පතපොත කෙරෙහි වඩාත් තදින් බැඳී සිටි මට වෙනත් කිසිවක් කරන්නට ඔරලෝසුවේ එකම තත්පරයක්වත් ඉතිරි වූයේ නැත.සමහර දවසක තේ පානය කළ කෝප්පය පවා කූඹින්ට නවාතැන් පොළක් නොකර සෝදා දැමූයේ මම්මා ය.නමුත් දැන් මට ඕනෑතරම් කාලය ඇත.කරන්නට කිසිවක්ම නොවේ.
“මොකෝ සූකිරි කරන්නේ..”
මුළුතැන්ගෙය පෙරළමින් යමක් සොයමින් සිටි මගෙන් මම්මා විමසුවා ය.මම දෑස්වලින් හිනැහෙමින් ඈ දෙස බැලූයෙමි.
“කේක් එකක් හදනවා..”
මා එසේ පැවසුවේ මම්මා ය.කැත සිනාවක් මතු වූයේ අයියාගෙනි.මම අත ඇති බිත්තරයක් සමඟ ඔහු දෙස බැලූයෙමි.මේ නාන්නට කම්මැලි හඩ්ඩාට අද හොඳ නෑමක් ලබා දෙන්නට ඕනෑනම් මට පුලුවන.
“සූකිරි දන්නවද කේක් හදන්න.”
මම්මා අසන්නී ය.
“නෑ මම්මා.මේ යූ ටියුබ් එකෙන් බලන් හදනවා..”
මා එසේ කියද්දී මම්මා හිනැහුණා ය.දැන් ඈ මේ කේක් එක හදන්නට බාර ගන්නා බව අතීත අත්දැකීම් අනුව මට විශ්වාස ය.නමුත් ඈ එසේ නොකළා ය.
“ඔයා හදන්නකෝ..වැරදුණොත් අපි විසි කරමු.වැරදෙන තරමට තමයි ගෑනු ළමයින්ට කුස්සියේ වැඩ පුලුවන් වෙන්නේ..”
ඈ මුළුතැන්ගෙය තුළින් පිට වූයේ එසේ කියමිනි.යූ ටියුබ් නාලිකාවේ කේක් සෑදීම විස්තර කරන ගැහැනියට හිනැහෙමින් අයියා මගේ තරහ හොඳටෝම අවුස්සන්නට ගත්තේ ය.නමුත් මගෙන් හොඳ පාරක් කන තරමට ඒ කතාවට දුරදිග යන්නට නොලැබිණ.රිය නලා හඬක් ඇසුණේ කනේ තිබ්බාක් මෙනි.
“කවුද ආවේ?”
තවම රෙසිපිය ගැන විමසිලිමත් වෙමින් සිටි මගේ හඬේ කරදරකාරී බවක් තැවරී තිබෙන්නට ඇත.අයියා මවෙත බැලුවේ සමච්චල් බැල්මකිනි.
“තමුසෙව ගෙනියන්න මනමාලයෙක් ආවා කියල හිතුවද? අනේ මේ ඔන්න ඕක හදනව බලන්න..”
මා ගෙනියනවාට සතුටු මනමාලයාට තවමත් තමන්ගේම වාහනයක් නොමැති බවට කෑගැසුවේ මගේ හිත ය.මා අයියාට රැවුමක් පා කළේ එය ඔහුට කියා ගන්නට සවියක් නොමැති නිසා ය.
“හානේ කවුද මේ නාහෙන් අඬන්නේ.අර යූ ටියුබ් ඇන්ටි නේද?”
අනාරාධිතවම මුළුතැන්ගෙයි දොර මතින් දෑසක් එබිණ.සචිර,මගේ අයියාගේ හොඳම මිතුරන් දෙදෙනාගෙන් කට කමසෙයියාවක් නැතිව දොඩවන්නා පැමිණ පුටුවක් මත වැටුණේ අනාරාධිතව ය.මම මුහුණ හතරැස් කරගතිමි.එයට කාරණා දෙකක් ඇත.පළමුවැන්න අයියා ඔහු සමඟ එක් වී මා ද මගේ පළමු කේක් වෑයමද විහිලුවට ගන්නා බව මට ඉර හඳ තරමට ම විශ්වාස ය.තවත් කාරණාවක් තිබේ.ඒ ඔහු තනිව පැමිණීම ය.සීනි ද බටර් ද ඒ තරම් වේගයෙන් බීට් කරන්නට මට තිබූ හේතු ඒවා ය.හරියටම බැලුවොත් දෙවැනි කාරණාව ය.
“හපෝ අර බීට් කරන කැත..”
සචිර අයියා එසේ කියමින් මවෙත පැමිණී ය.බීටරය මගෙන් ගත් ඔහු රාජකාරිය ආරම්භ කළේ ය.මා ඔහු දෙස බලා හුන්නේ අයාගත් දෑසිනි.
“හානේ…කේක් හදන්න බාර ගත්තු නෝන මහත්තය ඒක පුතාගෙ ඇඟේ ගැහුවද?”
අම්මාගේ කටහඬ ඇසුණේ ඒ මොහොතේ ය.මා බැලුවේ අම්මා දෙස ය.නමුත් අම්මාට මඳක් ඔබ්බෙන් දෑසක සිනාවක් පිපී තිබිණ.සචිර අයියාගෙන් බීටරය උදුරා ගන්නට මට සිතුණේ ඒ මොහොතේ ය.
“දෙනෙත් කෙලින්ම උඹ බලන්න ආවේ කවද්ද බං…ඉස්සරලම සරෝ ආන්ටි එක්ක කෝප්පයක් හෝදනවා.ඊටත් පස්සෙ අනෝමා ආන්ටිව කයියට අල්ලා ගන්නවා.මූට අර ඩොටේ ගති නම් ඇර ගන්නම බෑ අපි අවුරුදු ගාණක් පුනුරුත්තාපනේ කරාට..”
සචිර අයියා කියන්නේ ඔහුට හිනැහෙමිනි.ඒ දෑස් හැකිලී යද්දී මට සචිර අයියාට හොඳ පාරක් දෙන්නට සිත් වේ.
“මං දෙනෙත්ගෙ තාත්තා ගැන විස්තර අහන්න එයාව පොඩ්ඩක් නතර කරගත්තෙ.අනේ මේ කොල්ලගෙ කට නම්..”
අම්මා සචිර අයියා කෙරෙහි දක්වන්නේ විශේෂ ආදරයකි.ඒ අයියාගේ මිතුරන් අතරින් ඔහු ධනවත් ම තරුණයා හන්දා බව අනාවැකි පැවසුවේ යෙත්මි ය.මම එදා එයට තදින් එරෙහි වූයෙම්.අම්මා ආදරය කරන්නේ සචිරගේ දඟකාරකමට බව පැවසීම මට සැනසීමකි.
“සචිර පුතාලගෙ කැම්පස් වහලලු නේද?”
අම්මා අසද්දී උස් හඬින් හිනැහුණේ අපේ අයියා ය.
“දුප්පත් අහිංසක ළමයෙක්ට රජයේ කැම්පස් යන්න ඉඩ නොදී ධනපති පන්තියෙ උන් ඒවා අස්සට රිංග ගත්තට යසයි ඉතිං..ඒ ලෙවල් ඉවර වුණු ගමන් රටකට පැන්නානම් මේ වෙනකොට රස්සාවකුත් කරනවා..”
නමුත් සචිර අයියාට ඒ කතාවේ වගක් නොවේ.
“දාලා යන්න බැරි දේවල් තියනව මෙහෙ.ඒකයි නැවතුණෙ.උඹට ප්‍රශ්න තියනවද?”
එහෙත් අයියාගේ කට නොනවතී.කඩවසම් ඉලන්දාරියෙකු වන සචිර අයියාට දමා යා නොහැකි ගැහැනු ළමයින් දහ පහළොවක්වත් සිටින්නට ඉඩ ඇතැයි සිතද්දී මගේ තොල් මත ද සිනාවක් පිපිණ.මා ඒ සිනාව නැවතූයේ දෙනෙත් අයියාගේ දෑස් මත ය.ඔහු මගේ ඇස් මඟ හැරී ය.
“මූ කේක් හදන්න දන්නවනෙ අගේට.දැන් මෙයාගෙ අර රෙසිපි ඇන්ටිගේ ඇඬියාවත් නෑ.මෙයා හදන්නෙත් නෑ..සචියා හදාගෙන හදාගෙන යනවා..”
අයියා මගේ ඇද සොයන්නට ගත්තේ ය.සැබෑවකි.ඕපාදූප මල්ල ලෙහා ගත් අතරේ කේක් සෑදීමේ කාර්යයෙන් හරි අඩක් අවසන් ව ඇත.
“මං ඉතිං ගෙදරදි ඕවා හදනවනෙ..සමහරු නම් සඳළු තලෙන් බහින්නෙ කන්න විතරයි..”
ඒ සරදම දෙනෙත් ට ය.ඔහු සෑහෙන කාලයක් තිස්සේ ජීවත් වන්නේ සචිර අයියාගේ නිවසේ ය.ඔහුගේ වියදම් ගැන පවා ඒ නිවසේ අය වද වෙන බව අප දන්නේ අයියා නිසා ය.දුෂ්කර ගමකින් ශිෂ්‍යත්වය සමත්ව කොළඹ ආ දෙනෙත් ට මගේ අයියාත් සචිර අයියාත් අඹ යහලුවන් වූ බව නම් මා දන්නා පැහැදිලි සත්‍යයකි.
“ගෙදර සර්වන්ට්ලා හිටියට කමක් නෑ.කවදහරි වයිෆ්ට උදව් කරන්න පුලුවන් වෙන්න කුස්සියෙ වැඩ කරපං කියල අපිට අම්මි කියලනෙ ආන්ටි තියෙන්නෙ.ඉතින් අපි හොඳ කුක්ලා..”
සචිර අයියා එසේ කියන්නේ අභිමානවත් හඬකිනි.බොහෝ වෙලාවකට පසු දෙනෙත්ගේ කටහඬ මට ඇසුණේ ඒ කතාව නිසා ය.
“කවදහරි මූට වැඩක් කර ගන්න වෙන එකක් නෑ.වයිෆ්ට උයලා දිදී ඉන්න වෙයි.ගෑනුන්‍ට උයන පිහින වැඩ ඉතුරු කරලා උඹ පිරිමි වැඩක් කරගෙන හිටහං බං..”
මා නැවත ඔහු සමඟ දෑසින් හිනැහුණෙමි.ඔහු සචිර අයියා මෙන් තම ගර්වය බිඳ ගන්නා මිනිසෙකු නොවේ.කෙදිනක හෝ ඔහු මට හිමි වන්නේ නම් මුළුතැන්ගෙය ඇති දිශාවකටවත් ඔහුට එන්නට ඉඩ නොදෙන්නට මම සිතා ගත්තෙමි.සචිර අයියාගේ කටයුතු අහවර වන්නට ආසන්න ය.සැබෑවටම මුළුතැන්ගෙයට වැදී උයමනට බැසීමෙන් පසු පිරිමියෙකුට පෞරුෂයක් ඉතිරිදැයි මා සිතන්නට ගත්තේ දෙනෙත්ගේ කතාව නිසා ය.
“පිරිමි වැඩ ගෑනු වැඩ කියලා ජාති දෙකක් තියනවද?මං ඉතින් කියා දෙනව මෙතන ආන්ටියි සූකිරියයි නොහිටියනම්…”
කේක් තැටිය උදුනට දමමින් සචිර අයියා පවසයි.දෙනෙත් කිසිත් නොපවසා දෑස් කුඩා කරමින් ඉවත බලා ගත්තේ ය.
“යාළු වෙන වෙන කෙල්ල මූ දාලා යන්නෙ ඕකනෙ බං..මූට මාර පුරුෂ ධෛර්යයක් තියෙන්නෙ.දවසක හොඳ හෝටලේකින් කාපුවාවෙ.”
ඔහුට පෙම්වතියන් සිටි බවක් මා දන්නේ නැත.හිස මත අකුණක් පුපුරා ගියේ සචිර අයියාගේ ඒ කතාව නිසා ය.නමුත් ඊළඟ අකුණු පහර අයියාගෙනි.
“අර මඟුලත් ඉවරද?”
දෙනෙත්ගේ මුහුණ කළු ගැසෙද්දී සචිර අයියාගේ උස් සිනා හඬ ඇසිණ.
“ඔව්..සූකිරියගෙ කේක් එක තියෙන්නෙ ඒක සමරන්න..බ්‍රේකප් සෙලිබ්‍රේෂන්..”
මට හඬන්නට ඕනෑ විණ.නමුත් ඔහුගේ ප්‍රේමයක් බිඳ වැටීම මට සැමරීමට කාරණාවක් බව මට නොසිතුණා නොවේ.