(අ)හිමි සිහින -2

හිතුණු දේ කරන නාහෙට නාහන වයසේ මම ඔහුට ලිපියක් ලිව්වා.ප්‍රේමය ප්‍රකාශ කිරීමකින් තොරව ආ ගිය විස්තර අහල ලියපු ඒ ලියුම තැපැල් කරලා මම හිටියේ හරිම සන්තෝසෙන්.ඒත් තවම හිතට මදි. මට මගේ අයියගෙන් ඔහු ගැන විස්තර අහන්න හිතුණා.

“සුධාරක කියන්නේ හරිම හොඳ කොල්ලෙක්.හොඳ හදවතක් තියෙන කොල්ලෙක්.අනිත් එක හරිම දක්ෂයෙක්.හැබැයි පොඩි වැරැද්දක් තියෙනවා..”

ඒ වැරැද්ද මොකද්ද කියල මගේ හදවත ගැහෙන්න පටන් ගත්තා.අවුරුදු දහ තුනක පුංචි ගෑනු ළමයෙක් හමුදාවේ කැප්ටන් කෙනෙකුට ලිපියක් ලියලා ඔහු ගැන අසීමාන්තිකව විමසීම දෛවය විසින් ලියලා තිබ්බ කතාවක් වෙන්න ඇති.දැකලා නැති නොදන්න ඔහුගේ වරද මොකක්ද කියලා මට දැනගන්න තිබුණේ පුදුමාකාර උවමනාවක්.

“සුධාරකයා බොනව නැතිවෙන්න..”

අයියා බොහොම සැහැල්ලු හඬකින් කිව්වට මගේ හිතේ සැහැල්ලුව අතුරුදහන් වුණා.

“කෙටියෙන් කිව්වොත් සුධාරක කියන්නේ කනමදයෙක්..”

අයියා එහෙම කිව්වහම පසු නොබලා දුවන්න මගේ හිත ඉඩ දුන්නේ නෑ.මට ආවේ වෙනත් සිතුවිල්ලක්.

“මං එයාව බොන්න නොදී හදාගන්නවා..”

කවදාවත් දැකලා නැති නොදන්න මනුස්සයෙක් වරදින් මුදවා ගන්න තරම් මාව ආදරයෙන් අන්ධ වෙලා.

මම පවුලේ එකම දියණිය.අම්මත් තාත්තත් මාව හැදුවේ දෑහේ මූණේ තියාගෙන.තනියම ගෙදරින් එළියට අඩියක්වත් තියන්න නොදී මාව හදන්න එයාලා ප්‍රවේසම් වුණා.මගේ මිතුරියන් වුණෙත් පාසල් මිතුරියන් පමණයි.බොහොම ප්‍රවේසම් සහගත ලෝකයක ඇතිදැඩි වුණු මට නිදහසේ හැසිරෙන්න කිසිම ඉඩක් තිබුණෙ නෑ.එච්චර කූඩුවක ඇතිදැඩි වුණු කිරිල්ලියක් වුණු මම අර ලියුම ලියන්න නම් දෙපාරක් හිතුවේ නෑ.හැබැයි ඒ මහා ලොකු වීර ක්‍රියාවෙන් පස්සේ,බඩ ඇතුලේ බිත්තර සීයක් විතර තැම්බෙන බයකින් ජීවත් වෙන්න මට සිද්ධ වුණා.

girl write a letter

සතියක් විතර ගෙවුණා.මම පමණක් දන්න මගේ රහසක් නිසා මම තනියම දැවෙනවා.පපුව පිච්චෙනවා.බඩ ඇතුළේ සමනල්ලු පියාඹනවා.අමුතුම අමුතු හැඟීමක්.

“පොකුරු පොකුරු මල් සැණකෙළි
ඔමරි ලතාවයි..
නුහුරු හැඟුම් මා වටකර
රඟන ලතාවයි..”

ලතා වල්පොල මහත්මිය ගයන්නේ අන්න ඒ වගේ මොහොතක් ගැන කියලා මම තාම හිතනවා.

දවස් දෙක තුනක් සතියක් දෙකක් ඇඟිලි ගනිමින් ගෙවී ගියා.මගේ ලියුම සුධාරකට ලැබුණද නොලැබුණද කියලා හිතනවා මිසක් මම කිසිම වැඩක් කළේ නෑ.එක දවසක් ඒ බය මට නැති වුණා.හැබැයි අලුත් බයක් මට දෛවය තිලිණ කරලා තිබුණා.

මට එවපු පලවෙනි ලියුම!ඒක එහෙම්මම ගෙදරට මාට්ටු.

නොදන්නා තරුණයෙක් මට ලියුමක් එව්වේ කොහොමද? ඒ ලියුම කිවයපු අම්මා ඒකට උත්තර හොයා ගත්තා.ඔහු එවල තියෙන්නෙ මම යවපු ලියුමකට උත්තරයක්.එදා අම්මත් තාත්තාත් මට ගහපු තරම් මට තාම මතකයි.

“කවුද මේ?”

මම ඒවාට දෙන්න උත්තර දන්නෙත් නෑ.ඇත්තටම මේක මගේ හිතුවක්කාර වැඩක්.මට ඒ තැලුම් පාරවල් රිදුණේ නෑ.මට ඕනෑ වුණේ ලියුම කියවන්න.මම ඒ හිතුවක්කාර වැඩේ කොහොම හරි ඉෂ්ට කර ගත්තා.

“කූඹි කකුල්..” සිංහල මිස් එහෙම බනින අකුරු වගේ සුධාරකගේ අකුරුත් හරිම පුංචියි.කියව ගන්නත් බැරි තරම්.

“කූඹිත් ලොකු ඇති මීට වඩා..”

අම්මගෙන් කාපු තැලුම් පාරවල් අත ගාන ගමන් මම හිනා වුණා.ලියුම කියෙව්වම ඊටත් වඩා හිනා ගියා.

“ඔයා කොහොමද මම ගැන ඔච්චර විස්තර දන්නෙ?” ඔහු අසා එවා තිබුණා.එහෙම අහන්න වටිනවා.කොල්ලෙකුට යවන පළවෙනි ලියුමේ ඔහුගේ උස, බර, පපුවේ වට ප්‍රමාණය මේවා නේද කියලා අහල තියෙන ලෝකෙ පලවෙනි කෙල්ල මම වෙන්නැති.

young girl in sad

ඔබට මේ කතාව කියන මොහොතේ මම අම්මා කෙනෙක්.මම දැන් තරයේම විශ්වාස කරන දෙයක් මෙතැනම ලියා තියන්නම්.නව යොවුන් දියණියකගේ ආදර හැඟුම් වලක්වන්න ඇයට පහර දෙන්න දඬුවම් කරන්න එපා.එවිට සිද්ධවෙන්නේ ඇය දෙමව්පියන්ගෙන් ඈත්වෙමින් අර ආගන්තුක තරුණයා ට තදින්ම බැඳෙන්නට පටන් ගැනීම.ඒ මොහොතේ මටත් සිද්ධ වුණේ ඒ දේ.හොඳටම බොන කූඹි කකුල් අකුරු ලියන ඒ උනාට යුද්ධ හමුදාවේ දක්ෂතම නිලධාරියාට තදින්ම ආදරය කරන්න හිතාගත්තේ අම්මත් තාත්තාත් මට ඒ තරම් ගහපු නිසා.සමහර විට ඒ ලියුම බලලා අවුරුදු දහ තුනක ගෑනු දරුවෙක් කරන්න ඕන හොඳට ඉගෙනගන්න එක කියලා අම්මා මට කියල දුන්නනම් සුදාරක කියන්නේ මට මතකයක් විතරක් වෙන්න තිබුණා.

ඒ නිසා තමන්ගෙ යොවුන් දියණියත් එක්ක හරිම් ප්‍රවේසමෙන් සහ ගනුදෙනු කරන්න!

“මම කොහොම හරි මේ ආදර කතාව ඉස්සරහට ගෙනියනවා..”

ලියුම තුරුළු කරගෙන මම එහෙම හිතුවා.

ඊට පස්සේ වෙලාව හොයාගෙන අම්මව මගහරිමින් මම ආයෙම සුදාරකට ලියුමක් ලිව්වා.මම මගේ ඇත්ත වයසත් ඔහුට කිව්වා.

“එයා මට වඩා අවුරුදු එකොළහමාරක් වැඩිමල්. ” ආදරයට වයස උස බර මුකුත් බලපාන්නෙ නෑ කියලා ෆේස්බුක් එකේ දැන් පෝස්ට් තියෙනවා.ඒත් ෆේස්බුක් කියලා දෙයක් මේ ලෝකෙට ඇවිල්ලවත් නැති කාලේ තමයි මං ඒක හිතුවේ.දැන් ඇතිවෙන සයිබර් ආදර කතාවල මුලින්ම දකින්නේ ෆොටෝ එක.
අනුරාධා කළුද සුදුද කියලවත් නොදැන ඇත්තටම එහෙම කෙල්ලක් මේ ලෝකේ ඉන්නවදවත් නොදැන ඔහු මට ආදරේ කරපු එක තමයි මේ කතාවේ ලස්සනම තැන කියලා මට හිතෙනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles