(අ)හිමි සිහින – 15

මගේ දිනපොතේහි අද රෑ ලියන්නේ
අප පෙම් කතාවේ අවසානයයි..
ඔබ නේන දා හෙට මා මනමාලියයි..

එවැනි දවසක් මට උදා වුණා.මම ඉමහත් ප්‍රේමයක් අමතක කර දමා ඒ සියල්ලම ගිනි ජාලාවක් බවට පත් කර අසංකගේ මනමාලිය වෙන්නට තීරණය කළා.චන්ද්‍රලේඛා ගයන අයුරින්ම මාත් හැම පාසල් සමයේ ලියූ හැම කවියක් සහ ලිපියක්ම ගිනි අවුළුවා ප්‍රේමයේ නටබුන් බවට පත් කළා.ඒ කිසිවක්ම මගේ අලුත් ගෙදරට රැගෙන යන්නට මට උවමනා වුණේ නැහැ.

මම හෙට ඉඳන් අසංකගේ බිරිඳ.ඔහුට අවංකව ජීවත් වෙනවා මිසක සුධාරක හිතේ අලවාගෙන ඒ ගමන යන්නට මම කැමති වුණේ නැහැ.එය සුධාරකටත් අසංකටත් දෙදෙනාටම කරන අසාධාරණයක් බව මම දැඩි ලෙස විශ්වාස කළා.
මම අසංක සතුව දකින එක යහපත් ගුණයක් තිබුණා.ඔහු මිනිසෙකු ලෙස හොඳ මනුස්සකමක් තිබූ කෙනෙක්.

2000 අගෝස්තු මාසයේ දවසක මම අසංක හා විවාහ වුණා.

අසංක ලංකාවේ මේ වෙද්දී ඉතාම ජනප්‍රිය මාධ්‍ය අංශයක් සම්බන්ධයෙන් පෙරමුණ ගත් ව්‍යාපාරිකයෙක්.ප්‍රබලම දේශපාලනඥයෙකුට සමීපම සම්බන්ධතා ඇති පවුලක පුතෙක්.රදළ පවුලක අයෙක්.රදළ වලව්කාරියක වුණාට අසංකගේ අම්මා සුධාරකගේ අම්මාට වඩා බොහොම හොඳ ගැහැනියක්.අපාය සහ දිව්‍ය ලෝකය වගේ සසැඳීමක් තමයි ඔවුන් දෙදෙනා වෙනුවෙන් මට කරන්න පුලුවන්.ලේලියෙක් නොකරම දෙයක් නැන්දම්මා වර්ණනා කරන එක හරිම දුර්ලභ වුණත් මම අසංකගේ අම්මාව වර්ණනා කරනවා.යහපත අගයන්න අපි පැකිලෙන්නේ ඇයි?

මගේ විවාහ මංගල්‍යය ඉතාම උසස් අන්දමින් පැවැත්වුණා.විශාල මුදලක් වියදම් කරලා තමයි මගේ විවාහය අම්මල සිද්ධ කරේ.පවුලේ එකම දියණියගේ මංගල්ලය රාජ මංගල්‍යයක් වගේ කරන්න ඔවුන්ට ඕනෑ වුණා.නෑදෑ මිතුරන් සිය ගණනක් සහභාගී වූ දවසක් ඒ.එතරම් ඥාති පිරිසක් දකිද්දී මම පහුගිය කාලයේ කළ කී දෑ වලින් මගේ අම්මා සහ තාත්තා මොනතරම් ලැජ්ජාවක් විඳින්නට ඇත්දැයි මට නොහිතුණාත් නෙවෙයි.

මගේ මංගල සාරිය ඉන්දියාවෙන් කරවා රැගෙන ආ එකක්.එය ඒ කාලයේ පවා ලක්ෂයක පමණ මිල වූ එකක්.තවමත් ඒ සාරිය එපරිද්දෙන්ම ලස්සනට තිබෙනවා.එය මා තවමත් ළඟ තබාගෙන ඉන්නවා.මගේ දෙවැනි ගමනට පවා සාරිය ගෙන්වූයේ ඉන්දියාවෙන්.දයාන් විතාරණ මහත්මයා ඒ කාලයේත් ජනප්‍රියම ඡායාරූප ශිල්පියෙක්.ඔහු තමයි මගේ මංගල්ලය වෙනුවෙන් ඡායාරූප ලබා ගත්තේ.ඔහු එකලත් අධික මුදලක් ඒ වෙනුවෙන් අය කළා.ඒවා මගේ අම්මාටත් තාත්තාටත් සතුටක් මිස බරක් නම් වුණේ නෑ.ජනප්‍රිය සහ තරු පන්තියේ හෝටලයක් වූ ට්‍රාන්ස් ඒෂියා හෝටලයේ මගේ විවාහය පැවැත්වූවා.

ඒ විවාහය නිසා මගේ ජීවිතය සුඛිත මුදිත භාවයට පත් වෙතැයි මගේ දෙමාපියන්ට තිබුණේ දැඩි විශ්වාසයක්.මම ඒ රදල සල්ලිකාර පවුල තුළ රැජිනක සේ සතුටින් ජීවත් වෙතැයි මගේ දෙමාපියන් සතුටු වුණා.නමුත් දෛවය මට එළවමින් පහර දීම නැවතී තිබුණේ නෑ.

හොඳ ව්‍යාපාරික මහතෙකු සේ රටේ නමක් දිනාගෙන සිටි මගේ සැමියා විවාහය සිදු වන විටත් බංකොලොත් වී අවසන්.මගේ දෙමාපියන් නොදන්නවාට ඔහුට හෝම් කමින් එක වෙනුවෙන් ගෙවන්නට මුදල් තිබුණේවත් නෑ.ගම්පොල ගෙලිඔය ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට ගිය ගමන් මම මුලින්ම කළ රාජකාරියත් දෛවයෙන් මට ලැබුණු නියෝගයක් වෙන්නට ඇති.

මගේ මංගල මුදුව පමණක් ඉතිරි කරගෙන අනෙක් සියලුම රත්තරන් බඩු මම අසංකට ලබා දුන්නා.මංගල උත්සවය සම්බන්ධ කාරණා වලට පවා ගෙවන්නට ඔහු අත මුදල් නැහැ.මෙතැනින් පසු මේ මිනිසා සමඟ සැපදුක බෙදා ගනිමින් ජීවිතය ගෙවන්නට මට සිදුවන නිසා මම ඔහුගේ කඳුල මගේ කඳුල කර ගත්තා.

ජීවිතේ තවත් එක් පරිච්ඡේදයක් එහෙම පටන් ගත්තා!

ලස්සනම කාරණාව වුණේ සුධාරක මට වඩා අවුරුදු එකොළහක් වැඩිමල් කියමින් ඒ ප්‍රේමයට විරුද්ධ වූ මගේ අම්මලා මට සොයා දුන් මනමාලයාගේ වයස.ඔහු මට වඩා අවුරුදු දොළහකින් වැඩිමල්.

අතීතය දෙස හැරී බලද්දී මට මගේ අම්මා තාත්තා ගැන වෛරයක් දැනෙන්නේ නැහැ.ඔවුන් මට හොඳම දේ ලබා දෙන්නට සටන් කරන්නට ඇති.එකම දියණිය නිතර මත්පැන් බොන,ජීවිතය සම්බන්ධයෙන් කිසි ලෙස විශ්වාසයට ගත නොහැකි රණවිරුවෙක්ට දෙන්නට ඔවුන් බිය වෙන්න ඇති.ඔවුන් හොඳ පවුල් පසුබිමක් ඇති පොහොසතෙකු තෝරා ගන්නට ඇත්තේ මොනතරම් විශ්වාසයෙන්ද සිතද්දී මට තවමත් ඇති වන්නේ ශෝකයක්.

කුලගෙය ගිනි ගෙයක් කර නොගෙන ජීවත් වීමේ සටන ඉනික්බිතිව මම ඇරඹුවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles