බැල්කනියේ විදුලි පහනක් වුව නො දල්වා ඝණ අන්ධකාරයට වී මා ලොකු අයියලා ගේ ගේ දෙස බලා ගෙන සිටි එක් රාත්‍රියක ‘සනූ’ කියා මා අමතන තාත්තා ගේ හඬ මට ඇසිණ. හදවත් පටක ක්ෂණික නාය යාමකට බඳුන් වූයේ ය. තාත්තා මා සොයා විත් තියේ!
පහුගිය කාලයේ දී මම හැකි තාක් තාත්තා මගහැර ජීවත් වීම පුරුද්දක් කොට ගතිමි. ඔහු ගේ මුහුණ ට හමු වීම වළක්වා ලීම අභියෝගයක් කොට ගතිමි. තාත්තා කියනා අතීත කතා අසන්නට මහත් තෘෂ්ණාවක් දැක්වූ සනුකි ව මරා මගේ හදවත තුළ වළලා දැමුවෙමි. නො මැරී ඉතිරි ව සිටි සනුකි ගෙදර අයත් එක්ක ලොකු බැඳීම් හදා ගන්නට නො ගියා ය.
මා කාමරයේ නැති නිසාවෙන් දෙවන වරට ද තාත්තා මට කතා කළේ ය.
“තාත්තෙ මං මෙහේ”
මම සඳැල්ලේ සිට ම කීවෙමි. තාත්තා එහි පැමිණියේ ය.
“කළුවරේනෙ”
මා යන්තම් සිනාසුණා පමණකි. අම්මා එහෙම කීවා නම් ඇගේ පපුවේ ඇමිණෙන්නට කියන්නට පිහි තුඩු වන් වචන එන්නට තිබිණි. නමුත් මම තාත්තා ට කිසිත් නොකීවෙමි. මේ ඝණ අන්ධකාරය මගේ ජීවිතේට හුඟක් සමාන බව එක අතකට මා කාටවත් ම කිව යුතු නැත.
තාත්තා ගැන මා තුළ තරහවක් වන්නේ දැයි මම කිසි දා මා නො විමසා ඇත්තෙමි. පවුලේ අයට දුනුකේ කියන්නේ ලොකු මිනිසෙකි. නමුත් ඒ ලොකු මිනිසා කවදාවත් ඇගේ ලොකු දුවගේ ප්‍රේමය වෙනුවෙන් බලවත් ව පෙනී නොසිටි බවට හැඟීමක් වරින් වර මගේ හිත් කොනක මෝදු වේ.
තාත්තා ගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු විය නො හැකි බව ද මා නො දන්නවා නොවේ. හරි නම් අම්මා ටත් වඩා ඔහු දැඩි විය යුතුව තිබිණි. නමුත් තාත්තා එහෙම කළේ ත් නැත.
රවීන් ගැන ප්‍රශ්නයේ දී ඔහු ඈතට වී බලා හිඳීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කළා ය කියා මම සිතමි. තාත්තා අම්මා වාගේ මා මෙල්ල කරන්න ට ආවේ නැත. නමුත් අම්මා මාව රවීන් ගෙන් මුදවන්නට කළ උත්සාහයේ දී ඇය ව පාලනය කළේත් නැත. එයින් ගම්‍ය වන්නේ අම්මා ටකසේ හෝ මාව රවීන් ගෙන් මුදා ගන්නවා නම් තාත්තා ඊට කැමති වූ බවයි.
“කොහොමද දැන් සනූගෙ බිස්නස් එහෙම…”
“හොඳයි තාත්තෙ. හොඳටම හොඳයි. බිස්නස් නෙවෙයි ඉතිං…ඒක මගෙ ජීවිතේනෙ”
“හ්ම්. මට මේ කතා කරන්න ඕන වුණෙත් ඒ ගැන තමයි”
ශරදාකාශයේ තන්හි තන්හි තරුවක් දිළෙනු පෙනේ. එතරු වල දැන් කිසිදු දීප්තියක් නොමැත්තේ ය. ඇත්තේ මලානික පෙනුමකි. ඉස්සර තාත්තා එක්ක මා හා නංගී කොංක්‍රීට් තලාව මතට වී තරු රටා නරඹමු. උල්කාපාත වර්ෂාවක් තිබි එක දවසක් මට මතක ය. එදා අපි කොංක්‍රීට් වහල මත පැදුරක් එලාගෙන එහි වැතිරී අහස දෙස බලා සිටියෙමු.
කාලය ගෙවී යන්නේ අතීතය යනු දුර ඈත මතකයක් බවට පත් කරමිනි. ඒ අතීතය අප මහත් තෘෂ්ණාවකින් වැළඳ ගෙන උන් එකක් නම්, ඉන් ඔබ්බට ගිය කල සිත්හි දුක්බර කාන්සියක් ශේෂ වේ. දැන් මට දැනෙනා මේ හැඟීම එහෙව් එකකි.
“මීට අවුරුදු කීපෙකට කලින් සනූ කසාද බන්දන්න ඕන කියල අම්ම කියනකොට මං එච්චර උනන්දු වුනෙ නෑ. ඒක සනූගෙ ජීවිතේ තරුණම කාලෙ නිසා. ළමයෙක් වෙලා ඉඳල තරුණ ජීවිතේ ට අඩිය ගහපු ගමන් නිසා. ඒත් දැන් ඉතින් සනූ ඒ දේවල් වෙන්න ඕන නේද…”
ඔහු වචන තෝරා බේරා ගත්තේ පරිස්සමෙනි. ඒ ඇයි කියා මම නො දනිමි. ඒ ඇයි කියා හිතන්නට මට ඕන වුණේ ත් නැත.
“මං හිතන්නෙ තාත්තෙ…එහෙම කිසිම දෙයක් වෙන්න ඕන නෑ”
විදුලි පහනක එළියක් තබා තරුවක් එළියක් හෝ නො වැටෙන සඳැල්ලේ ඝණ අඳුරේදීත් මම තාත්තා ගේ මුහුණේ මාංශ පේශියක් ගැස්සෙනු දුටිමි. නමුත් මා තුළ වියරු සතුටක් උපන්නේ නම් නැත.
“ඒ කියන්නෙ…”
“මං බඳින්නෙ නෑ තාත්තෙ”
ඒ අන්තිම ටික කියත්දී මට බිම බැලී තිබිණි. තත්පර හෝ විනාඩි කිහිපයක් තිස්සේ අප අවට පැතිරුණේ නිහඬකාවය පමණකි. අප නිහඬ වෙත්දී අවට පර්සරයේ ශබ්ධ වඩා හොඳින් ඇසෙන්නට විය. කෘතිම ශබ්ධ සේ ම සතෙකු ගේ ස්වභාවික හඬක් ද ඒ අතරේ විය.
“සනූ…මේ තරුණ වයසෙදි අපිට ඇත්තටම කවුරුවත් ඕන නෑ තමයි. ඇඟේ පතේ හයිය තියෙනව. හිතේ හයිය තියෙනව…ඒත් ටික ටික වයසට යනකොට තමයි අපේම කියල අය ඉන්න එකේ වටිනාකම දැනෙන්න ගන්නෙ. වයසට යනකොට මිනිස්සු පුදුම විදිහට තනි වෙනව. අන්න එතකොට තමන්ගෙ දරුවෙක් ඉන්නවනං…මුණුපුරෙක්ගෙ හුරතල් එක්ක දවස ගත කරන්න පුළුවන් නං..ඒක තමයි සැනසීම. ඔයාට පේනවනෙ ආච්චාව. මේ විදිහට දරු මුණුපුරෝ පිරිවරාගෙන ඉන්න නොලැබුණානං අද එයාගෙ ජීවිතේ මොන වගේ පාළු තැනක් වෙයිද කියල ඔයාට හිතා ගන්න පුළුවන්ද…”
පුරුදු දුක් රස මගේ උගුරට දැනෙන්නට ගති. වසර ගණනාවක් තිස්සේ මම එකී රස වළඳමින් ද වමාරමින් ද සිටිමි.
“මං දැං ඉඳලම ඒ පාළුවට හුරු වෙමින් ඉන්නෙ තාත්තෙ. වයසට යද්දි මට ඒකෙ අමුත්තක් දැනෙන එකක් නෑ. අනික…නංගි ඉන්නව…එයා බඳිනව…ඉස්සරහට එයාට දරුවො ඉඳී. ඉතිං මට පාළු දැනෙන්න විදිහකුත් නෑනෙ”
“නංගිගෙ ජීවිතේ ඉදිරිය කොහොම ප්ලෑන් වෙයිද කියල අපි දන්නෑ සනූ. එයා මේ රට අත් ඇරල වෙන රටක පදිංචි වෙන්නත් පුළුවන්. අපි ඔයාට ගැලපෙන කෙනෙක් හොයල බලන්නං”
“එපා තාත්තෙ”
මම වහා ම ඍජු ස්වරයකින් කීවෙමි.
“මට ගැලපෙනව කියල මං හිතන කෙනෙක් තාත්තලට හොයන්න පුළුවන් වෙන්නෙ නෑ. ඒක බොරු කාලෙ නාස්තියක් විතරයි. ඒ වෙලාව මට ෆ්ලවර් ඇරේන්ජ්මන්ට් එකක් කරන්න තියා ගත්තොත් විනාඩි කීපෙක සතුටක් හොයා ගන්න පුළුවන්. ඒ නිසා අපි ඒ බොරු වැඩේ අමතක කරමු”
“සනූ හිතනවට වඩා අම්ම ඔයා ගැන දුක් වෙනව”
මම අමානුෂික සිනහවක් පෑවෙමි.
“අම්ම දුක සතුට වගේ දේවල් අඳුරනවද…මං හිතන්නෑ”
තාත්තා සුසුමක් හෙළුවේ ය. මේ පෙළීම දැන් ඇති ය කියා මට සිතිණි. මට රිදුණු බව ඇත්ත ය. මා විඳවූ හා විඳවන බවත් ඇත්ත ය. නමුත් අම්මා හා තාත්තා ව තව දුරටත් පෙළිය යුතු නැත.
“තාත්තයි අම්මයි මං ගැන දුක් වෙන්න එපා. මොකද…මං ගැන මං දුක් වෙන්නෙ නෑ. ඉපදෙන හැම කෙනෙක්ම මැරෙනව වුණාට ඉපදෙන හැම කෙනෙක්ම බඳින්න ඕනයි කියල නියමයක් නෑනෙ තාත්තෙ”
ශෝකයේ සුසුම් රැල්ලක පාවෙවී, මඳහසක වියරු මායාවක හිඳ මම මිමිණුවෙමි.
“මට මෙහෙම හොඳයි. මගෙ ජීවිතෙයි තවත් ජීවිතේකුයි දෙකක්ම අමාරුවෙ දාන්න ඕන නෑ මං කසාද බැඳල. මොකද මං දන්නව බැන්දට මට ඒ කවුරුවත් ගැන කැප වෙන්න බෑ කියල. හැඟීමක්වත් නෑ කියල. මේ කාලෙ සල්ලි ටිකක් හම්බ කරගෙන කීයක් හරි ඉතුරු කර ගන්නව තාත්තෙ. පුළුවන් කාලයක් අම්මවයි තාත්තවයි බලාගෙන මේ ජීවිතේ විඳෝ විඳෝ හරි විඳිනව. ඊට පස්සේ වයසට යනකල් ජීවත් වුණොත් වැඩිහිටි නිවාසෙක හරි ඉඩක් වෙන් කර ගන්න පුළුවන් වෙයිනෙ තාත්තෙ”
තාත්තා වහා හැරී යන්න ගියේ ය. මා එක කඳුළු බිඳක් හෝ නැතිව කී කතාව ඔහු ගේ ළය දැදිරි කළා ද කියා මා දන්නේ නැත. මම හිස් අවකාශය ට සුසුමක් මුහු කළෙමි. මේ මහා විශ්වය තුළ මා වාගේ වැඩකට නැති ජීවිත ඕනෑ තරම් තියෙන්නට ඇත. මැරී ගියාට පස්සේ ඔවුන් ගැන කාටවත් වගක් නොවන්නටත් ඇත. මතුවටත් එහෙම අය මේ මිහි මත බිහි වනු ද ඇත. ඉතින් මා ගැන අමුතු දුකක් කුමට ද?
රෑ මැදියමක මම රවීන් ව සිහිනයෙන් දැක අවදි වූයෙමි. වතුර වීදුරුවෙන් බාගයක් ම හිස් කළ මම තෝන්තුවාවෙන් වාගේ ඔහු ගේ දුරකතනය අංකනය කළෙමි. ඔහු ගිය දා ම මම අලුත් සිම් පතක් ගෙන පරණ සම්බන්ධතා වලට ගමන් කළ හැකි මාර්ග අවහිර කොට දැමුවෙමි. මගේ ෆේස් බුක් ගිනුම අවලංගු කොට දැමුවෙමි. නමුත් මේ විපරීත මොහොතේත් මට ඔහු ගේ අංකය මතකයේ තිබී ඇත.
“හෙලෝ”
දුරකතනය වරක් නාද වත්දී ම රවීන් ගේ හඬ ඇසිණි. අවුරුදු දෙකහමාරකට පස්සේත් මම ඒ හඬ හැඳින ගතිමි.
මට හුස්ම ගන්නට බැරි බවක් දැනිණ. මේ මොහොත මගේ අවසාන මොහොත විය හැකි බව ද දැනී නො දැනී ගියේ ය.
“හෙලෝ”
ඔහු නැවත ද කතා කළේ ය. මම දෑතින් ම දුරකතනය සවනට තද කොට ගෙන ගල් ගැහී සිටියෙමි. මොනවා කළ යුතු ද කියා නිනව්වක් වූයේ නැත. මා කතා කළ යුතු නැති බව පමණක් මම දැන සිටියෙමි.
“හෙලෝ”
මම ඇස් දෙක පියා ගතිමි. අඩු තරමින් කොහේ කොතැනක හෝ ඔහු හිඳිනා බව දැන් මම දනිමි. ඔහු ගේ කට හඬින්, තව වසර ගණනාවකට ප්‍රමාණවත් වන සේ මම මගේ පපුව පුරවා ගතිමි.
“හෙලෝ…සනූ…මැණික…”
බෝම්බයක් දෙපා මුල ම පුපුරා මා සුණු විසුණු ව ගියා ගියා සේ ය. මම වහා ම ක්‍රියාත්මක ව දුරකතන සම්බන්ධය බිඳ දැමුවෙමි. කෑ ගසා හඬා ගෙන කොට්ටයේ මූණ ඔබා ගතිමි.
රවීන් ගේ දුරකතනය මගේ දුරකතනය හඬවන්නට වූයේ ය. මම අත් දෙකෙන් දෙසවන් තද කොට වසා ගතිමි.
කිසිත් වෙනස් වී නැත!
ඔහු ට මා අමතක වී නැත!!
එයින් පසු රාත්‍රිය මවෙත නින්ද සමීප කර වූයේ නැත. මම යහනේ ඒ මේ අත පෙරළෙමින් සිටියෙමි. අතීතයේ යම් යම් මතක මගේ චිත්ත සන්තානයෙන් පිටතට විත් හදවත හූරන්නට විය. රවීන් මා සමගින් බස් එකේ ගිය දින කිහිපය, ඒ සෙනග ගොඩ මැද්දේ මට ඔහු ළඟ දැනුණ විලවුන් සුවඳ මේ මොහොතේත් කාමරයේ වායු අංශු සමග මුහු වී තිබිණි. ඒ පොද වැස්සේ කුඩය යටදී හෙමිහිට පහත් වී ඔහු මගේ කොපුලක් සිප ගත්තේ ය. ඒ දෙතොල් මත තිබී මගේ කොපුලේ ගෑවුණ සීතල, මේ දැනුත් දැනී මම කොපුල අත ගා බැලුවෙමි.
අතීතය මිය ගිහින් නැත. වඩාත් සුරක්ෂිත ව මගේ හද ගැබ තුළ නිදන්ගත ව හිඳ ඇත.
මම සුනෙත් ට දුරකතන ඇමතුමක් ගතිමි. දැන් මඳක් දුරින් දැනුණ ද මෙහෙම වෙලාවක මගේ හිත විවර කළ හැකි එක ම තැන සුනෙත් ඉදිරියේ ය.
“මොකද බං මේ රෑ…කරදරයක්ද…”
ඔහු කලබල වී හිටියේ ය.
“රවීන් ව හීනෙන් දැකල මං ඇහැරුණා”
සුනෙත් සුසුමක් හෙළනවා ඇසිණි.
“දැන් ඉතින් නිදා ගන්න..ඔයාගෙ හිතේ එයාම ඉන්න නිසා තමයි ඒ. නැතුව වෙන මුකුත් කරදරයක් කියල හිතන්න එපා”
ඇයිදෝ මන්දා මා රවීන් ගේ දුරකතනය අංකනය කළ බවක් කියන්නට මට හිත් දුන්නේ නැත.
කුඩා කුස ගින්නක් දැනුණෙන් මම යහනෙන් බැස පහළ මහලට ගියෙමි. පියගැට පෙළ මැද හරියේ දී මට කෙඳිරිලි හඬක් ඇසිණි. මම වඩාත් හොඳින් සවන් පෑවෙමි. ඒ කෙඳිරිලි හඬ නැගුණේ මුලදී අප උන්, දැන් ආච්චා පමණක් නිදනා කාමරයෙනි. ආච්චා ට කරදරයකි. රවීන් මා අවදි කරවූයේ ඒක ද?
“ආච්චා”
මම කෑ ගසා ගෙන ම කාමරයේ දොර හැරියෙමි. ආච්චා වේදනාවෙන් පපුව අල්ලා ගෙන කෙඳිරි ගාමින් සිටියා ය.
“තාත්තේ…තාත්තේ…”
මම එතැන සිට ම කෑ ගැසුවෙමි. ගෙදර විදුලි පහන් දැල්විණි.