දෑවැද්ද

0
3062

” අම්මා කොහෙ යන්නද ලෑස්ති වෙන්නේ ? “

සුජානි කාමරේට ආවේ ටික වෙලාවක ඉඳලා රම්‍යා පේන්න හිටියේ නැති නිසා.රම්‍යා කොහේද යන්න ලෑස්ති වෙන හැටි සුජානි දැක්කෙ ඒ වෙලාවෙ

” මම මේ මොරටුවට යන්න කියලා පුතේ. පොඩි වැඩ වගේකට “

” මාත් එන්නද අම්මත් එක්ක ? “

” නිවාඩු දවසේ මේ අව් කාස්ටකේ ඔයා එළියට බහින්න ඕනෙ නැහැ. මම ගිහින් එන්නම් “

එහෙම කියපු රම්‍යා ගෙදරින් පිටත් වුණේ තවත් ටික වෙලාවකට පස්සෙ.පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන සුජානි ඇගේ විවාහ මංගල්‍ය උත්සවය වෙනුවෙන් සූදානම් වෙමිනුයි හිටියේ.අවුරුදු දෙකකට ඉහතදී පියා මිය ගියාට පස්සේ සුජානි ඇගේ අම්මාව රැක බලා ගත්තේ අම්මාත් ඇය වෙනුවෙන් කල හැකි හැම යුතුකමක්ම ඉටු කරන නිසා.

” අපි අද ජුවලරි බලන්න යමුද චතුරංග ? අම්මාත් කොහෙද ගියා.මට කම්මැලියි අනේ ගෙදර ඉන්න “

සුජානි විවාහයට ලෑස්ති උනේ නොඉවසිල්ලෙන්.චතුරංගත් ඒ හැම වැඩකටම ඇයට සහයෝගය දුන්නා.

” මම තව පැයකින් විතර එන්නම් “

විවාහ උත්සවය සඳහා ආභරණ මිලදී ගන්න ගියේ සුජානි සහ චතුරංග පැය කිහිපයකින් ආපහු එනකොටත් රම්‍යා ගෙදර ඇවිත් හිටියෙ නැහැ. සුජානි ඒ බව දැනගත්තේ ගෙදර යතුර වෙනදා තියෙන තැනම තියන නිසා.

” අම්මා.ඔයා කොහෙද ඉන්නේ ? “

සුජානි ඇහුවේ බයෙන්

” මම එන ගමන් ළමයෝ “

එහෙම කියපු රම්‍යා ගෙදර ආවෙ තවත් සෑහෙන වෙලාවකට පස්සෙ

” මොකක්ද අනේ ඔයා මටත් නොකියා ගිය ගමන ? “

” ලී බඩු වගයක් හදවන්න දෙන්න ගියේ. හිතුවට වඩා වෙලා ගියා ඉතින් “

” ලී බඩු ? මොන ලී බඩු ද ? මේ ගෙදර ඕන තරම් බඩු තියෙන්නේ අම්මේ “

” ඒවා අරගෙන යන්න බෑනේ ඔයා බැදලා අලුත් ගෙදරකට යනකොට. ඉතින් මම අලුතෙන් හදවන්න දුන්නා “

” අම්මා ඇයි මගෙන් අහන්නේ නැතුව ඒ වගේ දෙයක් කළේ? “

” ගෑණු ළමයින්ව නිකං දීග දෙන සිරිතක් තියෙනවද ? ඔයාව දෑවැද්දක් එක්ක ලස්සනට කිසිම අඩුවක් නැතුව පිටත් කරන්නයි මට ඕනේ “

” ඒ උනාට දෑවැද්දක් ඕනෙමද ? අම්මා දැනටමත් මං වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි සෑහෙන වියදම් කළා නේ. ඒ නිසා දෑවැද්දක් ඕනෙ නැහැ .ගෙදරට ඕන කරන බඩු මමයි චතුරංගයි හෙමීට අරගන්නම් “

සුජානි එහෙම කිව්වත් රම්‍යා නිහඬ වුණා.

රම්‍යා දෑවැද්දක් ලෑස්ති කරන එකට සුජානි ටිකක්වත් කැමති වුනේ නැති නිසා ඇය ඒ ගැන ඊළඟට කිව්වේ චතුරංගට

” අම්මත් ඉතින් ආස ඇතිනේ ඔයා වෙනුවෙන් මොන හරි කරන්න. ඒ නිසා ඔන්න ඔහේ කැමති දෙයක් කරන්න දෙමු සුජානි “

” මට මතක ඇති කාලෙක ඉඳලම අම්මා කළේ මං වෙනුවෙන් සල්ලි ඉතුරු කරපු එක.අද අපිට මෙහෙම වෙඩින් එකේ වැඩ ඕන ඕන විදියට කරගන්න පුළුවන් වෙලා තියෙන්නෙත් ඒ නිසා. ඉතිං එහෙම කරපු අම්මගෙන් තව දෑවැද්දකුත් ගන්න ඕනෙද අපි ? “

සුජානි කොහොම මොනවා කිව්වත් අම්මගේ කැමැත්තට ඉඩ දෙන එක හොඳයි කියලයි චතුරංගගේ මතය වුණේ.

” ගෑනු ලමයෙක්ව දීග දෙන කොට දෑවැද්දක් දෙන එක තමයි යුතුකම. ඔය දෙන්නගෙ හදහන් බලන්න ගිය වෙලාවේ මම ඔයාගේ අම්මත් එක්කත් ඒ ගැන කතා කළා සුජානි “

චතුරංග ගේ ගෙදර ගිය වෙලාවක චතුරංග ගේ අම්මා කතා කළේ ආඩම්බර ලීලාවෙන්. තමන්ගේ අම්මා හදිසියේම දෑවැද්දක් සූදානම් කිරීම පිටුපස ඇති ඇත්තම හේතුව සුජානිට තේරුනේ ඒ වෙලාවේ

” එතකොට අම්මා ද අපේ අම්මට කිව්වේ දෑවැද්දක් ගැන ?”

සුජානි ඇහුවෙ පුදුමයෙන්

” මම මතක් කළේ ඉතින් සිරිත් විරිත් ළමයෝ “

සුජානිට තමන්ගේ අනාගත නැන්දම්මා ගැන දැනුණේ අප්‍රසාදයක්.

” අම්මා ඇයි මට කිව්වේ නැත්තේ චතුරංග ගේ අම්මා දෑවැද්දක් ඉල්ලුවා කියලා “

සුජානි ආපහු ගෙදර ගිය ගමන්ම කලේ රම්‍යා ගෙන් ඒ ගැන අහපු එක

” ඒව ඉතින් අපෙන් වෙන්න ඕන යුතුකම් නෙ පුතේ.චතුරංගගේ අම්මා වැරදි නැහැ “

” අම්මා හදිසියේම ලක්ෂ ගානක් වියදම් කරගෙන ලී බඩු හදවන්න ගියේ චතුරංගගේ අම්මා දෑවැද්දක් ඉල්ලපු නිසා නේ. එයාලාත් පුදුම මිනිස්සු තමයි “

” ඕකට ඔය හැටි කේන්ති ගන්න දෙයක් නෑ. තාත්තා ඔයා වෙනුවෙන් ඉතුරු කරපු සල්ලි වගේකුත් මං ගාව තිබුණා “

” සල්ලි තිබුණ පළියට ඒ ඔක්කොම වියදම් කරගෙන wedding එකක් ගන්න අපිට පිස්සු නැහැ නේ අම්මේ. ඉතුරු කරපු සල්ලි වෙඩින් එකට වියදම් කලාට පස්සේ ඉස්සරහට ජීවත් වෙන්නේ කොහොමද ? “

විවාහය වෙනුවෙන් අම්මා දෑවැද්දක් සූදානම් කිරීමට සුජානි තදින්ම විරුද්ධ වුණා. ඇය චතුරංග එක්ක පවා හිටියේ කෝපයෙන්

” ඔයාවත් අම්මට කිව්වේ නැත්තේ ඇයි චතුරංග මේ වැඩේ වැරදියි කියලා ?”

” මොකක්ද කියන්නකො මේකේ තියෙන වැරැද්ද ?”

” මොකක්ද අහන්නේ ? කසාද බඳිනකොට ගෑනු ළමයින්ගෙන් දෑවැදි ඉල්ලුවේ ඉස්සර නේ .ඔයත් ඒ හණමිටි අදහස් ඔළුවේ තියාගෙන ද ඉන්නේ චතුරංග ? “

” අනේ මම ඕවා දන්නෙ නැහැ. ඔයා ඔය ගැන අපේ අම්මගෙන් අහන්න “

” ඔයාගේ අම්මානේ අපේ හදහන් බලන්න ගිය වෙලාවේ ඔය දෑවැද්දක් මතක් කරලා තියෙන්නේ. ඉතිං ඇයි ඔයාට බැරි මේ ගැන කතා කරන්න?”

” මම මොනවා කතා කරන්නද ? මට අම්මගෙ කීමට පිටින් යන්න බැහැනේ සුජානි .අනිත් එක නෑදෑයොත් අහනවනේ අලුත් මනමාලි දෑවැද්දට මොනවද ගෙනාවේ කියලා “

” අපි වැඩ කරන්න ඕනේ නෑදෑයන්ට ඕන විදිහට ද ?නැත්තං අපිට ඕනේ විදිහට ද ?”

සුජානිගේ කෝපය උත්සන්න වෙලයි තිබුණේ.ඒත් දෑවැද්ද ගැන තමන්ගේ අම්මාගේ හිතේ තියෙන අදහස වෙනස් කරන්න චතුරංගට ඕන වුණේ නැහැ.

” සුජානිලාට ඉතින් සල්ලි නැතුව නෙමෙයි නේ. එයාගේ තාත්තා හොඳ රස්සාවක් කරපු මනුස්සයෙක් නේ.ඔයා ඕවා ගැන හිතන්න එපා පුතා “

” ඒ උනාට අම්මේ සුජානි මං ගැන මොනවා හිතනවද දන්නේ නැහැ. දැනටමත් එයා ඉන්නේ එච්චර පැහැදීමකින් නෙවෙයි. අම්මා ම එදා කිව්වනේ එයාගෙ අම්මට දෑවැද්ද ගැන මතක් කළේ අම්මා කියලා “

” ඒ පාර ඔයා හදන්නේ සුජානි ගහන පදේට නටන්න ද ? “

” එහෙම එකක් නෙමෙයි අම්මේ. මෙච්චර කල් හොඳට ඉඳලා මේ දෑවැද්දක් නිසා හිත් නොහොඳ කරගෙන ඉස්සරහට ජීවත් වෙන්නෙ කොහොමද ?”

” එතකොට පුතා ඔයා කියන්නේ සුජානි අත වන වන මේ ගෙදර ලේලි වෙලා එනකන් මට බලන් ඉන්න කියලද ? “

චතුරංග ගේ අම්මා ඔහු දිහා එක එල්ලේම බලාගෙන ඒ විදියට අහනකොට නිහඬව ඉන්න චතුරංගට සිද්ධ වුණා

” මේක මට මහා වදයක් සුජානි. හැමෝම වෙඩින් එකට ලෑස්ති වෙන එක පැත්තක දාලා දෑවැද්දක් ගැන කියවනවා “

සති අන්තයේ දවසක සුජානිව මුණගැහුනු ගමන්ම චතුරංග නෝක්කාඩු කියන්න පටන් ගත්තා

” අපි හැමදේම ලස්සනට ප්ලෑන් කරගෙන ලෑස්ති කර ගත්තා නේ චතුරංග. ඔයාගේ අම්මා නෙමෙයිද මේ දෑවැද්ද ගැන කතාවක් ඇදල අරගෙන හැමදේම අවුල් කලේ ? “

” අපේ අම්මා මොකද්ද අවුල් කළා කියන්නේ ? එයා කියන්නේ මනමාලිගෙ පැත්තෙන් දෑවැද්දක් දෙන එන එක සාමාන්‍ය සිරිතක් කියලා “

” දෑවැද්දක් දෙන එකේ කිසිම අවුලක් නැහැ .ඒ උනාට දෑවැද්දක් ඉල්ලන එකේ මට ලොකු අවුලක් පේනවා . ඔයාලගේ අම්මා බලාපොරොත්තු වෙන්නේ දෑවැද්දක් මිස හොඳ ලේලි කෙනෙක් නෙමෙයි මට හිතෙන විදියට”

” ඔයාට ඕන එකක් හිතාගන්න සුජානි. ඔයාලට තේරුම් කරල මට ඇතිවෙලා “

” මටත් දැන් ඇති වෙලා. ඔයා තීරණය කරන්න ඔයා ගෙනියන්නෙ මාව ද දෑවැද්දක් ද කියන එක “

” ඔයා මොකක්ද ඒ පාර කියන්න හදන්නේ ? “

” කසාදේ කියන්නේ දෙන්නෙක් අතරේ ගොඩනඟා ගන්න ඕනේ බැඳීමක් මිසක් පවුල් දෙකක් අතරෙ වෙන ගනුදෙනුවක් නෙමෙයි චතුරංග. ඔයා ඒක තේරුම් ගන්නවා නම් විතරක් අපි දෙන්නගෙ කසාද සිද්ධ වෙයි. එහෙම නැත්නම් අපි දෙන්නා කතා කරලා තීරණයක් ගමු “

එහෙම කියපු සුජානි චතුරංගට තවත් කිසිවක් කියන්න ඉඩ නොතියා ම චතුරංගගේ වාහනයෙන් බැහැලා ත්‍රිරෝද රථයක් නතර කර ගත්තා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here