දෙමව්පියන් විසින් දරුවන් ගේ ජීවිත මත්තේ ගනු ලබන තීරණ අසාධාරණයි කියා මට කිසි දා සිතී නොමැති ය. දෙමව්පියන් තරම් සිය දරුවන්ට වෙන කිසිවෙකු ආදරය නො කරන බව මම දැන සිටියෙමි. නමුත් සිය දරුවන් විවාහය සඳහා ඔවුන් කැමති කෙනෙකු තෝරා ගත්දී, නිතර ම වාගේ දෙමාපියන් ඊට විරුද්ධ වී වෙනත් කෙනෙකු ඔවුන් අභියසට පමුණුවන්නේ ඇයි ද කියන පැනය දැන් මා ඉදිරියේ තිබේ. ඇතැම් විට ඒ මවිසින් තෝරා ගනු ලැබුවේ ද සමාජ සම්මත ආකාරයට බොහෝ දෙමාපියන් සිය දරුවා වෙනුවෙන් තෝරා නො ගන්නා ආකාරයේ, විවාහකයෙකු වන නිසා වන්නට පුළුවන.
“දැන් ඇයි නැන්දල එයාට අකමැති වෙන්නෙ..ම්..එයා කලින් බැඳපු කෙනෙක්ද…”
ශෙහාරා යන්තම් හිස දෙපසට සැළුවා ය. මගේ හිතේ කොනක රවීන් ගැන තිබූ ගැස්ම දුරු වී හිතට සහනයක් උදා විය.
“එහෙනං…”
“ගෙදරට මේක ආරංචි වෙලයි තියෙන්නෙ සනූ. ඒකයි මේ කලබලේ මට මගුල් හොයන්නෙ…”
“අපිටනං ආරංචි වුන්නෑ ඔයා කොල්ලෙක් යාළු කරං කියල”
“අම්මලට ඕන වුණේ ඒ ආරංචිය ගෙයින් පිටට යන්න දෙන්නෙ නැතුව මාව ඉක්මනට බන්දල අරින්න”
“කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරනව කියන්නෙ එච්චර ලැජ්ජ වෙන්න දෙයක්ද…එච්චර බරපතල දෙයක්ද…”
මට ඒ ශෙහාරා ගෙන් නොව මගෙන් ම අසන්නට ඕන වී තිබූ දෙයකි. රවීන් කලින් විවාහයෙන් වෙන් වූවාට පස්සේ, අප අතරේ විවාහයක් සිදු වීමට වන බාධාව කුමක්දැයි සිතන්නට ටික කලක සිට මම උත්සාහ කරමින් සිටියෙමි. තාත්තා අප හැදුවේ සමනල පැටවුන් වාගේ බව මම දන්නෙමි. නමුත් දිනෙක ඒ සමනල පැටවෙකු ගේ විවාහ ජීවිතය අසාර්ථක වූවෝතින් ඇය නැවත විවාහයක් කර නො ගත යුතු ද? අවිවාහක පුරුෂයෙකු ඒසඳහා ඉදිරිපත් වුව හොත් තාත්තා ඊට විරුද්ධ වන්නේ ද? ඔයාදී විවිධාකාර තර්ක විතර්ක මසිත් හි පෙරළි කරමින් තිබේ. ශෙහාරා ව බලයෙන් විවාහයකට යොමු කරන්නට තැත් කිරීම, මට ද දිනෙක මුහුණ දෙන්නට වන ඛේදවාචකයක් වී මා ඉදිරියට පැමිණියේ ය.
“අපි කතා කරමු මාමා එක්ක මේ ගැන. නැන්දට වඩා මං හිතන්නෙ මාමා තේරුං ගනී මේක”
ශෙහාරා සිනහවක් නගා ගැනීමේ උත්සාහයක් ගත්තා ය. නමුත් එය සම කළ හැක්කේ ඉකි බිඳුමකට ය කියා මට සිතිණි.
“වැඩක් නෑ සනූ. එයා කවුද කියල දැන ගත්තහම ඔයත් කියයි ඕක නවත්තන්න ශෙහා කියල. මිනිස්සු අනිත් අයව තේරුං ගන්නෙත් නෑ. ඒ මදිවට තේරුං ගන්න බැරි දේවලින් ඈත් වෙලා තමන්ගෙ ජීවිත ගැන තීරණ ගන්න අයිතිය දෙන්නෙත් නෑ. මට කරන්න දෙයක් සනූ. සමහර විට මේ හැම දේටම පයින් ගහල මට එයා එක්ක යන්න වෙයි”
හදවත ගැස්සී නතර විය. දුක් විඳ දරුවන් හදනා දෙමාපියන්ට පිටුපා, හිත බැඳ ගත් තැනැත්තෙකු සමගින් රහසින් යුග දිවියක් කරා නික්මෙනවා කියන්නේ මොන තරම් දරුණු දුක් පොදියක් ද? මවක පියෙකු සිය දරුවා සම්බන්ධයෙන් එහෙව් දුකක් දරා ගන්නේ කෙසේ ද? එක අතකට දැනුම් තේරුම් ඇති දරුවන් පවා එහෙව් තැනකට තල්ලු කොට දමන්නට හේතු වන්නේ මේ සමාජයෙහි පවත්නා දුර්මත ම ය.
“හරි. මට කියනවකො ඒ කවුද කියල.ඇයි නැන්දල ඔය තරමට එයාට අකමැති වෙන්නෙ කියල..”
“සනූ…එයා…”
“ඔව්…”
“එයා…පැවිදි වෙලා ඉන්නෙ”
“මොකක්…”
“ඒත් එයා ලෑස්තියි ඒ හැම දේකින් ම මිදිල මාව බාර ගන්න. එයා එහෙම කරන්නයි හිටියෙ ඩිග්‍රි එක ගත්තට පස්සෙ. අම්මලට හැම දේම ආරංචි වුණේ ඊට කලින්”
තව දුරටත් ශෙහාරා ට මොනවා කියන්න දැයි මට සිතා ගත හැකි වූයේ නැත. මගේ උගුර කට පවා වියළී ගිහින් තිබුණේ ය. අප පොඩි කාලේ ගත කළ ජීවිතයට වඩා මේ ජීවිතය අතිශය සංකීර්ණ ය. ඒ කාලේ තිබුණ සැහැල්ලුව දැන් වන විට කොහේ පැන ගිහින් දැයි සිතා ගත නො හැකි තරම ය. මෙතෙක් පණ්ඩිත සිතිවිලි සිතූ මගේ හිත පවා ගොළු වී තියේ. මා මගේ සොයුරියට මොනවා කියන්නද? ඇගේ තෝරා ගැනීම වැරදි බව කියන්න ද නැත්නම් නිවැරදි බව කියන්න ද?
“අපි පස්සෙ ඔය ගැන කතා කරමු”
ඇගේ අතක් අල්ලා එසේ කියමින් මම නැවත පාරට පැමිණියෙමි. ළමයි සේ ම ඇතැම් වැඩිහිටියෙක් ද එතැනට විත් විනෝද චාරිකාව ගැන කතා කරමින් සිටියහ. පූර්ව සාකච්ඡා වට බෙහෙවින් උණුසුම් වන බව මම අත්දැකීමෙන් ම දනිමි.
පැවිදි උතුමන් කෙරේ ගිහි ජීවිත ගෙවන අප තුළ වන්නේ භක්ති පූර්වක ගෞරවයකි. ඔවුහු ගිහි ජීවිත වලින් ඈත් වී විමුක්ති මාර්ගයක් සොයා ගැනීමේ දහම උගනිති. ඒ මාර්ගයේ ගමන් කරමින් සිටිති. අප විසින් සිව් පසයෙන් උපස්ථාන කරමින් ඔවුන් වෙත පූර්ණ අනුග්‍රහය දක්වනු ලබන්නේ ඔවුන් ට ඒ මග පහසු කර දෙනු වස් ය.
එය සැබෑ ය. නමුත් ඔවුන්ටත් ඔවුන්ගේ ම වූ ජීවිතයක් තිබෙනවා නොවේ ද? ඔනෑම කෙනෙකු ට තමන් ගේ ජීවිතය තුළ තෝරා ගැනීම් කිරීමට අවස්ථාව තිබේ. ඒ අපේ පළමු තෝරා ගැනීම සීයට සීයක් සාර්ථක නො විය හැකි නිසා ය. විමුක්ති මාර්ගයේ ගමන් කිරීමත් කෙනෙකු ගේ රඅචිකත්වය මත ඒ අවස්ථාවේ දී කළ තෝරා ගැනීමක් කියා සිතිය නො හැකි ද? තව දුරටත් ඒ මාර්ගයේ ගමන් කරන්නට ඔහු ට නොහැකි නම්, ඉන් ඉවත් වී ඔහු කැමති වෙනත් මාර්ගයක් තෝරා ගැනීම වූ කලී ගිහි සමාජය තුළ නින්දා අපහාසයට ලක් විය යුතු, සමච්චල් ලැබිය යුතු කාරණයක් ද?
මම හිතත් එක්ක තර්ක කරමින් ද ශෙහාරා ගේ ප්‍රේමය දිනවන්නට හේතු සාධක සොයමින් ද සිටියෙමි.
විනෝද ගමන ගැන සාකච්ඡා වට යන අතරේ, එතැන හිටියා ට මගේ සිත තිබුණේ කල්පනාවේ ය.
“ඇයි…අවුලෙන් වගේ…”
වතාවක් රවීන් මවෙත සමීප ව ඇසුවේ ය. මම මඳහසක් නගා ගතිමි.
“පොඩි ප්‍රශ්නයක් තමා. ශෙහාරාගෙ. පස්සෙ කියන්නං”
යනුවෙන් පමණක් කියා මම නිහඬ වීමි.
ඉතිහාසයේ, පැවිදි උතුමෙකු සමග අවිවාහක යුවතියක පෙමින් බැඳුණ ප්‍රථම වතාව මේ නොවිය යුතු ය. බුදුන් වහන්සේ කිසි දා ක ගිහි ජීවිතය ප්‍රතික්ශේප කළ කෙනෙකු නොවේ. ගිහි ජීවිතය තුළ හිඳිමින් ම මාර්ග ඵල ලද හැකි වීම බුදුන් ගේ දහමේ විශේෂත්වයක් ද වෙයි. දහමේ හැසිරිය නො හැකි නම් යළි ගිහි ජීවිතය තෝරා ගත නො හැකි ය යනුවෙන් පැනවූ නීතියක් ද විනය නීති තුළ නොමැත. එසේ නම් ශෙහාරා ට සිය පෞද්ගලික ජීවිතය ඈ රිසි පරිදි තෝරා ගන්නට වන බාධාව කුමක් ද?
“ශෙහාරා අර ප්‍රපෝසල් එකට නැමති නෑලු නේද..”
හැන්දෑවේ අපේ ගෙදර තේ බොන ගමන් ලොකු අයියා පොදුවේ අප කාගෙනුත් විමසුවේ ය.
“මොකක් හරි ප්‍රශ්නයක් තියෙනව වගේ තමයි”
අපේ අම්මා වගකට නැතිව කීවා ය.
“ප්‍රශ්නෙ හංගගෙන කාටවත් ඉවක් වැටෙන්න නොදී තියා ගන්නයි බාප්පලට ඕන වුණේ. බාප්පටත් වැඩිය නිමාලි පුංචි තමයි ඕකට දැඟලුවේ. දැන් ඔන්න කොච්චර හැංගුවත් ප්‍රශ්නෙ ලීක් වෙලා තියෙන්නෙ. ඉශාරා යාළු වෙලා ඉන්නෙ හාමුදුරු කෙනෙක් එක්කලු. කැම්පස් පොරක්”
අපේ අම්මා පපුව පත්ලෙන් හඬක් පිට කරමින් මහණ මැෂිම නතර කළා ය.