(අ)හිමි සිහින – 10

ඒ 1997 වසරේ තීරණාත්මක දවසේ මම ඔහුගේ මිතුරාගෙ වාහනේට නැගලා ඒ ගියේ කෙල්ලෙකුගේ ජීවිතේ තීරණාත්මක ගමන.පුංචි කීයටවත්ම මම එහෙම පිටතට යන බවක් හිතයිද? නිකමටවත් පන්තිය ඇතුලට ඇවිත් විපරම් කරන්න ඔවුන් හීනෙකින්වත් හිතන්නේ නෑ.මගේ මේ නසරානි වැඩ මතක් වෙනකොට මං මිතුරියන් එක්ක කියලා හිනා වෙන කාරණාවක් තියනවා.

“සුධාරක කියන්නේනම් ස්නයිපර් සටන් කාරයෙක්.මං වගේ එකියක් බුද්ධි අංශෙට බැඳෙන්න තිබ්බේ.අවුරුදු කීයක් අහු නොවන ගේම් සීරුවට ගහපු එකෙක්නෙ මං..”

ඒ ගිය ගමන නැවතුණේ මහරගම ඇමිටි බිල්ඩිමෙන්.නෑ! ෆිල්ම් එකක් බලනවා වගේ සිල්ලර වැඩක් නෙවෙයි.ඒ ආවේ ඉරණම් ගමන.විවාහය ලියාපදිංචි කිරීම වෙනුවෙන් තමයි ඒ ගමන ආවේ.එතැන සුධාරකගේ අම්මා සහ අක්කලාත් මිතුරන් කිහිප දෙනෙකුත් හිටියා.සුධාරකගේ පාසල් මිත්‍රයෙක් තමයි විවාහයේ මගේ සාක්කිකරු විදියට අත්සන් කරේ.

ඉතින් අපි කසාද බැන්දා! කිසිම මංගල උත්වසයක් නැතුව අපි බැන්දා.ලස්සන මනමාලියෙක් වෙන හීනේ පස්සේ දවසකට කල් දැම්ම අවුරුදු විස්සේ හිරිමල් අනුරාධා ක්ලාස් ආපු ඇඳුමෙන් කසාද බැන්දා.තද කොළ පාට කියුලට් එකක්,සුදු පාට ටී ෂර්ට් එකක්,ටී ෂර්ට් එකට උඩින් කොළ පාට වෙල්වට් ජැකට් එකක්. ඒ තමයි මන්මාලිගේ ඇඳුම.සුධාරක අත් දිග කමිසයක් සහ දිග කලිසමක් ඇඳගෙන හිටිය බව මට මතකයි.මගේ කෙට්ටු කොල්ලා හරි ලස්සනට හිටිය බව නම් මට මතකයි.

සුධාරක ගැන මේ කතාවේ සමහර තැන් වලදී මම ඔහුගේ එකම එක වරදක් සඳහන් කළා ඔබට මතක ඇති.ඔහු වචනයේ පරිසමාප්තියෙන්ම බේබද්දෙක්.වැටෙන්න බොන බවට මිතුරන් අතර ප්‍රසිද්ධ කෙනෙක්.ඔහුගේ වැටුප වත් ඉතුරු නොවන තරමට ඔහු මත්පැනට ඇබ්බැහි වූ බව කියවෙනවා.මිතුරන් ඔහුගෙන් සංග්‍රහ ලබන්න පුරුදු වෙලා හිටිය බව මම හොඳින්ම දැනගෙන හිටියා.

මගෙන් ඔහුට කිසිම වරදක් වෙලා නැති බව ඇත්තක් වුණත් ඔහුට මගේ ආදරය නිසා අප්‍රමාණ වේදනා තිබූ බව ඇත්ත.ඒ මානසික පීඩා නිසා ඔහු සමහරවිට බීමට ඇබ්බැහි වෙන්නත් ඇති.ඒත් මට ඔහු ගැන ලොකු සොම්නසක් දැනවූ හේතුවක් තිබුණා.සුරා සොඬෙක් වුණත් ඔහු ස්ත්‍රී සොඬෙක් නෙවෙයි.සුධාරක ආදරේ කරපු මම ඔහුට සිරුරින් බොහෝ ඈත කෙනෙක්.හාදුවකට වැළඳගැනීමකට පවා අපිට ඉඩක් නොවූ තරම්.ඒත් ඔහු මගේ අඩුව පුරවා ගන්න කිසිම මොහොතක වෙනත් තාවකාලික සම්බන්ධතා සොයා ගියේ නැහැ.මගේ යොවුන් හදවතට තිබුණු අප්‍රමාණ සැනසීම එය බව තවමත් මම සිහි කරන්නේ ලොකු ගෞරවයකින්.

ඉතින් මගේ ආදරවන්තයා සතු එකම එක වරද නිවැරදි කර ගන්න මට ඕනෑ වුණා.ඔහුගේ බිරිඳ ලෙස නීතිමය හිමිකම ලබාගෙන ඊළඟ තත්පරයේම මම කළේ ඒ දේ.විවාහ රෙජිස්ටාර්වරයා සහ නෑදෑයෝ ඉස්සරහම මම ඔහුගේ අතක් අරගෙන මගේ හිස මත තබා ගත්තා.

“ආයේ බොන්නේ නෑ කියලා මට පොරොන්දු වෙන්න.”

මම ඒ පොරොන්දුව ඔහුගෙන් ලබා ගත්තා.හැබැයි ඒ කඩවුණු පොරොන්දුවක් ද සැබෑ වුණු පොරොන්දුවක් ද කියලා දැන ගන්න වෙන්නේ ඉස්සරහට.

ඉතින් මම දැන් නීත්‍යානුකූල බිරිඳක්.මම දන්නවා මේ 1997 වසරේ වුණු කසාදයක් වුණත් ස්මාර්ට්ලේඩි ෆේස්බුක් පිටුවේ කමෙන්ට් තීරුව ඔබ සුබ පැතුම් වලින් පුරවාවි.කමක් නෑ මගේ කතාව නෙල්ලි ගෙඩියක් වගේ බව මම කිව්වානෙ.ඉතින් පැණි රහ මොහොතකදි අපි හිනා වෙමු.

කසාදයෙන් පස්සේ මම ඔහු එක්ක ගියේ නැහැ.ආපු විදියටම සුධාරක මාව පන්තියට ඇරලුවා.මම පන්තිය අවසන් වෙලා ගෙදර ගියා.උදේ මෙනෙවියක් විදියට ගෙදරින් ආව මම ආපහු ගියේ මහත්මියක් වෙලා.

ඒ මම විතරක් දන්න රහසක්! තමන්ගේම රහසක් තිබීම එක්තරා ආකාරයක මිහිරක්.ඒත් මේ රහස ගැන මට බිය සැක නොතිබුණාම නෙවෙයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles