සඳ කත් මිණි ඇස් 13

සූර්යා රාත්‍රී ආහාරය පිළිගැන්වූයේ සඳැල්ලෙහි කුඩා මේසයක් තබා එතැන ය. නියොන් එළි දැල්වුණ නුගේගොඩ නගරය සාමකාමී බවට පත් වෙමින් තිබිණ. දහවල ගිනි ගත් හුළඟ පවා සෞම්‍ය සිහිලැල් බවකට අරාඳිමින් තිබිණ.

තවමත් ඒ තරම් ප්‍රබල ව තරු බබළන්නට පටන් ගෙන නැත. පොළෝ තලයේ කෘතිම එළි නිසා තරු වල කාන්තිය ඒ තරමට පෙනෙන්නේ නැති විය යුතු ය. සඳැල්ලේ කහ පාට මඳ එළිය කෑම ගන්න ට නො සෑහෙතැයි සිතුණෙන් සූර්යා ඉටි පහනක් දල්වා මේසය මතින් තැබුවා ය.

“බොන්නත් හොට් මොනා හරි තිබ්බනං තමයි හොඳ”

ආලෝක අඩ සිනහවකින් කීවේ ය. සූර්යා ඇගේ මුවට හා මන්දස්මිතය ට පිපෙන්නට නොදී ආලෝක ගේ කන් පෙත්තක් මෘදු ලෙස මිරිකුවා ය.

“හදල දෙන්නං ඕන්නං…හොට් කැපුචිනෝ එකක්…”

ඔහු සිය පෙම්බරිය ළඟට ඇද ඇගේ බඳ වටා දෑත ම යවමින් උදරයත් ළැමත් අතරේ හිස හොවා ගත්තේ ය. සූර්යා තත්පර ගණනකට ඔහු ගේ හිස වැළඳ සිට, ඒ හිස් මුදුනේ හාදුවක් තබමින් ම ඔහු ගෙන් මිදුණා ය.

“කන්න දැන්”

ඔහු ගේ පතට පළමු බත් හැන්ද බෙදුවේත් ඈ ය.

“දැන් ටිකක් මගෙ බර වැඩි වෙලා. බඩත් වැඩියි”

“වයසයිනෙ දැන්”

සූර්යා එසේ කියමින් යටැසින් බැලුවා ය. ආලෝක ගේ බටිති තොල් මත ඇඳුණේ අවුරුදු දහ අටක කොල්ලෙකු ගේ වන් දඩබ්බර සිනහවකි. සූර්යා හඬ නගා සිනහ වූවා ය.  කියන්නට දහසක් දේ ඇති මුත් ඒ කිසිත් නො කියනා මුවින් ඔහු අඩ සිනහවෙන් ම බත් පත අනන්නට පටන් ගත්තේ ය.

සූර්යා ඔහු දෙස බලා සිටියේ අපරිමිත ආදරයෙනි. දෛවයට වුණත් කෙතරම් කුරිරු විය හැකි ව තිබිණි ද? එසේ නො විණි නම් අද ඔවුන් වැඩි විය පත් දරුවන් ගේ මව් පියන් වන්නට තිබිණි.

“මොකෝ…”

සූර්යා හදිසියේ ම කල්පනාවකට එළඹි නිසා ආලෝක විමසුවේ ය. ඇය හිස දෙපසට සලා කිසිත් නොමැති බව හඟවමින් ම බත් පතෙහි අත තැබුවා ය. ප්‍රවීන් හමු වන්නට ගිය පුවත ආලෝක ට කියන්නට සූර්යා ගේ මුව නලියෑවේ ය. ඇය ට ප්‍රවීන් හමු වීමේ කිසිදු උවමනාවක් වූවා නොවේ. ඈ ඒ ගමන ගියේ ඔහු ආලෝක ට වෛර කරනා එක නැවැත්විය යුතුයි කියා සිතුණ බැවිණි. ආලෝක ගේ ජීවිතයට ප්‍රවීන් ගෙන් අනතුරක් එල්ල වන්නට ඇති ඉඩ වළකාලනු රිසින් ය. ඇය ප්‍රවීන් ගෙන් ව්‍යාපාරික උදව් නොපතන්නට හේතුව ආලෝක නොව ව්‍යාපාරයක් ඇරඹීම පසුවට කල් තැබීම බව කියන්නට ය.

නමුත් එය දැන ගත් පසු ආලෝක කේන්ති ගන්නට පුළුවන. කන බත් පව වුව දමා ගසා නැගී සිටින්නට පුළුවන. ඒ නිසා කෑම ගැනීමෙන් පසු ඒ බව කියන්නට සූර්යා තීරණය කළා ය. ප්‍රවීන් ම ලුණු ඇඹුල් ද පදමට දමා ඒ ගැන ආලෝක ට කියනා එක හොඳ ය. ප්‍රවීන් වූ කලී හොඳ පදමට ලුණු ඇඹුල් දමන්නෙක් බව දැන් සූර්යා හොඳින් දනී.

“බඩ පැලෙන්න ම කෑව “

කියමින් ආලෝක මේසය මතින් නැගී සිටියේ ය.

“ඇති කියද්දිත් ඔයා බෙදුවනෙ”

“කොල්ලෙක්ට ඕකත් කෑමක්ද අනේ..මං කිව්වෙ මේ…ඉස්සර කොල්ලෙක්ට…”

“උඹ…”

ආලෝක ඈ වෙත ලං ව තදින් සූර්යා වැළඳ ගත්තේ ය. තත්පර කිහිපයක් ඔවුහු ඒ උණුහුම් තුරුලට ගාල් ව සිටියහ.

“ආදරෙයි මැණික…මහ හුඟක්..හිතේ ඔයා ඉන්න තැනට එන්න වෙන කාටවත් බැරි වුණ හැටි…”

ආලෝක සුසුමක් හෙළුවේ ය. සූර්යා ගේ හිත හෝස් ගා දැවිණ. මේ හෝරා දෙක තුන හෝ ඔහු ට නො කී රහසක් හිත දරා හිඳීමේ බර ඇගේ හිතට හොඳට ම දැනෙමින් තිබිණ.

“දෙයක් කියන්න තියෙනව”

ඈ ඔහු ගේ තුරුලේ හිඳ ම කීවා ය.

“කියන්න”

“ඔන්න බණින්න බෑ”

“මට පුළුවන් ද ඉතිං එහෙම කරන්න…ම්…ඔයා දන්නෑ ඒ ආදරේ තරං…”

“ආලෝක”

“ම්..”

“ප්‍රවීන් ඉන්වයිට් කළා අද..ටී වලට..ඉතිං මං ගියා. ඇත්තට ම මං ගියේ…”

සූර්යා ට කියා නිම කරන්නට ලැබුණේ නැත. ඔහු ගේ ග්‍රහණය ලිහිල් විය. ඒ උණුහුම සිසිල් විය. සූර්යා ය දැනුණේ උන් හිටි ගමන් ඕ අඳුරු ගැඹුරු අගාධයක පත්ලේ ගිලී යන්නා මෙනි.

“මං ගියේ ආලෝක…”

“ශ්…”

ඔහු සිය දෙතොල් මත දබර ඇඟිල්ල තබමින් ඈ නිහඬ කළේ ය. සූර්යා ඒ තනි අකුරේ විධානයෙන් ගල් වූවා සේ ය. ආලෝක පිස්සෙකු සේ එක තැන සක්මන් කළේ ය. සුරතින් සිය හිස කේ පිටුපසට ඇද ගත් ඔහු සෝෆාව මතට වැටිණ. තත්පර කිහිපයක් බිම බලා ගෙන ගත කළ හෙතෙම, ක්ෂණික තීරණයකට නතුව නැගිට ගෙන වහා ප්‍රධාන දොර වෙත ගියේ ය. ඔහු දොරට අත තබන කොට ම සූර්යා “ආලෝක” යයි අසීරුවෙන් කියා ගත්තා ය. ඒ වචනය පිට වූයේ ඇගේ උගුර රිදවමිනි. නමුත් ආලෝක ව නතර කරන්නට තරම් ඒ තනි වචනය ප්‍රබල වූයේ නැත. ඔහු යන්නට ගියේ ය.

සූර්යා ගේ කොපුල් තලා දිගේ සීතල කඳුළු දෙපෙළක් ගලා යන්නට වූයේ ය. නමුත් ඒ සීතලෙන් ඕ පිච්චුණා ය. සඳැල්ලට වී නියොන් එළි දැල්වෙන්නා වූ නුගේගොඩ නගරය දෙස බලා ගෙන ඕ මුඵ රැය ම පහන් කළා ය.

රාත්‍රිය තද සීතලක වෙලී තිබිණි. දුහුවිලි අංශු සීතලෙන් ශීත වී තිබිණි. ඒ ශීත දුහුවිලි අංශු, පැරීසියට වැටෙනා හිම කැටිති සේ සූර්යා ගේ සමේ සියුම් තන්තු රිදවන ලදී. ඊටත් වඩා ඇගේ හිත රිදී බිඳී පෑරී තිබිණි. හදවතේ ඉතා ම සියුම් රුධිර කේෂ නාලිකා පිපිරී ලේ කාන්දු වෙනවා වාගේ ඇයට දැනුණේ ය. ඒ ලේ ගැලීම් දෙස සිරුර ට පිටත සිට බලා හිඳිනා ආත්මයක් සේ ඇය ව සූර්යා ට දැනිණි.

එළි වෙන තෙක් සිය දහස් වතාවක් ඕ ආලෝක ගේ දුරකතනය සම්බන්ධ කර ගන්නට තැත් කළා ය. නමුත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත.

දුකින් වෙහෙසට පත් ව උන් ඇය උදේ ම දිය නා ඇඳුම් මාරු කර ගෙන මගට බැස්සා ය. අලුතෙන් ඇහැරී හිඳිනා හිරිමල් නුගේගොඩ නගරය මැදින් ඔහේ ඇවිද යන්නට වූවා ය. ජංගම දුරකතනයත් මුදල් පසුම්බියත් වතුර බෝතලයත් පමණක් ඇගේ අත් බෑගයේ විය. ත්‍රීරෝද රථයක නැගී ඕ කොට්ටාවේ අධිවේගී මාර්ග පිවිසුම තෙක් ආවා ය. කොහේ යන්න ද කියා අරමුණක් නොවුණා ට කොහේ හෝ යා යුතු බව ඇය දැන සිටියා ය. උහුලා ගත නො හැකි දුකින් හිත ආතුර වන බොහෝ අවස්ථා වල ඈ කර තිබෙන්නේ කොහේ දැයි නොදැන හෝ ඇවිද යාම ය. පැරීසියේ දී නම් සේන් ගඟ දිග කඳුළු සලමින් ඔරුවක නැගී පා ව ගියා ය. එදා ඇය හැඬුවේ ආලෝක අහිමි වී ගිය සන්තාපයෙනි. නමුත් අද ඇය හඬන්නේ ඇයි?

අධි වේගී පිවිසුමේ බස් නැවතුම දෙසට ඇවිද ගිය ඇය, මුලින් ම නෙත ගැටුණ මීගමු බසයට ගොඩ වූවා ය. යන්නටත් එන්නටත් පැය කිහිපයක ගමනක් එහි වේ. කාලය ගෙවා ගන්නට ඒ ප්‍රමාණවත් ය.

නටාෂා ගෙන් ඇමතුමක් ආවේ ය. පිළිතුරු නො දෙන්නට සිතාත් සූර්යා යළි පිළිතුරු දුන්නා ය.

“අද ෆ්‍රීද…”

“ඇයි නටාෂා…”

සූර්යා ගේ හඬේ උනන්දුවක් වූයේ නැත.

“යමුද වන් ගෝල් ෆේස් මෝල්…”

“අනේ මං මේ නිගම්බු යන ගමන් නටාෂා”

“නිගම්බු…කවුද එහෙ ඉන්නෙ…”

“කවුරුත් නෑ. කොහෙ හරි යන්න මං ආව. ඉස්සෙල්ලම හම්බ වුණ බස් එක නිගම්බු. ඉතිං මං යනව”

“සූර්යා…”

“පස්සෙ කතා කරමු”

නටාෂා ප්‍රතිචාර දක්වන්නටත් පෙර ම සූර්යා දුරකතන සම්බන්ධය බිඳ දැමුවා ය. අධි වේගී මාර්ගය දිග රිය ධාවනය වෙමින් තිබිණි. සූර්යා අසුනට හිස බර කොට ගෙන වීදුරු කවුළුවෙන් පෙනෙනා අවකාශයෙහි නෙතු පා කොට හැරියා ය. තුරු මුදුන් අතරින් සූර්යාලෝකය පෙරී ආවේ ය. හරිත ගොමු වේගයෙන් පසු පසට ඇදී ගියේ ය. නිල් අහස් තලාවෙහි සුදු වලාකුළු කැටිත්තක් එල්ලී ගෙන තිබිණි. වගුරු බිම් වල කඩොලාන ශාක මත කොක් රෑනක් වසා සිටියේ සුදු විසල් මල් පිපුණ ගසක් සිහි ගන්වමිනි. ඉපිල් ඉපිල් හා ඇකේෂියා ගස් වල සිහින් පත් සුළඟත් එක්ක නැටුවේ ය. කුඩා දිය පොකුණු මත්තේ මහනෙල් මල් පිපී හිනැහෙමින් තිබිණි.  නම නො දන්නා, මාර්ගයට සමාන්තර කුඩා දිය දහරක් සිතේ කොනිති ගැසුවේ ම සේන් ගැන මතකයකි. ඒ දිය පහර දෙපස සැල්වීනියා හා පෙඳ පාසි තැන්පත් ව ලා කොළ පාට බෝඩරයක් මවා තිබුණේ ය. දිය දහර අඳුරු කළු පැහැයක් දැරුවේ ය. දර්ශනීය මීගමු කලපුව පෙනෙන මානයේ දී සූර්යා ආලෝක ට කෙටි පණිවිඩයක් ලීවා ය.

“මං ප්‍රවීන් ව මීට් වෙන්න ගියේ මොන හේතුවකට හරි එයා ඔයා එක්ක තරහක් තියා ගනී කියන බයට. එතන තිබුණෙ එච්චරයි”

නිදහසට කාරණා ඉදිරිපත් කිරීමට ඕන නැත කියා සිතෙන්නට පෙර සූර්යා පණිවිඩය යැව්වා ය.

ඒ පණිවිඩය එත්දී ආලෝක සිටියේ කාර්යාලයෙහි අසුන මතට වී ජංගම දුරකතනය දෙස බලා ගෙන ය. ඔහු ගේ සිත යකා ගේ කම්මල සේ විය. ප්‍රවීන් සූර්යා ගැන කී කතා මේ මොහොතේත් ඔහු ගේ සිත් හි හොල්මන් කරයි. ඈ යළිත් ඔහු හමු වීම විජයග්‍රහණයක් සේ ප්‍රවීන් ට දැනෙන්නට ඇත. ආලෝක තුළ මහත් හීන මානයක් ඇති වූයේ ය. සූර්යා ගේ නමින් කෙටි පණිවිඩයක් එනවා දුටුවත් ඔහු හිතේ කේන්තියට ම ඒ පණිවිඩය කියවූයේ නැත. පෙර දා රාත්‍රිය පුරාවට නින්දක් නො ලබා සිටීම මත ආලෝක ට වෙහෙස දැනිණ. නටාෂා ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ඒ වෙලාවේ ය. සාමාන්‍යයෙන් ආලෝක ව්‍යාපාරික බිරින්දෑවරුන් මගහරින්නෙකි. නමුත් නටාෂා සූර්යා සමග ඇති සම්බන්ධය නිසා ඇමතුම මග හරින්නට ඔහු ට නො සිතිණ.

“සූර්යා ඔයාට කතා කළා ද සුමන්..”

නටාෂා ගේ ප්‍රශ්නය අමුතු ය. ඇය ඒ විමසු කලබලය ඊටත් වඩා අමුතුයි වාගේ ආලෝකට දැනිණ.

“එයා නිගම්බු යනවලු. හැබැයි ඒ ඉස්සරහට හම්බ වුණ පළවෙනි බස් එක නිගම්බු එකක් වුණ නිසා. එතනදි හම්බ වෙන කොයි බස් එකේ නැගල මේ කෙල්ල කොහේ යයිද කියල හිතුණ නිසයි මං සුමන්ට කතා කළේ. එයා ඔයාට එහෙම මුකුත් කිව්වද…”

“අ..නෑ නටාෂා. මටනං මුකුත් කිව්වෙ නෑ”

“අනේ මන්දා අනේ මේ ළමයා කරන වැඩ. මටනං බයත් හිතෙනව. එක්කො සූර්යා ට තියෙන්නෙ ආපහු කිඩ්ස්ල ළඟට යන්න”

“ඩෝන්ට් වොරි නටාෂා. මං සූර්යා ගැන බලන්නං”

සියුම් ගැස්මක් ආලෝක ගේ සිත් හි ද ඇති විය. ඔහු වහා කෙටි පණිවුඩය කියවූයේ ය. එහෙම ම සූර්යා ට ඇමතුමක් ගත්තත් ඇගේ දුරකතනය ක්‍රියා විරහිත ව තිබිණි. ආලෝක ට පණිවුඩය යැවූ ගමන් ඕ එය ක්‍රියා විරහිත කොට බෑග් එකේ ඔබා ගත්තා ය.

එදා හැන්දෑ වන තෙක් සූර්යා මීගමු නගරයෙහි ඇවිද්දා ය. හොඳට ම කුසගිනි වැඩි වූ වෙලාවක වෙරලාසන්න බොජුන් හලකින් කෑම ටිකක් කෑවා ය. හැන්දෑ වන තෙක් වෙරල තීරයට වී හිඳ ත්‍රීරෝද රියකින් බස් නැවතුමට ඇරලවා ගත්තා ය. පැයක ගමන පුරා ඇය සිටියේ විඳ හුරු පුරුදු අතීත ශෝක රසයක ගිලී ගෙනය.

දිය නාන අතරේ ගෙදොර විදුලි සීනුව හැඬවෙන හඬ ඇසිණ. බාගෙට තෙත පිස දමමින් විත් සූර්යා දොර ඇරියා ය. අත් දිගට දැමූ සුදු කමිසයත්, අළු පාට කලිසමත්, කලිසම් සාක්කු වල බහා ලූ දෑතත් සහිත ව, ශෝකී දෑසකින් ආලෝක දොරකඩ සිට ගෙන සිටියේ ය. සූර්යා දොර ළඟින් මෑත් වූවා ය. ඔහු ගෙතුලට හෙමිහිට පියවරක් දෙකක් තබා ඈ ළඟට ම විත් තදින් ඇය ව ළයෙහි හොවා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles