(අ) හිමි සිහින -25

විවාහයට පෙර මම ජීවත් වුණේ කැමති විලාසිතාවන් කරමින්.මට ඕනෑම ආකාරයක ඇඳුමක් ඇඟට ගැලපුණා.ඔබට මතකත් ඇති මම ඒ ගැන ලියූ අන්දම.නමුත් රැකියාව කරන කාලයේ හැඩට අඳින්න මට හැකියාවක් තිබුණේ නැහැ.

මට ඇත්තටම ඇඳුම් තුන හතරකට වඩා තිබුණෙ නැහැ.ගන්න වැටුප ඇඳුමකට වියදම් කරන්න මට හැකියාවක් තිබුණේ නෑ.පුංචි කාලයේ වගේම මගේ අම්මලා මට ඇඳුම් අරන් දුන්නු අවස්ථා ඕනෑතරම්.පිටරටවල ඉන්න මගෙ අක්කලාත් මට ඇඳුම් එවපු අවස්ථා තිබුණා.නමුත් මට ඒ ඇඳුම් ගන්න ඇත්තටම හිතක් තිබුණේ නැහැ.මම විවාහකයි.රැකියාවක් කරනවා.ඉතින් මම කොහොමද එහෙම යැපෙන්නේ?

සිහින් සිරුරක් සහිත හැඩවැඩ කෙල්ලක් වුණු මම බැරල් එකක් වගේ මහත් වෙන්න ගත්තේ ඔය කාලයේ.මං කිලෝ සියයක් විතර දක්වා බර වැඩි වුණා.

“මඳ සරු ගැටලුවලට ඔහොම වෙනව..”

මගේ ජීවිතේ ගැන අබමල් රේණුවක් නොදන්නා මිනිස්සු එහෙම කිව්වා.නමුත් ඇත්ත ඒක නෙවෙයි කියලා දැන් ඔබත් දන්නවා.

“මං පුදුම තරම් පැණි රස කෑවේ..”

ඒ ආතතිය පාලනය කර ගන්න වෙන්න ඇති.ලීටර් ගණන් අයිස්ක්‍රීම් ටබ් අරගෙන මම ඒවා මහ රෑටත් කනවා.කේක් කිලෝ ගණන් අරන් දවස පුරාම කන මගේ බර බලාගෙන ඉද්දී වැඩි වුණා.

“මොකද අනුරාධා මේ වෙලා තියෙන්නේ?”

දන්නා අඳුනන මිනිස්සු එහෙම අහනවා.මට කෑම පාලනය කරන්න උපදෙස් දෙනවා.තරුණ කාලය මෙහෙම ගෙවී යන්න දෙන්න එපා කියලා මතක් කරනවා.

ඒත්, මං කවුරු වෙනුවෙන් ලස්සනට ඉන්නද? කවුද මගේ ලස්සන බලන්නේ?

“මගේ මැණික පිච්ච මලක් වගේ..”

එහෙම කියූ ආදරවන්තයෙක් මට හිටියා.ඔහු ප්‍රේමයෙන් මගේ හැඩරුව වර්ණනා කළා.කොන්ඩ කරල් දෙකක් බැඳගෙන කොට කලිසම් කෑල්ලක් ගහගෙන හිටිය පුංචි කෙල්ලක් ඔහු වෙනුවෙන් හැඩ වෙන්න පටන් ගත්තා.

නමුත් මා ලක්ෂ ගණන් වටිනා මඟුල් සාරියකින් සැරසී සිටියදී මා කැන්දා ආ මිනිසා මගෙ රූපය බිංදුවක්වත් වර්ණනා කළේ නැහැ.ඔහු මා වගකීම් කන්දකට යට කර දැමුවා පමණයි.

Scared girl covering face

“ඔයා සතුටින්ද?”

එහෙම අහනකොට සතුටක් නැති බව මට ඕනෑ කෙනෙකුට කියන්න තිබුණා.මම කිසිවක් හංගන තරුණියක් නෙවෙයි.ඒත් මට මා ඉන්නෙ සතුට නැතත් සැනසීමකින් පිරුණු ලෝකයක බව කියන්නට තිබුණානම් මේ ජීවිතය මට මීට වඩා දරා ගන්නට තිබුණා.

“ඔයාට තිබ්බෙ කාත් එක්කමහරි යාලු වෙන්න.”

පසුකාලීනව මගේ කතාව අහනකොට මට එහෙම කියපු මිතුරියන් ඕනෑතරම්.නමුත් මේ ආදරය කියන දේ මහා මායාවක් සහ රැවටීමක් බවත් මට මේ මොහොතේ ජීවත් වීම ප්‍රමාණවත් බවත් සිතෙද්දී මට එහෙම දේවල් අවශ්‍ය වුණේ නැහැ.

ඇත්තටම මට මාව අහිමි කර ගන්න ඕනෑ වෙන්න ඇති.මට ඕනෑ වෙන්නට ඇත්තේ ජීවිතය රැක ගන්න විතරයි.වෙනත් ආදරයක්,ලස්සනට ඉන්න එක,පෝෂ්‍යදායක ආහාර,සෞඛ්‍යමත් ජීවන රටාවක් ඒවා මගේ හිතෙන් අමතකම වෙන්න ඇති.මට කිසිවක්ම නුවුමනා වූ බව කොතරම්ද කියනවානම් මා හිඳින්නේ මෙවැනි ලෝකයක බව අම්මා තාත්තාටවත් කියන්නට මට ඕනෑ වුණේ නෑ.

“මං ආදරේ කරපු මිනිහා මගෙන් උදුරාගෙන කරලා දුන්නු නල්ලමලේ කසාදෙ..”

වෙනත් දියණියක නම් අම්මා තාත්තාට මොනතරම් දොස් නඟාවිද? මම එහෙම නොකළේ මගේ ඇති ළතෙත්කමකට නෙවෙයි.මට සටන් කරන්නටවත් ඕනෑ වුණේ නැහැ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles