සැරිසරන්නී – 49

අප පවුලේ වෛද්‍යවරයා වෙත ගියේ ආච්චා ගේ හා අම්මා ගේ බලවත් පෙරැත්තයට ය. එහිදී මා ගැබ් ගෙන ඇති බව සනාථ විය. මෙය අපේ පවුලට මංගල කාරණයක් වූයේ ය. ඔක්කාරය හා වමනය වැනි උදෑසන රෝග තත්වයන් නොවන්නට මට වෙනත් ශරීර අපහසුවක් නොවුණත්, අම්මා ට අප ව ගෙදර නවතා ගන්නට ඕනෑ විය.

“ටික දවසක් මෙහෙ ඉන්න. රවීන්ට තේරෙන්නෙ නෑනෙ ඔයාගෙ ආවතේව ටික කරන්න”

මට ලොකු ආවතේවයක් ඕනෑ නොවුණත් අම්මා ගේ හිත රිදුවා අපේ ගෙදර යන්නට ද මට සිතුණේ නැත. අනිත් අතට ගෙදර නොගොස් අම්මලාගේ ගෙදර නතර වීම රවීන් ට කෙසේ දැනෙනු ඇත්ද යන දෙගිඩියාව මසිත් හි ලොකුවට ම විය.

“සතියක් විතර ඉමු. නැත්තං අම්ම අප්සට් යයිනෙ”

මා පසුබාමින් සිටියදී ඒ තීන්දුව දුන්නේ රවීන් ම ය. මගේ හිත සතුටින් පිම්බිණි.

“මං බයේ හිටියෙ. ඔයා මෙහෙ නතර වෙන්න කැමති වෙන එකක් නෑ කියල. අම්මගෙ හිත රිද්දල යන්න විදිහකුත් නැතුව…ඔයා නිසා ඉන්න විදිහකුත් නැතුව…මොකක් කරන්නද කියල හිතා ගන්න බැරුවයි හිටියෙ”

ඒ වෙලාවේ අප හිටියේ, විවාහයට පෙර මගේ කාමරය වී තිබි කාමරයේ විවේක ගනිමිනි. තවමත් අම්මා එය වෙනත් කටයුත්තක් සඳහා යොදා නොගෙන වෙන් කොට ගෙන සිටින්නී ය. නංගී සිය පොත් තබා ගන්නට ඒ කාමරය පාවිච්චි කරන්නට තැත් කළ අවස්ථාවක ද අම්මා ඊට විරුද්ධ වී තිබේ.

“ඒක අක්කගෙ කාමරේ”

“අක්කට දැන් මෙහෙ කාමර මොකටද..එයාට ගෙයක් තියනවනෙ. එයා මෙහෙ පදිංචියට එන්නෙ නෑනෙ”

නංගී ද ලෙහෙසියෙන් පරාජය භාර නො ගෙන එකට එක කියා තිබේ.

“එයා හදිස්සියකට නතර වෙන්න ආවත් එයාගෙ කාමරේ තියෙන්න ඕනෙ”

අම්මා නංගී ගේ අදහසට ඉඩ දී නැත. ඒ අනුව පොත් තබා ගැනීම සඳහා නංගී වෙනත් කාමරයක් තෝරා ගත්තා ය.

“අම්මගෙ ආසාවනෙ. ඒගොල්ලො ඇස් දෙකේ තියාගෙන හදපු දුවවනෙ අකමැත්තෙන් වුණත් මට දුන්නෙ”

මම රවීන් ගේ දෙතොල් මත මගේ දබර ඇඟිල්ල තැබුවෙමි. ඔහු මගේ අත අල්ලා ගනිමින් සිනහ වූයේ ය.

“ඇයි ඉතිං…ඇත්තනෙ”

“අකමැති වෙලා හිටියා තමයි. හැබැයි දුන්නෙ කැමති වෙලා”

“හරි හරි කොහොම හරි. අපි ඉමු”

අප කෙරේ අප නම්‍යශීලී වූ තරමට අපට අප කෙරේ දැනුණ ආදර හැඟීම දැඩි විය. බැඳීම වැඩි විය. එය වූ කලී බලහත්කාර අයිතිවාසිකම් පෑමක් තුළින් කිසි සේත් ලබා ගත නොහැකි සහනශීලී බවකි.

“මටනං නිකං හීනයක් වගෙයි රවීන්. අපිට බබෙක් කියන්නෙ…”

ඔහු ආඩම්බරකාර සිනහවකින් මා තුරුළු කොට ගත්තේ ය.

“හීනයක් වගේ තමයි. දුවෙක්….අපිට දුවෙක් ලැබුණොත් හොඳයි”

“පුතෙක් ශෝක් අනේ…ඔයාගෙ වගේ මැග්නටික් ඇස් තියෙන…”

“හරි හරි. කොහොමත් ජාති දෙකෙන් දෙන්නා ගානෙවත් ඕන වෙයි”

“ආ…”

මම හිස නගා රවීන් දෙස බැලුවෙමි. ඔහු සිනහව ගිලගෙන ඉවත බලා සිටියේ ය.

“ඇයි..”

“නෑ. මං බැලුවෙ ඒ මදි නැද්ද කියල”

“ඔයා කැමතිනං මටනං අවුලක් නෑ කොච්චර හිටියත්. ළමයි කියන්නෙ සම්පතක්නෙ…නේ…”

කාමරයේ සඳැල්ලට පෙනෙනා ලොකු අයියලා ගේ ගෙදර දෙස අපි රෑ වන තුරු ම බලා ගෙන සිටියෙමු. මා මුලින් ම රවීන් ව දුටුවේත් කොංක්‍රීට් තලාව මත්තට වී අහස දෙස බලා ගෙන උන් සැඳෑවක ය.. එදා ඔහු ලොකු අයියා සමගින් ඔවුන් ගේ ගෙදර නවතින්නට ආ මුල් ම දා ය. ඒ ඇස් හිතේ ඇමිණෙනවා දැනුණත්, අප දෙදෙනා දිනෙක මෙලෙස අපේ දරුවෙකු ද මගේ කුස දරා ගෙන ලොකු අයියලාගේ ගේ දෙස බලා හිඳිනා දවසක් එතැයි නිකමට හෝ සිතුණේ නැත. මින් වසර ගණනාවකට පසු අනාගතයේ දවස් කෙබඳු වේවි දැයි මේ මොහොතේ මම සිතමි. නමුත් මිනිස් සබඳතා හෝ මිනිස් ජීවිත ගැන අනාගතය දකින්නට උත්සාහ නොකොට ඉන්නා තරමට හොඳ ය. මේ මොහොතේ පමණක් ජීවත් වෙන තරමට පහසු ය.

මටත් නො දැනී ම මගෙන් සුසුමක් ගිළිහිණ.

“ඇයි…ම්…”

රවීන් මා පිටුපසින් සිට මගේ බඳ වටා දෑත් වෙලා ගත්තේ ය. මම උහු ගේ පපුවත් උරහිසත් අතරේ හිස බර කරනා ගමන් සුරතින් ඔහු ගේ කොපුලක් පිරිමැද්දෙමි. කොපුල් මත වැවී එමින් තිබි ඝණ රැවුල් කොට මගේ ඇඟිලි තුඩු මත වැදිණි.

“වයසට ගිය කාලෙක හැම දේම මෙහෙම තියෙන එකක් නෑනෙ. සමහර දේවල් ඉමැජින් කරන්නත් බයයි වගෙයි රවීන්. එහෙම තමයි. අපි වයසට යන්න ඕනෙ කාලෙත් එක්ක..ඒ ඒ අත්දැකීම් එක්ක. අද මෙතන ඉඳන් ඉස්සරහ මවා ගන්න උත්සාහ තරන එක හිතට දරා ගන්න බැරි ප්‍රෙශර් එකක් දෙන්නත් පුළුවන්. කොහොම වුණත්…වයසට යද්දිත් අපිට අපි ගැන මෙහෙම කරුණාවකින් හිතන්න පුළුවන් වුණොත් හොඳයි”

හිත මත පැතිරෙනා අහේතුක සන්තාපය කුමක් දැයි මට තේරුණේ නැත. මා අම්මා කෙනෙක් වෙන්නට යයි. කුඩා දැරියක සේ මේ ගෙදර පහත මාලයේ උස් මහත් වූ, වැඩි විය එළඹි, තුරුණු විය ගත කළ සමය අද ඊයේ වාගේ ය. වසර කිහිපයක් ප්‍රේමයේ සන්තාපය දරා ගෙන ඉන්නට ද මට සිදු විය. අම්මා අප ගැන වෙහෙසුන හැටි ඒ සියල් යුග වල ඉස්මතු වී පෙනේ. දවසක අපේ දරුවන් උස් මහත් වෙත්දී අපේ ජීවිත කොයි අතකට පෙරළී තියේවිද?

අම්මා!

තාත්තා !

ආච්චා !

මා මියෙන මොහොත තෙක් ඔවුන් මගේ සෙවනැල්ල සේ මා පසු පස ම හිඳිනු ඇත. මගේ දරුවන් ද මා මෙන් ඔවුන් ගේ විසල් සෙවනෙහි සිසිල විඳිනු ඇතැයි බලාපොරොත්තු සහගත ආශාවක් හදවතේ ඈත කොනක ආලෝක පුංජයක් දල්වා තිබෙනු මට දැනේ.

“අපේ දරුවො අපි වගේ අම්ම තාත්ත ගැන විතරක් නෙවෙයි ආච්ච සීයා ගැනත් බලයිද කියලනංමං දන්නෑ. මං දරුවන්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්නෙත් නැති වෙයි රවීන්. අපි හෙමිහට සල්ලි ටිකක් අපි වෙනුවෙන් ඉතුරු කර ගන්න වෙයි. පොතක් පතක් කියෝගෙන…රටක තොටක ඇවිදගෙන නිදහස් ජීවිතයක් ගත කරන්න තිබුණොත් මට ඇති. හැබැයි ඒ හැම තැනකම අම්මයි තාත්තයි ආච්චායි වගේ ඔයත් මගෙ ළඟ ඉන්න ඕනෙ. දැං මට ඔයා නැති ජීවිතයක් ගැන හිතන්නවත් බෑ”

“ඉතිං ඇයි මේ වගේ දේවල් කියවන්නෙ…වයසට යන්නෙ තව කොයි කාලෙකද…අනං මනං නො හිතා හිතේ සතුටෙන් ඉන්න. ම්…”

ඒ වගේ දින ටිකක් හැම ගෑනු ළමයෙකු ගේ ම ජීවිත පොතට එකතු විය යුතු ය කියා මම සිතමි. සැබවින් කුළුඳුළේ ම දරුවෙකු කුසට පැමිණීම කියන්නේ ආශ්චර්යයකි. ඒ අසිරිය නිදහසේ විඳගන්නට මට ඉඩ හසර ලබා දී අම්මා මා වෙනුවෙන් කන්නට බැරි තරම් කෑම වර්ග පිළියෙල කළාය. සුදු ලස්සන නිරෝගී දරුවෙකු බිහි කිරීම වෙනුවෙන් ආච්චා නොයෙකුත් කෑම බීම වර්ග සොයා ගෙනැවිත් කැව්වා ය. නැන්දලා නිතර දෙවේලේ මා රිසි වෙතැයි සිතනා කෑම වර්ග පිළියෙල කරගෙන පැමිණියහ.

දරුවෙකු කියන්නේ අම්මා තාත්තා ට පමණක් අයිති වස්තුවක් නොව මුළු පවුලකට, සමාජයකට අයිති වස්තුවකැයි මා තේරුම් ගත්තේ ඒ දින වකවානු තුළ ය. ගැබ් ගත් ගැහැනියකට එයාකාරයෙන් මුළු සමාජයක් එක් වී ආහාර වර්ග සැපයීම කුළින් පැරණි සමාජය බලාපොරොත්තු වූයේ නිරෝගී දරුවෙකු සමාජය වෙත තිළිණකිරීම විය නො හැකි ද?

“මේ ටිකේ සනූ කොහොම වුණත් මන්නං මහත් වෙයි ආච්චා”

වෙරළු ගෙඩි ටිකක් හොයා ගෙන ආච්චා කාමරට ආ වෙලාවක, පුංචා ගෙනැවිත් දුන් ලැවරියා කමින් සිටි රවීන් සිනහ වෙමින් කීවේ ය.

“ඇත්ත ඇත්ත..නෝනල දොළදුකෙං ඉන්න කාලෙට බඩේ පින තියෙන්නෙ මහත්තුරුන්ට තමයි”

කියමින් ආච්චා හඬ නගා හිනැහුණා ය. මා ළඟට විත් හිඳ ගන්නා ගමන් නංගී රවීන් ට තරවටුවක් කළා ය.

“අක්කලගෙ ළමයි අඬනකොට කිරි එරෙන්නෙ නංගිට කියල කතාවක් අහල තියෙනවද රවීන් අයිය…ඒක නිසා අක්ක කන්නෙ නැතුව ඉතුරු වෙන කෑම වල අයිතිය තියෙන්නෙ නංගිට හරිද”

“ඒකත් හරි බලාගෙන යනකොට”

“බලාගෙන යනකොට තාත්තලට මොන අයිතියක්වත් නෑනෙ ආච්චා. ළමයගෙ උප්පැන්නෙට නම දෙන්න විතරයිද තාත්තා කෙනෙක් ඕනෙ..”

මගේ ජීවිතයේ ප්‍රීතිමත් ම දින කිහිපය ඒ කියා මම සිතමි. අම්මා මා බලා ගත්තේ කුඩා දැරියක බලා ගන්නා සේ ය. තාත්තා ටියුෂන් නිම වී ගෙදර ආවේ නො වරදවා ම මට මොනවා හෝ රැගෙන ය.

“ඒකෙං මේකෙං තාත්තා ට අවුරුදු ගාණක් තිස්සෙ මට ගෙනාපු රටකජු ගොට්ටත් අමතක වුණා”

අම්මා බොරුවට නෝක්කාඩු කියන්නී ය. “ආච්චිලට මොන රටකජු ද” කියා එතකොට තාත්තා සිනහ වෙයි.

“ලස්සනට දරුවො දෙන්නා හදා ගත්ත නිසා අද දුනුකේ සතුටෙං සැනසීමෙං ඉන්නව..ඒත් බලහල්ල අපේ එවුං කී දෙනෙක් ළමයි නිසා ගින්දරක ජීවත් වෙනවද කියල…”

ආච්චා එසේ කියන්නේ අපේ පුංචි පවුලේ සතුට ගැන අවංක සතුටක් හද ගැබ පුරවා ගෙන ය. සැබවින් හැම ගෙදරක ම කුමක් හෝ ගින්දරක රස්නය විය. මගේ පපුවේත් ගිනි ඇවිළුණ යුගයක් තිබිණ. මට සදාකල් ඒ දුක් ගින්න එක්ක ජීවත් වන්නට වෙතැයි මම සිතා ගෙන ද සිටියෙමි. නමුත් අපේ පවුලේ ම වාසනාවකට තාත්තා ත් අම්මා ත් අපේ ආදරයට ආශිර්වාද කළහ. දෙමාපියන් දරුවන් ගේ ගැටළු වලදී මඳක් හෝ නම්‍යශීලී වෙනවා නම් සහ දරුවන් ද දෙමව්පියන් ව තේරුම් ගන්නට උත්සාහ කරනවා නම්, දරුවන් උස් මහත් වෙන කාලයේ දී ගෙවල් ඇතුළේ ඇවිලිය හැකි ගින්දර වළකා ගන්නට හැකි වනු ඇත.

ලොකු අයියා නිවසක් කුළියට ගෙන පවනි හා දරුවා සමගින් එහි පදිංචි වූ අතර, පවනිව මහ ගෙදරට කැටිව ආවේ නැත. ඉඳ හිට ඔහු ගෙදර විත්, පවනි මා වෙනුවෙන් සාදා දුන් රස කැවිල්ලක් ද දී ගියේ ය. වරක් ඇය ඔවුන් ගේ ගෙදර කෑමකට එන්නයි අපට ඇරයුම් කළා ය. ඔවුන් ආදරණීය ජීව්තයක් ගෙවනා බවත්, ලොකු අය්යා දැන් පෙර දේ දඩබ්බර නැති බවත් පෙනෙන්නට තිබිණි.

“පවනිව ගෙදර එක්කං යන්න ලොකු අයියෙ. නැන්දා ඒ වෙලාවෙ හිතේ ආවේගෙට කෑ ගැහුව තමයි. එයාට ඔයා රජෙක් වගේ කියන එක අපි පොඩි කාලෙ  ඉඳලම දන්නවනෙ අයියෙ. ඒක නිසා ඔය තරහ මරහ නැති වෙලා යන්නත් එක්ක ගිහිං එන්න”

එදා දිවා ආහාර ගැනීමෙන් පසු මම කීවෙමි. නයනා නැන්දා දෙතුන් වරක් අසනීප ද වූවා ය..හිත තුළ සතුටක් නැති වූ විට එය ලෙඩක් ලෙස ශරීරය තුළින් විද්‍යමාන වීමට පුළුවන. ඇතැම් විට දැන් නයනා නැන්දා ට ඕන වී තිබෙන්නේත් ලොකු අයියා ගේ බිරිඳ සමග හිතවත් වීමට ද පිළිවන. ලොකු අක්කා ද නැන්දා ගේ මුරණ්ඩු කම් ගැන දොස් කියා ගොස් තිබේ.

“ලොකූ ඔහොම හරි පිළිවෙලක් වෙච්ච එක ගැන සතුටු වෙන්න අම්මෙ. මං බයේ හිටියෙ ඔය මනුස්සය කසාදයක් බඳින්නෙ නැතුවම වයසට යයි කියලයි. කාව බැන්දත් අපිට මොකෝ එයාට හොඳ නිසානෙ. දැං එයාට බලන්නයි එයා ගැන බලන්නයි එයාටම කියල පවුලක් තියෙනවනෙ. ඒක මදැයි”

ලොකු අක්කා එසේ කී බව මට කීවේ අම්මා ය. බොහෝ දෙනෙකු ගේ  අසහස් මත දැන්  නයනා නැන්දා ගේ දැඩි හිත මෘදු වී තිබෙන්නට ද පුළුවන.

ඒ අනුව අප අම්මලා ගේ ගෙදර සිටි සැඳෑවක ලොකු අයියා පවනි හා දරුවා ද කැටිව මහ ගෙදර ආවේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles