නිලැසි -01

වැසි ඇද හැලෙයි.සීතල කඳුකරය මත හිම වැටී ඇතිදැයි සැක හිතෙන තරමේ සීතලකින් වැසි ඇද හැලෙයි.නිලැසි නිල් නෙතු විහිදා කඳුකරය දෙස බොහෝ වෙලා බලා හුන්නා ය.මේ මහ වැස්සේ කොළඹ ඉන්නට සිදු වූවානම් සිතෙද්දී පවා ඇගේ සිත අපුලකින් පිරී යයි.ජරාජීර්ණ කාණු උතුරමින් වැසි ජලය ගලා යන අන්දම සිහි වෙද්දී ඈ ගත හිරිගඩු නැංවේ.

සීතල පිනි මුහුණට වැටෙන්නට ඉඩ හැර බැල්කනිය මතට වී සිටි ඈ කිති කැවී ගියේ බඳ වටා එතී ගිය දෑතකිනි.හන්තාන කඳු මුදුන් මීදුමෙන් වැසෙන අන්දම නරඹන්නටවත් ඡායාරූපයට නගන්නටවත් සිතුවමක් අඳින්නටවත් දැන් ඉඩ ලැබෙන්නේ නැත.

“නුවර ලස්සන වැස්සට කියන්නෙ ඇත්ත නේද?”

නිලැසි එසේ අසන්නේ හිනැහෙමිනි.ඇගේ උරහිස මත හිස තබමින් එරන්ද හිනැහුණේ උස් හඬිනි.

“නුවර ලස්සන වැස්සට නෙවෙයි,නුවර කොහොමත් ලස්සනයි.අපි වගේ ලස්සන කොල්ලො ඉන්නකොට නුවර ලස්සන නැද්ද?”

ඔහු අසයි.නිලැසි ඔහුගේ කැරලි හිසකෙස් පිරිමදිමින් මොහොතක් ගෙවා දැම්මා ය.

“ඔයාට වඩා ලස්සන ඔයාගේ හිත.”

ඈ එසේ කියන්නේ හදවත වාන් දමනා ප්‍රේමයෙනි.එරන්ද නිලැසි දෙස බලා මොහොතකින් කාමරයට තුළට පිවිස නැවත පැමිණියේ ගිටාරය රැගෙන ය.

සීතල සිතුවිලි උණුසුම් සුසුමින්
සුවපත්කල ලබැඳේ…

ඔහු ගයයි.නැවතී බලා හිඳියි.ඒ ඉතිරි පද ඈ ගයන තුරු ය.

ජීවිත කතරට සිහිලැල් පිනිබිඳු ඉසිමින්
පෙරමං කී නිරිඳේ…

නිලැසි ගැයුවේ ඒ ගී පද පමණි.අනතුරුව ඈ ගී ගැයීම නවතා ඔහුගේ තුරුලට වැටුණා ය.මේ මහ වැස්ස ගැළපෙන්නේ ගී ගයන්නට නොවේ.

“එරන්ද..ඔය යූටියුබ් එකට සින්දු කවර්ස් කර කර ෆේස්බුක් නංගිලාගේ වීරයෙක් වෙන එක නවත්තලා ඔයාගෙමයි කියලා සින්දුවක් කරන්නේ කවද්ද?”

නිලැසි ඇසුවේ තද හඬකිනි.එරන්ද ඒ තද හඬට මෙල්ල නොවේ.ඔහු දඟ සිනාවකින් ඈ දෙස බලා සිටියේ ය.නමුත් නිලැසි ඒ සිනාවට දිය නොවන්නට තීරණය කළා ය.කොහොමටත් එරන්ද ඈට වඩා තෙවසරක්ම ළාබාල ය.මල්ලි සහ නංගිට අක්කා වූ පුරුද්ද ප්‍රයෝජනවත් වන්නේ මෙවැනි තැනකදී ය.

“ඔයාලගේ තාත්තා වගේ පට්ට මියුසීෂියන් කෙනෙක් වෙන්න මට බැරි වෙයි බබී.මියුසික් කියන්නේ මගේ ලාලසාව.එච්චරයි.”

එරන්ද මොනවා හෝ බර වචන දමා කතාව ඔහුගේ පැත්තට හරවා ගන්නා බව නිලැසි දන්නී ය.නමුත් එයට ඉඩ දිය යුතු නොවේ.

“තාත්තා ඔය තැනට ආවේ කම්මැලිකමට බිබී ඉඳල නෙවෙයිනෙ එරන්ද.මහන්සියෙන්..”

නිලැසිගේ හඬ එවර පිරෙන්නේ කලකිරීමෙනි.නමුත් එරන්දගේ උස් සිනා හඬ කාමරයේ බිත්ති මත වැදී දෙසවන්හි හැපෙද්දී ඒ කෝපය දියව යන බව නිලැසිට නොදැනෙනවා නොවේ.

“නිම්න වික්‍රමාරච්චිට වගේ පිය උරුමයක් මට නෑනෙ බබී.දිගැසි වික්‍රමාරච්චි දැන් ඔය ෆීල්ඩ් එකට අඩිය තියන්න හදන්නෙත් ඒ උරුමෙටනෙ.අන්න එතකොට අපි වගේ උන්ට මැණික් වෙන්න අමාරුයි.අපි නිකම්ම නිකං තබක්ක කෑලි..”

එරන්දගේ චෝදනාත්මක ස්වරයට නිලැසි නොමනාප ය.නමුත් ඔහුගේ වේදනාව ඔහුගේ කෝණයෙන් දකින්නට නිලැසි මනාප ය.

“මල්ලා දක්ෂයිනෙ එරන්ද.එයා අපේ තාත්තගෙ පුතා වුණත් නැතත් ඔය ගමන යන්නෝන මනුස්සයෙක්.හා නැද්ද? එයා මුලින්ම අර දේවක අංකල් පස්සෙ ගිහින් සින්දුවක් ලියෝගෙන ඒකට මෙලඩියක් දාගෙන ඔක්කොම කරගන්නකම් තාත්තා දන්නෙත් නෑ.මල්ලා ඔය තැන ඉන්නේ එයාගෙ මහන්සියෙන්..”

නමුත් එරන්ද එබස පිළිගන්නට එතරම් කැමැත්තක් නැත.බන්දේසියක තබා ඔහු වෙත අවස්ථා පිළි ගන්වනවාට ඔහු සතුටු ය.

“ඔයා සින්දුවක් කරන්න.මං ඔයාට සල්ලි දෙන්නං..”

නිලැසි එසේ කියද්දී එරන්ද නෑසු කන්ව හුන්නේ ය.

“නැත්නම් ඔයාට පුලුවන් අර රූ ටීවි එකේ රියැලිටි එකට යන්න එරන්ද..ඔයා කොහොමටත් දැන් යූ ටියුබ් ක්‍රවුඩ්….”

නිලැසිගේ වචන අහවර කරන්නට ඉඩ නොලැබිණ.එරන්ද ඈ වෙත කෝපාවිෂ්ඨ දෑසකින් බලා සිටියේ ය.

“ඒකෙ ජජ් බෝඩ් එකේ ඔයාගේ මල්ලා බබාත් ඉන්නවනෙ නේද? මං ඌට දෙකට තුනට නැවිලා කෝච් කෝච් ගාන්න ඕනද?”

එරන්දගේ ආත්මාභිමානයට හානි කළා යැයි දිගැසි භීතියට පත් වූවා ය.ඈ වහා ඔහු වැළඳ ගත්තා ය.මේ දුර ගෙවා පැමිණියේ ඔහු හා වාද කරන්නට නොවේ

“ඒ උනාට ඔයා ඔයාට කියලා මොකක්ම හරි ආදායමක් හොයා ගන්නෝනෙනෙ.”

ඇය අනාගත සිහින දකිමින් කියන්නී ය.

“ඔයා ඉන්නෙ..”

ඔහු ඒ පවසන්නේ සරදමක් බව නිලැසි සිතුවා ය.තමන්ගේ ආර්ථික මට්ටම ඉතා යහපත් බව සත්‍යයකි.නමුත් රාජේන්ද්‍ර වික්‍රමාරච්චි නම් සංගීතඥයාට එරන්දගේ විශේෂයක් නොපෙන්වා අසීරු සටනක් ජය ගත නොහැකි බව නිලැසි හොඳින්ම දැන සිටියා ය.

“අනික මම ඔයාගේ පේන් කිලර් එක විතරයි බබී.මාව මාර මිනිහෙක් කරන්න හදන්නේ මොකද ඔයා මාව කසාද බඳින්නද? මම මේ සීතල කඳු අස්සෙන් හමන හුළඟක් වගේ සැහැල්ලු මිනිහෙක් බබී.මට ඔය ලොකු හීන නෑ..”

එරන්දට පිළිවදන් දෙන්නට නිලැසි සැරසුණා ය.ඇගේ දුරකථනය නාද වූයේ ඒ මොහොතේ ය.ඇය එදෙස බැලුවේ ඕනෑවට එපාවට ය.රශ්මි, ඇගේ නෑනන්ඩිය එහා ඉම විය.නිම්න වික්‍රමාරච්චිගේ බිරිඳ වූ රශ්මි මහ ගෙදර කුමක් හෝ අර්බුදයක් ගැන කියන්නට අමතනවාදැයි නිලැසිට සැක දැනේ.නංගි මෙන් රශ්මි ගිනි අවුලවන්නේ නැත.

“ඇයි මැණිකේ. ” නිලැසි වඩා ළයාන්විතව නෑනන්ඩියගෙන් විමසුවා ය.

“අක්කි ඔයා කොහෙද?” රශ්මිගේ හඬ කලබල ය.

“මං කැන්ඩි ආවා නංගි..” එසේ පවසා තමන්ටම දැනුණු අපහසු හැඟීමෙන් මිදෙන්නට නිලැසි වාක්‍යය සම්පූර්ණ කරන්නට සිතුවා ය.

“මට මේ වැහි කාලේ ෆොටෝස් ටිකක් ගන්නෝන.චිත්‍ර අඳින්නත් ඕන..”

රශ්මි මේ මොහොතේ නිලැසි ඉන්නා තැන ගැන සැක කළා ය.ඒවා නිම්නට පවසා ඔහු කලබල කරන්නටත් නිම්නගේ අම්මා වන රසාදරී වික්‍රමාරච්චිට කේලම් කියන්නටත් රශ්මිට නුවුමනා ය.නමුත් රශ්මිට මේ මොහොතේ කැළඹෙන්නට ඉතා සාධාරණ හේතුවක් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

සුහදිනි -76

ජයග්‍රහණය කියන්නේ උණුසුම් හැඟීමකට ය.අහස් උපදින්නටත් පෙර වසරක දිනා ගත් ලෝක කුසලානයක් මිසක ශ්‍රී ලංකාවට ලෝක කුසලාන හිමිකමක් නොවිණ.ඒ හිමිකම අත පොවන...

නිබ්බුත ගීත -26

මම සෑම ඍතුවක ම ජීවිතයට ආදරය කළ ගෑනු ළමයෙකු වීමි. කුස ගින්න ඇතුලු දරිද්‍රතාවයේ සියල් අංග අවි අමෝරා අප වට කොට ගත්දීත්...

(අ)හිමි සිහින -230

මිනිස්සු එකිනෙකා හා බැඳෙන්නේ හදවතින් මිස බාහිර උවමනා එපාකම් වලින් නෙවෙයි.ඥාති හිතමිත්‍ර කමක් වුණත් හටගන්නේ එහෙමයි. සුධාරකගේ වැඩිමල් සහෝදරිය...

නිබ්බුත ගීත -25

තාප්පය අයිනේ කහ පාට බෝඩරයක් ව දිස් වන තාරුකා මල් තීරය දිය බත් කර ගෙන වැස්ස වහිමින් තිබිණ. අලුතෙන් උදලු ගෑම නිසා...

රෝගී වූ ගුරුතුමිය අත් නොහැරි පන්තියේ දඟකාරයෝ

පන්තිභාර ගුරුතුමියට අම්මා මෙන් සලකන දරුවන් ඕනෑතරම් හිඳිනවා.එසේ වන්නට ඇය කළ එක් ක්‍රියාවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත් වන්නට පුළුවන්.නව යොවුන් වියේ පසුවන දරුවන්...