අලුත් බිරිඳ

මියුරු බෙරහඬ වලින් තොරව, අලංකාරවත් මංගලාභරණයෙන් තොරව තමන් කුඩා කල සිට කිසිදු දුකක් විඳින්නට නොදී හදාවඩා ගත් දෙමාපියන්ගෙන් තොරව මෙසේ කච්චේරියකට තම දිවි දෙවෙනිකොට ප්‍රේම කරන තැනැත්තාව විවාහ කරගන්නට වේවි යැයි අසංගි කිසි දිනෙක නොසිතුවාය. ඇයට ඔහු හමුවූයේ මීට තෙමසකට ඉහතදීය. තමන්ට වඩා වසර පහළොවකින් වැඩිමහලු ඔහු භාණ්ඩ නියෝජිතවරයෙකි. ඔහු නමින් කනිෂ්ක ය. අසංගි විසි හැවිරිදි තරුණියක් වුව ද වයසට වැඩි මුහුකුරා ගිය පෙනුමකින් හෙබි තැනැත්තියක් වූවත්, කනිෂ්ක තම වයසට වඩා බෙහෙවින්ම ලාබාල පෙනුමකින් යුක්ත වූ කඩවසම් තරුණයෙකි.

දිනක් අසංගි ඉලෙක්ට්‍රික් බඩු වෙළඳසැලකට ගියේ තමන්ට නවතම විද්‍යුත් උදුනක් මිලදී ගැනීමටය. එහිදී ඇයට හමු වූ කනිෂ්ක ඇයට විශේෂ සැලකිල්ලක් දැක්වූයේ මන්දැයි ඇය හරි හැටි නොදත්තාය. සෑමවිටම තම මව සමඟ නගරයට ගිය ඇය කනිෂ්ක දුටු දවසේ සිට නගරයට ගියේ මව නොමැතිව ය. පොහොසත් පවුලක එකම දියණිය වූ අසංගි උපතින් ම හිතුවක්කාර මුරණ්ඩු ගති ඇත්තියකි. ඇය කනිෂ්ක සමඟ පෙමින් වෙලීමත් සමඟ ඇගේ මුලු ලෝකයම ඔහු විය. ඔහුද ඇයට එක සේ පෙම් කළේය. එහෙත් ඔවුන්ගේ ප්‍රේමය අසංගිගේ මවට ඉව වැටීමත් සමඟ ඇගේ ගමන් බිමන් වලට සීමා පැනවිණි. ඇගේ සෙවනැල්ල මව විය. ඇගේ ජංගමය ද ඇයට අහිමි විය.

එහෙත් මේ සියලූ ම බාධක බිඳ දමා කනිෂ්ක ඇය වෙත ළං වූයේ ඔහුගේ යහලුවන්ගේ ද උදව් ඇතිවය. ඔහු විසින් අසංගිට කුඩා ජංගම දුරකතනයක් සොර රහසේ ම තෑගි දුන් අතර ඔවුන් දෙදෙනා ගේ ප්‍රේමය දිනෙන් දින ශක්තිමත් විය. අසංගි කනිෂ්කගේ පවුලේ සියල්ලන් ගැනම දැන සිටියද කිසිදාකවත් ඔවුන් ව දැක තිබුණේ නම් නැත. කනිෂ්ක පැවසූ පරිදි ඔහුගේ පියා ඔහු කුඩා කාලයේ දී ම මිය ගොසිනි. ඔහුගේ මව කාන්ති කුලී වැඩ කරමින් බොහෝ දුක සේ ඔහුවත් නැගණියවත් උස්මහත් කර ඇත.

කනිෂ්කගේ මව ද දිනක් දුරකතනයෙන් අසංගි සමඟ කතාබහ කළ ද ඔහුගේ නැගණිය නම් කිසිදිනෙක ඇය සමඟ දොඩමලු වී නැත. කනිෂ්ක පැවසූ පරිදි ඔහුගේ නැගණිය කොළොඹ කලාපයේ සේවය කරන හෙයින් ඇය නිවසට පැමිණෙන්නේ මාස ගණනකට පසුව බවය. එසේම නැගණිය ඔහුගේ පණ බවත් ඇය අකමැති කිසිම දෙයක් නොකරන ලෙසත් කනිෂ්ක අසංගිට පවසා තිබිණි. එහෙයින් ම අසංගිගේ එකම බිය වූයේත් කනිෂ්කගේ නැගණියයි. දෙමාපියන් අතැර පැමිණි තමන්ට කනිෂ්කත් අහිමි වුවහොත් කුමක් කරන්නදැයි කච්චේරියේ සිට කනිෂ්කගේ නිවසට පැමිණෙන අතරවාරයේදී ඇය සිතුවාය.

අසංගිට කිසිදු අපහසුතාවයක් නොදැනෙන්නට ඇය පැමිණෙනවිට ඇය සතු රත්රන් බඩු සහ මිල මුදල් ද රැගෙන පැමිණෙන ලෙස පෙර දින ඇයට උපදෙස් දුන් කාන්ති කනිෂ්කත් අසංගිත් නිවසට පැමිණෙත්ම ඇයව ආදරයෙන් වැළඳ ඇය අත වූ බෑගය යුහුසුලුව තම අතට ගත්තාය.

“දුවට මහන්සිත් ඇතිනෙ… ඇඟපත හෝදන් එන්න බත් ටිකක් කන්න…”

අසංගිට ඇගේ මවගේ අඩුව නොදැනුණේ කාන්තිගේ ලෙන්ගතුකම නිසාමය.

“හරි අම්මා…” කටපුරා කාන්තිට අම්මා යැයි පැවසූ අසංගි ඇය පිටුපසින් නිවසට ඇතුලුව ඇය පෙන්වූ කනිෂ්කගේ කාමරය වෙත පියමැන්නීය.

ඇය එහි යනවිටත් කාන්තාවක් අල්මාරිය විවර කර එහි රෙදි සකසමින් සිටියාය.

“ඔයාද කනිෂ්කගෙ නංගි?”

ඇයගෙන් පිළිතුරක් නැත.

“කනිෂ්ක මට ඔයා ගැන කියල තියෙනව… මම ඔයාට තෑග්ගකුත් ගෙනාවා… ඒක බෑග් එකේනේ… ඉන්නකො අම්මගෙන් බෑග් එක ඉල්ලන් එන්න..”

අසංගි කාමරයෙන් එළියට ගියේ කාන්ති සොයමිනි. ඒ වන විටත් ඇය අසංගිගේ බෑගය විවර කර ඇගේ රත්රන් බඩු සහ මිලමුදල් ගැනීමට උත්සහ කරමින් සිටි නමුදු එම බෑගය රහස් අංකයක් මගින් අගුලු දමා තිබුණි.

“අම්මා… අම්මා කොහෙද?”

“ඒ මේ මළ යක්ෂනී ඒ ටිකට කෑගහනව…” තමන්ට ම කියාගත් කාන්ති, “මම මෙහේ”යි හඬගෑවාය.

“අම්මා මට බෑග් එක අරන් යන්න අමතක වුණානේ…”

“ඒක තමයි… මටත් අමතක වෙලා මෙහෙට ම ගෙනාවා…”

අසංගි තම බෑගය රැගෙන කාමරයට යන විට තරුණ කාන්තාව එහි නොසිටියාය.

“නංගි නම් එක විදිහක්…” තමන්ට ම පවසාගත් අසංගි නානකාමරයට වැදී සිසිල් ජලයෙන් තම විඩාව නිවා ගත්තාය.

එතැන් පටන් එම තරුණිය අසංගිට කනිෂ්කගේ කිසිදු රාජකාරියක් සිදුකිරීමට ඉඩ නොදුන්නාය. අසංගි උදෑසන නැගිටින විට තරුණිය විසින් ඔහුගේ උදෑසන ආහාරය මෙන්ම දිවා ආහාරය ද පිලියෙල කර තිබ්බාය. කනිෂ්ක සවස රාජකාරි නිමා වී පැමිණෙන විට ඔහු වෙනුවෙන් තේපැන් පිලියෙල කිරීම, ඔහුගේ තුවාය ඇද මතින් තැබීම, ඔහුගේ රෙදි සේදීම ආදී සියලූ ම වැඩපල සිදු කළේ ඇය විසිනි.මුලදී අසංගිට එය සහෝදර ප්‍රේමය වන්නට ඇතැයි සිතුනද පසුව එය මහත් මානසික වධයක් විය. තමන්ට සහෝදරයෙක් නොසිටියද මෙය නම් සහෝදර බැදීමකට එහා ගිය එකක් නොවේ දෝයි ඇයට සිතුනාය.

එහෙත්,

එහෙත් පුදුමයට කරැණ නම් ඇය කිසිදිනෙකවත් මුව විවර කර කතා නොකිරීමය. කනිෂ්ක පැවසූ පරිදි ඔහුගේ නැගණිය ගිරවකු මෙන් කියවන්නීය. එසේම මැය තමන් කනිෂ්ක සමඟ හෝ මව සමඟ සිටින විට නොපැමිණීම ද ගැටලුවකි.

අසංගි පැමිණ මාසයක් ගතවත්ම කාන්තිගෙන් ලැබෙන සැලකිලිද මද විය. කනිෂ්ක නම් ඇයට පෙර පරිදිම ප්‍රේම කළේය. රැකබලා ගත්තේය. අසංගිට ඇත්තේ එම සතුට පමණි. කනිෂ්ක නිවසින් පිටව ගිය පසු කාන්ති ඇනුම්පද වලින් සිත රිදවන අතර තරුණිය නේකවිධ ක්‍රියාවන්ගෙන් ඇගේ සිත රිදවයි. මේ සියල්ලෙහි දරා ගැනීමේ සීමාව ඉක්මවා යන්නට ආසන්නතම මොහොතේ අසංගි මුලුතැන්ගෙයට ගියේ කනිෂ්කට තම දෑතින්ම මිල්ක්ෂේක් එකක් පිළියෙල කර දීමට සිතමිනි. මන්ද එදින ඇයට සුවිශේෂී දිනයකි. ඒ ඇය ගැබ්බර වු බැවිනි. මෙම සුබ ආරංචිය කනිෂ්කට පැවසීමට මත්තෙන් තමන් අතින් ම සැකසූ පානයක් ලබා දීමට ඇට සිතුණාය. තරුණිය සුපුරුදු පරිදි ගෑස් උදුන සමීපයට වී සිටියාය. ඇයට ඉදිරියෙන් වූ කේතලට හූ හඬ නංවමින් රවුම් දුම්ගුලි අහසට විසි කරමින් තිබිණි.

“ඔයා තේ හදන්න එපා… මම එයාට මිල්ක්ෂේක් හදනව…”

අසංගි පැවසූ කිසිවක් සවනට නොගත් තරුණිය තම කර්තව්‍ය දිගටම සිදු කළාය.

“එකපාරක් කීවම තේරෙන්නේ නැද්ද? මේක පුදුම කරුමයක්නෙ… දැන් ඔහේ රස්සාවක් කරනව කීවා නේද? ඒකට යන්න කල්පනාවක් නැද්ද? මාස තුනක ඉදල මේ ගෙදර මිනිස්සු මට ම බැන බැන මම ගෙනාපුව කනව… ඒකත් කමක් නෑ කියමුකෝ… මටයි කනිෂ්කටයි සැනසීමේ ඉන්න දුන්නා නම්… ඒකත් නෑ…”

“ මොකක්ද මේ ගෝරනාඩුව?”

කාන්ති අසංගිගේ ශබ්දය ඇසීමෙන් සාලයේ සිට උස්හඬින් විමසුවාය.

“අම්මා, නංගිට හොද හිතින් කියන්න එයාගෙ වැඩක් බලාගන්න කියල… කනිෂ්කගෙ වැඩ කරන්නනේ මම ඉන්නේ…”

අසංගි සාලයට වේගයෙන් පැමිණ කාන්තිට පැවසුවෙන් ඇය ඒ වන විටත් නරඹමින් සිටි රෑපවාහිනී චැනලයෙහි ශබ්දය අඩු කළේ පුදුමයෙනි.

“මොකක්ද කීවේ? නංගි?”

“ඔව්… මගෙ ඉවසීමේ සීමාවක් තියෙනවනේ… කනිෂ්කගෙ නංගි දැන් ඕනවට වැඩියි…”

“තමුන් කවුද මට ඕනවට වැඩියි නියන්න?”

අනවසරයෙන් නිවසට ගොඩවැදුන තරැණියක් තරමක් උස්හ ඬින් පැවසුවෙන් අසංගි තුෂ්නිම්භූතව ඇය දෙසම බලා සිටියාය.

“දෝණි, ඔයා හෙට නේද එනව කීවේ?”

“ඒක නෙවෙයි… කවුද මෙයා? මගෙ ගෙදර ඉ්‍රදල මට දොස් කියන්නේ?”

“ඔයාගෙ ගෙදර? ඔයා කවුද?” අසංගි පුදුමයෙන් විමසුවාය.

“මේ තමයි මගෙ දුව…”

“එතකොට අර කුස්සියෙ ඉන්න ගෑනි කවුද?”

“කවුද අම්මෙ මෙයා?”

“අයියගෙ අලුත් පවුල… අරකි ගෑස් එක පුපුරල මැරිල හය මාසයක් යන්න කලින් ඌ අලුත් ගෑනියෙක් ගෙනාවා…”

“මම ඒත් හෙට අක්කගෙ දානෙ නිසා කලින ආවේ… ඒ එද්දි මේ පිස්සු ගෑනි මට බනිනව…”

සිදුවන කිසිවක් සිතාගන්නට නොහැකි වූ අසංගි සාලය පුරා දෑස් යවමින් සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට උත්සහ ගත්තද ඇගේ සිත භීතියට පත් කරමින් තමන් මෙතරම් කලක් දුටු ඒ නිහ ඬ තරුණිය මල් වැටුන ගවුමක් ද ඇද අවුල් වී ගිය හිසකෙස් ඇතිව දත් විලිස්සමින් සාලයෙහි අදුරු මුල්ලක සිට තමන් දෙස බලා සිටිනු දුටු විට තම දෑස් පියවෙනවාක් මෙන් ඇයට දැනුණි.

……………….සමාප්ති……

හංසි රණසිංහ

More Stories

Don't Miss



Latest Articles

පෙමාතුර – 38

ආදරණීය කිසා, මම මුල ඉඳන් අගටත් ආයෙ අග ඉඳන් මුලටත් හැම දේම මතක් කරනවා. මතකය වැරදි නැත්නම් මගෙන් වරදක්...

තනිකම

"ඔයා හැමදාම තනියම ඉන්නද හදන්නේ නංගි?" අක්කා එහෙම අහනකොට කසුනි හිටියේ අමතර පන්තියකට අවශ්‍ය ප්‍රශ්න පත්තර වගයක් සූදානම් කරන...

අකල් වැහි -17

"මං ඔයාගෙන් ප්‍රශ්නයක් අහන්නද?" එසේ අසන තරුණයෙකුට ඉනික්බිතිව අසන්නට ඇති සාම්ප්‍රදායික ප්‍රශ්නය සිතිජ ඇසුවේ නැත.ඒ වෙනුවට ඔහු හිතට දැනෙන...

පෙමාතුර -37

මගේ බෝඩින් පාස් එකෙහි සඳහන් ව තිබූ අංකය සහිත අසුන කවුළුවක් අයිනේ එකක් වීම දෙවියන් ගේ කරුණාව මත සිදු වූ දෙයකි. හෑන්ඩ්...

අකල් වැහි -17

හිරුදි ඒ රාත්‍රියේ සිටියේ නින්ද අහිමිව ය.ඒ ගර්භනී අපහසුතා හන්දා නොවේ. උදෑසන අපහසුතා හැරෙන්නට ඇයට තවම එතරමට අසීරුතා නොවේ.නමුත් හෘද අභ්‍යන්තරයෙන් පැන...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content