මා හද තුළ ඔබ 27

මොහොතක් බිම බලාගෙන කල්පනා කළ රන්මුතු, එක එල්ලේ ඇස් හරවා ඇයට යාබද ව හිඳ උන් දිවාකර දෙස බැලුවා ය. එවර ඔහු ඇගේ ඇස් වල ඍජු ග්‍රහණයට හසු විය. ඔහු වෙතින් ඉක්මනට ඇස් මුදවා ගත් ඕ තොමෝ අනතුරුව උපදේශකවරයා දෙස බැලුවා ය. ඔහු ගේ ඇස් වල වූයේ සියල්ල කියා දමන්නට හිතෙනා කරුණාවන්ත හා උපේක්ෂා සහගත බවකි. රන්මුතු බිම බලා මුණිවත බින්දා ය.

“දිවාකර කියන්නෙ මගෙ දරුවො දෙන්නගෙ තාත්ත…”

එසේ කියා ඇය ලොකු හුස්මක් ගත්තා ය.

“ඇයි රන්මුතු ඊට වැඩිය දෙයක් අපි අතරෙ තිබිල නැද්ද…එතකොට ඔයා මට ආදරේ කරලම නැද්ද…”

ඒ ප්‍රශ්නය උපන්නේ දිවාකර ගේ හිතෙහියි. යම් හෙයකින් රන්මුතු ඔහු දෙස බැලුවේ වී නම් ඒ ප්‍රශ්නය ඔහු ගේ ඇස් වලින් කියවා ගන්නට තිබිණි. නමුත් ඇය බැලුවේ නැත.

“මගෙ තරුණ කාලෙ මං ආදරේ කරපු කෙනා. මගෙ ජීවිතේදි මේ වෙනකල් මං ආදරේ කරල තියන ලං වෙලා තියන එකම පිරිමියා. අපේ ජීවිත වල ලස්සන කාලයක් තිබුණ. අපිට ලස්සන හුරතල් දුවෙකුයි පුතෙකුයි ලැබුණ. ඒ දෙන්න ටික ටික ලොකු වෙන හැටි අපි ආසාවෙන් බලන් හිටිය. ඒගොල්ලන්ගෙ අනාගතේ ගැන අපිට පාට පාට හීන තිබුණ. දිවාකරට එන්න එන්න දියුණු වෙන බිස්නස් එකක් තිබුණ. අපි ආදරෙන් සතුටෙන් හිටිය. ඒක අපේ ජීවිත වලට ආයෙ එන්නෙ නැති එක යුගයක්. හරියට පොතක කියවල ඉවර කරපු චැප්ටර් එකක් වගේ…”

රන්මුතු හෙමි හෙමිහිට හුස්ම ගත්තා ය. ඇය මඳකට කතාව නවතා ඒ නිමා වූ පරිච්ඡේදය තුළ සිහිනයෙන් සැරුවා ය. කිසි දෙයක් වෙනස් වී නැත. එය හොඳ ය. ඒ මතකය වෙනස් නොවී, වියපත් නොවී, එලෙස ම පවත්නා එක හොඳ ය. දැන් ඉන්නා දිවාකර ට වඩා ඇගේ හදවතෙහි ඉන්නා දිවාකර ගේ ප්‍රතිරූපයට ඇය කැමති ය. දැන් ඉන්නා දිවාකර ඇගේ හදවතට අයිති කෙනෙකු නොවේ. ඇය දැන සිටි කෙනෙකු ද නොවේ. වසර ගණනාවක් ගෙවී ඇත ද ඇය ආදරයෙන් රැක බලාගෙන ඇත්තේ ඒ දිවාකරවයි.

“එයා උදාරි එක්ක සම්බන්දයක් තියනව කියල දැනගත්ත දවසෙ මගෙ ලෝනෙ පිපිරිල කෑලි කෑලි වලට කැඩිල බිඳිල ගියා. දූවිලි වලට අළු වෙලා ගියා”

“මට උදාරි එක්ක සම්බන්දයක් තිබුණෙ නෑ. එදා කියපු දේමයි මට අදත් කියන්න තියෙන්නෙ”

දිවාකර මැදින් පැන්නේ ආවේගයෙනි. ඔහු යන්තමින් වෙව්ලමින් සිටියේ ය. එවන් ආවේගයක් පිට වූයේ කාලාන්තරයකට පසුයි. වසර ගණනාවක් නිෂ්ක්‍රීය ව උන් ගිනි කන්දක් අහම්බයකින් විදාරණය වූවා මෙනි. උපදේශකයා ඔහු දෙස බැලුවේ සන්සුන් වන්නැයි කියන්නට මෙනි. මේ රන්මුතු ගේ වාරය යයි කියන්නට මෙනි. රන්මුතු නම් මඳකිනිදු කලබල නොවූවා ය. ඇය දිවාකර දෙස බැලුවේ හෝ නැත. සිය සිතිවිලි ලෝකය තුළට වී නිවී සැනසිල්ලේ ඒ මතක එළියට ඇද්දා ය.

“ඒ ෆොටෝස්…මං දන්නව පින්තූරෙකින් කියන්න බෑ කියල එතන හරියටම මොකද්ද වෙන්නෙ කියල. ඒත් ඒ එක දවසකට එක තැනකට අයිති පින්තූර නෙවෙයි. ඒව අතට ලැබුණ මොහොතෙ මං ගැස්සිලා ගියත් කලබල වුණෙ නෑ. අපේ ලස්සන පවුල මැද්දට බෝම්බයක් දාන්න හිතන කෙනෙක් ඉන්න බැරි නෑ කියල මං දැනං හිටිය. මං ඒව මගෙ ළඟ තියාගෙන දවස් කීපයක් ස්ටඩි කළා. දිවාකරට අඟවන්නෙවත් නැතුව. දිවාකර කී දවසක් පිට තැන් වලදි උදාරිව හම්බ වෙලාද…ඒ තැන්වල  එයා ඇඳන් හිටපු ශර්ට් අයන් කළේ මං. ඒ යන්න කළින් එයාගෙ පස්සෙන් ගිහින් ගිහින් බත් ටිකක් කවල යැව්වෙ මං. ඒ හැම දවසකම හවස ආපහු ආවහම එයාගෙ මහන්සි නිව්වෙ මං. එහෙම මට නොකියන රහසක් කාලයක් තිස්සෙ එයා පරිස්සම් කළා. එයාට ඒක මට කියන්න බැරි වුණේ ඇයි…එතන කියන්න බැරි දෙයක් තිබුණ නිසා. එයා දන්නව මං ඕන දෙයක් අහන් ඉන්න ගෑනියෙක් කියල. ඕන දෙයක් තේරුං ගන්න ගෑනියෙක් කියල. ඕන දේකට උදව් කරන ගෑනියෙක් කියල. ඒක යාළුකමක්නං ඇයි මට එච්චර ගැඹුරු යාළුකමක් ගැන කලින්ම කියන්න බැරි වුණේ…මං වගේ වයිෆ් කෙනෙක්ටත් කියන්න බැරුව රකින්න රහසක් ඒ දෙන්න අතරෙ තිබිලයි කියන එක තේරුං ගන්න බැරි තරං මං මෝඩයෙක්ද..තමන්ගෙ පාට්නර්ට කියන්න බැරි රහසක් ඇති වෙන තැනදි දෙන්නෙක් අතරෙ යා කරන්න බැරි පරතරයක් ඇති වෙනව කියන එක මට දැනුණ. මේ ගැන මං දිවාකරගෙන් අහපු වෙලාවෙ එයා කළේ මගෙ ඇඟට ගොඩ වෙන එක. එයාව විශ්වාස කරන්න බැරි ගෑනියෙක්ගෙං වැඩක් නෑ කියල කෑගහපු එක. කවදාවත් ඊටකලින් එයා එහෙම කරල නෑ. මට හිතාගන්න බැරි වුණා කිසි දෙයක්. මගෙ මුළු ලෝකෙම දෙදරල ගියා. ඒ පින්තූර දැක්ක මුල් ම වෙලාවෙත් නොදැනුණ සැකයක් බයක් මට දැනෙන්න ගත්ත. දිවාකර මායි දරුවො දෙන්නයි එක්ක නිදා ගත්ත කාමරෙන් කොට්ටෙත් අරං වෙන කාමරේක නිදියන්න ගිය දවසෙ මං බිඳිලම ගියා. ආයෙ කවදාවත් මගෙ දිවාකර මට ලැබෙන්නෑ කියල මං තේරුංගත්ත. වෙන ගෑනියෙකුට ලං වුණ දිවාකර කෙනෙක්ව තව දුරටත් මට ඕන නෑ කියලත් මං තේරුං ගත්ත. ඒ පුදුම දවස් ටිකක්. මගෙ දරුවො දෙන්න නැත්තං මං එදා ඒ ගෙදර අත්ඇරල ගිහිං. දස අතේ මං කල්පනා කළා මොනාද කරන්න ඕනෙ කියල. මං පිස්සියක් වෙලා හිටියෙ. මගෙ ඔළුව වැඩකළේ නෑ. අපේ ලස්සන ලෝකෙ කුඩු පට්ටං කරල දැම්මෙ දිවාකර. මගෙ කඳුළු වලින් මගෙ සතුට දියවෙලා ගියේ එයා නිසා”

“මට වෙන රූම් එකක නිදාගන්න  වුණේ රන්මුතුගෙ හැසිරීම නිසාමයි. මං ඔයාට දෝ කියනව නෙවෙයි. ඒත් ඒ වෙලාවෙ ඔයා හැසිරුණේ මෝඩ ගෑනියෙන් වගේ”

“තමන්ගෙ මනුස්සය වෙන ගෑනියෙක් එක්ක සම්බන්දයක් පවත්වනව කියල දැන ගත්තට පස්සෙ සද්ද නැතුව ඇස් පියාගෙන ඕන දෙයක් කරගන්න ඇරල රෑට ඒ මනුස්සයට තුරුල් වෙලා නිදියන එකද උගත් ගෑනියෙක්ගෙ විදිහ….සොරි දිවාකර…මට ඒ උගත් ගෑනි වෙන්න එදත් බෑ අදත් බෑ”

“උදාරිත් එක්ක එහෙම සම්බන්දයක් නෑ ඒක යාළුකමක් විතරයි කියල කොච්චර කිව්වත් ඇහුවෙ නෑ. කනක් ඇහිල නිදාගන්නවත් පුළුවන් වුනෙ නෑ. කියවිල්ලයි ඇඬිල්ලයි මට එපා වෙලා තිබුණෙ. ඒකයි මං අනිත් රූම් එකට ගියේ”

“ඒක යාළුකමක් විතරයිනං කලින් මට කියන්න තිබුණ ඒ යාළුකම ගැන. යාළුකමක් කියන්නෙ හංගන්න දෙයක් නෙවෙයිනෙ”

“ඔන්න ඔය නිසා තමයි මං පාඩුවෙ හිටියෙ ඕන දෙයක් හිතාගත්තාවෙ කියල. උදාරිගෙ පෞද්ගලික ප්‍රශ්න රන්මුතුට වුණත් කියන එක වරදක් කියලයි මං හිතුවෙ. ඒ ප්‍රශ්න විසඳුණාට පස්සෙ හැම දේම රන්මුතුට හෙමිහිට කියන්නයි මං හිතන් හිටියෙ. ඇක්සිඩන්ට් එක වුණේ ඒ හැම දෙයක් ම වෙනස් කරගෙන. ඊට පස්සෙ කිසි දෙයක් කියල වැඩක් නෑ කියල මට තේරුණා. වැරදිකාරයෙක් විදිහටම ඉක්මනට ඇස් පියාගන්න ලැබෙයි කියලයි මං බලාපොරොත්තුවෙන් හිටියෙ”

“මගෙ දරුවන්ගෙ තාත්ත විදිහටයි මගෙ ලීගල් හස්බන් විදිහටයි දිවාකර වෙනුවෙන් කරන්න පුළුවන් හැම දේම මං කළා”

“ඒත් මාව විශ්වාස නොකරන තැනක ඉඳන් ඒ මොනව කළත් මොකටද…අපේ පවුල ඇතුළෙ කවුරුත් මාව විශ්වාස කළේ නෑ. ළමයි වුණත් මං දිහා බැලුවෙ සැකෙන්. තාත්ත කෙනෙකුට ඊට වැඩිය දරාගන්න බැරි දෙයක් නෑ. මට ජීවත් වෙන්න ආස හිතෙන දේකට තිබුණෙ අපේ දුවගෙ හිනාව විතරයි. ඒත් එයත් අම්මට ආදරේ කරල මට අනුකම්පා කළා කියල මං දන්නව. එහෙම ගෙයක් ඇතුළෙදි…ජීවිතේ අත්අරින්න හිතෙන එක පුදුමයක්ද…”

“එතකොට ඔයා කියන්නෙ හැමදේම අපි නිසා සිද්ද වුණා කියලද…අපියි වැරදි කියලද…”

“වැරැද්දක් නොකරම මං වැරදිකාරය වුණා මිසක් මංපකාවවත් වැරදිකාරයො කළේ නෑ රන්මුතු”

රන්මුතු අතැඟිලි වලින් ඇස් මුල තද කොට ගත්තා ය. ඇයට හිසරදයක් දැනෙන්නට ගති. ඒ දිවාකර සම්බන්ධ ප්‍රශ්න ඇති වෙන්නට පටන් ගත් මුල් යුගයේ දී රන්මුතු පීඩා විඳි උග්‍ර හිස රදයේ ම දිගුවක් බව ඇයට වහා සිහි විය. කාලයක් ඇය විශාධය වෙනුවෙන් බෙහෙත් බීවා ය. නමුත් කල් ගත වන විට විශාධය ද බෙහෙත් ද අමතක කරමින් දරුවන් වෙනුවෙන් දිරියෙන් නැගී සිටියා ය.

“මෙහෙමයි. මං ඇවිත් නඩුකාරයෙක් නෙවෙයි”

දෙන්නා දෙපැත්තට වචන වලින් දමා ගැසීමේ කෙළවර උපදේශකවරයා අසුනේ හරි බරි ගැහෙමින් කීවේ ය. ඔහු ගේ දෙතොල් අතරේ මිත්‍රශීලී සිනහවක් විය. දිවාකර ට සේ ම රන්මුතු ට ද මඳ ලැජ්ජාවක් දැනිණ.

“වැරදි කළේ කවුද කියල තීරණය කරල වැරදිකාරයට දඬුවම් දෙන එක නෙවෙයි මනෝ උපදේශකයෙක් කරන්නෙ. වරද කාගෙ වුණත් ප්‍රශ්නය ගැන විවෘතව මූණට මූණ කතා කරන්න අවස්ථාව දීල…තම තමන්ගෙ වැරදි හදාගෙන ගැටළු අවම කරන් ඉස්සරහට යන්න උදව් කරන එකයි අපිට කරන්න පුළුවන්. මං හිතන්නෑ…මේ වගේ අන්තයකට ඇවිත් තියෙද්දි තමන්ගෙ එහෙම සම්බන්දයක් තිබුණෙ නෑ කියල දිවාකරට බොරුවක් කියන්න ඕනයි කියල. අනික අපේ වෘත්තීය පළපුරුද්දත් එක්ක අපි දන්නව කෙනෙක් හිතේ එකක් තියාගෙන වෙන දෙයක් කියනවනං. මේ සෙශන් එකට රන්මුතුවත් සම්බක්ධ කරගන්න මට ඕන වුණේ ඒකයි”

“මං කියන්නෑ දිවාකර බොරු කියනව කියල. ඒත් එයා වෙන ගෑනියෙකුගෙ රහසක් මගෙන් හංගන් ඉඳල මට අසාධාරණයක් කළා කියලයි මං කියන්නෙ. ඒක කාලයක් පවතින දරුණු තුවාල ඇති කරන හේතුවක්”

“දිවාකර පිළිගන්නවද ඒක වරදක් කියල…”

උපදේශකවරයා ගැටළුවේ කේන්ද්‍රයට අත තැබුවේ ය.

“පිළිගන්නව”

“ඒ වරදට දඬුවම් වින්දා දැන් ඇති කියල රන්මුතු පිළිගන්නෙ නැද්ද…”

ඇගේ ඇස් උපදේශකවරයාගේ ඇස් වලින් ලිස්සා ගොස් බිම ට හැරිණ.

“පිළිගන්නව”

ඇය යන්තම් කොඳුරා ගත්තා ය.

“හිත කියන දේ කැඩුණහම බිඳුණහම රිදුණහම හරි අමාරුයි ආයෙ හදාගන්න..සමහර විට ඒකට අවුරුදු ගාණක් ගත වෙන්න පුළුවන්. සමහර විට එච්චර කාලයක් ගිහිනුත් ඒක ලේසි නෑ කියල ඕගොල්ලො දන්නවනෙ. ඒත් මේ කෙටි ජීවිතෙන් කොයි තරං කාලයක් ඕගොල්ලො නොකළ වරදක් නිසා නාස්ති කරගෙනද කියල හිතන්න. ඒ කාලෙ ඕගොල්ලොන්ගෙ. පවුලක් විදිහට ඕගොල්ලොන්ට සතුටෙන් ඉන්න තිබුණ වටින කාලයක්. අපරාදෙ..පරණ දේවල් අමතක කරල ඕගොල්ලොන්ට ආයෙ ඒ සතුට හොයා ගන්න පුළුවන්ද කියල අපි පොඩ්ඩක් ට්‍රයි කරල බලමුද…බලෙන් උත්සාහ කරන්න නෙවෙයි මං කියන්නෙ. හැබැයි ඒක ටිකක් අමුතුයි වගේ කියලත් මුලින් ඕගොල්ලොන්ට දැනෙයි. එක පාරට කොයි දේටත් හැඩගැහෙන්න අමාරුයිනෙ. අපි ඊළඟ සැටඩේ ආයෙ සෙශන් එකක් දාගමු. සතියක් තියනව ඔය දෙන්නට ට්‍රයි කරන්න. මං හිතන්නෙ…ඔය දෙන්නම ඔය දෙන්නට අදටත් ගෞරව කරන නිසා…පරණ ආදරෙයි බැඳීමයි අලුත් කරගන්න අමාරු වෙන එකක් නෑ. රන්මුතුට පුළුවන් දරුවො දෙන්නත් එක්ක එකතු වෙලා දිවාකරට ආයෙ ජීවිතේ පටන් ගන්න බලාපොරොත්තුවක් වෙන්න. මං හිතන්නෙ ඔය දෙන්න ඈත් වෙච්ච නිසයි මේ දේවල් මේ තරං දුරදිග ගිහින් තියෙන්නෙ. රන්මුතු…ආදරේ කියන්නෙ ඉවසීම. ආදරේ කියන්නෙ සමාව. එහෙම නේද..”

රන්මුතු ගේ තොල් කොනක් සැලී ගියේ ය. ඇය අසුනෙන් නැගී සිටිමින් දිවාකර ගේ රෝද පුටුව අල්වා ගත්තා ය. ඔහු වෙනත් ගැහැනියකට ලං වූයේ නැත කියන හැඟීම ඇය තුළ අභිමානයක් දැනවී ය. කාමරයෙන් පිටතට අම්මා තාත්තා රැගත් රෝද පුටුව තල්ලු කරගෙන එන විට තඹරු සිටියේ සෝෆාව මත සමනල් ට යාබදව අසුන්ගෙන ය. ඇය අසුරු සැනෙන් නැගී සිටියා ය. අම්මා ගේ ඇස් ඇතුළේ මඳ සුළඟක් සේ හමා යන සිනහවක් ඇය ට දකිත හැකි විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles