සඳ කත් මිණි ඇස් – 20

එක උදයක චාන්දනී ලස්සනට හැඳ පැළඳ ගෙන සිය මිතුරිය ඉන්ද්‍රාණි සොයා ගියා ය. සමීප හිතවතියන් වශයෙන් ඔවුන් දෙදෙනා උනුන් ගැන නො දන්නා දෙයක් නැත. ඉන්ද්‍රාණි ඒ දින වල කොතෙක් කීව ද චාන්දනී සිය පුතු වෙනුවෙන් මංගල යෝජනා සොයා ඇවිදින්නට නැමති වූයේ නැත.

“මං හොයල හරි යන්නෙ නෑනෙ ඉන්ද්‍රා. එයා හොයා ගන්න ඕන එයාට නැමති කෙනෙක්ව. අන්තිමට ඕන වෙලාවක කියයි අම්ම කැමති නිසයි මං එයාව බැන්දෙ අම්මයි තේරුවෙ අරව මේව…ඊට මීට වඩා හොඳයිනෙ තමන්ට ගැලපෙන කෙනා තමන්ම හොයා ගන්න එක”

චාන්දනී ක්‍රියා කළේ ඒ පදනම මත පිහිටා ය. නමුත් ඒ දිනවල ම ඔහු ව පිළිවෙලක් කළා නම් අද යළි සූර්යා ට ආලෝක නො පැටලී හිඳීමේ වැඩි ඉඩ කඩක් තිබිණැයි ඇය ට සිතේ.

ඉන්ද්‍රාණි ගේ හිතේ ඒ දවස් වලත් යමක් විය. ඇගේ බාල ම දියණිය සන්දීපනී ව ආලෝක ට කරකාර බන්දවා දීම ය. නමුත් ඇය ඔහු ට වඩා වසර පහළවකින් ලාබාල වූවා ය. සන්දීපනී පාසල් ගමන නතර කරත්දී ආලෝක ට තිස් තුනකි. උත්සාහවන්ත තරුණයෙකු වූ, ළමා වියේ සිට ම පවුලේ මිතුරන් ලෙස ළඟින් ම දැන සිටි ආලෝක ට දියණිය දෙන්නට ඉන්ද්‍රාණි කැමැත්තෙන් සිටියා ය. මේ ගැන ඇය වරක් චාන්දනී සමගින් ද කීවා ය.

“අපෝ වයස් පරතරේ වැඩියි නේද ඉන්ද්‍රා…”

චාන්දනී ඒ යෝජනාව නො සලකා හැරියේ එසේ කියමිනි. කුඩා කල අම්මලා සමගින් උනුන් ගේ ගෙවල් වලට ආ ගිය මේ ළමයින් උනුන් දැන හැඳින සිටිය ද, තුරුණු වියට එළඹෙත්දී ආලෝක අතිශය ලැජ්ජාශීලී තරුණයෙකු බවට පත් වූ අතර, ගෙදරට ආවත් සන්දීපනී සමග වැඩි ඇයි හොඳයියකට ගියේ නැත. ඒ නිසා ම ඇය ද ඔහු වෙතින් දුරස් වන්නට වූවා ය.

පෙම් සබඳතා දෙක තුනක් බිඳ වැටී සිටිනා සන්දීපනී වයස අවුරුදු විසි අටක් වීත් විවාහ නොවී සිටින්නේ ඇයට විවාහය යනු හදිසි වෙන්නට තරම් කාරණයක් නොවූ නිසා ය.

“විසි පහට කලින් බඳින්න ඕන තිහට කලින් ළමයි හම්බ වෙන්න ඔණ කියල නියමයක් නෑ අම්ම. කෙනෙක්ට විසි පහේදි හරි ම කෙනා හම්බ වුණත් තව කෙනෙක් ට ඒ කෙනා අහ අටෙන් හම්බ වෙන්න පුළුවන්. තව කෙනෙක්ට හතළිහෙන් පණහෙන් හැටෙන් වුණත් හම්බ වෙන්න පුළුවන්”

විවාහයක අවශ්‍යතාවය මතු කරන හැම වෙලාවක ම ඉන්ද්‍රාණි ට සන්දීපනී දුන් පිළිතුර ඒ ය.

“එතකොට දැන් ඔයා ඉන්නෙ හැටෙන් හරි කෙනා හම්බ වෙනකල් ද…”

“අයියෝ අම්ම. තාම මට විසි අටක් පිරුණෙත් නෑ. ඕක වදයක් කර ගන්නෙ නැතුව ඉන්නකො අනේ. බලන්නකො අර ආලෝක අයිය හතළිස් ගාණක් වෙලත් ඉන්නෙ. චන්දි ඇන්ටි වද දෙනවද…”

විවාහය ගැන කතා කරන හැම අවස්ථාවක ම සන්දීපනී ඔය වගේ කතාවක් කියා ඉන් පැන ගියා ය. සැබවින් ඇය විවාහ නොවන්නට සිතා සිටියා නොවේ. මේ දිනවල ඇගේ හිතට හරි යයි හිතෙනා කෙනෙකු හමු නොවුණෙන්, කවුරුන් හෝ සමග අම්මා සතුටු කරනු වස් විවාහ වන්නට ඇයට උවමනා වූයේ නැත.

“චාන්දනීට මං ඒ දවස් වලම කිව්ව. මේ දෙන්නව බන්දමු කියල..කොහෙද…වයස් පරතරයක් ගැන කිව්වනෙ. මොන පරතරයක්වත් පේන්නෑ දැන් ඒ දෙන්නට”

ඉන්ද්‍රාණි නො රිස්සුමෙන් සිතුවා ය. සූර්යා සමගින් ආලෝක පටලැවිල්ලක් ඇති කර ගෙන ඇතැයි චාන්දනී ගෙන් දැන ගත් දා ඉන්ද්‍රාණි ගේ සියලු බලාපොරොත්තු බිඳ වැටිණ.

එදා ප්‍රතික්ෂේප කළ, යෙහෙළිය ගෙනා විවාහ යෝජනාව පමා වී පිළි ගන්නට ය අද චාන්දනී එහි පිටත් වූයේ. ඇය දෑත බරට තෑගි බෝග ගෙන මිතුරිය ගේ ගෙදරට ගොඩ වූවා ය.

“අසනීප තියාගෙන චාන්දනී ඇයි මේ ඇවිදින්නෙ…බලල යන්න මං ගෙදරට ඇවිත් යන්නනෙ හිටියෙ”

ඉන්ද්‍රාණි කීවේ ඇත්තට ම ය. පරණ යෙහෙළියන් ගෙන් දැන් ළඟින් ඇසුරු කරන්නට ඉන්නේ ඔවුන් දෙදෙනා විතර ය. බොහෝ මිත්‍රකම් රැකියාවෙන් ඉවත් වීම ත් සමග දුරස් විණි. සමහර මිතුරියන් දැන් ජීවතුන් අතර ද නැත.

“මං ආවෙ වැදගත් කාරණේකට ඉන්ද්‍රා. ඇත්තම කීවොත් මට අතපසු වෙච්ච දෙයක් අලුත් කරන්න”

“ඒ මොකද්ද අප්පේ….”

“ඔයාගෙ අදහසක් තිබුණනෙ අපේ ආලෝකයි සන්දීපනීයි බන්දල දෙන්න. වයස ගැන හිතල එදා එකඟ වුණේ නැති වුණාට…දැං මං කැමතියි ඒක වෙනවනං”

ඉන්ද්‍රාණි ගේ මුහුණේ සිනහ රැල්ලක් නැගී ආවේ ය. සන්දීපනී තවමත් අවිවාහක ව සිටියේ ඇය ට මේ වාසනාව හිමි වෙන්නට තිබෙන නිසා ය යන්න, ඇගේ හිතේ නැගි මුල් ම සිතිවිල්ලයි.

යෙහෙළියෝ දෙදෙන ස්ව කැමැත්තෙන් එකඟතාවයට පැමිණියහ. තවත් කල් නොගෙන විවාහය ඉක්මන් කරන්නට ද ඔවුහු කතිකා කර ගත්හ.

“ඉන්ද්‍රා දුවට කියන්න. ආලෝක ව රවට්ටගෙනයි තියෙන්නෙ සූර්යා. සන්දීපනී කොහොම හරි ආලෝක ගෙ හිත වෙනස් කරන්න ඕනෙ”

“සන්දීපනී ඒක කරයි. කෙල්ල කොහොමත් ආලෝකට ළෙංගතුයි. ආලෝක ලොකු වෙනකොට ලැජ්ජකාරයා වුණ නිසානෙ වැඩි සම්බන්ධයක් නැති වුණේ”

“දැන් ඉතින් ඒ සම්බන්ධකං අලුත් කරල ගන්න කියමු”

චාන්දනී මේ තීන්දුව ගැන ආලෝක දැනුවත් කළ වෙලාවේ ඔහු කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.

“මොනාද අම්මෙ මේ කරන විකාර…ඒ ළමය මට නංගි කෙනෙක් වගේ. මේ වැඩ වලින් වෙන්නෙ අපිට මූණු බලල කතා කරන්නවත් බැරි වෙන එකයි”

“එහෙම දෙයක් නෑ. සන්දීපනී ඔයාට කැමතියි. ඔයත් ඒ ළමයත් එක්ක කතා බහ කරල මේ වැඩේ ඉක්මන් කරන්න දිනයක් දා ගමු. නිසි වයසෙදි කසාද නොබැන්දම රටේ ලෝකේ තියෙන සේරම කුණු ගොඩවල් ඇඟ උඩ කඩං වැටෙන්න පුළුවන්. දැන් මේ කල් ගත්තා වැඩිත් එක්ක”

චාන්දනී අවසාන තීන්දුව දුන්නා ය.

“ඕක කෙරෙන දෙයක් නෙවෙයි. මං කැමති නෑ. අම්ම නිකං බොරුවට ඉන්ද්‍රාණි ඇන්ටි එක්ක තරහ වෙන දේවල් නොකර ඉන්න”

ආලෝක ද අවසාන තීන්දුව දුන්නේ ය.

දැන් ඉතින් බුරුල දුන්නා ඇති යයි චාන්දනී තදින් ම සිතා ගත්තා ය.

ආලෝක මේ යෝජනාව ගැන මහ ලොකුවට ගත්තේ නැත. මීට පෙරත් චාන්දනී විවාහය ගැන කතා කරන්නට ඕනෑ තරම් උත්සාහ කොට තිබේ. නමුත් ආලෝක ඒවා මග හැරියේ ය. මේ වතාවේ  එසේ ම සිදු වනු ඇතැයි ඔහු සිතුවේ ය. ඒ නිසා ම සූර්යා ට මේවා කිව යුතු ය කියා ඔහු සිතුවේත් නැත.

“මට හිතෙනව වෙන කොහෙ හරි රටකට ගිහින් නිදහසේ ජීවත් වෙන්නත්..අපේ මිනිස්සුන්ගෙ සමහර ගති ගුණත් එක්ක මේ රටේ ජීවත් වෙන එක දැන් මට තිත්තයි”

ආලෝක සූර්යා සමගින් ඒ කීවේ නම් ඇත්තට ම ටික දවසක සිට ඔහු ගේ හිත ට වද දුන් කාරණයකි. පැරිස් නුවර සූර්යා ජීවත් වූ ඉසව්වෙ ගත කළ දින කිහිපය කෙතරම් හිතට සැහැල්ලුවක් දැනවූවාද කියා ආලෝක ට දැනුත් සිහිපත් කළ හැක.

ආලෝක ගේ බත් පතට අඩු වැඩිය බෙදනා ගමන් සූර්යා මුදු සිනහවක් නගා ගත්තා ය.

“ඒක ඇත්ත. ඒත් ආලෝක…කවදාවත් අපිට ඒ රටකට අපේ රට කියල කියන්න බෑ. අපේ හදවත් බැඳිල තියෙන්නෙ මෙහෙට. හරියට නිකං අනුංගෙ ගෙදරක ජීවත් වෙනව වගේ තමයි අපිට ඒවයෙ ඉන්න පුළුවන්. මොනා වුණත් මොන ප්‍රශ්න තිබුණත්…දාල යන්නම හිතුණත් ගිය වෙලාවෙ ඉඳල මතක් වෙන්නෙ මේ රට. ඒ සාංකාව නැති කර ගන්න ගිහිං මාස ගාණකටවත් බෑ. ජොබ් එක වෙනුවෙන්නෙ සල්ලි හම්බ කරන්නනෙ කියල ඉන්නව තමයි. ඇත්තටම මෙහෙට වඩා හැම දේම හයි ක්ලාස් තමයි. කොටිංම කන කෑම ටිකක් වුණත් වස විස නෑ කියල බය සැක නැතුව කන්න පුළුවන්…පිරිසිඳු පරිසරේක ඉන්න පුළුවන්. ඒත්…එහෙ ජීවත් වෙද්දි දැනෙන තනි කම ගැන තේරුං ගන්නනං එහෙ ගිහිං ඉන්නම ඕනෙ”

සූර්යා කතා කළේ සිය අත් දැකීම් ඇසුරෙනි. ජනිත් හා විවාහ වී විදෙස් ගත වූ අලුත ඇයට දමා ගසා ලංකාවට එන්න හිතුන වාර ගණන අපමණ ය. ඇතැම් විටෙක දරා ගත නො හැකි සේ ම තේරුම් ගත නො හැකි ද හැඟීම් සමුදායකින්, ජනිත් වැඩට ගිය අවස්ථා වල සූර්යා කෑ ගසා හැඬුවා ය. ඒ විදිහට කාලය ගත කිරීමෙන් මානසික රෝගියෙකු වෙතැයි සිතුණෙන් අන්තිමට ඇය ඉංග්‍රීසි භාෂාව ඉගැන්වෙන පාසලක ඉංග්‍රීසි ගුරුවරියක ලෙස සේවයට බැඳුණා ය. ප්‍රංශය සිය දේශ සීමාව තුළ සියලු කටයුතු සිදු කළේ ප්‍රංශ භාෂාවෙනි. ලෝකය පුරා ද අස්සක් මුල්ලක් නෑර ප්‍රංශ භාෂාව ඉගෙන ගැනීමට මිනිස්සු උනන්දු වෙති. නමුත් විදේශ වලින් පැමිණ ප්‍රංශයේ නවාතැන් ගත් ජනයා සිය දරුවන්ට ඉංග්‍රීසි ඉගැන්වීම ගැන උනන්දුව අත් නොහරිති. ඒ නිසා ම සූර්යා එහි ජීවත් වූ කාලය තුළ යහමින් මුදල් ඉපයූවා ය. විශේෂයෙන් ම ආසියානු කලාපයෙන් ප්‍රංශයට ගොස් සිටි අයගේ දරුවන්ට ඉංග්‍රීසි උපකාරක පන්ති පැවැත්වීම ඇයට හොඳ ආදායම් මාර්ගයක් විය.

කෙතරම් මුදල් හරි හම්බ කළත් හිතේ තිබුණ හිස් කම් යළි මව් බිමට පය ගසන තුරා නො පියවුණ හැටි ඇය ට මතක ය.

“අපි දෙන්නම ඉන්නකොට එහෙම පාළුවක් දැනෙන එකක් නෑනෙ”

සූර්යා සිය වමතින් ආලෝක ගේ කෙටි කෙහෙ රැළි පිරිමැද්දා ය. දීර්ඝ කාලයක් තිස්සේ අම්මා හැරෙන්නට වෙනත් ස්ත්‍රියකට හදවතින් ම සමීප නොවූ ආලෝක ගේ පිරිමි හිත,  සූර්යා ගේ ස්නේහයේ දැඩි අවශ්‍යතාවයෙන් ළදරු ආලෝක ඉස්මතු කරමින් සිටියේ ය. ඕනෑ ම පරිනත දැඩි පිරිමියෙකු තුළ වුව කුඩා ළමයෙකු ජීවත් වන්නේ ය. වඩාත් ආදරය කරනා ගැහැනියක පාමුල හැරෙන්නට ඔවුන් ඒ කුඩා ළමයා ට කල එළි බහින්නට ඉඩ දෙන්නේ නැත.

“ආලෝක”

ඈ ඔහු ඇමතුවේ සිය දරුවෙකු අමතනා මාතෘ භාෂිතයෙනි.

“ඔයාගෙ අම්ම කවදාවත් ඒ වගේ රටක ගිහිං ජීවත් වෙන්න එන්නෑ. ඔයාට පුළුවන් ද ඔයා ඇරෙන්න වෙන කවුරුවත් නැති අම්මව දාල ගිහිං මාත් එක්ක සතුටෙන් ජීවත් වෙන්න…බෑ ආලෝක. ගිය වෙලාවෙ ඉඳල ඔයා පසු තැවෙයි. අන්තිමට මෙච්චර කල් මං වෙනුවෙන් ඉතුරු වෙලා තිබුණ ආදරයත් ඉවර වෙලා යයි. වෙන මොනා නැතත් මට ඒකනං ඉවසගන්න බැරි වෙයි. ඒක නිසා ආලෝක…ප්‍රශ්න වලට මූණ දීගෙන හරි අපි මෙහේ ඉන්න බලමු. මොන ප්‍රශ්නයකදිවත් අපි අපිව අත් අරින්නෙ නැත්තං ඒ ප්‍රශ්න වලට මූණ දෙන්න අපි දෙන්නෙක් ඉන්නවනෙ…”

“ඔයා හිතනවද මුං අපිට ඉන්න දෙයි කියල…”

“ඔය කොයි දේත් එපා වෙන දවසක් එයි. ඒ නැතත් ආලෝක…කොයි දේත් මේ සොබා දහමට අවනතයි”

දීර්ඝ කාලයක් තිස්සේ අහිමි වූ ආදරයක් මත විඳවූ ගැහැනු ආදරය කියන හැඟීමට උත්කෘෂ්ට වූ වටිනාකමක් දෙති. විඳනීමේ පරිමාව වැඩි වූ තරමට ඔවුන් ට ආදරය අගනේ ද වෙයි. සූර්යා පත් ව හිඳින්නේත් එහෙම තත්වයකට ය. යළි මේ මිහි මත වසනා තුරා ආලෝක කියනා සිතිවිලි මාත්‍රය පෑරෙනවා දකින්නට ඇය ට උවමනා නැත..ඔහු හිමි වීම හෝ නොවීම වෙනම ම දෙයකි!

“මට ඔයාට ආදරේ කරන්න ඕන ආලෝක. ඔයා මට ආදරෙන් ඉන්නව කියල දැනෙන්නත් ඕන..සමහර විට…මට එහෙම හිතෙනව…ඔයාගෙ අම්ම මගෙන් ඔයාව දුරස් කරන්න වෙන කෙනෙකුට ලං කරන්න පුළුවන්. ඔයා වෙන කෙනෙක්ව මැරි කළා කියල වුණත් කන්දක් වගේ පපුවට බර වෙලා තියෙන මේ ආදරේ කියන ෆීලින් එක වෙනස් වෙන එකක් නෑ. මට ඕනෙ ඒක එහෙමම තියෙන්න තමයි. ඔයා වෙන කෙනෙක් ව මැරි කළා වුණත් මට දැනෙයි ඔයා මගෙ පැත්තකින් ඉන්නව කියල. මං උදේට ඇඳෙන් නැගිටියි ඔයා ළඟ ඉඳල නැගිටිනව කියන ෆීලින් එකෙන්. මං ඒත් ඔයාට කතා කරයි. කතා කරල ආදරෙයි කියයි. හැබැයි ඔයාගෙ ජීව්තේට නියපොතු තුඩකින්වත් හානියක් වෙන්න මං ඉඩ දෙන්නෙ නෑ. ඒක මට විශ්වාසයි. ඇඟිල්ලක්වත් අල්ලන්නෙ නැතුව වුණත් ඔයාට ආදරේ කරන්න මට පුළුවන් ආලෝක. ඕන තැනක දිව්රල වුණත් මට ඒක කියන්න පුළුවන්”

ආලෝක ඉතා තදින් සිය පෙම්බරිය ගේ අතක් අල්ලා ගත්තේ ය.

“මේ එක්ස්පෝට් ඕඩර්ස් ටික රිලීස් කළාට පස්සෙ අපි මැරේජ් එක කරමු..රෙජිස්ටර් කළත් ඇති. ඕනනං ළඟම ටික දෙනෙකුට ඩිනර් එකක් දෙමු”

“එහෙම කොකළත් කමක් නෑ. මට ඔයාව නීතියෙං බැඳ ගන්න ඕන නෑ. කොහොමත් මං හිතන්නෙ අපි අපේ කියල”

“අම්ම ගැන මං වද වෙන්නෑ එතනදි. තවත් කාලෙ පස්සට යවන්න බෑ. අම්ම ඉක්මනට තේරුං අරං සමාව දීල අමතක කරයි”

“ඔච්චර දේවල් ප්ලෑන් කරන්න එපා ආලෝක. මට එතකොට බයක් දැනෙනව”

සූර්යා ආලෝක ට වඩාත් ලං ව ඔහු ගේ බඳ වටා දෑත ම යැව්වා ය. සැබවින් ම ඇය ට අමුත්තක් දැනෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles