මතක දිගහැරුම 103 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය තුන්වන දිගහැරුම ,

කොළඹ ප්‍රදේශය පුරාම හෂාන් නොගිය තැනක් නැති තරම් විය.විශාල වශයෙන් ඡන්ද රැස්වීම් පැවැත්වුණු අතර ඇතැම් ඒවාට හෂාන් සහ මම බෙදී ගොස් සහභාගි වුණෙමු.අප සංවිධානය කළ සමහර රැස්වීම් වලට වෙනත් ඡන්ද අපේක්ෂකයන් පැමිණ කථා පවත්වා ඔවුන්ට මනාප ලබා දෙන්නයි පැවසූ අවස්ථා ද තිබුණි.තවද පක්ෂයේ නායකතුමා සෑම කෙනෙකුටම මෙන්ම හෂාන් වෙතද ධෛර්යය දෙමින් ඔහුගේ රැස්වීම් වලට සහභාගී වෙමින් ඔහු වෙත නොමද සහයෝගයක් ලබා දුන්නේය .

අපගේ නිවස වෙත බොහෝ වේලාවට විවිධ මිනිසුන් පැමිණියහ.විටෙක අපගේ දරුවන් හට නිවස තුල නිදහසක් නොමැති වන තරමටම නන්නාදුනන පුද්ගලයන් ගේ පැමිණීම වර්ධනය විය.දේශපාලනය යනු අප හට එතරම් හුරු පුරුදු දෙයක් නොවන නිසා අප අත්දැකීම් ලබා ගනිමින් එම කටයුතුවල නිරත වූයෙමු.පක්ෂ කාර්යාලයක් වෙනමම පිහිටවීම නොකල අප සියලු කටයුතු සිදු කළේ අපගේ නිවසේ ම ය.ඒ අතරතුර නිවසේ තිබූ දේවල් මිනිසුන් අතපත ගා ගෙන ගිය අවස්ථා ද තිබුණි.කෙසේ වුවත් නිවෙස වෙත පැමිණෙන මිනිසුන්ට සංග්‍රහ කිරීමට අප වෙනමම කෝකියන් ගෙන්වා කෑම බීම සූදානම් කළෙමු.

සෑම ආගමකටම ගරු කළ මගේ අම්මා සහ තාත්තා සෑම සිකුරාදා දිනයකම කොච්චිකඩේ පල්ලිය වෙත හෝ වැල්ලවත්තේ කෝවිල වෙත යාම පුරුද්දක් කරගෙන සිටියහ.ඒ සෑම ගමනක්ම ඔවුන් ගියේ බස් රථ වල වන අතර කිසිදු දිනයක දරුවන් වන අප හට යාන වාහන තිබුණද ඔවුන් ඒ පහසුකම් අපගෙන් බලාපොරොත්තු වූයේ නැත.දිනක් ඔවුන් කෝවිල වෙත යෑමේ බලාපොරොත්තුවෙන් වැල්ලවත්ත ප්‍රදේශයෙන් බසයෙන් බැස පදික මාරුව ඔස්සේ පාර මාරු වීමට සූදානම් වන විට නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කළ රියදුරෙකු විසින් ඔවුන්ව අනතුරට ලක් කර තිබුනි.අම්මා සහ තාත්තා බිම වැටී තිබුණු අතර අම්මාගේ ශරීරය සහ මුහුණ තැලී ඇයට අධික ලෙස හානි සිදුවී තිබුණි.තාත්තගේ ද කකුල් තැලී රෝහල් ගත වීමට සිදුවිය.කාහටත් කරදරයක් වීමට අකමැති මගේ දෙමව්පියන් ඔවුන්ව අනතුරට ලක් කල රියදුරාගේ විස්තර වත් ලබාගෙන තිබුණේ නැත.එම අවිනීත රියදුරා විසින් අම්මාව සහ තාත්තාව රෝහලට ඇරලවා පිටත් වී ගොස් තිබුණි.

කෙසේ හෝ එම අනතුර මගේ අම්මාගේ ජීවිතයට තදින්ම බලපෑවේය .අනතුරට ලක් වූ අවස්ථාවේදී ඉතා කුඩා වීදුරු කැබැල්ලක් අම්මාගේ කකුලේ ඇනී තිබුණි.එයින් අම්මාගේ කකුලේ තුවාලයක් හට ගත් අතර ඇය එයට අවශ්‍ය ප්‍රතිකාර ද ලබා ගත්තාය.නමුත් දියවැඩියා රෝගයෙන් පෙළුණු මගේ අම්මාගේ එම තුවාලය සුව වීමට කල්ගත වූ අතර ඉතා කුඩා තුවාලයක් වූ එමගින් අම්මාගේ ශරීරයට විසබීජයක් ඇතුළුවී තිබුණි.එම විෂබීජය අම්මාගේ ශරීරයේ රුධිරය සමග එකතු වීමෙන් ඇය අධික ලෙස අසනීප වන්නට පටන් ගෙන ඇය කෝමා තත්වයට පත්වූවාය.වෛද්‍ය ලලිත් ඒකනායක මහතා යටතේ ඇය ප්‍රතිකාර ලබන අතර සති දෙකක පමණ කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට ඇයට සිදුවිය.ඒ දිනවල මා වැඩි වශයෙන්ම කාලය ගත කළේ රෝහලේය.අම්මාගේ ජීවිතය බේරා ගැනීම සඳහා ඇගේ පාදය ඉවත් කළ යුතු බව ඉන් පසුව වෛද්‍යවරුන්ගේ මතය විය.පසුව වෛද්‍ය ලලිත් ඒකනායක මහතා පැවසුවේ පාද ඉවත් නොකර අම්මාගේ ජීවිතය බේරා ගැනීමට කෙසේ හෝ උත්සාහ කරන බවයි.ඇත්ත වශයෙන්ම ඔහු ඇතුළු වෛද්‍යවරුන් කණ්ඩායම විසින් අම්මා වෙනුවෙන් කළ හැකි සෑම දෙයක් ම කළහ.එම දිනවල අම්මාගේ ජීවිතය රැදී තිබුණේ යන්ත්‍ර මතය .ඇයට අවශ්‍ය කළ රුධිරය ලබාදීම සඳහා අප දන්නා හඳුනන බොහෝ හිතවතුන් ද රෝහලට පැමිණියහ.

දිනක් දහවල් වරුවේ මා දැඩි සත්කාර ඒකකය අසල වාඩි වී සිටින විට අම්මගේ රෝගී තත්වය වෙනුවෙන් කටයුතු කළ ඉන්දියානු වෛද්‍යවරයෙක් ඉක්මන් ගමනින් මා වෙත පැමිණියේය.

” අප්සාරි අම්මාගේ තත්ත්වය ඉතාම දරුණුයි.ඒක ඉක්මනටම නරක අතට හැරුණා.ඔක්කොම counts පල්ලෙහාට බහිනවා.අපිට කරන්න පුළුවන් හැමදේම අපි කරල තියෙන්නෙ දැන් කරන්න තියෙන එකම දේ ඔයාලගේ ආගම අනුව මොනවා හරි කරන එකයි “
යනුවෙන් ඔහු ඉංග්‍රීසි බසින් පැවසීය.ඔහු එසේ පැවසූ විට මට හැඬුම් නවතා ගත නොහැකි විය.මා ඉක්මනින්ම හෂාන් ඇමතූවෙමි.ඒ වන විටත් ඔහු රෝහලට පැමිණෙමින් සිටියේය.මා ඔහු ඇමතුවේ පිලියන්දළ විහාරස්ථානයෙහි නායක ස්වාමීන් වහන්සේව හැකි ඉක්මනින් වඩම්මවා ගෙන එන ලෙස දැන්වීමටය.නමුත් ඒ වනවිටත් ඔහු පැමිණෙමින් සිටි නිසා මා හට ඊළඟට සිහිපත් වූයේ අපගේ කල්‍යාණ මිත්‍රයෙක් බඳු වූ ධම්මාලෝක ස්වාමීන් වහන්සේ ය.බොහෝ විට උන්වහන්සේ අපගේ දුක් කරදර වල දී අපට පිහිට වූ බුද්ධ පුත්‍රයෙක් විය.නිතර දුරකතන භාවිතා නොකරන නිසා උන්වහන්සේලාව දුරකථනයෙන් දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීම ඉතා අපහසුය කාර්යයක් විය.නමුත් අම්මාගේ අසීරු අවස්ථාවේදී මා හට එකවරම උන්වහන්සේව සිහිපත් වූ නිසා මා දුරකථනයෙන් වහන්සේට ඇමතුමක් ගත්තෙමි.අම්මාගේ වාසනාවකට මෙන් ඒ මොහොතේ දී ම මා හට උන් වහන්සේව දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකියාව ලැබුණි.

” අනේ හාමුදුරුවනේ මගේ අම්මට ගොඩක් අමාරුයි.doctor කියන විදිහට දැන් අපේ ආගමේ හැටියට ලැබෙන පිහිටක් තමයි තියෙන්නේ.ඒ නිසා ඉක්මනටම අම්මා වෙනුවෙන් මොකක්හරි කරන්න ඕනේ “

මා හඬමින් ස්වාමින්වහන්සේ සමඟ එසේ පැවසුවෙමි.

” අප්සාරි නෝනා මට විනාඩි පහලවක් දෙන්න.මම විනාඩි පහළොවෙන් එනවා.බයවෙන්න එපා “

ස්වාමීන් වහන්සේ එසේ පැවසූ විට මා හට විශාල සැනසීමක් දැනුණි.ඒ සමඟම මා නැවතත් හෂාන් අමතා අටපිරිකරක් රැගෙන එන ලෙස දැනුම් දුන්නෙමි.ඒ අනුව හෂාන් රෝහලට පැමිණෙන විට අට පිරිකරක් රැගෙන ආවේය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles