගණං උස්සයි. පවුලේ ගෙවල් වල ඔය වගේ වැදගත් සිදුවීමක දී මුලසුන හොබවන්නට ඔහු අත්‍යාවශ්‍ය බව තාත්තා දැන ගෙන සිටියේ ය.
“නදී අපේ සනූට වැඩිය අවුරුද්දක් බාලයිත් එක්ක. සනූවත් දැන් ඉක්මනට පිළිවෙලක් කරන්න හිතුවොත් නේද හොඳ…හැමදාම ඔයා මෙයා පොඩි ළමයෙක් කිය කියා ඉන්නව. විසි පහකුත් පැනල මෙයා තාම ලොකු ළමයෙක් වෙන්නෙ නැද්ද…”
අම්මා අර අනුන්ගේ මනාලයෙකු අස්සේ ම මගේ ගැනත් තාත්තා ට මතක් කළා ය. දැන් දැන් ඇය ට, මා කල වයස පහු කරමින් හිඳීම ගැන මහත් බරක් හිතේ වේ.
මගේ ඇතුළාන්තය ගින්නකට හසු වූයේ ය.
“අනේ මේ..මටනං මනමාලයො ගෙන්නන්න හදන්න එපා ඔන්න”
අර ගින්න ඇවිලෙත්දී ම මම කීවෙමි.
“ඇයි…”
අම්මා තාත්තා ට කතා කළා ට වඩා දහස් ගුණයකින් සැර වැඩි කොට මා ප්‍රශ්න කළා ය.
“ඇයි කියන්නෙ…ලැජ්ජ නැද්ද ප්‍රපෝසල් වලින් බඳින්න…හරියට නාකි ගෑනියෙක් වගේ”
“ආ…එතකොට නාකි ගෑනුද එහෙම බඳින්නෙ…එහෙනං මං තාත්තව බඳිද්දිත් නාකි ගෑනියෙක් වෙන්නැති”
“ඒක ඉතිං ප්‍රපෝසල් එකක් ම නෙවෙයිනෙ. අම්මව දැකල කැමති වෙලා තාත්තා නෙ යෝජනාව සීයාට ගෙනත් තියෙන්නෙ”
“ඉතිං…යෝජනාවක් නෙවෙයි වෙන්නෙ කොහොමද…මගෙන් නෙවෙයිනෙ ඇහුවෙ කැමති ද කියල”
“ආ ඒකනං කාලයක් තිස්සෙ හිතේ තිබිච්ච කොස්සක්..අපරාදෙ තාත්තට තිබුණෙ අම්මගෙං කෙලිංම අහන්නනෙ”
නංගී සිනාසී කීවා ය. ආච්චා සිනහව තද කර ගනිමින් නිකට උරහිසේ තබා ගනු මම දුටිමි.
“අම්ම මෙච්චර කල් ඒ ගැන දුකෙනුයි කේන්තියෙනුයි ඉඳල තියෙන්නෙ. තාත්තා අම්මගෙං ඇහුවනං අම්ම මොකද්ද කියන්නෙ..බෑ කියලද….”
“අනේ මේ නෙතූ…මගෙං ගුටියක් කන්නෙ නැතුව කනවද”
තාත්තා සිටියේ බත් පත දෙස ම බලා ගෙන කෑම කමිනි. මම විටින් විට හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි. තාත්තා ගේ දෙතොල් මත්තේ අප කාටවත් නො පෙන්වා වසංගන්නට හදනා මඳහස මම දැක ගත්තෙමි.
“හරි ඉතිං එහෙනං අක්කගෙ ඉල්ලීම සාධාරණයි”
මම නංගී වෙතට කෘතඥතා පූර්වක බැල්මක් තිලිණ කළෙමි.
“මොකද්ද…”
අම්මා දිගට ම අරෝවට ම ය.
“ප්‍රපෝසල් එකකින් බඳින්න බෑ කියන එක. අම්ම වුණත් කැමැත්තෙන් ඉඳල තියෙන්නෙ අම්ම තෝර ගත්ත කෙනෙක්ව බඳින්නනෙ. ඒ අයිතිය අපිටත් තියෙන්න ඕනනෙ”
“අනේ මේ නෙතු. ඔයාගෙ අයිතිවාසිකමුයි සාධාරණ අසාධාරණ කමුයි තියා ගන්න උසාවියට ගෙනියන්න. මේ ගෙදර”
“ආ…ඒක මාර කතාවක්නෙ. උසාවියෙ විතරද යුක්තිය තියෙන්න ඕන…ඕකනෙ මේ රටට වෙලා තියෙන නස්පැත්තිය…”
“අනේ කට්ටියම හිර කර ගන්නෙ නැතුව කන්නල”
මෙතෙක් සියල්ල අසා උන් ආච්චා මැදින් පැන්නා ය.
“මං එදත් කිව්වෙ. සනූ හොයා ගනියි එයා කැමති කෙනාව. දුනුකේ වගේ කෙනෙක්”
අයිස් කුට්ටියක් කිඳා බැස්සා සේ මගේ උදරය ශීත වී ගියේ ය. මම බත් පත වෙතට ම මුහුණ ඔබා ගතිමි..නමුත් අත පත ගෑවා මිස කුසට යමක් නො වැටුණ තරම ය.
“අපේ අම්ම අපි තරුණ කාලෙ ඔහොම කතා කළේ නෑනෙ දෙයියනේ. මැහුම් පන්තියට ගියත් මුර කාරය වගේ මගෙ පස්සෙං”
අම්මා ගේ ඒ කතාවට නම් මගේ සිනහව පුපුරා ගියේ ය. දවසේ කතාව යයි කියමින් නංගී මට පහක් දැම්මා ය.
පවුලක් ඇතුලේ චිරාත් කාලයක් තිස්සේ පැවත එන සම්ප්‍රදායන් තිබේ. අපේ පවුලේත් එහෙම ය. ඒවා තාත්තා විසින් අප කුඩා කල ම පනවන ලද නීති රීති සමගින් බැඳී පවතී. තාත්තා අපේ නිදහස සීමා කරන්නට උත්සාහ කළේ නැත. තරුණ ළමයින් සමග ම ජීවිතය ගෙවනා කෙනෙකු වශයෙන් ඔහු තරුණ හැඟීම් නො දැන සිටියා යි මම නො සිතමි. ඒවා ගැන දන්නා නිසා ම ඔහු අප ගැන වැඩියෙන් වද වූවා කියා සිතන්නට මම කැමැත්තෙමි.
දිනෙක අප විවාහ විය යුත්තේ කෙබඳු පුද්ගලයන් සමග දැයි කිසි දාක තාත්තා පවසනු මම අසා නොමැත්තෙමි. කොටින් ම ඔහු අපෙ විවාහයක් ගැන කතා කළේ නැත. අම්මා ඒ ගැන කතා කරන්නට කළ උත්සාහයක දී වුව තාත්තා කළේ අප පොඩි ළමයින් යයි කියමින් ඒ කතා මග හැර යාම ය. විවාහය යන කාරණය අරබයා තාත්තා ඉන්නා තැනක වචනයක් කතා කරන්නට හෝ මා ලැජ්ජාශීලී වූයේ ඒ නිසා වන්නට ඇත. නමුත් සිය දූවරුන් දෙදෙනා විවාහය සඳහා තෝරා ගන්නා පුරුෂයන් ට තිබිය යුතු යයි තාත්තා සිතන සුදුසුකම් මොනවා දැයි දැන ගන්නට හදිසියේ ම මා තුළ උනන්දුවක් ඇති විය. නමුත් ඒ සඳහා දිරියක් වූයේ ද නැත.
පසුදා වැඩට යාම සඳහා සූදානම් වත්දී, රවීන් ඒ වෙලාවට පිටත් වනු ඇත්ද යන පැනය මා තුළ ඇති වී තිබිණි. පෙර දා ඔහු මාව මල්සර ෆ්ලෝරා දොරකඩ ට ම ඇරලූ බවක් මා ගෙදර කිසිවෙකුට කීවේ නැත. එය කියන්නට හදවතට වූ බැරි කම කුමක් දැයි මම මගෙන් ම ප්‍රශ්න කළෙමි.
ගෑනු ළමයෙකු ගේ ජීවිතයේ ඉතා කුඩා වූ මිහිරි රහස් තියේ. ඒවා කෙනෙකු දැන ගත්තා කියා ලොකු ගැටළුවක් ඇති නො වන්නට පුළුවන. නමුත් ඒ දේවල් හදවතේ හංගා තියා ගෙන හිඳීම තුළ ඇය රහසිගත සතුටක් අත් විඳින්නී ය. එවන් රහසිගත බවක් ඇය අත් විඳින්නට රිසි වන්නේ ද කලාතුරකින් කෙනෙකු වෙතින් පමණකි. රවීන් මට එහෙම කෙනෙකි. ඔහු මට එහෙම නො දැනුණා නම්, ඒ රියේ ගිය එක ගැන අම්මා හා නංගී සමගින් පැවසීම මට මහ ලොකු දෙයක් නො වනු ඇත. මා වූ කලී පිරිමින් විෂයේ විශේෂ සබකෝලයකින් යුතු වූ හෝ සාමාන්‍ය හිතවත්කමින් පිරිමි ඇසුරු කරන්නට බිය වූ කෙනෙකු නොවේ. අම්මා සේ ම තාත්තා ද ඒ බව දැන සිටියේ ය.
මා ගුරු පාරේ ඇවිද ගියේ හෙමිහිට ය. මගේ ඉක්මන නිසා රවීන් මග හැර ගන්නට මම ලොබ වීමි. ඔහු මට පෙර නික්ම ගොස් ඇත්දැයි මම නො සන්සුන් වීමි. නමුත් සූදානම් වන අතරතුරේ මා හිටියේ සවන් පා ගත් වන ය. දැන් ඒ රියේ සියුම් හඬ මම හඳුනමි. මට එය ඇසුණේ නැත!
පිටුපස හැරී බැලු එක වතාවක, පුන පුනා බලා සිටි ඒ දර්ශනය මම දුටිමි. රවීන් ගේ රිදී පැහැති විට්ස් රිය බබෙක් වාගේ ඉදිරියට එමින් සිටියේ ය. පාර අයිනේ නතර වූ මම සිනහවකින් ඊට අත දිගු කළෙමි. රවීන් රිය නවතන ගමන් ම මා සිටි පැත්තේ දොර ද පහත් වී ඇරියේ ය. සනුකි ගේ දඟකාර ආත්මය ඉක්මන් කොට එහි නැග ගත්තා ය.
“ප්‍රයිවට් බස් එකක් වාගේද දන්නෑ නේ පෙනුණෙ…හිටපු ගමං අත දික් කරල නවත්තගන්න…”
ඔහු සිය සිහින් දෑසින් මවෙත එළියක් විදිනා ගමන් ඇසුවේ ය.
“හිටපු ගමං නෙවෙයි. හොඳට හිතලයි නවත්තගන්න අත දික් කළේ”
ඔහු ඒ බැල්ම ඉදිරියට යොමු කළේ ඒ වෙලාවේ ඒ පටු මගෙහි වූ කලබලකාරීත්වය නිසා විය යුතු ය. මම ජයග්‍රාහී සතුටකින් ඔහු දෙස බලා සිටියෙමි.