කදෝකිමි ඇස් -06

0
4549
කදෝකිමි ඇස්

“ඔව්..මේඝට නංගිලා නෑ.”

ආරණ්‍යා අම්මා දෙස බැලුවේ විමසුම්සහගත බැල්මකිනි.නාන කාමරයේ කැරපොත්තෙක් දුටු විට විලාප නගන්නාක් මෙන් බැල්මකින් එදා ඇය දුරකථනය දෙස බලා සිටි අන්දම ආරණ්‍යාට අමතක නොවේ.ඈ මේඝ දන්නේ කොහොමදැයි ආරණ්‍යාට සිතිණ.නමුත් අම්මාට කුමක් හෝ වේදනාවක් තිබේ.ඒ වේදනාව ප්‍රශ්න නොකරන්නට ඈ උගත්තේ බොළඳියක කාලයේ පටන් ය.

“අම්මට චුට්ටක් තනියම ඉන්න ඕන.අපි එහෙම ඉන්න දෙමු..”

ආරණ්‍යා අප්පච්චිගේ එබසට අවනත වූ අතර අම්මාගේ වේදනාවන් කිසිදා ප්‍රශ්න නොකළා ය.ඇය කායික වේදනාවකින් නම් පමණක් උවටැන් කළා ය.

“අම්මා එහෙනම් මම යන්නම්.පරක්කුයි අප්ප..”

ආරණ්‍යා අම්මා පැවසූ දේ නෑසුකන්ව හිඳින්නට සිතුවා ය.ඇයට මේඝ ගැන සොයන්නට සිතෙන්නේම අම්මාගේ රහස නිසා ය.ඔහු කවුදැයි සෙවීම සැබෑ අබිරහසකි.නමුත් මේඝ යළි දිනයක මුණ ගැසීම ගැන විස්වාස කරන්නට නොහැකි ය.මේඝට ෆේස්බුක් ඇරයුමක් යවන්නට ද ආරණ්‍යාට සිත් නොදේ.ඇයට පෙම්වතෙකු නොවූවාට ඔහුට පෙම්වතියක වේ.

ආරණ්‍යා මඟට බැස්සේ ම සිතිවිල්ලේ ය.කල්පනා කරන්නට තරම් වටිනා ප්‍රශ්නයක් ඇති නිසා ඇයට පිටත ලෝකය ගැන ඇල්මක් තිබුණේ ම නැති තරම් ය.

මේඝ සිටියේ මහා කන්දොස්කිරියාවකට මැදිව ය.උදෑසන ඇඳ පැළඳ පිට වෙන්නට සැරසෙද්දී නේහා ආලින්දයෙන් මතු වීම ඔහු කොහොමටත් නුරුස්සයි.ඇය හැසිරෙන්නේ දැනටමත් විවාහය සිදු වූ ගාණට ය.

“ඕවානම් උඹට වෙන්න ඕන.උඹත් කොච්චර රැඩිකල් කතා කිව්වත් අංකල් වගේ තමා.ලොකු ටෝක්ස් දුන්නට ඉගෙන ගන් නැතුව ජීවිතයක් නෑ කිව්වට අංකල් ගොඩ ගියෙත් ආන්ටිගෙ සල්ලිවලින්..ආන්ටිම තමා පුතේ මටත් කීවේ.මං ඉපදිලා නෑනෙ එයාලා ලව් කරද්දි..”

විදුක සමහර මොහොතක එසේ කියයි.එහෙත් මේඝ සන්‍තාපයකින් හිස බර කරගනිද්දී ඔහු ද වේදනාවට පත් වේ.

“නේහා හොඳ කෙල්ල.වෙලා තියෙන්නෙ උඹ ලව් කරන්න දන් නැහැ.ඒකයි ඔය ප්‍රශ්න ඇති වෙන්නේ…”

විදුක වරද මේඝටම පවරමින් ආදරය කරන අන්දම ගැන දේශන තබයි.මේ සම්බන්ධය තමන්ගේ වරදක් ද අම්මාගේ වරදක් ද යන්න ගැනවත් මේඝට වැටහීමක් නොවේ.ඉතා ළාබාල දරුවන් කාලයේ පටන් මේඝ අයත් නේහාට යැයි පැවසුවේ අම්මා ය.එය සැබෑවටම ඇගේ යෝජනාවක් සරි ය.

“එහෙම පොඩි කාලෙ ඉඳල මඟුල් තීන්දු කරන්න එපා ලක්ෂි.විකාර වැඩනෙ.ඊටපස්සෙ කොල්ලට හොඳ කෙල්ලක් හම්බ වුණොත්.”

අම්මාට තාත්තා දිනක් පැවසූ අන්දම මේඝට මතක ය.එදා අම්මා තාත්තාට හෙළුවේ සෝපහාසය උතුරා යන බැල්මකි.

“අත්දැකීම් තියනවනෙ.එහෙම ජෝඩු කරන්න හොඳ නැත්තෙ ට්‍රැක් පැන්න හෝන්තු.නේහා කියන්නෙ මේඝට ගැළපෙන කෙල්ල.ඒ කතාවේ ආයේ වචන දෙකක් නෑ..”

අම්මා එදා එසේ කියා නතර නොවූවා ය.ඇය තාත්තා දෙස බලමින් ඇනුම්පද කියන්නට පටන් ගත්තා ය.

“මෙයා එහෙම නැටිච්චියක් එල්ල ගත්ත දාට කරන්නෝන ඒක කඩන එක.එක කෙල්ලෙක්ට බලාපොරොත්තු දීලා තව කෙල්ලෙක් බඳින්න පුලුවන් පිරිමි ඇති.ඒවා නවත්තන්න බැරිතරම් කොන්ද පණ නැති ගෑනියෙක් නෙවෙයි මං..එහෙම ගෑනු හිටියට..”

නේහා ගැන කතාබහකදි තාත්තාව එපමණකට නිහඬ කර දමන අම්මාගේ අවිය ගැන මේඝට කිසිම වැටහීමක් නොවේ.නමුත් ඔහු තාත්තා සිටින්නේ වේදනාවකින් බව තරයේ ම අදහයි.තාත්තාගේ දෑස් මත ඇඳී ඇති අන්දමේ දුකක් තමන්ට ද නේහා නිසා ඇද ගන්නට වේදැයි සිතද්දී ඔහු සසල වී යයි.නමුත් නේහා කියන්නේ ඔහුගේ අනාගතයට ය.

“ඔයාට හොඳ තීරණයක් ගන්න..” තාත්තා එදා එසේ පැවසූ අන්දම මේඝට අමතක නොවේ.නේහාව පාන්දර දකිද්දී පවා ඔහුට සිහි වෙන්නේ ඒ කතාබහ ය.නමුත් කරන්නට කිසිවක් නොවේ.

“බඩගිනියි මේඝ..මොනා හරි කාලා යංකො..” රථයට ගොඩ වූ මොහොතේ පටන් නේහා කියවන්නට ගත්තා ය.හිරු නඟින්නටත් පෙර රස්තියාදු ගසන්නට පටන් ගෙන තමන්ගේ දවස නාස්ති කරන ඇය ගැන මේඝට කෝපයක් හට ගත්තේ ය.නමුත් බඩගින්නේ හිඳින කුඩා පූස් පැටවෙකු පවා නොසලකා නොහරින හැඟීමක් ඔහුට තියේ.

“හැම ගින්නටම වඩා ලොකු බඩගින්නනෙ චූටි පුතේ..”

ගමේ ආත්තම්මා එසේ කියමින් බත් කල්දේරම් ගණන් උයා බඩගිනිකාරයන් සන්තර්පණය කරන අන්දම ඔහුට මතක ය.මේඝ ඒ මතකයෙන් ම ජනප්‍රිය අවන්හලකට රථය හැරවී ය.නේහා ගොස් අසුනකට වැටුණේ හත් අවුරුද්දක බඩගිනිකාරියක වාගේ ය.මේඝගේ ඇස යොමු වූයේ ඇයට නොවේ.මේසය පාමුල කාන්තා පසුම්බියක් තිබිණ.එය කාගේදැයි බලන්නට මේඝ එය අතට ගත්තේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here