සැරිසරන්නී -35

මගේ කම්මුලෙන් ගින්දර ද දුම් ද පිට වෙන්නා සේ දැනිණ. මම බිම බලමින් ඒ කම්මුල යන්තම් ඇඟිලි තුඩු වලින් අල්ලා ගතිමි. ඒ තරම් තද පහරක් මගේ ගෙවුණු ළමා හෝ යොවුන් විය පුරාවට මා අත් විඳ නොතිබි බව සහතික ය. ඒ මා වැරදි නොකළ දරුවෙකු වූ නිසා ය. ඉඳහිට පොඩි හිතුවක්කාර කමක් කළ ද එය ලොකු දඬුවමක් ලබනා හේතුවක් වූයේ නැත. මෙතෙක් මගේ දිවිය තුළ මා කළ ලොකු ම වරද මෙය බව, මේ පහර මට කියයි!

“පෙනේද ලැජ්ජාවක් බයක් නැතුව කියපු කතාවක හැටි! ඇරත් තාත්තා එක්ක…”

අම්මා ගේ ඒ මැද්දට පැනීම අනුව ඒ අතුල් පහරත් ඇයගේ බව මම ප්‍රත්‍යක්ෂ කොට ගතිමි. එතකොට මට දැනුණ රිදුම ද අතුරුදන් ව ගියේ ය. පොඩි කාලේ සිට ම මට දුක සිතුණේ තාත්තා දොසක් කීවොත් ය. ඔහු ගෙන් ගුටියක් කෑවොත් ය. අම්මා නම් පොඩි දේටත් කියවූ අතර ඒ කියවිලි මා හෝ නංගී කනකට ගත්තේ නැත. 

තාත්තා බුද්ධිමත් ය. අම්මා හැඟුම්බර ය. තාත්තා ඉවසිලිවන්ත ය. අම්මා කලබල වන්නී ය. නමුත් ඔවුන් දෙදෙනා ම අප ට ප්‍රාණසම ආදරයක් පෙන්වන බව දැනේ. ඒ ආදර ස්වභාවයන් දෙක වෙනස් ය. නමුත් කවර ස්වරූපයකින් පෙනී සිටිය ද ආදරය ආදරය ම බව මම දනිමි. 

“මොනවද ජානා කරන්නෙ…පිස්සුද…”

තාත්තා අම්මා ට සැර කළේ ඒ අතුල් පහර ගැන ය.

“මේ හැම දේටම වැරදි කාරය ඔයා”

එවර අම්මා කෙලින් ම තාත්තා ට චෝදනා කළා ය. 

“මේ කෙල්ලො දෙන්නා මේ තරං නරක් වුණේ…මේ තරං හිතුවක්කාර වුණේ ඔයා නිසා. දැන් බලන්න මෙයා අර ළමයට කියල තියෙන කතාව කොච්චර කැතද…අපි කොහොමද ඒ මිනිස්සුන්ට මූණ දෙන්නෙ…කිසිම චාරෙකට නැති ගෑනු ළමයෙක් වගේනෙ කතා කරල තියෙන්නෙ. මං කොහොමද අර මනුස්සයගෙ මූණ බලන්නෙ…”

අම්මා කියවා ගෙන ගියා ය. මට ඇය ගැන දුක නො හිතුණා නොවේ. නමුත් මේ මනමාලයන් ගෙන්වන සෙල්ලම නතර කළ හැකි එක ම මාර්ගය ඒ ය. ආච්චා පවා එසේ කියනා ලෙසට මට අනුබල දුන්නා ය.

“සනූ ඒ කරපු දේ හොඳ වැඩක් නෙවෙයි. වැදගත් ගෑනු ළමයෙක් කරන දෙයක් නෙවෙයි”

ඉතිහාසයේ සිට ම වැදගත් ගෑනු  ළමයින් සේ සමාජය විසින් පිළිගනු ලැබුවේ සිය හැබෑ හැඟීම් හංගා ගෙන ලෝකයට ඕනෑ ලෙස ජීවත් වූ රූකඩ චරිතයන් ය. ලෝකයට වැදගත් මූණක් පෙන්වා ගෙන එවන් ගැහැනු බිව් කඳුළු වල ලවණ රසය සත් සමුදුර ද පරදනු ඇත.

ලෝකයට පේන්නට වැදගත් කාන්තාවක් වන්නට මට ඕනෑ නැත. කිසිවෙකුට නරකක් නපුරක් අවැඩක් නොවන සීමාවේ දී මගේ හැඟීම් මට අනිත් සියල්ලට වඩා වැදගත් වේ. දෙවැනි වෙන්නේ අම්මා ට හා තාත්තා ට පමණකි.

“රවීන් ට අම්මල කැමති නැත්තං මං හිත හදා ගන්නං. හැබැයි ඒ වෙන කාවවත් බඳින්න නෙවෙයි. කවදාවත් කාවවත් බඳින්නැතුව තනියම ඉන්න. මගෙ අන්තිම තීරණේ ඒක තාත්තෙ”

වචන වල තිබුණ මුරණ්ඩු බව සගේ ස්වරයේ වූයේ නැත. එය අතිශය මෘදු මොළොක් හා අහිංසක සරකින් මට ඇසිණ. 

මා බිම බලාගෙන එතැනින් නික්මෙත්දී අම්මා ගේ හඬ ඇසුණේ ය.

“පෙනේ නේද තියෙන හිතුවක්කාරකම. මෙයා මෙහෙම වෙනකොට අපිට අනිත් එක්කෙනාවත් හදාගන්න බැරි වෙන එකයි වෙන්නෙ. මන්නං හිතුවෙ නෑ සනූ මෙච්චර නරකයි කියල”

සමාජය අප දෙස බලන්නා වූ හෝ අප මත අලවන්නා වූ ලේබල වූ කලී අපට ඕනෑ ඒවා නොවේ. ඔවුන්ට ඕනෑ ඒවා ය. අප කැමති වුණත් නැතත් ඔවුන් ඒ ලේබල අලවනු ඇත. අප ව ඔවුන් රිසි කාණ්ඩ වලට දමා වර්ග කරනු ඇත. ඒ සියල්ල සිදු වන්නේ ඔවුන්ගේ නිර්ණායක වලට අනුව ය. ඔවුන් ලෝකය දෙස බලනාකාරය අනුව ය. එය නිවැරදි ම මිණුම් දණ්ඩ යයි ඉතින් අප පිළිගත යුතු ද? ඒ ගැන වද විය යුතු ද? කලබල විය යුතු ද? නැත ය කියා සිතමි.

“කමක් නෑ ඒ කම්මුල් පාර කෑවත්. මට ඕන දේ…අම්මල දැන ගන්න ඕන දේ එයාලට කියා ගත්තනෙ”

මා නංගීට හා ආච්චා ට කීවේ ජයග්‍රාහී සතුටකිනි. මිනිස් හැඟීම් හරි පුදුමයි කියා ඇතැම් විට මම සිතමි. මිනිස්සු ඔවුන් නිවැරදි යයි සිතනා හෝ ඔවුන් අදහන යමක් උත්කර්ෂයට නංවනු වස් ඕනෑ ම කැප කිරීමක් කිරීමට සූදානම් ය. ප්‍රේමය විෂයේ ගත හොත් ප්‍රේමය හිමි කර ගත නො හැකි වීම මත ජීවිතයට නැවතීමේ තිත කැබූ පෙම්වතුන් ගැන ඉතිහාස සාක්ෂි අපමණ ය. ප්‍රේමය පමණක් ම ද නොවේ. ආගම හා මාතෘ භූමිය වැනි සංකල්පයන් මත ද මිනිස්සු සිය ජීවිත පරදුවට තබා සටන් වැදුණෝ ය. තමන් අදහන ආගම වෙනුවෙන් වෙනත් ආගම් අදහන මිනිසුන් ඝාතනය කොට, තමන්ගේ යයි කියා ගන්නා මාතෘ භූමි ලෙයින් නහවන්නට තරම් මිනිස්සු ම්ලේච්ඡ වූ ආකාරය ගැන ඉතිහාසය සාක්ෂි දරයි.

මම ද මගේ ප්‍රේමය වෙනුවෙන් නිහඬ අරගලයක් කරන්නට සිතුවෙමි. එහි වන වරදක් ඇත්තේ ද? 

ලොකු අයියා පැණි බූන්දි පාර්සලයක් ද ගෙන අපේ ගෙදර ආවේ ය. මා බූන්දි වලට පෙරේත බව ඔහු දනී. අතේ මුදලක් ගැවසෙන වෙලාවක මා සිහි වුණොත් ඔහු එහෙම කරන්නේ ය. එහි අරුමයක් නැත..නමුත් මෙකී දවසේ අම්මා ඉක්මන් කොට මුලින් ම බූන්දි ටිකක් කටේ දමා ගත්තා ය. මමත් ලොකු අයියා ත් මූණෙන් මූණ බලා ගතිමු.

“මට පේන්නෙ සුදු නැන්දා බයේ. අරූ මොනා හරි දාල දීපු බූන්දි පාර්සලයක් මං උඹට ගෙනත් දුන්නයි කියල වෙන්නැති”

කොංක්‍රීට් තලාව මත්තට ගොස් බැම්ම මත හිඳ ගනිමින් ලොකු අය්යා කීවේ ය. මම මඳ සිනහවක් නගා ගතිමි. ඒ සිනහව දුක්බර පෙනුමක් දරන්නට ඇත.

“අම්මල එහෙම තමයි අයියෙ. කොන්දේසි නැතුව එයාල දරුවො වෙනුවෙන් නැගිටිනව. මේකත් එහෙම නැගිටීමක්. අපේ අම්ම කොච්චර තැන්පත් ගෑනු කෙනෙක්ද…ඒත් මේ ප්‍රශ්නෙදි ඒ අම්මව මං දැක්කෙවත් නෑ. එහෙමයි කියල මං අම්ම එක්ක තරහ නෑ. මට කේන්ති යන්නෙත් නෑ. සමහර වෙලාවට හිනා යනව අම්ම පොඩි ළමයෙක් වගේ හැසිරෙනකොට”

මගේ හඬ බිඳී ගෙන ආවේ ය. ඇස් වල කඳුළු පිරිණි. ලොකු අයියා සුසුමක් හෙළුවේ ය.

“මට තේරෙන්නෑ බං මේ ලව් කේස් වලට මොනා කරන්නද කියල. එදා උඹව බලන්න මනමාලයෙක් ආපු දවසෙ අරූ ආයෙ බිව්ව. අනේ මන්දා බං”

“බිව්වා…”

මගේ හදවත මැද්දේ බෝම්බයක පිපිරීමක් සිදු විය.

“පිරිමි හිත් වුණත් රිදෙනව තංගච්චි”

ලොකු අයියා එය කීවේ ඉවත බලා ගෙන ය. 

“මට මේකට මැදිහත් වෙන්න බැරි…දුනුකේ මාමයි සුදු නැන්දයි කියන දෙන්නම මං හුඟක් ආදරේ කරන ගෞරව කරන දෙන්නෙක් නිසා”

“රවීන් අයිය දිගටම ඩ්‍රිංක්ස් ගන්නවද අයියෙ…”

මම නැවතත් මට වද දුන් තැනට ආවෙමි.

“ඌ ඔහොම හිටියට පොඩි දේටත් අවුල් යනව”

“මං වෙන කාටවත් කැමති වෙන්නෙවත් වෙන කාවවත් බඳින්නෙවත් නෑ අයියෙ. ගෑනු හිතක් හයියයි එහෙම දේකට වුණත්..මට ජොබ් එකට යන්න දෙනවනං…මං අම්මලගෙන් වෙන දෙයක් ඉල්ලන්නෙ නෑ. එතකොට අඩු ගානෙ මට මේ බර පැත්තකින් තියල ඒ වැඩක් කරන්න පුළුවන්. මැරෙන්න කැප වෙච්ච මිනිහෙක්ට වුණත්…අන්තිම මොහොතෙ එයා කැමති දේකට අවසර ලැබෙනවනෙ දෙයියනේ…”

“හ්ම්..අපි බලමු මොකද වෙන්නෙ කියල. ටිකිරිමලී ඉඳල ඉඳල කොල්ලෙක්ට ලව් කරන්න ගත්තා මදැයි”

“අර දිලුමයට දැන් සනීප ඇති”

මා එසේ කීවේ පිළිකුල් හැඟීමකින් කට හදා ගෙන ය. එදා ඒ පුපුරා යාමෙන් පසු මා දිලුම් ව දැක්කේ ම නැත. ඔහු මේ දිනවල ව්‍යාපාරයක් පටන් ගැනීම වෙනුවෙන් දුව ඇවිදින බව ආච්චා කීවා ය. කොහොමත් මින් මනතට ඔහු අපේ ගේ දෙසවත් නොබලන බව නම් දනිමි. ඒ මගේ කමමුල් පහර දෙක නිසා නොව තාත්තා ට මූණ දෙන්නට ඔහු ට වන අපහසුතාව නිසා ය. 

සීයා මිය ගොස් වසර පහළවක් සපිරෙන දිනයට දානමය පිංකමක් කරන්නට ආච්චා ට ඕන වී තිබිණි. ඇය ඒ බව කල් තියා සිය දූ පුතුන් සය දෙනාට මතක් කොට, මූල්‍යමය දායකත්වය සපයන ලෙස ද දැනුම් දී තිබිණි.

“ඒ මනුස්සය මළේ දරුවො වෙනුවෙන් යුතුකම් ඉටු කරල. දැන් දරුවන්ට යුතුකමක් තියෙනව තාත්ත වෙනුවෙන් දාන මාන කරල පින් අනුමෝදන් කරන්න”

ආච්චා ගේ අදහස එබඳු විය. නමුත් නැන්දලා මේ ගැන රහසේ කුටු කුටු ගෑහ. 

“ජීවත් වෙන මිනිස්සුන්ටත් කාල ඇඳල ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි මේක. කොච්චර හම්බ කළත් මදි. ඉතිං මැරිච්ච මිනිස්සු වෙනුවෙන් මැරිල අවුරුදු පහලොවක් ගිහිල්ලත් දාන දෙන්න සල්ලි වියදං කරන එක මොන නාස්තියක්ද…”

ඔවුන් එහෙම කියනු මගේ කනට ඇසී තියේ. දෙමාපියන් මිය ගිය පසු ඔවුන් ට පින් අනුමෝදන් කිරීම දරුවන්ගෙන් විය යුතු යුතුකමක් සේ සිඟාලෝවාද සූත්‍රයේ පවා කියවේ. නමුත් සමහර පුතුන් විවා පත් කර ගන්නා බිරින්දෑවරු, පුතෙකු වශයෙන් දෙමාපියන් වෙනුවෙන් ඉටු විය යුතු ඒ අවසාන යුතුකම ද සිය පුරුෂයන් ගෙන් උදුරා ගනිති.

තාත්තා මා ඉපයූ මුදල් ගෙදර පරිහරණය සඳහා යොදා නො ගත් අතර ඒවා මගේ අවශ්‍යතා වෙනුවෙන් ගැනුණ පසු බැංකු ගිණුමෙහි ඉතිරි වූයේ ය. සීයා ගේ දානය වෙනුවෙන් මම ඉන් සැලකිය යුතු මුදලක් ගෙන ආච්චා අතේ තැබුවෙමි. 

“දානෙට පිරිකර ඔක්කොම මං දෙනව කියල ආච්චාට කියන්න”

යනුවෙන් රවීන් මට කෙටි පණිවිඩයක් එවා තිබුණේ ය. තාත්තා පිරිකර ලබා දෙන බව කීවේ ඉන් පසු ය. 

“අනේ දුනුකේ අටපිරිකරයි සෙසු පිරිකරයි ඔක්කෝම රවීන් පුතා බාර ගත්තා. කමක් නෑ ඉතින් දුනුකේත් කැමතිනං පිරිකර දෙන්න”

ආච්චා රවීන් ගේ නම කීවේ උජාරුවෙනි. ඒ ආඩම්බරය මගේ හිතට ද ඇසිල්ලකින් බෝ වූවා සේ ය. මම පිල් විදහා ගත් මොණරෙකු සේ හිස කෙළින් කොට ගෙන උද්දාමයෙන් වට පිට බැලුවෙමි. 

“නෑ නෑ එහෙනං මං වෙන මොනාහරි කරන්නංකො. කොහොමත් ඉතින් දානෙ වැඩ ඔක්කොම අපි බලල කරන්න එපැයි”

දානය දෙන්නේ කොයි ගෙදරද යන පැනය ඊළඟට මතු විය. වෙනදා නම් ඔය කටයුතු කෙරුණේ ලොකු මාමලා ගේ ගෙදර ය. ආච්චා කාලයක් තිස්සේ එහි සිටි නිසාවෙනි. නමුත් දැන් ඕ නිල වශයෙන් පදිංචි ව සිටින්නේ අපේ ගෙදර වන නිසාවෙන් දානමය කටයුතු අපේ ගෙදර සිදු වෙනවාට අම්මා කැමති වූවා ය.

“දුනුකේගෙ අකමැත්තක් නැත්තං මං කැමතියි මෙහේ වැඩ ටික කරන්න”

“මං මොකටද අකමැති වෙන්නෙ. කොහොමත් අම්ම ඉන්නෙ මෙහෙනං ඒව කෙරෙන්න ඕනත් මෙහෙනෙ”

මගේ හිත ප්‍රීතියෙන් පිනා ගියේ ය.එය අපේ ගෙදර කටයුත්තක් වන නිසා, විශේෂ උනන්දුවකින් ආච්චා සමග එක් වී මම කටයුතු සංවිධානය කළෙමි. රවීන් අපේ ගෙදරින් පිටත දී ආච්චා සමග කතා කරමින් අඩුපාඩු සොයා බැලුවේ ය. 

“කොල්ලට මෙහෙට එන්න වෙනවනෙ දානෙ දවසට. ජනරංජනීට බෑනෙ එපා කියන්න”

කාමරයේ ඇඳ උඩ හිඳ අවශ්‍ය බඩු ලැයිස්තු පිළියෙල කරන අතරේ ආච්චා සිනහ වෙමින් කීවා ය. 

“ඒත්…එයාට අම්මගෙ වුණත් රැවුම් ගෙරවුම් බලන්න වෙනවට මං ආස නෑ ආච්චා. ඒක හිතට හරි බරක්”

“අන්න ඒ බර තියන තැන තමයි කෙල්ලෙ ආදරේ තියෙන්නෙ. තමන්ගෙ කියන හැඟීම තියෙන්නෙ”

“ඒ තමන්ගෙ කියන හැඟීම පුදුම එකක් ආච්චා. කියන්න නොතේරෙන දෙයක්”

“අක්කේ…”

නංගී කාමරයට කඩා වැදී එකවර මා වැළඳ ගත්තේ ඒ කතා බහ අතරේ ය. මම විශ්මිත ව ඇදෙස බැලුවෙමි. බැලුවා ය කීවා ට බලන්නට බැරි තරමට ඇය මගේ ගෙල හිර කර ගෙන සිටියා ය.

“මොකද මේ…”

“සප්‍රයිස්”

“මොකක්”

“ගිහිං බලන්න කවුද ඇවිත් ඉන්නෙ කියල”

මමත් ආච්චා ත් මුහුණෙන් මුහුණ බලා ගතිමු. නංගිගේ මූණේ දේදුන්නක් පායා තිබිණි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles