සඳ කත් මිණි ඇස් -27

යෙහෙළියක සමග කාලය ගත කිරීමේ වෙනම ම සතුටක් තිබේ. එය ගැහැනු හදකට අත්‍යවශ්‍ය දෙයකි. ඒ සැහැල්ලු නිදහස් හැඟීම වෙන දේකින් ලද නොහැකි ය.

ස්ත්‍රීන්ට ම විශේෂ වූ ලෝකයක් තිබේ. පිරිමින්ට ද එසේ ය. දෙපර්ශවයට ම එය තෘප්ත කර ගත්තේ ඔවුන් ගේ වර්ගයේ අය සමග කතා බහ කිරීමෙන් හෝ යම් කිසි වෙලාවක් ඇසුරු කිරීමෙන් ය.

පෙම් සබඳතා ඇති කර ගත් පසු බොහෝ ගැහැනු ළමයින් සිතන්නේ සිය පෙම්වතා ඇය ව පමණක් ඇසුරු කළ යුතු ය කියා ය. එසේ සිතා සිය මිතුරු සමූහයා වෙතින් ඔහු ගලවා ගන්නට තැත් කරයි. ඔහු ට ඔවුන් ගේ ඇසුරට යන්නට දෙන්නේ නැත. මී විතක් පුරමින් කය්වාරුවක් ගසන්නට දෙන්නේ නැත. මිතුරු සමාජය එක්ක විනෝද ගමනක් හෝ වෙනත් හමුවකට හෝ යන්න දෙන්නේ නැත. 

සමහර පිරිමින් ද එසේ ය. සිය පෙම්වතිය හෝ බිරිඳ යනු ඔහු ගේ නිවාස අඩස්සියෙහි පැවතිය යුත්තෙකැයි සිතයි. එසේ සිතා ඇගේ ජීවිතයෙහි සියල් නිමේෂයන් සිය නූල් සූස්තර ඔස්සේ පාලනය කරන්නට සිතයි. ආදරේට යයි කියා ඇය ව කඩේටත් එක්ක යයි. සාප්පු සවාරියටත් පසු පසින් එයි. 

නමුත් ඉන් වන්නේ ඔවුන් අතරේ නිදහස් අවකාශයක් නිර්මාණය නොවීමයි. අප හැම කෙනෙකුට ම එවන් නිදහසක් අවැසි ය. අනෙකා ගෙන් මඳක් දුරස් වී වෙනත් සමාගමයක රැඳෙන්නට උවමනා ය. එවැන්නක් අපේ යටි හිත් අපේක්ෂා කරයි. 

සූර්යා ද නටාෂා සමගින්, හදවතට අවැසි ව තිබූ ඒ නිදහස රිසි සේ භුක්ති විඳිමින් සාප්පු සවාරියේ යෙදුණා ය..නටාෂා සූර්යා ට ව්‍යාපාරික බිරින්දෑවරුන් ගේ ඕපාදූප කීවා ය. අනුන් ගේ දේවල් සෙවීමේ උනන්දුවක් නැත ද සූර්යා ඒ කතා අසමින් සිනහ වූවා ය. 

“පුදුමයි මාත් එක්ක ආව මේ ගමන…සුමන් ගෙ අතේ එල්ලිල එන්නැතුව”

හදිසියේ ම සිහි වී නටාෂා කීවා ය.

“ආලෝක”

සූර්යා අවධාරණය කළා ය. උනුන් ගේ මුහුණු දෙස බලා සිටි ඔවුන් ඉනික්බිති හඬ නගා සිනහ වූහ. 

“ඕහ් ගෝඩ්. ඕක මතක හිටින්නෙම නෑනෙ”

නැවතත් සිනහවකි. පාසල් වියේ කෙළිලොල් යුවතියන් දෙදෙනෙකු ගේ සතුට ඔවුන් වෙතින් විශ්වය වෙත මුදා හැරෙමින් තිබිණි.

“එයා ඉන්නව තමයි හැම හුස්මකදිම හිතේ. බට්…ෆිසිකලි ස්පේස් එකක් තියෙන එක හොඳයි මං හිතන්නෙ. එක ජීවිතයක් සර්ව සම්පූර්ණ කරන්න එක්කෙනෙකුට විතරක් බෑ. ඒකට හුඟක් අය ඕනෙ”

“දැට්ස් රයිට්”

වරුවක් ම සවාරියේ යෙදී පිටත් වෙන්නට සූදානම් වෙත්දී සූර්යා ට ආලෝක ගෙන් ඇමතුමක් ආවේ ය. 

“දැන්ද මාව මතක් වුණේ…”

ඇය පොඩි දැරියක සේ නෝක්කාඩු කීවා ය. ඔහු තාත්තා කෙනෙකු ගේ සිනහවක් නගා ගත්තේ ය.

“මටනං බඩගිනි වුණ නිසාවත් මතක් වුණා. ඔයාට එහෙමවත් මතක් වුණේ නෑනෙ”

“මං තරහම තරහයි”

“අද අපි දවල්ට බඩගින්නෙ”

“අපි කාලත් නෑ. ඉතිං ඔයා බිසී නැත්තං අපි එළියෙං කෑම කමුකො”

“ලේඩීස්ලට ඇණයක් වෙන්න ඕන නෑනෙ”

“අපි ශොපින් කරලයි කතා කරලයි ඔක්කොම ඉවරයි. දැන් ඔයා ආවට කිසිම ප්‍රශ්නයක් නෑ”

නටාෂා බලා සිටියේ මුව අයා ගෙන ය. ඒ විදිහට ආදරේ කරන එකේ අමුතු ලස්සනක් තිබේ. ඇය කවදාවත් එහෙව් සම්බන්ධයක් තුළ පැවතී නැත. ආදරය කියා දෙයක් නැතැයි හිතන්නට නටාෂා නිතර ම උත්සාහ කළා ය..නමුන්ට නො ලැබුණ හෝ හමු නොවී ඇති දෙයක් ලොව පවතී යයි විශ්වාස කිරීම පහසු නැත. 

“මං ඉන්න එක ඩිස්ටර්බ් නේද…ඕගොල්ලො ලන්ච් අරං එන්න. මං යන්නං…”

නටාෂා කීවා ය. නමුත් සූර්යා ඇගේ අතකින් අල්ලා ගත්තා ය.

“පිස්සුද…ඔයා හිතුවද අපි මේ අවුරුදු දහ අටේ ලවර්ස්ල කියල…හැම වෙලේම තනි වෙන්න බලන..”

“ඒ වුණාට…”

“පිස්සු නැතුව ඉන්න”

ඒ සන්ධ්‍යාව සොඳුරු වූවකි. ඔවුන් ගේ සිනා කතා අතරේ කෑම වඩාත් රසවත් ව දැනිණ. හරි අහම්බෙන් ආලෝක ඇය ව දුටුවේ ය..අවන් හලෙන් පිට වෙන්නට ගිය සන්දීපනී !

ඇය පැමිණ සිටියේ කාර්යාලයේ මිතුරු මිතුරියන් පිරිසක් සමග උපන් දිනයක් සමරන්නට ය. ආලෝක හා සූර්යා ව දුටු සන්දීපනී ගේ දෙපා ගල් වී නැවතිණ. 

“මං එන්නං…ඕගොල්ලො යන්න”.

මිතුරු පිරිසට එසේ පැවසූ ඇය ආලෝක ලා හිඳ උන් මේසය වෙත කෙළින් ම පැමිණියා ය.

“ඒ කියන්නෙ ඕගොල්ලො මේ සෙල්ලම නවත්තන්නෙ නෑ නේද…”

ඇගේ දෑස් මත වූයේ වෛරයකි. ආලෝක ගේ කට කොනකට සමච්චල් සිනහවක් ආවේ ය. නමුත් සූර්යා කාරුණික හඬින් කතා කළා ය.

“නංගි ඉඳගන්නකො”

“ඉඳ ඉඳ ඉන්න ආවෙ නෑ. මොකද්ද ආලෝක මේ වැඩේ…ශේම් ඔෆ් යූ. ඔයා මැරි කරන්න ඉන්නෙ මාව නේද…”

“වට්…”

නටාෂා ගේ ඇස් බැමි ඉහළ නැංවිණි.

“ඔයා හදන්නෙ අපි මැරි කළාට පස්සෙත් මේ විදිහටම මෙයාව අල්ලගෙන ඉන්නද…”

“කොහෙත්ම නෑ. මං එයාව අල්ලගත්තෙ හිතෙං. එතකොට ඔයා ඉපදිලාවත් නැතුව ඇති”

සන්දීපනී ගස්සා ගෙන ආපසු හැරුණා ය. ආලෝක ඇයට නම කියා කතා කළේ ය..ඕ හැරී බැලුවා ය.

“අපරාදෙ අර ෆෝටෝස් ටික නේ…”

සන්දීපනී වේගවත් අඩි තියා යන්නට ගියා ය.

“ඕ මයි ගුඩ්නස්…ඒ කියන්නෙ සුමන් ඔයා…ඔයා මැරි කරන්න ඉන්න ගර්ල් ද ඒ…සූර්යා…හව් ඩෙයා යූ ආ..”

“නටාෂා..දැට්ස් නොට් සච් අ තිං… මාව ආලෝක ගෙන් ඈත් කරන්න ආලෝක ගෙ අම්ම ගෙනාපු ප්‍රපෝසල් එකක් ඒ”

“ඕහ් ගෝඩ්. බී කෙයාෆුල් සූර්යා..ඒ ගර්ල් ගෙ මූණෙ තිබුණ කේන්තිය එච්චර හොඳ එකක් නෙවෙයි”

“කේන්තියක් කියන්නෙ කොහොමත් හොඳ දෙයක් නෙවෙයිනෙ නටාෂා”

එසේ කියා ආලෝක සැහැල්ලු ලෙස සිනහ වූයේ ය. නමුත් වෛරයක් කියන්නේ ඒ තරම් සැහැල්ලු ලෙස නො ගත යුතු දෙයකි. 

නටාෂා සිය රියෙන් නික්ම ගියේ සූර්යා ට ආලෝක සමග යත හැකි නිසාවෙනි. ඔහු සතුටෙන් රිය පැදවූයේ ය. ඉතා හෙමිහිට ගුවන් විදුලියේ විකාශය වන බටහිර ගීතයකට අනුව උරුහම් බෑවේ ය..තාල ඇල්ලුවේ ය. සූර්යා දෙතුන් වරක් ම ඔහු දෙස බැලුවා ය. ඒ සතුට දෙස බලා ඉන්නට ඈ කෙතරම් ලෝභ වූයේ ද යත් කියන්නට ගිය දෙය උගුරේ ම හිර කර ගත්තා ය.

“මොනා හරි කියන්න තියෙනවද…”

ඔහු ඇදෙස බලන්නේවත් නැතිව, ඉස්සරහා බලා ගෙන රිය පදවන ගමන් ම විමසී ය. සූර්යා ට සිනා නැගිණ. ඈ සිය සුරත ඔහු ගේ ගෙල පිටුපසින් යවා ඒ හිස කේ අතරේ අතැඟිලි යැව්වා ය.

“අර ළමය ගැන දුකත් හිතෙනව”

ඒ වචන ටික ගිලිහී ගියේ සුසුමකුත් එක්ක ම ය. 

“කොයි…”

“සන්දීපනී..මට බයයි ඒ ළමයි මොකක් හරි කර ගනීද කියලත්..ඔය වගේ තත්වෙකට පත් වුණාට පස්සෙ ඕන දෙයක් කරන්න පුළුවන්”

“විකාරෙන්ද අනේ…එ්කිට පුළුවන් නං අපිට මොනාහරි කරයි”

“එහෙම කියන්න එපා ආලෝක..ඒ ළමයගෙ ජීවිතේ ගැන අපි කාටත් වගකීමක් තියෙනව..මොකද…එයා එහෙම වෙන්න අපි කවුරුත් හේතු වුණා”

“අතාරින්න අනේ. මං ඒ ළමයට පළවෙනි දවසෙම පැහැදිලිව කිව්වනෙ..මගෙවත් ඔයාගෙවත් කිසි වරදක් නෑ”

සූර්යා තවත් ඒ මාතෘකාවේ එල්ලී ගෙන නොගියේ එය ආලෝක ට රිසි බවක් නොපෙනුණ නිසා ය..ඇයටත් යම් වෙහෙසක් දැනිණි. ඉක්මනින් දියණි නා ඇඳට වැටීමේ උවමනාවක් ඇය ට දැනෙමින් තිබිණ.

“ඔයා ඇතුළට එන්නෑනෙ…”

ඇය රියෙන් බැස්සේ එසේ අසමිනි.

“නෑ කෙල්ලෙ. අද ටිකක් බිසී”

“ඕකේ දෙන්. ටේක් කෙයා”

සූර්යා ආලෝක ට අත වනා ඔහු ගේ රිය නො පෙනී යන තෙක් බලා සිටියා ය. ආපසු හැරෙත්දී ය ඈ දුටුවේ යතුරු පැදියකින් යන කළු පාටින් ඇඳුම් ඇඳ මුහුණු වැසෙන හෙල්මට් පැළඳ සිටි තරුණයන් දෙදෙනෙකු ගෙන් පිටුපස උන් කෙනා යම් දියරයක් ඇය වෙත විසි කරනවා. සූර්යා ට කෑ ගැසිණි. ඇය එහෙම ම දෙකට නැවුණා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles