සඳ කත් මිණි ඇස් 7

සූර්යා ට තුනී කුස ගින්නක් දැනෙමින් තිබිණි. කාමරයට ගෙන්වා ගත් රෑ කෑම වේල වුව නො ගත් බව ඇයට සිහි වූයේ ඒ වෙලාවේ ය. දළදා වීදියේ ඇවිදිමින් ද හිත දුකෙන් ආතුර කර ගෙන ද සිටි හෝරා කිහිපය, කුස ගින්න කියන දේ ඇගේ සංවේදනාවන් ගෙන් දුර ඈතට දුරු කොට දමන ලදී.

“බඩගිනීනෙ”

එහෙම කීවේ ආලෝක ය. සූර්යා ඔහු ගේ තුරුලේ සිට ම හිස නගා බැලුවා ය. මේ සිටින්නේ ආලෝක සුමනරත්න කියනා කෝටිපති ව්‍යාපාරිකයා නොව එදා ඇයට වාණිජ හා ගිනුම්කරණය ටියුෂන් දෙන්නට ආ, ලෝකයට රහසින් ඇගේ සඳ කත් මිණි ඇස් වලට පෙම් කරනා ලද යෞවනයා කියා ය ඇයට සිතිණි.

“මගෙ ඩිනර් එක තියනව. කන්න ඔයා”

ඇය අපමණ ආදරයකින් කීවා ය. පහළොස් වසරක් ජනිත් වෙනුවෙන් ආහාර පිළියෙල කළ ද ඉන් එක ම දවසක එක ම වතාවක් හෝ මේ තරම් ආදරය පිරුණු හදකින් ඔහු ට කෑමට ආරාධනා කොට නැති බව සිහි වී සූර්යා ගැස්සී ගියා ය. මෙතෙක් වෙලා දැඩි වළඳ ගෙන සිටි අතීත පෙම්බරා ව ඇගේ දෑතින් ලිහිල් වෙත්දී, ආලෝක ඇගේ නළල් තලය මත තත්පර ගණනක් දිගු හාදුවක් තැබුවේ ය. එය වූ කලී දුක් සුසුමකින් තෙත් බරිත ව තිබි හාදුවකි. එදා අන්තිම දවසේ ඔහු සිය නළලත ඉතිරි කොට ගිය හාදුවේ උණුහුම තවමත් නො වෙනස් ව එහි වන බව සූර්යා මැනවින් වටහා ගත්තේ ත් ඒ වෙලාවේ ය.

ඈ සිය දෑතින් පිළියෙල නො කළා වී ද ඒ කෑම ටික කුඩා මේසය මත දිග හැර ආලෝක දෙස බලා සිටියේ මේ ජීවිතයේ අන්තිම ම මොහොත වුණත් කම් නැතිවා වැනි නිවීමකිනි. දෛවය මේ මොහොත උදා කොට දුන්නා ට ඕ හදවතින් ස්තූති වන්ත වූවා ය.

“ඔයත් කන්න”

“ම්හු”

“රෑට බඩගිනි වෙයි”

සූර්යා ගේ තොල් කොනක් සැලී ගියේ ය. ඇයි දෝ මන්දා ඉකි ගසා හැඬීමේ මහා උවමනාවක් ඇයට දැනෙන්නට විය. ආලෝක සිය ඇඟිලි තුඩින් ඇනූ බත් කටක් ඇගේ මුවෙහි තැබුවේ ය. සූර්යා ඒ අත මහත් බැතියකින් අල්ලා ගත්තා ය. මේ රාත්‍රිය තව බෝ දිගු වෙනවා නම් කෙතරම් හොඳ ද කියා ඇය ට සිතිණ්. නමුත් පහන් වන්නට තව වැඩි කාලයක් නොවිණි. ප්‍රභාතය සඳහා පෙරදිග අහස සූදානම් වෙමින් සිටිනට ඇත.

“කලබලේට ආවට ඇඳුමක්වත් නෑ මගෙ ළඟ…වොෂ් එකක් දා ගන්නවත්”

ඔහු කෑම කා නැගිට ගත්තේ එසේ කියමින් මඳ සිනහවකිනි. සූර්යා ඇගේ ඇඳුම් අතරින් බොටම් එකක් හා ටී ශර්ට් එකක් ගෙන ඔහු අත තැබුවා ය.

“රෑ ටිකට ශේප් වෙන්න පුළුවන්”

ඔවුහු එක් ව සිනහ වූහ. සත්තකට ඒ අවුරුදු ම විසි ගණනකට පස්සේ ය. හදවත් වලට අමුතු සැහැල්ලුවක් දැනිණ.

“ටවල් එක වොශ් රූම් එකේ”

ආලෝක ඔහු වෙනුවෙන් වෙන් කර ගත් කාමරයට නො ගොස් සූර්යා ගේ නාන කාමරය පාවිච්චි කළේ ය..ඒ අතරේ ඇය වීදුරු බිත්තියේ තිර රෙද්ද මුළුමනින් හැර දමා තරු නලියනා ඝණඳුරු අහස දෙස බලා සිටියා ය. තරු එළි නිවී යන්නට තව වැඩි වෙලා නැත!

ඈ වැළඳ ගත් සීතල දෑතේත්, කන් පෙත්ත ළඟට දැනුණ සීතල දෙතොලේත් පහසින් සූර්යා ගේ මුළු හද මඬල ම කැළතිණි. ආලෝක අතිශය ආශා කළ සඳ කත් මිණි ඇස් පියා ගෙන, ඕ සිය ඉපැරණි පෙම්වතා ගේ ලවන් වල ට දඟකාර ලෙස සරන්නට ඉඩ හසර තනා දුන්නා ය. තිර රෙදි මුවහ වූයේ නැත. ඒ ආදරය දෙස මුළු අහස ම බලා සිටියේ ය. තරු එළි නිවා අහසින් බැස යන ලෝබ කමින් තාරකා තවත් ටිකක් කල් ගත්තේ ය.

ඒ වාගේ අහඹු රැයක්!

හයියෙන් හුස්ම ගන්නා ආලෝක ගේ තුරුලේ, සූර්යා සුවපත් සැනසිලි සහගත නින්දක් වෙනුවෙන් ඇස් පියා ගත්තා ය. ඔහු ගේ සවිමත් දෑත් ඈ වෙලා ගෙන තිබිණි. අපමණ ආදරයකින් ඕ ඒ දෑත් තදින් අල්ලා ගෙන සිටියා ය. දැන් ඉතින් ආත්මය නිවුණේ වෙයි. පසු ගිය කාලය පුරා ම හදවත විසින් ඉල්ලා සිටි යමක් අහඹු නිමේශයක ලබා දෙන්නට ඉරණම කටයුතු කොට තිබුණේ ය. සූර්යා ගේ රතදර අතරේ තුනී මන්දස්මිතයක් විය.

“සූර්යා මේ සුමන්. මිස්ට හැන්ඩ්සම්. අන්මැරීඩ් ක්‍රෂ් ඔෆ් බිස්නස් වයිව්ස්”

ඒ වචන ටික ඇසුණේ යටි හිතේ ඈත කොනකිනි. ඒ හඬ අයිති නටාෂා ට ය. එදා වෝටර්ස් එජ් එකේ පැවති සාදය!

සියල්ල වහ වහා හිත ළඟ පෙළ ගැසිණි. සූර්යා ඉක්මනින් ඇස් ඇරියා ය. ඇගේ හදවත උස් හඬින් ගැහෙමින් තිබිණ. මේ දේ සිහි වන්නට මේ තරම් දින ගණනක් ගියේ ඇයි ද යන සිතිවිල්ල සූර්යා ගේ දෙතොල් මත වූ මඳහස පුළුල් කරවන ලදී.

ඇය හිස හරවා බැලුවා ය. ආලෝක තද නින්දකට වැටී සිටියේ ය. ඇතැම් විට ඔහු ඒ තරම් සුවබර නින්දකට පිවිසියේ ඇය ගෙන් සමු ගත්තා ට ම පස්සේ විය යුතු ය.

ආලෝක අවදි නොවන සේ හෙමිහිට ඔහු ගේ අත ඉවත් කොට ඇය යහනෙන් බැස ගත්තා ය. නුවර එත්දී අත් බෑගයේ දමා ගෙන ආ, ඔහු දුන් චන්ද්‍ර කාන්ත පාෂාණය අතට ගෙන පපුවෙහි තුරුලු කර ගත්තා ය. ආදරය නො බිඳී එලෙස ම පවත්වා ගන්නට, ඔහු අසීමිත ආදරයකින් හා විශ්වාසයකින් පිරිනැමූ මේ සඳ කැන් වෑහෙන අපූරු පාෂාණය ඉවහල් වන්නට ඇත යන බොළඳ විශ්වාසයෙන් ඕ හිත පුරවා ගත්තා ය.

යළිත් යහන වෙත ගොස් හිඳ ගත් සූර්යා සිය පෙම්වතා ගේ, දෙවියන් ඉදිරියේ දැන් සිය ස්වාමි පුරුෂයා බවට පත් ව හිඳිනා මිනිසා ගේ මුහුණ දෙස බලා ගත්තා ය. දිය ඇල්ලකින් පෙණ පිඬු සපිරි දිය වෑහෙන්නා සේ ඇගේ ගැහැනු හද මඬල වෙත ආදරයේ අමා දිය වෑහෙමින් පිරීතිරී යන්නට විය. ඈ තවත් දරා ගත නො හැකි ස්නේහ හැඟීමකින් ඔහු ගේ මුහුණ මත පහත් වූවා ය. යන්තම් රැවුල් කොට වැවී එන ඒ කොපුල මත සිය දෙතොල් තදින් තෙරපා ඔහු සිප ගත්තා ය. තට්ටු හිටින්නට කැපූ ඇගේ මැහෝගනි රතු වර්ණ කැවූ වරල ආලෝක ගේ මුහුණ පුරා ඉහිර ගියේ ය. ඒ ස්පර්ශයෙන් ඔහු  ගේ නෙතු හැරිණි. ඔහු ඇය ව යළි සිය තුරුලට ඇද ගත්තේ ය.

“ආලෝක”

සූර්යා ප්‍රේමයේ මෘදු භාෂිතයෙන් ඔහු ඇමතුවා ය. තරුණයා නෙතු පියා ගෙන ම තව තවත් තදින් ඇය තුරුලු කර ගනිමින් ‘ම්..’ කීවේ ය.

“මේ”

ඈ සිය සුසිනිඳු ඇඟිලි තුඩගින්, අලුත් රැවුල් කොට සහිත කොපුල හෙමිහිට පිරිමැද්දා ය.

“මට නිදියන්න ඕන අද…ගොඩාක් වෙලා…ඔයාව තුරුල් කරං…”

ඔහු එසේ කීවේ නෙතු විවර නො කර ම ය.

“මේ..”

ඇය නැවතත් ඔහු ගේ ඇස් යොමු කර ගැනීමේ අරමුණෙන් කීවා ය. ආලෝක ඇස් ඇරියේ එවිට ය. අත්ලෙහි ගුලි කොට ගෙන උන් චන්ද්‍ර කාන්ත පාෂාණය ඇය ඔහු ගේ නෙතු ඉදිරියට කළා ය. ආලෝක වහා යහනේ හිඳ ගනිමින් ඇගේ ඒ අත තදින් අල්ලා ගත්තේ ය.

“සූර්යා…”

“හ්ම්…ඒක…ඔයා දීල ගිය ඔයාගෙ මූන් ස්ටෝන් එක”

“හැමදාම මගෙ මූන් ස්ටෝන් එක ඔයා කියල මං තේරුං ගත්තෙ ඔයාට යන්න ඇරියට පස්සෙ”

ආලෝක සූර්යා ගේ හිස් මුදුන සිප ගනිමින් කීවේ ය. ඒ තරම් ආදරයක් කොහොම එහෙව් කාලයක් සමාන්තර මාර්ග දෙකක ගමන් කළා ද කියා කාට නම් කිව හැකි ද?

“යන්න ඇරිය නෙවෙයි. පන්නල දැම්ම. එහෙම නැත්තං පැනල ගියා. ප්‍රතික්ෂේප කරල දාල ගියා. ඔය කොයික කිව්වත් මට හිතට මදි”

ආලෝක ඇගේ හිස ගෙන සිය නිරුවත් පපුවෙහි රුවා ගත්තේ මලක් සේ ය. සූර්යා මහත් තෘෂ්ණාවකින්, ඝණ ව රෝම ගැවසි ඒ පපුතුර දෙතොල් තබා සිප ගත්තා ය. ඇගේ ආත්මයට ඔහු ගේ සුවඳ දැනිණ. හැම දාමත් යටපත් කළ නො හැකි ලෙස ඇගේ ආත්මය පුරා හමා යමින් තිබූ ඔහු ගේ සුවඳ!

“එදා වෙන මොනා කරන්නද මං…පොකට් මනි වලට ටියුෂන් එකක් කරගෙන…අම්මගෙන් කාල කැම්පස් ගිය කොල්ලෙක් සුරංගනාවක් වගේ හැදුන කෙල්ලෙක්ව පන්නගෙන ගිහිං කොහේ තියා ගන්නද මැණික…මොනා කරන්නද…එදා මං ඒක කළා නං අද ඔයාගෙ හිතේ මේ ඉතුරු වෙලා තියෙන ආදරේ මතකයක්වත් හොයා ගන්න බැරි වෙන්න තිබුණා”

“එදා මැරෙන්නැතුව අදත් ජීවත් වෙන්න මං ඉතුරු වෙලා ඉන්නව කියල තාමත් හිතා ගන්න බෑ ආලෝක”

ඔවුන් දෙදෙනා ම එක වර සුසුම් හෙළූහ. සූර්යා කොළ පාට පාෂාණය, දිග හල අත්ල මත තබා බැලුවා ය.

“ඔයාට මං කිව්වනෙ…මාව අමතක කරන්න ඕන වුණ දාට ඕක විසි කරල දාන්න කියල”

මහා ගාන්ධර්වයෙකු ගේ ළය පසාරු කරනා වෙණ තතක් සේ ආලෝක ගේ හඬ ශෝක රසයෙන් සුසර ව තිබිණි. අනිත් අතට ඒ ශෝකය අපමාණිත ප්‍රේමයක් විසින් පොඟවන ලදුව තිබිණි.

“අමතක කරන්නනං ඕන තරං උත්සාහ කළා. කී දවසක් මේක මිට මොළවගෙන යන්න ඇද්ද සේන් ගඟට විසි කරන්න. ඒත් සේන් ගඟ දිගටම මගෙ පැත්තකින් ඔයා හිටිය ආලෝක..අවතාරයක් වගේ ඔයා මගෙ පස්සෙන් ආව. මේක සේන් ගඟට විසි කරන්න හදන හැම වෙලාවෙම මං තව තවත් ඒ අවතාරෙට ආදරේ කළා. ෆ්‍රාන්ස් වලට කියන්නෙ ආදරේ නගරය කියල. ඇත්තටම ඒක පුදුම තරං රොමෑන්ටික් සිටි එකක්. අර අවතාරෙවත් ළඟින් නොහිටියනං…මං එහෙදි දිවි නසාගෙන ආලෝක…සේන් ගඟ එහෙනං මගෙ මිණියවත් හොයා ගන්න බැරි තැනකට අරං ගිහිං. මැරි මැරි මං ඉපදුණා ආලෝක. ඔයාව තව එක සැරයක් දැකල මැරෙන්න නියම වෙලා තියෙන නිසා වෙන්න ඇති. මේ ඉරණම මට දීපු පනිශ්මන්ට් එක…මං කොහොමද දරා ගත්තෙ ආලෝක ඔයා නැතුව…”

ඇය කුඩා දැරියක සේ ඉකි බිඳුම් සර අවසානයේ ඔහු ගේ ගෙලෙහි එල්ලී උරහිසෙහි මූණ තද කර ගත්තා ය.

“බොරු කිව්වෙ ඔයා…මැරි කරල නෑ ඔයා”

එහෙම ඉන්නා ගමන් ම ඇය නොදරු හුරතලයකින් නෝක්කාඩු කීවා ය. ආලෝක දඩබ්බර සිනහවක් නගා ගත්තේ ය.

“මං කිව්වෙ නෑනෙ. ඔයාමනෙ එහෙම හිතං හිටියෙ”

“ඔයා එහෙම නෑ කිව්වෙත් නෑනෙ”

“කියනවට වඩා දැනෙන්න අරින එක තමා හොඳ”

“මට හීනෙං වගේ මතක් වුණේ..එදා නටාෂා කියනව…අන්මැරීඩ් ක්‍රෂ් ඔෆ් බිස්නස් වයිව්ස්…මං දන්නවනෙ මෙයා ක්‍රෂ් එකක් විතරක් වෙලා නිකං ඉන්නෙ නෑ කියල”

ආලෝක හඬ නගා හිනැහුණේ ය. ඒ වගේ ආදරණීය නෝක්කාඩු ද ඒ වගේ අපමණ සැහැල්ලු සිනා ද ඔහු ගේ ලෝකයට සදහට ම අහිමි යයි ඔහු සිතා සිටියේ ය. නමුත් නිම් හිම් නැති පොළොව යට හැංගී තව තවත් දීප්තිමත් වන චන්ද්‍ර කාන්ත පාෂාණ සේ ප්‍රේමය හද නිධානය තුළ තව තවත් දීප්තිමත් ව වැඩී ඇත. බෙලි කටුවක් ඇතුළේ වැඩෙනා මුතු ඇටයක් සේ දැන් ඒ අගනේ ය.

ආදරය කියන්නේ මහ පුදුම දෙයකි. ආත්ම දෙකක් ඒකාත්මික කරන්නට ආදරයට පුළුවන. ශරීර දෙකක් ටික වෙලාවකට එක ශරීරයක් බවට පත් කරන්නටත් ආදරයට පුළුවන!

සූර්යා තුරුලු කර ගත් වන ම ආලෝක චාන්දනී ට කතා කොට තරමක් දවල් වී නුවරින් පිටත් වන බව කීවේ ය. දැන් අම්මා ඉන්නේ හද ගින්දරින් බව ඔහු දනී. විශේෂයෙන් ම රෑ පානේ මධු විත පොදක් තොල ගා ගෙන ආලෝක රිය පැදවීම ගැන චාන්දනී ගේ හදවත මහ කන්දක බරක් දරා ගෙන හිඳී.

“යන්න හිතෙන්නෙත් නෑ ඒ වුණාට”

 ආලෝක බිම බලා ගෙන හිනාවක් හංගමින් කීවේ ය. සූර්යා සුළි සුළඟක් වන් සුසුමක් හදවත පුරවා ගෙන බලා සිටියා ය. ඔහු කවදත් ඉක්මන් හදිසි තීරණයකට පසුබෑවේ ය. සසරේ යළි යළිත් ඔහු අහිමි කර ගන්නට තරම් හයියක් දැන්නම් ඈ වෙත ඉතිරි වී නැති බව දත් සූර්යා ඉක්මන් වූවා ය.

“මාත් එනව යන්න”

“කොහෙද..”

“ඉන්න තැනක එකට ඉමු. යන තැනකට එකට යං”

ඔහු ඇගේ ගෙල මුල ඉතා තදින් සිය දෙතොල් තෙරපුවේ ය.

සතියක් හමාරක් නුවර නතර වී හිත සන්සුන් කර ගන්නවා කියා හිතා ගෙන ආ සූර්යා, එක් රැයක් පමණක් සොඳුරු සෙංකඩගල හෝටල් කාමරයක් තුළ ගෙවා දමා, සිය මධු සමයේ මතක කර පින්නා ගෙන යළි කොළඹ යන්නට සූදානම් වූවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles