අසංකගේ අම්මාගේ අසනීපය එන්න එන්න වැඩි වෙනවා මිසක අඩුවක් වෙන්නේ නැහැ.ඇය ඉතා හොඳ දරා ගැනීමකින් ඒ රෝගයට මුහුණ දුන්නු හැටි සිහි වෙනකොට තවමත් මගේ දෑසට කඳුලු නැගෙනවා.
“මට පිලිකාවක්!”
ඒ වගේ කතාවක් අහන්න ලැබීම ඕනෑම කෙනෙක් මානසිකව වට්ටනවා.ඒත් අසංකගේ අම්මා පුදුම ඉවසීමකින් සහ හයියකින් ඒ රෝගයට මුහුණ දුන්නා.
ඒ වගේම තමයි ඇය අසංකගේ තාත්තටත් අපිටත් මහ පුදුම ආදරයකින් සැලකුවා.මම මගේ සහ සුධාරකගේ කතාව ගැන කියන්නේ මහා ආදරයකින්.නමුත් ඒ වියපත් ප්‍රේමය ගැන කියන්න පුදුම ලස්සන කතාවක් මගේ මතකයට එනවා.
අපි කුලියට හිටියේ තුන්වෙනි තට්ටුවක.අම්මා සහ අප්පච්චි හිටියේ අපි එක්ක.බැල්කනියේ මල් වවන එක මමත් අසංකටත් අපූරු විනෝදාංශයක් වුණා.අපි නානාප්‍රකාර මල් බැල්කනිය පුරා වැව්වේ ආසාවෙන්.
අප්පච්චි බුලත්විට කන්න පුරුදු වෙලා හිටියා.ඉතින් ඔහුට බුලත් කෙළ ගහන්න සුදුසු පරිසරයක් නොතිබ්බ තරම්.ඒ නිසා ඔහු ඉහළ මාලයේ ඉදල පහලට කෙළ ගහන්න පුරුදු වෙලා හිටියා.
“අප්පච්චි කරන මේ වැඩේ හින්දා මල් පැල ටික නාස්ති වෙනවා..”
මේ චෝදනාව නැඟුවේ මම නෙමෙයි,අසංක.අසංකට අප්පච්චිගෙ වැඩේ ගැන කලකිරීමක් තිබුණා.මම මුකුත්ම නොකියා සද්ද නැතුව හිටියත් අම්මට ඒ කතාව ඇහුණු බව මට තේරුණා.
දවසක් අම්මත් මාත් අප්පච්චිත් කතාබහ කරමින් ඉන්න වෙලාවක අප්පච්චි හොඳට විටක් හපන්න පටන් ගත්තා.ඊට පස්සේ පුරුදු වැඩේ.පල්ලෙහාට කෙල ගැසීම.
“මේ අහන්නකො අනේ.ඔය වැඩේ කරන්න එපා.මේ ළමයි අමාරුවෙන් නේද මල්පැල වවන්නේ? ඔයා ඕවට කෙල ගහන්න එපා.”
බැනීමක් නැතුව තර්ජනයක් නැතුව ඉතාම හෙමින් එහෙම කතා කරන්න බිරිඳකට මොනතරම් මොනතරම් සංයමයක් තියෙන්න ඕනෑද? මගේ ජීවිතේ එක එක පරිච්ඡේද වල පිටු පෙරලෙනකොට බිරිඳක් විදියට හැසිරෙන හැටි ඒ අම්මගෙන් මං ඉගෙන ගත්තු බව මම අදටත් කියනවා.ඇය සාමකාමී සංයමයකින් යුතු අපූරු ගැහැනියක්.
“ඉන්නකො මං ඕකට විසඳුමක් දෙන්න..”
ඇය එහෙම කියලා පරණ අයිස්ක්‍රීම් පෙට්ටියකට වැලි පුරවාගෙන අරගෙන ආවා.අප්පච්චිට ක්ෂණික පඩික්කමක් සැකසුණා.ඇය එදා කෑගහලා බනින්න ගියානම් අප්පච්චි එයත් එක්ක අමනාප වෙයි.ඒ වගේම තමයි අපි ලවා අප්පච්චිට දෝෂාරෝපණය කරන්න ඉඩ දුන්නනම් අප්පච්චි පුතා එක්ක නැතත් ලේලි වෙච්ච මාත් එක්ක වෛර බැඳ ගනීවි.ගැහැණියකට මොනතරම් සංයමයකින් ප්‍රශ්න විසඳන්න පුළුවන් ද කියලා මට ඉගැන්නුවේ ඒ අම්මා.
අසාර්ථක විවාහයක හිර වෙලා හිටපු මට ඒ මතක එකින් එක දිග හරිද්දී ඒ අම්මගෙ කිසිම හොඳක් නොකියා ඉන්න පුළුවන්.නමුත් මට එහෙම කරන්න හිත දෙන්නෙ නෑ.අවශ්‍යත් නෑ.ඇය ඒ තරමටම ආදරණීය අම්මා කෙනෙක්.අනිත් කාරණාව තමයි මට නරක දේවල් කරපු මිනිස්සු ගැන මම බය නැතුව කතා කරනවා.හැබැයි මට ආදරෙන් සලකපු අය මම හැමදාටම මතකයේ තියාගන්නවා.ජීවිතයේ අපට මුණගැසුණු යහපත් මිනිසුන් කිසිම දවසක අමතක කරන්න එපා.ඒ මම ඔයාලට ආදරෙන් දෙන අවවාදයක්
හැම දෙයක්ම අවසන් වෙලා බොහෝ කාලයකට පස්සේ කේන්දර සහ ජොතිශ්‍ය ගැන කිසි විශ්වාසයක් නැති මට ජ්‍යෝතිෂ්‍යවේදියෙක් අපුරු අනාවැකියක් කිව්වා.
“බලගතු ආත්මයක ඉන්න කාන්තාවක් ඔයාව රැකබලා ගන්නවා.”
මට ඒ කතාව හිනාවකින් බැහැර කරන්න හිතුණේ නෑ.සමහරවිට ඒ ඇය වෙන්නැති.සංසාර ගනුදෙනු ගැන දැඩි විශ්වාසයක් තියෙන මට ඒ අම්මා ගැන තියෙන්නේ අපූරු පැහැදීමක්.ඇය සංසාරයේ කවදා හෝ මගේ අම්මා වෙලා ඉන්නත් ඇති.
අතිශය පීඩාජනක සැත්කම් වලට ලක්වෙමින් සංඛගේ අම්මා රෝහල්ගත වෙලා හිටපු කාලපරිච්ඡේද තවමත් මගේ ඇස් ඉදිරිපිට දර්ශනය වෙන තරම්.ජීවිතයට උදා වූ අසීරු කාල දරා ගන්නත් මට උදව් වුණේ ඒ කාලයේ රෝහලෙන් ලද අත්දැකීම්.මිනිස්සුන්ට වෙන්න බැරි දෙයක් නෑ.මට ඒ කතාව තේරුම් ගියේ රෝහලේ ගත කරපු කාල සීමාවේ දී.
“මෙහෙම කියනකොට මිනිස්සු බලයි මේ කතාව ඉස්සරහටත් තියෙන දුක විතරද කියලා”
කතාව අහගෙන ඉන්න් ලියන්නියගෙන් මට බාධා කිරීමක්.මම සුසුමක් හෙළන්නේ ඔබට කියන දේ හිතාගන්න අමාරු වෙලා.
“ජීවිතේ මම වින්ද දුක් සහ සහ වේදනා ඇත්තටම තාම ඔබ කියෙව්වේ නෑ.ඒ දේවල් කියවනකොට මෙච්චර කල් වෙච්ච දේවල් හොඳයි කියලත් ඔබට හිතෙන්න පුළුවන්.මම ඒ තරමට කටුක දේවල් අත්විඳපු ගෑනියෙක්.
කමක් නෑ! හැමදේම වෙන්නේ මිනිස්සුන්ට.ඉවසීමෙන් අහගෙන ඉන්න.ගැහැනියකගේ ජීවිතය ඇතුලේ මොනතරම් සුලිකුණාටු හමන්න පුළුවන්ද කියලා මම හෙමින් හෙමින් ඔබට කියන්නම්.