නිබ්බුත ගීත -24

ගේට්ටුවෙන් ඇතුලු වත්දී ම අප පිළි ගත්තේ දණක් උසට වැවුණ තණ කොළ හා වල් පැළෑටි වර්ග ය. කාලයකින් මේ බිමට මිනිස් දෙපා පහසක් නො ලැබී ඇති බවට ඊට වඩා සාක්ෂි අවශ්‍ය නොවී ය. පර්චස් විස්සක් වූ ඒ ඉඩම වට කොට තාප්පයක් ගසා තිබුණේ ය. තාප්පය අලුත් බව පෙනුණත් එහි වූයේ පරණ කුඩා නිවසකි. මදුරාපුර යුවළ ඒ ඉඩම මිල දී ගෙන තිබුණේ ගෙයි වටිනාකමක් ගැන සිතා නොව එය ඉවත් කොට දමා මධාරා අක්කා විවාහ වූ දිනෙක එතැන ඔවුන් නව නිවසක් ඉදි කර ගනු ඇතැයි බලාපොරොත්තුවෙනි. නමුත් නිශාන් අයියා විවාහයට පෙර නිවසක් ඉදි කොට ගෙන තිබූ නිසා ඔවුන් දෙදෙනා පදිංචි වූයේ එහි ය. මිල දී ගත් දා සිට ම මේ කුඩා ගෙය වසා දමා තිබිණ. මධාරා අක්කා සිතා ගෙන සිටියේ එය පිළිසකර කොට කුළියට ලබා දෙන්න යයි ලෝචන කීවේ ය.

ගෙතුළ කාමර දෙකක්, ආලින්දයක් හා කුස්සියක් විය. කුස්සියෙන් මිදුලට බට වහා නාන කාමරය හා වැසිකිලිය වූයේ ය.  වතුර ටැංකිය තබා තිබුණේ ඒ මත්තෙහි කණු උස් කොට ය. ගෙයි බිත්ති කපරාදු කොට සුදු හුණු ආලේප කොට තිබූ අතර වසර ගණනාවක් තිස්සේ අත් හැර දමා තිබූ නිසා ඒ සුදු පැහැය අව පැහැයකට හැරෙමින් තිබිණ. බිම රතු සිමෙන්ති දමා තිබූ අතර ඉස්සරහා පැත්තට කුඩා ඉස්තෝප්පුවක් වූයේ ය. අප හැම දාමත් ජීවත් වූ දර මඩුවේ හැටියට එය අපේ ඉහටත් උඩින් යයි මට විශ්වාස ය. නමුත් ලෝචන තරමක් දෙගිඩියාවේ සිටියේ ය.

“අපි ඉක්මනට පොඩ්ඩක් පේන්ට් කරල ගමු. මේක අරගත්තට පස්සෙ අවුරුදු ගාණක්ම වහල දාලනෙ තිබුණෙ”

“අනේ පේන්ට් කරන්න ඕන නෑ අයියෙ. මේ වෙලාවෙ අපිට ඉහට වහලක් විතරයි ඕන වුණේ. ඕගොල්ලොන්ට පින් සිද්ද වෙනව මේ  වෙලාවෙ පිහිට වුණාට”

“දැනට මෙහෙම ඉමු. ඔයාගෙ ආරක්ෂාව ගැන හිතද්දි මෙතන මට හිතට සැනසීමයි. දවසක ලස්සන ගේක ඔයාව තියනව”

ඔහු ඉන්නා ඕනෑ ම තැනක් මට ලස්සන කර ගත හැකි බව කියන්නට ඕනෑ වුණත් ඊට මුව විවර වූයේ නැත. ලෝචන මල්ලී එක්ක ගෙදර ගොස් උදලු හා කැති පිහි ගෙනැවිත් වත්ත සුද්ද කළේ ගමේ තවත් පිරිමි ළමයින් කිහිප දෙනෙකු ද උදව් කර ගෙන ය. වල් පැළ හා තණ කොළ ඉවත් වී ශුද්ධ පවිත්‍ර වූ කල මිදුල සිරියාවත් වූයේ ය. තණ කොළ කැපී ගිය සුවඳ මගේ හිතේ වූ තුවාල වලට ඔසුවක් වූනා යයි සිතමි. ගෙහි ද මකුළු දැල් කැඩී බිම සේදී පිරිසිඳු වන්නට මහ කාලයක් ගියේ නැත. ගෙතුල වළඳක් කෝප්පයක් හෝ පිඟානක්වත් නොතිබුණෙන් තේ ටිකක් හෝ වෙහෙසෙන තරුණයන් වෙනුවෙන් පිළියෙල කොට දිය නො හැකි වූයේ ය. තේ සේ ම දවල් කෑම ද මදුරාපුර මැදුරෙහිදී අම්මා පිළියෙල කළා ය. මම ඇයට උයන්නට උදව් වී ලෝචන ගේ මෝටර් රථයෙන් අපේ ගෙදරට කෑම ගෙන ගියෙමි. 

හවස අපේ ගේ තිබි තැනට ගොස් ගින්නෙන් විනාශ නොවූ කුස්සියේ අඩුම කුඩුම ටිකක් අම්මා එක්කාසු කොට ගෙන ආවා ය. මදුරාපුර මැදුරෙන් ද යම් යම් දෑ ලැබී තිබිණ. මධාරා අක්කා හැන්දෑවේ නිශාන් අයියා ද සමග එහි පැමිණියේ අප වෙනුවෙන් අලුත් ම ප්ලාස්ටික් පුටු හතරක් ද ගෙන ය. මහ ගෙදර දර මඩුවේ ජීවත් වූ කාලය පුරා අපේ ගෙදරට පුටුවක් වූයේ නැත. පොත් තියා ගත්තේ කාලයකට පෙර මහ ගෙදරින් ඉවත් කරන ලද කබල් වූ මේසයක ය. 

“මං ඉක්මනට රිපෙයා කරල දෙන්නං නිබ්බුතා. එතකොට ඔයාට හිතේ සතුටෙන් අලුතෙන් ජීවිතේ පටන් ගන්න පුළුවන්”

මධාරා අක්කා ගෙතුළ ඇවිදිමින් කීවා ය.

“අපිට මේ ඉහටත් උඩින් අක්කෙ”

“කට්ටියට එකතු වෙලා පේන්ට් කරල දෙන්න පුළුවන්නෙ නේද…මං බඩු ටික අරන් දීල යන්නද…”

ඒ ප්‍රශ්නය යොමු වූයේ ලෝචන ප්‍රමුඛ තරුණයන් වෙතට ය. ඒ අනුව පසු දා ම ගේ පිරියම් කරන්නට වැඩ කටයුතු සූදානම් විය. මධාරා අක්කා ලෝචන අතට මුදල් දෙනු මා බලා ගෙන ය. 

තරුණයෝ රෑ වන තුරු ම පිරිසිඳු කිරීම් සිදු කොට නික්ම ගියේ රාත්‍රියට ලෝචන බොජුන් හලකින් ගෙන ආ කෑම ද කෑවාට පස්සේ ය.

“හෙට මට නිවාඩු ගන්න බැරි වෙයි. හවසට මං එන්නං. කොල්ලො ටික ඇවිත් වැඩේ කරල දෙයි”

සමු ගන්නට පෙර ලෝචන මා ළඟට විත් කීවේ ය. ආදරය කියන වචනයෙහි නියම අරුත මගේ සිරුරේ ඇට මස් ලේ විනිවිද දැනී ගියේ ඒ වෙලාවේ ය. ආදරය කියන්නේ සරලව ම ගත හොත් අනෙකා ගේ හිත සුව පිණිස කැප වීම යයි මා ඉගෙන ගත්තේ ලෝචන ගෙනි.

ගිනි ඇවිලී අළු වී ගිය අපේ කුඩා නිවස ගැන දුක් මතක විටින් විට හිතේ අහු මුළු වලින් පැන නැංගේ ය. අම්මාත් මමත් මල්ලීත් ලෝචන කඩෙන් ගෙනා කෑම කා බෝ රෑ බෝ වන තුරු ම සාලයට වී කතා කරමින් සිටියෙමු. එකට ගුලි වී නිදා ගත් පරණ පුරුද්ද නිසා ද මන්දා මේ ගෙයි කාමර වල වෙන වෙන ම නිදන්නට වෙනවා කියන සිතිවිල්ල ම අපෙන් නිදි මත ඈත් කරවන්නට ඇත. පෙර දා රාත්‍රියේ පටන් හරි නින්දක් නැති කෙඩෙත්තු දිනයක අවසානයේ වී ද තෘප්තියක හා සන්තුෂ්ටියක ආලෝක පුංජයක් ඈතින් දිළෙමින් තිබිණ. 

වෙන ම නිදන්නට කාමරයක් වී ද මල්ලී ඒ රාත්‍රියේ මා හා අම්මා නිදන කාමරයට ම විත් නිදා ගත්තේ ය.

“හෙට ඒකෙ නිදියනව”

ඔහු කීවේ කුඩා කොලු ගැටයෙකු මෙනි. ඒ තරම් හොඳ ගෙදරක දොර ජනෙල් සුරක්ෂිත ව වසා ගෙන ඒ අප නිදි ලැබූ ප්‍රථම රාත්‍රියයි.

පසු දා උදේ තරුණයන් කිහිප දෙනෙක් විත් ගෙයි තීන්ත ගෑහ. මල්ලි එදා ද පාසල් නො ගියේ ය. පිරිසිඳු සුදු පාටින් කුඩා නිවස පින් පාටට පෙනිණ. මම මිදුල පුරා තාරකා මල් ඇට ඉස හොඳින් වතුර දැම්මෙමි.

මධාරා අක්කාගේ අදහස මත මදුරාපුර ගෙදර භාවිතයෙන් ඉවත් කොට ගබඩා කාමරයේ ගොඩ ගසා අත්‍යාවශ්‍ය තිබූ ගෘහ භාණ්ඩ ගණනාවක් ම හැන්දෑවේ වැඩ නිම වී පැමිණි පසු ලෝචන අපේ ගෙදරට ගෙන ආවේ ය. ඒ අතරේ යුගල ඇඳක් හා තනි පුද්ගලයෙකුට නිදත හැකි කුඩා ඇඳක් ද වූයේ ය. ඒ අනුව කාමර දෙකෙහි ඒ ඇඳවල් දෙක සවි කෙරිණ. මහ ගෙදර වත්තේ දර මඩුව නිවහන කර ගත්තාට පසු මා ඇඳක නිදා නැත. මල්ලී නම් ඉපදුණ දා සිට එදා වන තුරු ම ඇඳක නිදා ගත්තෙකු නොවේ.

“අපිට මෙහෙම දෙවි දේවතාවො වගේ උදව් උපකාර කරන ඒ ගෙදරට අපේ අබ මල්රේණුවක වරදක් හිත් රිදීමක් වෙන්න දෙන්න එපල්ල. මට එච්චරයි උඹලගෙන් ඉල්ලන්න තියෙන්නෙ”

අම්මා එහෙම කීවේ ලෝචනත් සිටියදී ය. මට ඔහු දෙස බැලිණ. ලෝචන ඇස් වලින් සන්සුන් වන ලෙස මට ඉඟි කළේ ය.

අපට අපේ හැටියට අංග සම්පූර්ණ නිවහනක් හා ජීවිතයක් ලැබුණේ එසේ ය. හිත මුළුමනින් එකලාස කර ගෙන මම මල්ලිගේ විභාගය වෙනුවෙන් ඔහු ව සූදානම් කරන්නට කැප වුණෙමි. ගෙය ගිනි ගැනීමෙන් පස්සේ ඉගෙන ගන්නට මල්ලීගේ වූ අලස කම ද ගිනි ගෙන දැවී අලුත් උද්‍යොගයකින් දැල්වෙන්නට ගත්තා සේ මට දැනිණ. මුලින් ම මගෙන් විද්‍යාව ඉගෙන ගන්නට ළමයින් දෙතුන් දෙනෙකු සොයා ගත්තේ ද ඔහු ය. ඒ ඔහු ගේ පන්තියේ ළමයින් ය. ලෝචනලාගේ ගෙදරින් ගෙනා කුඩා මේසය වටේ ප්ලාස්ටික් පුටු තියාගෙන අපි සාලයෙහි පන්තිය පටන් ගතිමු. ඒ ළමයින් ගේ බාල සහෝදර සහෝදරියන් කිහිප දෙනෙකු ද ඉන් පසු මවෙත එවන ලද්දේ විද්‍යාව විෂය වෙනුවෙන් ම නොව ඕනෑ ම විෂයක් වෙනුවෙනි. එයින් ලද මුදල ඉතා සුළු එකක් වූව ද ඊළඟ වසර වල සාමාන්‍ය පෙළට පෙනී සිටීමට නියමිත සිසුන් කිහිප දෙනෙකු සොයා දෙන ලෙස මම කිහිප දෙනෙකුට පණිවිඩ තැබුවෙමි. සඳනි ද ඔවුන් ගේ ඥාතීන් වන දැරියන් දෙදෙනෙකු මවෙත එව්වා ය. ඒ අනුව වසර අවසාන වන විට මගේ සතියේ දින හතේ ම සන්ධ්‍යා කාලය පන්ති වෙනුවෙන් වෙන් වී තිබිණ.

“අක්ක උදේට නිකං ඉන්න එකේ බර්ත් ඩේ කාඩ්ස් ටිකක් හදමුකො අර ඉස්සර වගේ. අපේ ඉස්කෝලෙ ළඟ බුක් ශොප් එකට දාන්න පුළුවන්”

දවසක් මල්ලී කීවේ ය. පන්ති වලින් ලැබෙනා මුදලක් මගේ අතේ ගැවසෙමින් තිබි නිසා අත්‍යාවශ්‍ය අඩුම කුඩුම ටිකක් මිල දී ගනිමින් මම සුබ පැතුම් පත් කිහිපයක් නිර්මාණය කළෙමි. ආසන්නයේ පැවත්වෙන්නට නියමිත වූ ගුරු දිනය අලලා නිර්මාණය කළ සුබ පැතුම් පත් දැමූ ගමන් විකිණී අවසන් වූ නිසා පොත් සාප්පුවෙන් තවත් ඉල්ලුමක් වූයේ ය. මම වැඩිපුර මල් හා කොළ වියළමින් ද වෙනත් ඉවත දමන දෑ හා අඩු මිලට මිලදී ගත හැකි දෑ යොදා ගනිමින් ද සුබ පැතුම් පත් පිළියෙල කළෙමි. විශේෂ දින අලලා තැනූ සුබ පැතුම් පත් වලට විශේෂ ඉල්ලීමක් වූයේ ය. මල්ලී අවට පාසල් කිහිපයක් ම ආශ්‍රිතව පවත්වා ගෙන ගිය පොත් සාප්පු වලට කාඩ් දමන්නට පටන් ගත්තේ ය. අපිට ටික ටික අතට එන මුදල වැඩි විය. නමුත් මල්ලී වියදම් කිරීමට නම් ලෝභයෙකු වූයේ ය.

“අපි කොහොමත් කට්ට කාගෙන ජීවත් වෙච්ච මිනිස්සුනෙ සුදූ…මෙහෙම ගන්න කීයක් හරි කන්නම වියදං කර ගන්නෙ නැතුව ඉතුරු කර ගන්න බලමු. මේක හොඳ බිස්නස් එකක් කර ගන්න පුළුවන්. විභාගෙ ඉවර වුණ ගමන් මං ටිකක් ඈතට වෙන්න තියන බුක් ශොප් වලටත් කාඩ් දාන්න ගන්නව”

මුදල් ඉපයීම ගැන ඉවක් ඔහු ට වන බව මා අවබෝධ කර ගෙන සිටියේ ඉස්සර සාමාන්‍ය පෙළ නිම වී සිටියදී බුක් මාක් හැදූ දින වල ම ය. වාණිජ විෂය ගැන ද මල්ලී උනන්දු වූයේ ය. උසස් පෙළ කරනවා නම් කරන්නේ වාණිජ විෂය ධාරාවෙන් යයි ඔහු කීවේ ය. කෙසේ වෙතත් අත මිට මුදලක් ගැවසීම නිසා අපේ ජීවිත වල යම් සාධනීය වෙනසක් සිදු වන්නට විය. විශේෂයෙන් ම හිත් වල බලාපොරොත්තු සහගත ප්‍රීතිමත් බවක් නිරන්තර ජීවිතාශාව දල්වා තබන්නට විය.

තාරුකා මල් ඇට පැළ වුණේ බලා සිටියදී ය. ඒවා දවසට දෙකට උස් වී මල් පිපෙන්නට පටන් ගත්තේ ය. වත්ත මායිම් කරන තාප්පයට ඇතුළතින් තීරයක් ව කහ පාටින් තාරුකා මල් පිපිණි.

මේ අතරේ මහ ගෙදර තත්වය ගැන ඔබට කියන්නට මට අමතක විය. අප මේ ගෙදරට විත් දෙසතියක් යන විට ආච්චි මමී  වත්තෙන් කැපූ කෙසෙල් මලක අවසාන හරියේ ඇවරියක් ද ගෙන වසන්ති පුංචී එක්ක එහි ආවා ය. ඒ වෙලාවේ මල්ලී පාසල් ඇරී විත් කෑම කමින් සිටි අතර ඔහු හැසිරුණේ ඔවුන් ව නුදුටු ගානට ය. හතුරෙකුට වුව එහෙම කරනා හැකියාවක් නැති දුර්වල කමක් කුඩා කල සිට ම මට වූයෙන් මම සිනහවකින් ඔවුන් පිලි ගතිමි. 

“ඈ බං නිබ්බුතෝ…මෙහෙම ගෙයක් හම්බු වෙනව කියල දන්නවනං කලින්ම අපේ දර මඩුවට ගිනි තියා ගන්නවනෙ…නැද්ද බං…”

සමහර වචන වලට පිහි තුඩු වලට වාගේ සිතේ කැපුම් ඇති වන්නේ ය. මගේ මඳහස ඒ රිදුමෙන් තුනී වන්නට ඇත. මේ අපට හිමි කමක් මත හිමි වූ තැනක් නොවේ. යන්තම් හෝ හිමි කමක් තිබූ තැනින් ඔවුහු ගිනි තබා අප පන්නා ගත්හ.

“අනේ හොඳයි නිබ්බුතා. මොනා වුණත් දැන් ඉතිං ඉන්න පුළුවන්නෙ ලස්සනට”

වසන්ති පුංචී එසේ කීවේ මූණිච්චාවට නොවේ යි සිතිය නො හැකි ය. මම කුස්සියට ගොස් තේ හදන්නට වතුර ටිකක් ලිප තැබුවෙමි.

“මං කියන්න හැදුවෙ උඹලට ගෙයි කාමරයක් දෙන්නංය කියල. කොහෙද ඉතිං ඊට කලින් මදුරාපුරල ඉස්සර වුණානෙ”

මධාරා අක්කා එන්නට පෙර හෝරා ගණනාවක් මහ ගෙදර ඇත්තෝ දැවුණු පැල ඉදිරියට වී පශ්චාද් මරණ පරීක්ෂණ පවත්වමින් සිටියහ. එතැනම යළි පැලක් අටවා ගන්නා තෙක් හෝ මහ ගෙදර විත් රැයක් ගත කරන්නයි ඔවුන් නිකමට හෝ කීවේ නැත. මල්ගී හඬ නැගෙන සේ හිස් බත් පත තබා කුස්සිය මිදුලෙන් මිදුලට බැස ගෙන් පිට වූයේ ය.

“අරූ ගිය උඩ බලහංකො. ගස්සන්නෙ පුප්පන්නෙ අම්මණ්ඩි බඩේ තියාගෙන ආ දා ඉඳලම අපි උන්දට ජීවත් වෙන්න තැනක් දීපු නිසා වෙන්න ඇති”

මල්ලී ට මහ ගෙදර අය ද ආච්චි මමී ට ඔහු ද කවදත් නයාට අඳු කොළ සේ ය. බලාපොරොත්තු නොවූ වෙලාවක  ඇති වූ ගින්න මහ ගෙදර අනුදැනුම ඇතිව සිදු වූවකැයි විශ්වාස කිරීම නිසා ඔහු ට දැන් මහ ගෙදර අප්‍රසන්න ය.

“ගෙට ගිනි තිබ්බෙ ගෙදර අය දැනුවත්ව අවන්ත අයියයි කියලයි මල්ලි හිතන්නෙ. එයා හරි කේන්තියෙන් ඉන්නෙ”

“කේන්ති…අනේ ඌ මහ මිනිහෙක්ද බං නඩු විසඳන්න…අනික ඔය මඩුවට ගිනි තියල අපි උඹලගෙං මොනා ගන්නද…ඌ කවදත් අවන්තට ඊරිසියාවයි”

“හපෝ මරු එක්කෙනා ඊරිසියා කරන්න. අනිත් ඕන දෙයක් කියන්න ආච්චි මමි ඒකනං නොකියා…අවන්ත වගේ ජරා ගති තියන මිනිහෙක්ට ඊරිසියා කරන්නෙ….හොඳ කොල්ලෙක් නැතුවම ඇති අපේ මල්ලිට ඊරිසියා කරන්න”

“ඒ ගමන උඹත් හොඳ පොටකට ඇවිත්නෙ නිබ්බුතෝ….සුදු පාට කරපු අනුන්ගෙ අගු පිලකට ආව කියල මේවයෙ අයිතිකාරයො වුණා කියල හිතන්නෙපා”

මල්ලී ට අභූත චෝදනා එල්ල කරත්දී බලා සිටිය නොහැකි තැන ය මා මුණිවත බින්දේ. අනිත් අතට අවන්ත ගැන තවමත් පිට කර ගත නො හැකි වූ අප්‍රසන්න හැඟීමක් මා තුළ තිබිණ. මටත් නො දැනී ආච්චි මමී ගේ හොඳ ම මුණුපුරාව පාගා චප්ප කොට දැමීමේ ආශාව ඒ වෙලාවේ හිස ඔසවන්නට ඇත. 

“අපිට අම්මගෙ මහ ගෙදර ගැනවත් එහෙම අයිතියක් නොතිබුණ එකේ මේ අනුන්ගෙ තැන් අයිති කර ගන්න කවදාවත් හිතන්නෑ ආච්චි මමී”

මගේ හිත රිදී ඇති බව වසන්ති පුංචි ට වැටහෙන්නට ඇත. ඒ නිසා දෝ ඇය මගේ උරහිසට තට්ටු කරමින් මට සන්සුන් වන ලෙස ඉඟි කළා ය. ආච්චි මමී සාලයෙන් ප්ලාස්ටික් පුටුවක් ගෙනැවිත් කුස්සියෙන් තබා ගෙන හරි බරි ගැහී එහි අසුන් ගත්තා ය. 

“ඈ කෙල්ලෙ. දැන් ඔය සම්බන්දෙ ගැන මදුරාපුර මහ ජෝඩුව දන්නවද…”

ඊළඟට ඇය ඇසූ පැනයෙන් මා එහෙම ම ගල් විය. තේ කුඩු සහිත ජෝගුවට වත් කරමින් සිටි කේතලයෙන් උතුර වතුර විසි වී අතක් යන්තම් පිච්චුණ විට ය මා මනා සිහිය ලැබූවේ.

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles