මතක දිගහැරුම 106 – අප්සාරි සිංහබාහු තිලකරත්න

එකසිය හයවන දිගහැරුම ,

මැතිවරණයෙන් ජය ලැබූ හෂාන් ඔහුට ලැබුණු අවුරුදු පහක කාලය තුළ ජනතාව වෙනුවෙන් දිගින් දිගටම සේවය කළේය.ඒ අතරතුර අප වරින් වර අපගේ කතරගම නවාතැන වෙත ද ගියෙමු.මගේ දෙමව්පියන් ඒ වන විට ජීවත් වූයේ පාදුක්ක ප්‍රදේශයේය.එම නිසා හෂාන් නිතර නිතර ම අපගේ පිලියන්දල නිවසට ඔවුන් දෙදෙනාව ගෙන්වා ගත්තේය.ඔවුන් සමග කාලය ගත කිරීමට කැමති වූ හෂාන් අම්මා පිසින ප්‍රණීත ආහාර වල රස බැලීමටද බොහෝසේ ප්‍රිය කළේය.අපගේ දරුවන් සමග කාලය ගත කිරීමට කැමති වූ දෙමාපියන් ද නිතර නිතර ම පාහේ පිලියන්දල අපගේ නිවසට පැමිණීම පුරුද්දක් කරගෙන සිටියහ.

වියළි කලාපයක පිහිටි අපගේ කතරගම නවාතැනට ඇතැම් කාලවලදී ජලය ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් වූ නිසා නල ලිඳක් සකස් කිරීමට අප සැලසුම් කළෙමු.ඒ අනුව අපගේ දරුවන්ට ද නිවාඩු තිබූ දිනයක අප සියලු දෙනාම කතරගම බලා පිටත් වූයෙමු.අප සමග අදාල කාර්යයට අවශ්‍ය කිහිප දෙනකුද ගමනට එකතු වන නිසා මගේ අම්මා සහ තාත්තා අපගේ නිවසේ නතර විය.ඔවුන් දෙදෙනාට අමතරව නිවසේ පසුවූයේ අපගේ කාර්යයන් වලට අත් උදව් දෙන තවත් සේවකයන් දෙදෙනකු පමණි.එකල දුරකථන සංඥා පද්ධති එතරම්ම හොඳ තත්වයේ පැවතුනේ නැතත් මා කතරගම නවාතැනට ගිය පසු වරක් නිවසට කතා කර අම්මා සහ තාත්තා පිළිබඳව තොරතුරු විමසා බැලුවෙමි.කෙසේ හෝ පසු දින අප නැවත කොළඹ බලා එන ගමනේදී උඩවලව ප්‍රදේශය පසු කරන විට මා හට හෂාන්ගේ අම්මාගෙන් දුරකථන ඇමතුමක් ලැබුණි.ඇය පැවසුවේ මගේ අම්මා අසනීප වීම නිසා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවයි .

” කලුබෝවිල හොස්පිට්ල් එකට ගෙනියන්න කියලා අම්මා කිව්වා.එයාට පොඩි පපුවේ කැක්කුමක් ආවා. දැන් emergency එකේ ඉන්නේ “

පණිවිඩය ලැබුණු වහාම අප අපගේ කොළඹ බලා එන ගමන ඉක්මන් කළෙමු.අම්මා අසනීප වූ අවස්ථාවන් වලදී සාමාන්‍යයෙන් ඇය ප්‍රතිකාර ලබාගන්නේ පෞද්ගලික රෝහලකින් වන නිසා ඇය මෙදින ඇයව කළුබෝවිල රෝහල වෙත රැගෙන යාමට පැවසූවේ මන්දැයි මා කල්පනා කළෙමි.නමුත් එයට හරිහැටි හේතුවක් සිතා ගැනීමට මට නොහැකි විය.මා වරින් වරින් වර හෂාන්ගේ අම්මා අමතා මගේ අම්මාගේ තත්ත්වය කෙසේ දැයි විමසා බැලුවෙමි.ඉක්මණින් පැමිණෙන ලෙස ඇය මුලදී අප හට පැවසූ නිසා අප හොරණ ප්‍රදේශය පසු කරන විට මා නැවතත් හෂාන්ගේ අම්මාට දුරකථන ඇමතුමක් ගත්තෙමි.

” දැන් නම් අඩුයි.අපිත් එක්ක කතාත් කලා.ඔයාලා හෙමීට පරිස්සමින් එන්නකෝ “

හෂාන්ගේ අම්මා එසේ පැවසීය. අප සිතා ගෙන පැමිණියේ කෙලින්ම රෝහලට යාමට වුවත් අපගේ දරුවන්ව රෝහලට රැගෙන යා නොහැකි නිසා ඔවුන්ව නිවසේ තබා රෝහලට යාමට හෂාන් සහ මම තීරණය කළෙමු.ඒ අනුව නිවසට ගිය අප , අපගේ දරුවන් තිදෙනාව නිවසේ සේවකයන්ට භාරදී කළුබෝවිල රෝහලට යාමට පිටත් වූයෙමු.ඒ වන විටත් රෑ බෝ වී තිබුණි.

අම්මාව ඇතුළත් කර තිබුණේ හදිසි ප්‍රතිකාර අංශයට ය.එහි දොරටුවෙන් පිටත පෙනෙන අතර මා එහි යන විට අම්මා දෑස් විසල් කරගෙන මා එනතුරු බලා සිටින ආකාරය මා දුටුවෙමි.ඒ වන විට ඇයට ඔක්සිජන් ලබා දෙමින් තිබුනු අතර මා දුටු විගස ඇගේ සිතේ බිය පහව යන බව මා දැන සිටියෙමි.මා රෝහලට යන අවස්ථාවේදී මගෙ නංගි සහ ඇගේ සැමියා ද රෝහලට පැමිණ තිබුණි.

” අම්මා එනකොට හොඳට ඇවිද ගෙනත් ආවෙ.හුස්ම ගන්න අමාරු කමක් එක්ක පොඩි පපුවේ කැක්කුමක් තිබුනේ.කරන්න ඕනේ මොකක්ද කියලා ලොක්කා ඇවිත් තීරණය කරයි කියලා කළුබෝවිලට එක්කගෙන එන්න කියලා කිව්වා “

අම්මා ” ලොක්කා ” ලෙස අමතන්නේ මට ය.පවුලේ වගකීම් කරට ගෙන මා කටයුතු කරන නිසා අසනීප වූ අවස්ථාවේ දී ද මා එන තුරු අම්මා බලා සිට ඇත.අම්මාව කළුබෝවිල රෝහලට රැගෙනවිත් ඇත්තේ ඇගේ ඉල්ලීමට අනුවය.නංගිගේ සැමියා ඒ වන විට හිතවත් වෛද්‍යවරයෙකුට ද කතා කොට ඇත.ඔහු පවසා තිබුණේ අම්මට බෙහෙත් වර්ග කිහිපයක් ලබාදුන් බවත් , එම නිසා සුළු වේලාවකින් අම්මා යථා තත්ත්වයට පත් වන බවත් ය.

එතරම් පහසුකම් සහ උපකරණ නොතිබූ එම හදිසි ප්‍රතිකාර අංශයේ රෝගීන් වෙනුවෙන් වෙන්කර තිබූ ඇඳන් තිර මගින් වත් වෙන්කර තිබුණේ නැත. අම්මාට යාබද ගිලන් ඇඳේ සිටි රෝගියා මිය ගොස් තිබුණේ අම්මා බලා සිටියදීමය.එම රෝගියා මිය යන දර්ශනය දුටු මගේ අම්මා බොහෝ සේ බියපත් වී තිබුණි.ඉන්පසුව අම්මා තරමක් වේලා හඬා වැටී තිබුණි .රෝහලට එනවිට ඇවිදගෙන ආ අම්මා එම සිදුවීමෙන් බිය වී කම්පනයට පත්වී තිබුණි.ඇගේ තත්වය තරමක් නරක අතට හැරී තිබුණේ ඉන් පසුවය.එම නිසා වෛද්‍යවරුන් විසින් අම්මට එන්නතත් සහ ඔක්සිජන් ලබා දී තිබුණි .නමුත් අම්මාගේ තත්ත්වය හෝ ඇයට ලබාදුන් ප්‍රතිකාර වල තත්වය කුමක්දැයි යනුවෙන් අප කිසිවකුට පැහැදිලි අදහසක් තිබුණේ නැත.ඉන් පසුව මගේ අම්මාව සාමාන්‍ය වාට්ටුවකට මාරු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය සූදානම් විය.ඒ මොහොතේ දී මම අම්මාගේ වෛද්‍යවරයා වූ ලලිත් ඒකනායක වෙත වහාම ඇමතුමක් ගෙන ඇගේ තත්ත්වය පිළිබඳව වෛද්‍යවරයා වෙත පැහැදිලි කලෙමි.

” අප්සාරි ඔයා අම්මගෙ ටිකට් කපලා ඔතනින් එක්කගෙන ලංකා හොස්පිට්ල් එකට එන්න.මෙහෙ රූම්ස් තියනවා “

ඒ වන විට අම්මාව රෝහල් වාට්ටුවට ඇතුළු කිරීම සඳහා ගෙන යාමට සූදානම් කර තිබුණි.ඇමතුම අවසන් කළ මා අම්මා සිටි කාමරයට ගියෙමි

” ලොකූ මාව හොස්පිට්ල් එකේ නතර කර ගනීද දන්නේ නැහැ . මම ඇඳුම් මොකුත් ගෙනාවෙත් නැහැ.ඔයාලා ගෙදර ගිහින් මට ඇඳුම් අරගෙන එනවද ? “

” මම ඒව ගෙනත් දෙන්නම්කෝ .අම්මා පපුව මහන්සි කරන්නේ නැතුව කතා නොකර ඉන්න “

අම්මාව රෝහල් වාට්ටුවට ගෙන යාම සඳහා රෝහල් කාර්ය කාර්යමණ්ඩලයේ සාත්තු සේවකයන් විසින් ඇයව විදුලි සෝපානය අසලට රැගෙන ගියහ.විදුලි සෝපානය අසලදී අම්මා පැළැඳ සිටි ඔක්සිජන් ආවරණය සමගම ඇයට වමනය ගියේය.අතිශය කණගාටුදායක කරුණ නම් ඒ මොහොතේ එම ස්ථානයේ සිටි සාත්තු සේවකයන් ගෙන් කිසිවෙකුත් අම්මා පැලඳ සිටි වමනය තැවරුණු ඔක්සිජන් ආවරණය ඉවත් කිරීමට වත් උත්සාහ නොකිරීමයි.මා එම ඔක්සිජන් ආවරණය අම්මගෙන් ඉවත් කර පිරිසිදු කර ගෙන විත් නැවත ඇයට එය පැළඳුවේමි.සෑම රෝගියෙකුටම කරුණාවෙන් සහ අනුකම්පාවෙන් සැලකිය යුතු වූවත් ඒ අවස්ථාවේදී රෝහලේ සේවකයන් කටයුතු කළ ආකාරය පිළිබඳව අදටත් මා තුළ ඇත්තේ විශාල කලකිරීමකි.ඔවුන්ට එය මාසිකව වැටුපක් ලබා ගන්නා රැකියාවක් පමණක් වුවත් මනුශ්‍ය ජීවිතයක් යනු මිල කල නොහැකි දෙයකි. තමන්ගේ රැකියාවට අවංකව සේවය කරන වෛද්‍යවරුන් සහ හෙදියන් සිටියදී නොසැලකිලිමත් ලෙස සේවය කරන රෝගීන්ගේ ජීවිත පිළිබඳව ඇති අවදානම නොතකන සේවකයන් ද ඇති බව මා ඒ මොහොතේ දී වටහා ගත්තෙමි.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles