“ආ…”
තනි අකුරකින් මම ලොකු ප්‍රශ්නයක් ඇසුවෙමි. චමත්කා කී දෙයෙහි අරුත හා අදහස යන සියල්ල ප්‍රශ්න කිරීමක් ඒ තනි අකුරේ ප්‍රශ්නයෙහි වන්නට ඇත. මගේ ඇස් වල හා මුහුණේ වූ ප්‍රශ්නාර්ථය ත් වෙනසක් නැති ව එසේ ම වන්නට ඇත.
“මං ඇහුවෙ අපේ දිහා ඉන්න රවීන් එක්ක ඔයාට මොකද්ද තියන ගනුදෙනුව කියල”
ඇය ‘අපේ දිහා ඉන්න’ යන ටික බර කොට කීවා ය. ඒ වචන තුනෙන් ඈ අදහස් කළේ ‘මට අයිති’ කියා කියනා එක ද? ඇගේ ගෙදර ඉන්නා නිසාවෙන් රවීන් යනු ඇයට අයිති වස්තුවක් සේ ඈ සිතා සිටිනා බවක් ද?
“ඇයි එහෙම අහන්නෙ…”
මම ඉවසීමෙන් ප්‍රශ්න කළෙමි. කොහොමටත් මා කුඩා කාලයේදී වත් ඇය වගේ රණ්ඩු කෙක්කක් නොවේ.
“එහෙම අහන්නෙ මට මොකක් හරි දැනෙන නිසා. රවීන් මොකටද ඕගොල්ලො එක්කම ඇලීගෙන ඉන්නෙ…”
“ඔයාට චුට්ටක් විතර වැරදිලා”
මම සිනහව පිටතට නො දමමින් කීවෙමි. නමුත් ඒ ගිල ගන්නා ලද සිනහව ඇය නො දැක්කා වන්නට බැරි ය. චමත්කා ඕනවටත් වැඩියෙන් නො රිස්සුම් වූවා ය.
“මොකද්ද වැරැද්ද…”
“මොකද්ද වැරැද්ද කියන්නේ.. රවීන් මොකටද අපිත් එක්ක ඇලී ගැලී ඉන්නෙ කියල අහන්න ඕන මගෙන්නං නෙවෙයි. එයාගෙං. යන්නකො…ගිහින් එයාගෙන් අහන්නකො. හරිනෙ එහෙනං…නේ..”
මම නැවතත් බෙලි කටු එකතු කරන්නට වෙරලේ නැවුණෙමි. ටික වෙලාවක් කේන්තියෙන් වාගේ බලා ගෙන සිටි චමත්කා ගස්සා ගෙන යන්නට ගියා ය. ටික දුරක් ගොස් නතර වූ ඕ යළි හැරී මවෙත ආවා ය. මේ වතාවේ නම් හෙළන්නට යන්නේ බරපතල බෝම්බයක් බව ඇගේ මුහුණ දුටු විට මට හැඳින ගත හැකි විය.
“ලැජ්ජ නැද්ද හලෝ…”
ඇගේ ඒ ප්‍රශ්නයෙන් නම් මම උස්සා පොළොවේ ගැසුවා සේ වීමි. ලැජ්ජා නැති වැඩක් මගේ අතින් වී නැති බව මම ඉඳුරා දනිමි. ඒ නිසා ම ඇය කියන්නට යන්නේ කුමක් දැයි මට නිශ්චිත ව සිතිය හැකි වූයේ නැත.
“තේරුන්නෑ”
මම ඇස් පුංචි කොට කීවෙමි.
“එක කොල්ලෙක් මදිද…ලැජ්ජ නැද්ද ඒ කොල්ල ළඟ ඉද්දිම තව කොල්ලෙක් අවුස්සන්න…”
මගේ මුව මඳක් විවර වන්නට ඇත. එසේ නම් චමත්කා සිතා ගෙන ඉන්නේ සුනෙත් මගේ පෙම්වතා කියා ය. රවීන් මා ගැන උනන්දුයි කියා ය. එවර නම් මට සිනහව ගිල ගත නො හැකි විය.
“මාරයිනෙ..”
මට එහෙම කියවිණ.
“බලාගෙන යනකොට මං සුපර් වුමන් කෙනෙක්නෙ. හැබැයි ඔන්න මං කාවවත් අවුස්සල නෑ කියලනං මට ශුවර් හොඳේ”
යළිත් වතාවක් පෙරට වැඩි වේගයකින් ඇය ගස්සා ගෙන ගියා ය. මම සුසුමක් හෙළුවෙමි. ඒ සුසුම අනන්ත සිතිජ රේඛාවේ කොයි අතකට පා ව ගියා දැයි මම නොදනිමි.
එසේ නම් දැනටමත් ඒ යුද්ධය ආරම්භ වී තිබේ. චමත්කා අප සැක කරන්නට පටන් ගෙන තිබේ. අපේ පවුලේ සිටිනා දරුණු ම ගෑනු ළමයා ඈ ය. ඇය සිය හැඟීම් පාලනය කර ගන්නට දන්නා කෙනෙකු නොවේ. හිතට එන ඕනෑ ම දෙයක්, එය කිව යුතුද කියා හෝ නො සිතා ඇය කියා දමන්නී ය.
“කියන්න තියෙන දෙයක් මූණට කියන එක තමයි හොඳ”
මහා දැන උගතියක සේ සිය කටේ පාලනයක් නැති කම ගැන ඇය උදම් අනනු ද මට ඇසී තිබේ. මූණට කියනවා කියන්නේ එකකි. ආත්ම පාලනයකින් තොර ව කටට එන දේ කියා දමනවා කියන්නේ තව එකකි. එසේ කිරීමෙන් අනිත් පාර්ශවය කෙබඳු අගතියකට ලක් වේ ද ඔවුන් ගේ හිත් වල කවරාකාර රිදීමක් බිඳීමක් ඇති වේ ද කියා ඇය සිතන්නේ නැත. සිතන්නට තරම් පුහුණු කරන ලද ඉවසීමක් ද ඇය ට නැත. මගෙන් රවීන් ගැන මූණට ප්‍රශ්න කළා සේ අපේ ගෙදරට ගොස් අම්මලාගේ මූණ ඉදිරියේ මේ බෝම්බය දමා ගසන්නට බැරි කමක් ද ඇය ට නැත.
“මේ ගෑනි මොන අඩව්වක් අල්ලයිද කියල මට බයයි. අම්මලගෙ ඔළු වලට විසබීජ දාන්නැතුව ඕන දෙයක්”
මම සුනෙත් සමගින් කීවෙමි. ඔහු තරමක් කල්පනා කළේ ය. හොඳ මිතුරෙකු කියන්නේ බයිසිකලයක ඉදිරි තිරිංග මෙනැයි කතාවක් මම අසා ඇත්තෙමි. ජීවිතය කියන්නේ පා පැදියක් නම්, එහි පිටුපස තිරිංග වූ කලී මවු පිය දෙපළ යයි කතාවක් තිබේ. ජීවිත පා පැදිය ඉදිරියට එන ඕනෑ ම ගැටළුවකදී හෝ ආබාධයක දී, පිටුපස තිරංග තරම් විශ්වාසවන්ත කිසිවක් නොමැත්තේ ය. දෙමාපියන් තරම් යම් පුද්ගලයෙකුට ආදරය කරන තැනැත්තෙක් වෙන සිටිය නො හැකි ය. එසේ ම ජීවත් වීම තුළින් ඔවුන් ලබා ඇති අත්දැකීම් හා පන්නරය, අප ද ආරක්ෂා කරවනා තරම් බල සම්පන්න වූවකි.
හොඳ මිතුරන් ද කෙනෙකු ගේ ජීවිතයේ වැදගත් ම සාධකයක් වේ. ඔවුහු නිතර ම සිය මිතුරා ගේ යහපත ගැන සිතති. මිතුරා විපතින් රැක ගැනීමට කටයුතු කරති. නමුත් අත්දැකීම් අඩු කම නිසා ඔවුන් ගේ උපදෙස් වල යම් අවදානමක් තිබෙන්නට ද පුළුවන. පා පැදියක ඉදිරිපස තිරිංග ඇල්ලීමේ දී කරනම් ගැසීමක් සිදු වන්නට ද පුළුවන් ආකාරයෙනි.
නමුත් සුනෙත් ගැන මට විශ්වාස ය!
“එයාව කේන්ති ගස්සගන්නෙ නැතුව ඉන්න. මොකද ඒ වගේ නට් කේස් එකක්නං…දන්නැද්ද ඉතිං…ටිකක් කල් ගන්න එක කෝකටත් හොඳයිනෙ. පුදනකොට ම කාපි යකා කියල ලත් තැනම ලොප් කර ගන්න ඕන නෑනෙ”
“හ්ම්”
චමත්කා පසු වූයේ මා හා ඊර්ෂ්‍යාවෙනි. ඇය ගේ ම අයියා ද ඇය ට වඩා මට සමීප ව සිටියේ ය. සුනෙත් සේ ම රවීන් ද මට විශේෂ ළෙංගතුකමක් දැක්වීම ඇයට මදි පුංචි කමක් සේ දැනෙන්නට ඇත. ඒ ගැන මට කරන්නට දෙයක් නැති බව මම දැන සිටියෙමි. මා වැඩිපුර කාත් සමගවත් බජනයට නො ගියෙන් මට ලොකු මිතුරු සමාජයක් වූයේ නැත. පවුලේ ළමයින් සමග වුව මා වැඩි ඇසුරකට නොගියේ මගේ ‘අලි ඔළුව’ නිසා යයි මතයක් නැන්දලා අතරේ වූවාට ඇත්ත එය නොවේ. මා වැඩිපුර හුටදකලාවට කැමති වීම ය. නමුත් ළඟින් ඇසුරු කළ අය තදින් මට බැඳුණ බව දනිමි. ඒ මගේ ඇසුර ව්‍යාජයක් නොවන නිසා ය. අවංක නිසා ය. හෘදයාංගම නිසා ය. ලොකු අයියා වුව සිය බාල සොයුරියටත්, විවාහ වී දැනට ගෙදරින් වෙන් ව ජීවත් වන වැඩිමල් සොයුරියටත් වඩා කුඩා කල පටන් ම මට බැඳී සිටින්නේ ඒ හෘදයාංගම බව නිසා ය.
“ඕගොල්ලො අපිත් එක්ක ඇලීගෙන ඉන්නෙ මොකද කියල එක්කෙනෙක්ට කේන්ති ගිහින් ඉන්නෙ”
වෙරලාසන්න හෝටලයක රෑ කෑම ගන්නා ගමන් මම බිම බලාගෙන හෙමිහිට කීවෙමි. ඒ හතරැස් කුඩා මේසය වට වූ පුටු හතරෙහි අසුන් ගෙන සිටියේ මා හා සුනෙත් ද ලොකු අයියා හා රවීන් ද වශයෙනි. කෙලින් ම මට ඉදිරියේ හිඳ උන් රවීන් ගේ ඇස්, මා නෙතු ඔසවත්දී ම මට හමු විය.
“කාටද…”
ලොකු අයියා තරමක් තදින් ප්‍රශ්න කළේ ය. ඒ ඔහු ගේ හැටියකි. සරල ව විසඳා ගත හැකි ප්‍රශ්නයකට වුව කලබල වී කෑ කෝ ගසා ගෙන යාම නිසා පවුල තුළ ඔහු ප්‍රකට නහර කාරයෙකු වශයෙනි. නමුත් ලොකු අයියාට තරම් ලොකු හදවතක් වෙන කාටවත් නැති බව මම දනිමි.
“චමත්කාට. මට බැන්නා දවල්”
“ඒකිද…ඒකිට ඉතිං පිස්සුනෙ කොහොමත්”
ලොකු අයියා සිනා සී එසේ කීවේ ඒ ගැන කතා කිරීම වුව හරසුන් යමක් බව අඟවමිනි.
“ඒ වුණාට…ඕගොල්ලො අපිත් එක්ක ඇලෙන්න එන්නැතුව වෙනම ඉන්නකො. නිකං බැනුං අහගන්නෙ මොකටද මං…”
මම බුම්මා ගෙන කීවෙමි.
“ඒ ගමන උඹටත් පිස්සු හැදීගෙන එනවද බං…”
ලොකු අයියා මගේ ඔළුවට ඇන්නේ ය. රවීන් හිටියේ නිහඬව ය. මා ඔහු සමගින් කේන්ති ගෙන ඇත්දැයි බියමුසු සැකයකින් ඔහු සිටි බවට සැකයක් නැත.
කෑම ගැනීමෙන් පසු කට්ටිය සිය අභිමතයන් පරිදි විසිර යමින් රිසි දේවල් කළහ. ගී කියන්නට කැමති අය රංචු ගැසී සින්දු කියන්නටත් නටන්නටත් වූහ. කාන්තා පාර්ශවය ඒ ආසන්නයේ හිඳ ගෙන තාල තබමින් ද ඕපාදූපයක් කිවමින් ද සිටියහ. තාත්තා වෙරළ දෙසට යන්නට ගියෙන් මා හා නංගී ඔහු ට එක් වීමු. මගදී අපට ලොකු අයියා, සුනෙත් හා රවීන් හමු වූහ. ඉන්පසු අප එක් රංචුවක් වශයෙන් තඹ පාට වෙරළ දිග හෙමි හෙමිහිට ඇවිද යන්නට වූයෙමු. මේ වෙලාවට වන සුළඟ මුහුදේ සිට එන්නක් නොව ගොඩබිම සිට මුහුද දෙසට හමා යන ගොඩ සුළඟ බව පාසලේ දී ඉගෙන ගත්තා මතක ය.
අපේ රංචුව කතා කරමින් ඉදිරියට වැටී ගමන් කරන්නට වූ අතර මම මඳක් පසු පසට වීමි. මේ රාත්‍රී වෙරල බඩ දර්ශනයේ ස්වභාවය, තරමක් දුරට මා ඒ සොබා දහම වෙත කැටිව ගියා සේ ය. මා මේ වෙරළට මීට පෙර පැමිණ නැත. නමුත් මට දැනුණේ හුරු පුරුදු ඉසව්වක හුරු පුරුදු ගමනක් යමින් සිටින්නා මෙනි. මා පිය නැගුවේ සිහිනයකින් සේ ය. තාත්තා ගේත් ලොකු අයියා, රවීන් හා සුනෙත් ගේත් නංගී ගේත් හඬවල් වරින් වර මට ඇසිණ. මට ඒවා දැනුණේත් අතීතයකින් ඇදී එන හඬවල් පරිද්දෙනි. අපි මේ විදිහට සසර පුරා ඇවිද ආවෙමු ද? මේ විශ්වයේ කැරකෙමින් තිබී අපේ ම අතීත හඬවල් යළි යළිත් අපට ශ්‍රවණය වන්නේ ද? නො දනිමි.
වෙරළේ බෝ වෙලා රැඳී අපි යළි හෝටලය වෙත එමින් සිටියෙමු. ඒ වෙලාවේ නංගී මඳක් පසු පසට වූවා ය.
“මොකෝ…”
ඒ ස්වරයෙහි වූයේ මගේ සුව දුක් විමසනා අවංක කමක් නොව මාව හාස්‍යයට ලක් කරනා ස්වභාවයකි.
“මොකද…”
ඉතින් මම තරමක දැඩි බවකින් ප්‍රශ්න කළෙමි.
“නෑ..මට මතක් වුණේ අර කතාව..”
“ඇටි කෙහෙල් කාපු රිලවගෙ…”
නංගී හඬ නගා හිනැහුණා ය. රවීන් යන්තම් පිටුපස හැරී බලනවා මම දුටිමි. ඒ බව නංගීත් දුටුවා දැයි මට නිශ්චිත නැත.
“කාමරේට යන්න ඕන…අම්මයි ආච්චයි ඉන්න එකට”
කියා අප දෙස හැරී බැලූ තාත්තා ඇතුළට නික්ම ගියේ ය. මම මිදුලේ තල් ගස් පෙලක් ළඟ ගමන බාල කළෙමි. අප දැන් සිටින්නේ රාත්‍රිය ගත කරනා හෝටල් භූමියේ නිසා කවුරුවත් කා ගැනවත් ඒ හැටි වද වූයේ නැත. ලොකු අයියා මල්ලිලා කිහිප දෙනෙකු අතරට ගිය අතර නංගී ද කෙල්ලන් රංචුවකට වැටුණා ය.
“මං වොෂ් රූම් එකට දුවල එන්නද”
කියමින් සුනෙත් ද එක මොහොතක දී අතුරුදන් විය. තල් වැට මායිමේ ඉතිරි වූයේ මා හා රවීන් පමණකි.
තල් පත් අතරින් සඳ පායා ඇවිත් තිබිණි. පුර සඳට තව කල් ඇති වුණත් ඒ සඳ එළිය පවා මිදුලේ අඳුර තුනී කර දමන්නට ප්‍රමාණවත් වූයේ ය. සඳ එළියේ නැහැවෙමින් මා ඉදිරියේ සිට ගෙන හිඳිනා මිනිසා දෙස මම ඍජු දෑසකින් බැලුවෙමි. මේ වගේ සව්මිය රාත්‍රියක, තඹ පාට සඳ එළිය දෝරෙ ගලනා අහසක් යට, ප්‍රේමයෙන් බැඳුණු පිරිමියකු සමගින් හුදෙකලා වීමේ චමත්කාරය මුසු ගැස්ම මම එකලාව විඳ ගනිමින් සිටියෙමි. මුළු පවුලේ ම ඇස් අප වෙත දැල්වී ගෙන ඇත ය යන අදිසි බිය විසින් හද ගැස්ම වේගවත් කොට තිබිණි ද මෙවන් මොහොතකින් පලා යන්නට ගෑනු ළමයෙකු ට හිත හදා ගත නො හැකි වීම නිර්භීත කමක් සේ නැගී සිටින බව අත් විඳිමින් ද අවබෝධ කර ගනිමින් ද සිටියෙමි. ඒ අතරේ රවීන් ගේ අතැඟිලි ඉතාමත් මුදු ලෙස මගේ අතැඟිලි වල හැපිණි. මෙවන් රාත්‍රියක එවන් ස්පර්ශයක් යනු හිත කීරි ගස්වන්නකි.
“ඇතුළට යන්න”
රවීන් ආදර බර පිරිමි හඬකින් කීවේ ය.
“අනේ”
ඇත්තමයි මට එහෙම කියවිණි. ඔහු ගේ බටිති තොල් මත්තට සිනහවක් ආවේ ය.
“එහෙනං…මෙතන ඉන්නද…නැත්තං…”
එසේ කියා ඔහු මගේ ඇස් වලට එබුණේ පුදුම තරම් දාංගලයක් ඒ මුහුණේ තියා ගෙන ය.
“ඔයනං ඉතිං අපේ තාත්තගෙන් ගුටි කන්න ඕන වෙලා තමයි”
“තාත්ත දන්නෙත් නැති වෙයි මං දුවව අරං ගිහිං තිබුණොත්…”
“එහෙමද හිතං ඉන්නෙ…ආස ඇති නේ…දන්නෑ අපේ තාත්තගෙ හැටි”
“දන්නව දන්නව”
එවර ඔහු පසු බාන බවක් හඬෙන් පෙනිණ.
“කොල්ලො කෙල්ලගෙ තාත්ත ගැන චැලේන්ජ් කරන්න යන්නෙ එතකොට උන්ට වැඩියෙන් ආදරේ වෙයි කියල හිතං. ඒත් තාත්තට බනින වාරයක් ගානෙ කෙල්ල උංගෙන් ඈත් වෙනව කියල උන් දන්නෑ”
රවීන් තව තවත් හදවත ඇතුළට ම රිංගමින් සිටියේ ය. මගේ ඇස් වලින් ඔහු ඒ ආදරය දකින්නට ඇත.
“යන්න එහෙනං. දැං අම්ම හොයයි”
රවීන් මට තව බිඳක් ලං වෙමින් කීවේ ය. එක රැයකට පවා වෙන් වීමේ දුෂ්කරතාව කෙතරම් සුවිසල් දැයි මම ඉගෙන ගනිමින් සිටියෙමි. මා ඔහු පසු කරන්නට අඩියක් තබනකොට ම රවීන් යන්තම් පහත් වී මගේ නලලත හාදුවක් තැවරී ය.
ඒ සිහිනය පපුවේ තියා ගෙන ම කාමරයට ගොස් මම යහනේ පෙරලී පොරෝනාවෙන් හිස ද වසා ගතිමි.