නිලැසි -21

නොසැලකිලිමත් බැල්මක් අමුත්තන්ට වෙන් වූ කොටසේ ඒ මේ අත සක්මන් කරන තරුණයා දෙස නිම්න මොහොතක් බලා සිටියේ ය.වටිනා සන්නාම සහිත ඇඳුම් ඉතා පිළිවෙළකට හඳිමින් බොහෝ පරිස්සම් විලාසිතා කරන තිසරු ද සිරුරට නොගැළපෙන තරමේ විශාල කමිසයක් හැඳ රැළි කොණ්ඩය ගෙල මුල දක්වා විසිරෙන්නට ඉඩ හළ එරන්ද ද ඔහු සිතෙන් මනින්නට ගත්තේ ඒ මොහොතේ ය.මනමේ කුමරුට කිරුළ හිමි වී තිබිය දී පවා කුමරිය ඔහු අතැර දමා වැද්දෙකු තෝරා ගත්තා ය.කුමාරයන් අතැර දමා වැද්දන්ට පෙම් කරන්නට ගැහැනුන්ට සිතෙන්නටත් කාරණා ඇතැයි නිම්නට සිතිණ.

නමුත් කුමාර මාළිගයේ හිඳිමින් හෝ තමන්ගේ රාජධානියට වී හිඳිමින් මේ වැද්දාට පෙම් කරන්නට අක්කාට ඉඩ නොහැරිය යුතු බව නිම්න තීරණය කළේ ය.මේ ආදරය ඇගේ තෝරා ගැනීම නම් ඈ මාළිගා හැර දමා යා යුතු ය.මාළිගාවේ වෙසෙමින් ප්‍රේමයේ සුව සොයා කැලෑ වදින්නට ඇයට ඉඩ දිය යුතු නැතැයි නිම්නට තද තීරණයක් විය.

“මං ආවේ රාජේන්ද්‍ර සර්ව මීට් වෙන්න…”

එරන්ද කියන්නේ කිසිම ගණනකට නොගන්නා වර්ගයේ බැල්මකිනි.තමන්ගේ නිවසට පැමිණ අමුතු ලොකුකමකින් හැසිරෙන මේ තරුණයාට පහරක් ගසන තරම් තරහකින් නිම්න වෙළී ගියේ ය.

“හේතුව?”

නිම්න එසේ ඇසුවේ තදිනි.අක්කා ගැන යමක් පවසන්නට මොහු පැමිණ ඇතිනම් තාත්තා මුණ ගැසෙන්නට ඉඩ නොදීම ඔහු පිටත් කර යවන්නට නිම්න තීරණය කළේ ය.

“මියුසික් වැඩකට.මට ලක්ශාන්ත සර් කිව්වා ඇවිල්ලා රාජේන්ද්‍ර මහත්තයා මුණ ගැහෙන්න කියල.මගේ සමහර වැඩ දැකලා රාජේන්ද්‍ර මහත්තයටත් මාව මුණ ගැහෙන්න ආසයි කියල තිබුණා..”

නිම්නට සිනාවක් නැගිණ.ඔහු ඒ උපහාසාත්මක සිනාවෙන්ම එරන්ද දෙස බලා සිටියේ ය.

“රාජේන්ද්‍ර සර් ඇත්තටම තමුන්ගේ වැඩ දන්නවනම් ඉතිං,එයා පහලට එන එකක් නෑ.අපේ ලියෝව ලෙහලා එවයි..”

එරන්ද දෙවුර සලා හිනැහුණේ ය.ඔහුට නිම්න නොසලකා හැරීමෙන් ම ඔහු රිදවන්නට ඕනෑ විය.

“මිනිස්සුන්ගේ පෞද්ගලික සම්බන්ධතා කලාවට සම්බන්ධ වෙන්නේ කොතනින්ද?”

ඔහු නිම්නගෙන් එසේ ඇසී ය.නිම්න කිසිවක්ම නොකියා මඳ වෙලාවක් එරන්ද දෙස බලා සිටියේ ය.

“ඒ දෙකේ ගැලපීමක් නෑ මල්ලි.ඒ උනාට ඔයාගේ පෞද්ගලික ජීවිතේ මේ ගෙදර මිනිස්සුන්ගේ ආත්ම ගරුත්වේ එක්ක සම්බන්ධයි.අන්න ඒ හින්දා ඔයාව මේ ගෙදරට වද්දා ගන්න ඕන කියල මම හිතන් නෑ..”

නමුත් එවැනි කතා එරන්ද සංවේදී කරන්නට සමත් වන්නේ නැත.ඔහු පුටුවක හිඳ ගත්තේ නිම්නගේ අවසරයක් නැතිව ය.

“නිලැසිගෙයි මගෙයි පෞද්ගලික දේවල් ඔයාලා බාධාවක් කරගන්න එපා.ඒ ගැන තිසරු යම් තීරණයක් ගන්නකම්, අපේ කතාව ඉස්සරහට යනවා..”

මේ අහංකාර උද්දච්ච තරුණයාට හොඳ නරක කියා දෙනවාට වඩා දිගැසි සුරතලයට ඇති කරන ලියෝ ට අකුරු ඉගැන්වීම පල ඇති දෙයක් බව නිම්නට සිතිණ.විශාල අපහසුතා සහ බාධා මැදින් තම සිහින කරා ඇවිද යන තමන් වැනි තරුණයන් සිටියදි පිය උරුමය හන්දා වේගයෙන් තම ඉලක්ක ජය ගන්නා නිම්නව වචනයකින් හෝ පැරදවීමට හැකි වීම ගැන එරන්දට දැනුණේ කුරිරු සතුටකි.ඔහු තමන්ගේ ඒ ජයග්‍රහණය ගැන හදවතින් උඩ පැන නැටී ය.

“මේ අර යූ ටියුබ් එකේ සින්දු කියන ඉලන්දාරියා නේද?”

රාජේන්ද්‍රගේ ප්‍රතාපවත් හඬ ඇසෙද්දී එරන්ද හුනස්නෙන් නැගී සිටියේ ය.තාත්තා ඉදිරියේ රඟපාන්නට අකමැති නිම්න එතැනින් නික්ම යන්නට සිතී ය.

“පුතා මේ ළමයා ගැන අහල තිබ්බද?”

ඒ ප්‍රශ්නයට කියන්නට බොහෝ දෑ නිම්නට තිබේ.එහෙත් තාත්තා කියන්නේ තමන්ට සහ සහෝදරියන්ටත් අම්මාටත් පමණක් අයත් වස්තුවක් නොවන බවට නිම්නට දැඩි සිතුවිල්ලක් තිබේ.එනිසාම ඔහු තාත්තාට කිසිදු පීඩාවක් හෝ වේදනාවක් දෙන්නට අකමැති ය.වඩා සුන්දර නිර්මාණ ඔහු අතින් බිහි වන්නට නම් තාත්තාගේ මනස නිදහස්ව තැබිය යුතු බව නිම්නගේ අදහස ය.

“ඔව් තාත්‍තා,මං මේ මල්ලි එක්ක ටිකක් කතා කරා..”

නිම්න පිටත් වන්නට සැරසුණේ එසේ කියමිනි

“අක්කට එන්න කියන්න පුතා.අක්කා ගාව ලියපු සින්දු කීපයක් තියනවලු.අක්කා කැමති නම් ඒවා මේ ළමයට දෙන්නත් පුලුවන්..”

අක්කා ඒ හැම අකුරක්ම ලියන්නේ ඔහු වෙනුවෙන් බව පවසන්නට නොහැකිකමින් පිට වූ නිම්න කමලා අත නිලැසිට පණිවිඩයක් තැබී ය.සූදානම් වී තරප්පු පෙළ බැස යන ඈ දෙස දිගැසිත් නිම්නත් බලා සිටියේ කෝපය මුසු ශෝකයකිනි.

“තාත්තවත් අන්දගෙන කරන මේ වැඩේ කොතනින් නවතීද අයියා..”

දිගැසි ඇසුවේ හැඟුම් පිරී ගිය කටහඬිනි.අක්කාගේ මේ හැසිරීම තමන්ට රශ්මිගේ මුහුණ බලන්නට බැරි තැනට වැඩ සලසන බව සිතමින් නිම්න කල්පනාවේ ගැලී ගියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles