හසරැලි වැස්සේ -48

“මොන පිස්සුව කරත් මොලේ නම් තියනව.ඒක ජීවිතේ අනිත් දේවල්වලටත් පාවිච්චි කරන්න බලනවා.”

අම්මා මට පැවසුවේ තරවටුවක සරිනි.වෛද්‍ය පීඨයට සුදුසුකම් ලැබූ දියණියක්! එය ඇයට කාර්යාලයේ උද්දාමයෙන් හිඳින්නට අපූරු කාරණාවකි.අයියා දෙවැනි වතාවක් උත්සාහ නොගැනීම ගැන වැඩිපුරම සන්තාප වූයේ අම්මාගේ මිතුරියන් ය.මෙවර ඔවුන් මා ඇමතුම් දී වෙහෙසට පත් කළ අතර නොයෙකුත් තෑගි මට අම්මා අත එවන්නට ද විය.

“වැරදිලාවත් සූකිරියා ෆේල් වෙලා තිබ්බනම්..”

තාත්තා උස් හඬින් හිනැහෙන අතර කීවේ ය.අම්මා ඔහුට රවා බැලී ය.

“දරුවෝ හැමතිස්සෙම සාර්ථක වෙන්නේ නෑ.අසාර්ථක වෙන වෙලාවලුත් එනව කියලා ඔයාගේ යාලුවෝ කවුරුත් කියන්නේ නැති වෙයි.හොරෙනුයි මූණටමයි හිනා වෙන්න තියාගත්තම ඔයා අගේට ඒ ස්ට්‍රෙස් එක දරුවා පිටින් යවයි..”

තාත්තා එසේ කියමින් හිනැහී ය.අම්මා මහ හඬින් භාජන ශබ්ද කරමින් තේ හදන්නට ගත්තා ය.අනතුරුව තාත්තා දෙස හැරී බැලුවේ කඩයිම් ප්‍රශ්නයක් රැගෙන ය.

“ඉස්සරහට සූකිරිට පුදුම වියදමක් යන්නේ.ඔයා ආපහු ඉක්මනින් යන්න වෙයි.කවද්ද යන්නේ?”

ආදරය ‍යන්තමට හෝ තිබුණානම් අම්මාට තාත්තා එළවා ගැනීම මෙතරම් පහසු නොවන බව මට සිතිණ.ඇය සැනසෙන්නේ තාත්තා ඇස මානයේ රැඳීම නිසා නොවේ.ඔහු හැකිතාක් ඈත්ව සිටීමෙනි.

“මං යන්න නෙවෙයි ආවේ අනෝමා.බිස්නස් ප්ලෑන්ස් කීපයක් තියේ.එකක් පටන් ගන්නව.මම දැන් දරුවෝ ගාව ඉන්න ඕන.එයාලා කසාද බඳින වයසට පවා කිට්ටුයි.”

තාත්තා නිසංසලේ පැවසූයේ ය.ඔහු තද තීරණයක් නිස්කලංක හඬකින් පැවසීම එක්තරා ආකාරයක සතුටකි.ඔහු “මාව පන්නා ගන්න හරි කැමතියි නේද?” වැනි කතා කියමින් අම්මාට රණ්ඩු අල්ලන්නේ නැත. ඒ වෙනුවට තමන්ගේ තීරණය තිර හඬකින් පැවසූ තාත්තා ගැන මට දැනුණේ ඉමහත් ආදරයකි.

“අපේ තාත්තා කවදාවත් රණ්ඩු වුණු,කේන්ති ගන්න කෙනෙක් නෙමෙයිනේ.එහෙම තාත්තලා නම් ගෙදර නොඉන්න තරමට ළමයිත් කැමති.”

මම අයියා සමඟ එසේ පැවසුවේ අම්මා තාත්තා අතර වූ කතාබහ ඔහුට කියන අතරතුර ය.ලංකාවේ විවිධ පළාත් වලින් පැමිණි බොහෝ මිතුරන් අයියාටත් මටත් වූයේ අපි අගනුවර ප්‍රධාන පෙළේ පාසල් වල උගත් නිසාය.දුෂ්කර ගම්මාන සහ නගරබද දරුවන් අතර පොදු කාරණාවක් තිබිණ.ආදරය ළඟ පාතකවත් නොවූ පවුල් ය.බීමත්කම සහ තවත් බොහෝ හේතු නිසා නිරන්තරයෙන් ගැටලු ඇතිකර ගන්නා තාත්තලා සිටින නිවෙස්වල විසූ මිතුරියන් මට හිඳී.ඔවුන් පාසල් නිවාඩුවට පවා නේවාසිකාගාරය අත්හැර ගියේ අකමැත්තෙනි.

අපේ තාත්තා ද එසේ වූවානම් ඔහු ගෙදර නොයන තරමට අපි ද කැමති වන්නට තිබිණ!

නමුත් ඔහු ආදරණීය මිනිසෙකි.ඔහුට අප හා ආදරයෙන් හිඳින්නට ඉඩ ලබා නොදෙන්නේ අම්මා ය.”මට තාත්තා ඕනේ” ගේ මුල්ලට වැදී දින ගණනාවක් ගෙවන්නට සිදු වූ මොහොතේ මම හඬන්නට පටන් ගතිමි.”වැඩේ ලස්සනට කරන්න තාත්තා සල්ලි එවනවනම් තාත්ත මොකටද?” අම්මා එදා මගෙන් ඇසුවේ සැර හඬකිනි.

“ළමයින්ගෙ තාත්ත කියන්නෙ ජයන්තගේ පර්ස් එක නෙමෙයි පොඩ්ඩි.ජයන්තට!”

මම්මා එසේ කියමින් අම්මාට බැන වදින හඬ මට ඇසී ඇත්තේ වරක් දෙවරක් නොවේ.බොහෝ වාරයකි.

“අම්මට තාම තාත්තා හොඳ නැතුව ඇති.හැබැයි අපිට තාත්තාව දැන් හරි ඕනෑ..”

අම්මාට තාත්තාව කිසිම දවසක නුවුමනා වන බව රහසක් නොවේ.ඇය තවමත් හිරිමල් යුවතියක කාලයේ සුගත් අංකල්ගෙන් ලැබූ ආදරය ගැන සිහින දකිමින් ජීවත් වන්නියකි.ඇගේ සිත නොරිදවා යහපත්ව සහ සන්සුන්ව ජීවත් වන තාත්තා ගැන වගක් ඇයට නැත්තේ එනිසා ය.නමුත් අම්මාට වඩා වේදනාවක් තාත්තා උහුලා ඇති බව මට සිතේ.ඔහු අනුන්ගේ පෙම්වතියක හා විවාහ වී කිසිම දවසක ඇගේ ආදරයක් නොලබා කටුක ජීවිතයක් ලෝකයෙන් සඟවා වෙසෙන්නෙකි.

තාත්තා සමඟ ඉතා සමීප වන්නට මට සිතෙන්නට ගත්තේ ම එනිසා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles