දික්කසාද නඩුව අවසන් විය.නිලැසිට අවසන් තීන්දුව ලැබුණු මොහොතේ දැනුණේ තමන් විශාල සටනක් පරාජය වූ වගකි.තිසරුගෙන් අවසන් මොහොතේ හෝ සමාව ඉල්ලන්නට පැකිළුන ද නිලැසි සිටියේ පසුතැවෙමින් ය.
නමුත් ඒ ආදරණීය සැමියෙකු අහිමි වීමේ ශෝකය නොවේ.තිසරු මොරගොඩ ලංකාවේ අංක එකේ ව්‍යාපාරිකයකු බවට පත්වෙමින් හුන් තරුණයෙකි.ඔහු සතු ධනස්කන්ධය ද ඒ සියලු ව්‍යාපාර වල අයිතිය ද මෙතැන් පටන් අතීතයකි.නිල සිට දැනුනු එකම වේදනාව වන්නේ එය ය.ඕනෑ කරන ඕනෑම දෙයක් සැණින් මිලට ගැනීමට ඇති හැකියාව ද කෙළවරක් නැති විදේශ සංචාර ද නංගිගේ ත් රශ්මිගේ ඊර්ෂ්‍යාවට හේතු වෙතැයි පවා නිලැසි උද්දාමයෙන් සිතා හුන්නා ය.නමුත් දැන් සියල්ල අතීතය ය.කවදා හෝ වෙනත් තරුණියකට මොරගොඩ මහත්මිය වී ඒ සියලු දේ අයිති කර ගනු ඇතැයි සිතීම පවා නිලැසිට මහත් මානසික හිරිහැරයක් විය.
එහෙත් ඇය ශෝක වීමට තිබුණේ ඒ සම්බන්ධයෙන් නොවේ.තිසරු සැබෑ ප්‍රේමවන්තයෙක් වූයේ ය.කාර්යබහුල ව්‍යාපාරයක් අතර පවා ඔහු ඔහුගේ බිරිඳ ගැන සැලකිලිමත් වූයේ ය.ඇයට අතිශය ආදරේ කළේ ය.ඔහුගේ ආදරය එරන්ද ගේ ආදරය මෙන් කායික බැඳීම මත පදනම් වූයේ නැත.එහි හිස්තැන් දුටු නිලැසි හිස්තැන් අතරින් රිංගා ගත්තා ය.කොතෙක් පසු තැවුණ ද පලක් නො වන්නේ ඒ නිසා ය.
“දැන් ඔයා මොකක්ද කරන්න හිතන් ඉන්නේ?”
දිගැසි එදින හවස අක්කාගෙන් විමසුවා ය.අම්මා ඇය සමඟ කතා නොකරන තරම් ය.ජීවිතයේ ඕනෑම පරාජයක් හමුවේ තම දරුවන්ට දිව එන්නට ඇති එකම තැන නිවස බවට රූපවාහිනි වැඩසටහන් වල පාරම් බාන රාජේන්ද්‍ර වික්‍රමාරච්චි මේ මොහොතේ ක්‍රියා කරන්නේ මෙය මාධ්‍යවලට රහසක් කර ගන්නට ය.ඔහුට දියණියගේ මානසිකත්වය ගැන වද වන්නට අවශ්‍ය වූයේ නැත.
“මං ඉතින් මෙහෙම ජීවත් වෙනවා..”
නිලැසි එසේ පැවසුවේ වේදනාවකින් නොපෙළෙන බව කියන්නට ය.
“එහෙම ජීවත් නොවී කොහොම ජීවත් වෙන්නද තව ටික දවසකින් ආයෙ මොකක් හරි හොයාගනී..සුමාල් එක්ක එන්ගේජ් වෙලත් ඉන්නකොට ඒ කොල්ලගෙම යාලුවෙක් එක්ක පැටළුන.දැන් ආයෙත් කරේ ඒකමනෙ.ගහේ කටු උල් කරන්නෙ මොකටද?”
රසාදරී හද ශෝකය දරා ගත නොහැකිව කාමරයට කඩා වැදුණා ය.
“ඔයා රශ්මිගෙ අම්මා එක්ක ටිකක් කතා කරන්නකො අක්කා.”
මනෝ උපදේශකවරියක වශයෙන් සාර්ථක තැනක හිඳින රශ්මිගේ අම්මා ලවා හෝ මේ ප්‍රශ්නය විසඳන්නට දිගැසිට ඕනෑ විය.අක්කා කොහොමටත් හිඳින්නේ මානසික කම්පනයෙනි.
“කවුන්සිලින් ගන්න ඕන මහ ප්‍රාථමික විදිහට හිතන තිසරු වගේ මිනිස්සු මිසක් මම නෙමෙයි..”
නිලැසි නංගිට කඩා පැන්නේ එසේ කියන ගමන් ය.රසාදරී හඬමින් හිද කාමරයෙන් යන්නට ගිය පසු දිගැසි අක්කාට ඇමතූයේ කරුණාවෙනි.
“අක්කා..ඔයා එරන්ද ට ළං වෙන්න මොකක්ම හරි හේතුවක් තියෙන්න ඇතිනේ මම හිතන්නෙ ඒ තමයි ඔයාගේ උරුමක්කාරයා.ගිය දේවල් හැමදේම ගියා.එරන්ද කියන්නේ තමන්ගේ ගමන හරියට හදාගත්තොත් අයියා වගේ සාර්ථක වෙන මනුස්සයෙක්.මට කලාව කරන මනුස්සයෙක් ඕන නොවුණට ඔයාට එහෙම ඕන කියලා හිත යට තියෙන්න ඇති. තිසරු ඔයාට හරි නොගිය හේතුව ඒක වෙන්න ඇති.සමහර වෙලාවට ජීවිතේ තෝරා ගැනීම් කිහිපයක් කරල තමයි අක්කා හරිදේ මුණගැහෙන්නේ..ඒ නිසා දැන් පසුතැවෙන්න එපා ඔයා එරන්ද එක්ක සතුටින් ජීවත් වෙන්න..”
අක්කා රිදවීම වෙනුවට ඇයට අවශ්‍ය දේ කරන්නට ඉඩ දීම මේ මොහොතේ සුදුසු බව දිගැසිට වටහා දුන්නේ දුලාජ් ය.දුලාජ් දුරදිග බලන මිනිසෙකු බව දන්නා දිගැසි ඔහුගේ වචනය පිළි ගත්තා ය.
“නිම්න දරුවෙකුත් හදාගෙන පුදුම සන්තෝසෙකින් ජීවත්වෙනවා.හරියට බලනකොට නිම්නයි රශ්මියි ඉස්සරටත් වඩා ආදරෙන් ඉන්නේ දැන්..අපි දෙන්නත් තව ටික දවසකින් මැරි කරයි..සමහරවිට අපි මේ රටේ වත් නොඉන්න පුළුවන් තමයි..ඔය කොච්චර ලස්සනට ජීවත් වුණත් අපි වුණත් නිම්නලා වුණත් කොයි මොහොතේ හරි වෙන් වෙන්නත් පුලුවන් තමයි..ඒ වුණත් වැඩි ඉඩක් තියෙන්නෙ අපි සතුටින් ජීවත් වෙන්නනෙ.ඕක කාලයක් කෙනෙකුට අක්කට මානසික වදයක් වෙනවා..ඒ නිසා පවුලට ගැලපීම නොගැලපීම කොහොම වෙතත් අපි මේ වෙලාවේ හිතන්න ඕනේ එයාත් සතුටින් ඉන්න විදියක්..”
එරන්ද සමඟ සම්බන්ධයට නිලැසිට දෙමාපිය ආශිර්වාදය රැගෙන දෙන්නට දිගැසි තීරණය කළා ය.අතිශය කාර්යබහුල ජීවිතයක් ගෙවන නිම්න සමඟ කිනම් මොහොතේ හෝ ඒ ගැන කතා කරන්නට ඇය තීරණය කළා ය.
“එරන්දව මුණගැහෙන්න යන්න අක්කා..හෙට බඳින්න නෙමෙයි. ඒ වුණාට අපි තීරණයක් ගමු..”
දිගැසිගේ පෙරැත්තය නිසාම නිලැසි අවදි වී කෑම පිසුවා ය.එරන්ද වඩා ප්‍රිය කරන අන්දමේ මෙනුවක් සැකසූ ඈ බොහෝ වෙලා හැඩ වැඩ වී ඔහු දකින්නට යන්නට සැරසුණා ය.දැන් ඈ බැමි රහිත ගැහැනියකි.එනිසා කිසිවකට බිය යුතු නොවේ.තමන්ට අවශ්‍ය සියල්ල ඒ ලෙසින්ම සිදු වූ සන්තෝසයෙන් පපුව පුරවා ගත් නිලැසි එරන්ද දකින්නට ගියේ ඔහුට නොකියා ය.කොහොමටත් ඈ ළඟ අමතර යතුරක් වේ.ඔහු එනතුරු නිවසේ රැඳී සිටින්නට ඇයට පුලුවන.
සතුටින් පිටත් වූ ගමන තුළ එරන්දගේ කුලී නිවසට ගොස් එහි පඩිපෙළ තරණය කරන තුරුම නිලැසි සතුටින් පිරී සිටියා ය.එය දියවන්නට වූයේ ඉනික්බිතිව ය.