සතුටු මන්තර 32

වරු නිවාඩුවක් ගෙන යශෝදර ගෙදර ආවේ යතුරුපැදිය දමා මෝටර් රථය ගෙන යන්නට ය. ඔහු එන විට මල්ලිකා ගෙදර නො සිටියා ය. අම්මා ගෙදර නො වීම යශෝදර ට අසවැසිල්ලකි. ඇය සිටියේ වී නම් අසනා හරස් ප්‍රශ්න වලට පිළිතුරු දෙන්නට සිදු වේ. එය ඔහු ට වදයකි. ජයරත්න ද මහ ගෙදර ගොස් සිටියෙන් ඔහු මාතර යන බව කිසිවෙකු දන්නේ නැත. එය යශෝදර තුළ රහසිගත සතුටක් දනවන හේතුවක් විය. 

“එසඳිට උණ නිසා සයුරංගනා කිව්ව ගෙදර එනව කියල. කෙල්ලට සාංකාව වගේලු”

ඔහු යන ගමන් මගදී පාරමී ට ඇමතුමක් දී පණිවිඩය කීවේ ය. ඇගේ දෙතොල් සිනහවකට ඇද විය.

“කොයි කෙල්ලටද දන්නෑ දැං ඔය සාංකාව හැදිල තියෙන්නෙ”

“පිස්සුද ඕයි..”

යශෝදර සිනහ වූයේ ය. 

“මගට ගිහිං මට කෝල් කරන්නෙ මාත් එල්ලිල ඇවිත් ඇණයක් වෙයි කියලනෙ. හරි හරි ඔයා තනියෙං ගිහිං සතුටෙන් එන්නකො එහෙනං”

“රෑ වෙන්න කලින් එන්න ඕන නිසයි මං මේ ඇදල යන්නෙ”

“ඇදල ගියාට ඇදල එන්නෙනං නැතිවෙයි කියල මට ශුවර්”

“තමුසෙටනං ඇත්තටම පිස්සු”

පාරමී ගේ විහිළු ගැන සැබවින් ම යශෝදර ට දැනුණේ තරහක් නොව මිහිරකි. දක්ෂිණ අධිවේගී මාර්ගය මේ තරම් දිගුව කවදාවත් ඔහු ට දැනී නැතිවා විය යුතු ය. නමුත් යශෝදර ගේ දෙතොල් අතරේ දිගට ම මඳහසක් දඟ කරනා ලදී.

ඔවුන් කැටිව යන්නට අපාචි එනවා යන ආරංචියෙන් එසඳි වඩාත් ප්‍රබෝධමත් වූවා ය. ගෙදර යන්නට ඇයට වූයේ පුදුම හදිසියකි. එතෙක් ඇගේ තිබූ අප්‍රාණික ගති කොහේ අතුරුදන් වූවාද කියා සොයා ගත නොහැකි වූ තරමි.

“සෙනසුරාදා වෙනකල් හිටියනං මට කෙල්ලව ලෙඩ කරගෙනයි ගෙදර ගෙනියන්න වෙන්නෙ අම්මෙ”

සයුරංගනා දැරිය ගේ ප්‍රීතිමත් බව දෙස බලා හිඳ කීවා ය. යමුනාට ඔවුන් ගේ ඉක්මන් තීරණය ගැන වූයේ සතුටක් නොවේ.

“ඒ වුණාට අපරාදෙ..ආපු එකේ ඉඳලම ගියානං තමයි හොඳ. දැං එසඳි ලොකු වෙන්න වෙන්න මෙහෙ එන්න කොහොමත් අකමැති වෙයි”

“ලොකු වෙනකොට හරියයි අම්මෙ”

“අපාචි හිටියනං හරියනව”

ඇස් වඩාත් කුඩා කොට, කිරි දත් පෙන්වා එසඳි හුරතල් සිනහවක් පෑවා ය. සයුරංගනා සිනහව තද කර ගෙන ඉවත බලා ගත්තා ය. යශෝදර පැමිණෙන මෝටර් රථය දුටු ගමන් එසඳි මිදුලට ද පැන ගෙන ය. ඔහු රියෙන් බසිත්දී ඈ ඔහු ගේ දෝතට පැන අවසන් ය. යශෝදර දැරිය වඩා ගෙන සිප ගත්තේ මහ වැස්සක් ආදරයෙන් බදා වැළඳ ගන්නා කාන්තාර පොළොවක් සේ ය. ආයේ නම් කිසි දා ඈ සිය දෑස් මානයෙන් ඈතට නො යවන්නට ඔහු ඒ වෙලාවේ තමන්ට ම පොරොන්දු වෙමින් සිටියේ ය.

“ඔයා ඉන්නැත්තං ආයෙනං මං කොහෙවත් ඉන්නෑ. අම්මිට කියන්න අපාචි…මාව අරං යන්න එපා කියල”

සිය අවංක හැඟීම් කිසිවෙකුගෙන් වහන් කර ගන්නට හේතුවක් එසඳි ට වූයේ නැත. තේ එකකින් පමණක් සප්පායම් වූ පසු යශෝදර සයුරංගනා දෙස බලමින් දෑත් සාක්කු වල ඔබා ගත්තේ යමු දැයි ඇස් වලින් අසමිනි. ඇගේ පිළිතුර ද ඇස් වල ම ලියැවී තිබිණ.

“එහෙනං අපි ගිහිං එන්නද අම්මෙ…පුතා ආච්චම්මටයි සීතාත්තටයි වඳින්න. පුංචිලට මාමලට උම්මා දෙන්න”

සෙනසුරාදා වන තුරු ඔවුන්ගේ ආදරය මැදට වී ඉන්නට බැරි වූයේ ඇයි දැයි ඒ සමුගන්නා මොහොතේ දී සයුරංගනා පසුතැවුණා ය. නමුත් ඒ තැවුල ඉක්මනින් හිතේ ඈතකට කරන්නට ඇයට හැකි විය. 

“මගෙ හොඳ අපාචි” 

කියමින්, රියට නැඟුණු ගමන් ම එසඳි සයුරංගනා ගේ උකුලේ සිට යශෝදර වෙත නැඹුරු වී ඔහු ගේ ගෙල වැළඳ ගත්තා ය.

“ඔයාගෙ අම්මිටනෙ ඕන වුණේ මහ ලොකුවට…සති ගණං ගමේ ඇවිත් ඉන්න”

යශෝදර අඩ සිනහවකින් ඇස් කොනෙන් බැලුවේ ය. ඒ බැල්ම ඉදිරියේ යටි පතුල් පවා සීතල වනු සයුරංගනා ට දැනිණ. 

“ගොඩක් කාලෙකින් ආවෙ නැති නිසානෙ ඉතිං”

“ඊළඟ නිවාඩුවට සති දෙකකට ගෙනත් ඇරලවල යනව”

සිනහව ඇගේ දෙතොල් අතරේ හිර වී තිබිණ.

“මටනං බෑ. අපි මෙයාව විතරක් දාල යමු”

යශෝදර හඬ නගා සිනහ වූයේ ය.

“අන්න හරි..අපි එහෙම කරමු හොඳේ”

එසඳි තොරතෝංචියක් නැතිව හුරතල් බස් දෙඩවූවා ය. නිමාවක් නැති ප්‍රශ්න වැලක් ද ඇයට තිබිණ. යශෝදර ඒ සියල්ලට ඉවසීමෙන් ද ආදරයෙන් ද පිළිතුරු දුන්නේ ය. කාලයක් තිස්සේ හදවත අත්විඳිමින් සිටියා වූ හිස් කමක් හෙමි හෙමිහිට පූර්ණ වෙමින් පවත්නා බවක් සයුරංගනා ට දැනේ. නමුත් ඒ කිසිවක මුල මැද අග සොයන්නට ඇය කලබල වූයේ නැත. හදවත විසින් විඳගන්නට කැමති ඕනෑම හැඟීමක් එලෙසින් ම විඳින්නට ඇය නිදහස දුන්නා ය. නමුත් ඒ හැඟුමන් වල අක් මුල් දිවූ තැන් ගැන නො සොයන්නටත්, ශල්‍ය වෛද්‍යවරයෙකු සිරුරක් කපා විමසනවා සේ කපා කොටා ඒ හැඟුම් විශ්ලේෂණය නොකරන්නටත් ඇය පරෙස්සම් වූවා ය. සිරුරේ රස හඳුනන සියල් ස්නායු දිග මිහිරෙහි තත් කම්පනය වූයේ ය. ඇය ඒ මිහිරෙන් සුසර කරනු ලැබ සිටියා ය.

යශෝදර ට ස්ත්‍රී ඇසුර ගැන වන අත්දැකීම් අඩු ය. උසස් පෙළ කරන කාලේ ඔහු උපකාරක පන්තියකට ආ ගෑනු ළමයෙකු ගැන හැඟීමකින් සිටියේ ය. පසුව ඒ ගෑනු ළමයා ඒ පන්තියේ ම පිරිමි ළමයෙකු ගේ පෙම්වතිය බව දැන ගත හැකි විය. ටික දවසක් යශෝදර සිත් වේදනාවක් වින්දේ ය. නමුත් එය ඒ ගැන ගැඹුරු තුවාල ඇති කළ රිදුමක් නොවේ. 

උසස් පෙළ අවසාන වී ඔහු හා ගිම්හාන් බැංකු පාඨමාලාවක් හදාරන කාලයේ ශක්‍යා ඔහු ගැන උනන්දු වූවා ය. ඇගේ පැත්තෙන් ඒ කැමැත්ත ඇති ව තිබුණේ ඊටත් වඩා කලිනි. ගැටව් සමයේ පටන් මාරුවෙන් මාරුවට ගෙවල් දෙකේ ගැවසුන දෙමිතුරන් ට ඒ ගෙවල් දෙක ම තමුන්ගේ සේ විය. ඒ ගෙවල් වල සාමාජිකයන් තමන්ගේ ම අය සේ වූහ. විරුද්ධ ලිංගිකයන් ගැන රසවත් ගැඟුම් ජනිත වන නව යොවුන් වියේදී ශක්‍යා ට නිතර දැකිය හැකි පිටස්තර පිරිමි රුව වූයේ යශෝදර යි. අයියා ගේ යාළුවා ගැන ඇය පාසලේ දී බාලිකාවන් සමග ද කීවා ය. එහෙම කියත්දී ඇගේ ඉරියව් වල වූයේ සබකෝලයක් ම නොව මේරූ බලාපොරොත්තු යයි කිව හැකි තරමි. සිය හැඟීම් යශෝදර ගෙන් සඟවා ගන්නට ද ශක්‍යා ට ඕන වුණා නොවේ. ඇය ඔහු ට ඒවා දැනෙන්නට හැරියා ය. අයියා සොයා ගෙන ඔහු ගෙදර එන වෙලාවට දිය නා හෝ නොනා කොණ්ඩය උනා දමාගෙන මෝස්තර ඇඳුමකින් සැරසී එහෙ මෙහෙ කැරකුණා ය. ඇගේ ඇස් වල වූයේ නව යොවුන් දැරියක ගේ නිර්මල බව නොව වයසට වඩා ප්‍රේමය ගැන මේරූ යුවතියක ගේ සරාගී බවකි. 

යශෝදර ට මේ බව නො දැනුණා නොවේ. නමුත් කිසි දාක ශක්‍යා ගැන ඔහු ට ප්‍රේමයකට ආසන්න හැඟීමක් දැනුණේ ම නැත. ඇය තමන් ගැන බලාපොරොත්තු තබා ගෙන සිටිනා බව දැනෙත්දී යශෝදර කළේ ගිම්හාන් ගේ මහ ගෙදරට යන ගමන් අඩු කරන එකයි. ඒ වෙනුවට ගිම්හාන් ව වැඩි වැඩියෙන් ඔහු ගේ ගෙදරට ගෙන්වා ගන්නා එකයි. එතකොට පාරමී කුඩා දැරියක බැවින් මිතුරන් ගෙදරට ගෙන ඒම ගැන ඔහු ට ගැටළුවක් වූයේ නැත. පසුව ශක්‍යා සිය අදහස අත්හැර ගෙන, පරිගණක පන්ති යත්දී මගතොටදී හමු වූ මංජුල සමග පැටලිල්ලක් ඇති කර ගෙන විවාහ වූවා ය. විවාහය හදිසියේ කර දුන්නේ ශක්‍යා ගැබ් ගත් නිසාවෙනි. නමුත් ඒ දරුවා අඩු මසින් ඉපිද මිය ගියේ ය.  

යශෝදර ද පසු කලෙක ගෑනු ළමයෙකු ඇසුරු කළ මුත් විවිධ නොගැලපීම් මත ඔවුහු කතා බහ කොට වෙන් වූහ.

“මූට හරියන ගෑනියෙක් හොයන්නනං බෑ. මවන්න තමයි වෙන්නෙ”

යශෝදර ගේ පෙම්වතියක ගැන කිසිවෙකු විමසන වෙලාවක ගිම්හාන් අනන්තවත් එහෙම කියා ඇති සැටි මේ දැන් මෙන් යශෝදර ට සිහි කර ගත හැකි ය.

රිය තුළ වූයේ පුංචි පවුලක සතුටකි. ඔවුන් තිදෙනා අතරේ සංසරණය වූයේ එක පවුල් ඒකකයක හැඟීමකි. රෑ වෙනවා කියා ගාණක්වත් නැතිව යශෝදර රිය පැදවූයේ සාමාන්‍ය වේගයකිනි. අධිවේගී පාරක මේ තරම් හෙමිහිට යා හැකි ද කියාත් වරක් සයුරංගනා ගේ සිතේ සිතිවිල්ලක් ඇඳී මැකී ගියේ ය. 

“බඩගිනිද…”

වැලිපැන්න ආසන්න වෙත්දී යශෝදර විමසූයේ එසඳිගෙන් ද සයුරංගනා ගෙන් ද කියා වෙන් කොට ගත නො හැකි තරමට දයාර්ද්‍ර බවක් තැවරි හඬ තානයකිනි. සයුරංගනා පපුව පිරෙන්නට හුස්මක් ගත්තා ය.

“ඔවූ….ලොකූ බඩගින්නක් තියෙනෝ”

එසඳි දෙතොල් උල් කොට කීවා ය. ඈ ඒ කී තාලයට යශෝදර ද සයුරංගනා ද එකවර සිනහ වූහ. 

“බොරූ…මේ කෙල්ලගෙ. යශෝදර අංකල්ට මහන්සියි. පරක්කු වෙවී ඉන්න බෑ බබා”

එසඳි වහා අම්මා ගේ දෙකොපුලෙන් අල්වා ඒ මූණ දෙසට තියුණු බැල්මක් හෙළුවා ය. 

“අපාචි”

ඇය අම්මා අතින් සිදු වූ වරද නිවැරදි කළේ ද තදිනි. සයුරංගනා ට යශෝදර දෙස බැලිණ. ඔහු එක මොහොතකට විතරක් ඒ ඇස් පටලා ගෙන, මුදා හැර ඉදිරි මග දෙස බැලුවේ ය.

“හරි හරි අපි නැවතිල මොනා හරි කාල යං”

ඔහු එසඳි ගේ හිස මත අතක් තැබුවේ ය. ඒ අතැඟිල්ලක් සයුරංගනා ගේ ගවුම් කරින් නිරාවරණය වූ පපු පෙදෙසෙහි ස්පර්ශ විය. යශෝදර වහා අත ගත්තේ ය. සයුරංගනා ට දැනුණේ එහෙම ම හුස්ම නතර වූවා සේ ය. 

වැලිපැන්න ට රාත්‍රිය උදා වූ විට තිබෙන්නේ වෙනම ම ලස්සනකි. සයුරංගනා ඒ සුන්දරත්වයෙන් වසඟ වී සිටියා ය. එසඳි ඕනේ කියන හැම දේ ම යශෝදර මිල දී ගෙන දුන්නේ ය.

“කන්නෑ යශෝදර. අපරාදෙ ගන්නෙපා”

“කමන්නෑ”

ඇගේ අතේ මුදල් පසුම්බිය තිබිණි ද එය ඉස්සර කරන්නට සයුරංගනා ට සිත් වූයේ නැත. යශෝදර ගෙන් දකින මේ සියල්ල ඇය ට හදවතින් විඳ ගන්නට ඕනා විය. කහ පාට විදුලි එළි අතරින් ඇඳී ඇති ඔවුන් තිදෙනා ගේ දිගු සෙවනැලි දෙස ඇය අමුතු හැඟීමකින් බලා සිටියා ය.  පිරිමියෙකු කිසි දා මේ තරම් හදවතට ලං වී නැත. සිරුරට නොව හදවතට ලං වී නැත. රෑ බෝ වෙමින් ඇත කියා කිසිදු බියක් සයුරංගනා ට නො දැනිණි. තව කොයි තරම් රෑ වුණත් ඇයට ඒ ගැන සිතන්නටවත් ඕනෑ නොවිණ. මේ මොහොත තව තවත් දිගු වෙනවා නම්, ඇය ඒ වැළඳ ගැනීමේ සූදානමක සිටියා ය. යශෝදර ද කිසිදු හදිසියක් නො පෙන්වූයේ ය. ඔහු එසඳි ට ඕනෑ තරම් වෙලාව ගෙන රස විඳිමින් කෑම කන්නට නිදහස දී බලා සිටියේ ය. 

“ගිම්හාන් සැනසීමෙන් ඇති දෙයියනේ”

අන්තිමට සයුරංගනා ගේ මුවින් එසේ කියවුණේ තවත් දරා ගන්නට බැරි තැන ය. ඉකියක් උගුරේ හිර වී කඳුළක් ඇසින් පැන්නේ ය. යශෝදර ඇය වෙතට සිය පුටුව ඇද ලං කර ගත්තේ ය. ඇගේ මුහුණට එබී බැලී ද කුමක් කියන්න ද කියා ඔහු ට සිතා ගත නො හැකි ය.

“මොනාද මං කියන්න ඕන..ම්…”

“මුකුත් නෑ යශෝදර…මුකුත්ම නෑ..”

ඇය හිස පහත් කළා ය. රවුම් මේසයට වැලමිට තබාගෙන උන් යශෝදර ගේ අතේ උඩු බාහුවේ අතර මගක ඇගේ හිස ස්පර්ශ විය. එය අහම්බෙන් සිදු වූවක් වී ද හිස පසෙකට ගන්නට සයුරංගනා ට සිතුණේ නැත. තව තවත් හිසේ බර ඒ අතට දී සැහැල්ලු වීමේ අවශ්‍යතාවයක් ඇගේ ගැහැනු ආත්මයේ ඈතම කෙළවරක් ඉල්ලා සිටියා විය යුතු ය. 

ඇගේ හිසින් හැමූ ශැම්පූ එකේ මල් සුවඳ ඔහු ට ඉතා ආසන්න ව දැනිණ. ඒ අඟලක දෙකක දුර තරණය නොකර ඉන්නට තරම් හිත කීකරු කර ගන්නට මේ මොහොතේ යශෝදර පොහොසත් වූයේ නැත. ඇතැම් විට ඔහු ට එහෙම කරන්න ඕනෑ වන්නට නැත. හිස වෙතට නැඹුරු වී ඔහු  ඉක්මනින් ඈ හිස් මුදුන සිප ගත්තේ ය. මල් සුවඳ, හදවතේ අමතක නොවෙන තැනක නතර විය. 

💚කියවූ බවට ඔබ තබා යන ආදරයට ස්තූතියි!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles