සඳ කත් මිණි ඇස් -31

නාන කාමරයේ කැඩපතින් පෙනෙනා සිය උඩු කය දෙස සූර්යා බලා සිටියා ය. ඇගේ උඩු තොල මත යන්තම් දහ බිඳු කිහිපයක් නැගී තිබේ. කොපුල් තලා වල ලේ රතු පැහැයක් ඉහිර යමින් පවතී. ළැම පෙදෙස වේගයෙන් උස් පහත් වන හැටි ද දැක ගත හැකි ය. ටික වෙලාවක් හුස්ම අල්ලා ගෙන උන් ඕ ඊළඟට එක් වන ම ඒ හුස්ම අතැර දැමුවා ය. මුහුණට වතුර ටිකක් ඉස ගෙන යළි කාමරයට ගියා ය.

“ඇයි…”

නටාෂා ගේ ඒක වචන ප්‍රශ්නයෙහි සැකයක් විය.

“ඊයෙ රෑ කාපු දෙයක් අවුල් වුණා. ගෙදර හදල නෙවෙයිනෙ ඊයෙ කෑවෙ. රෑත් ස්ටොමැක් ඒක් එකක් වගේ තිබුණ. දැන් ඒ ගමන වොමිටින්. දෙහි දාල කෝපි එකක් බොන්න ඕන”

නටාෂා ගේ සැක මුසු බලාපොරොත්තුව විසිණු විය. 

“මගෙ ජීවිතේ මං කරපු ලොකු ම මෝඩකම තමයි අර ප්‍රවීන් කියන ජරා මනුස්සයව අඳුර ගත්ත එක. මිනිස්සු එච්චර ම තර්ඩ් ක්ලාස් කියල හිතුවෙ නෑ ඇත්තමයි”

“අපරාදෙ. මමයි ඔයාට ප්‍රවීන් ව ඉන්ට්‍රඩියුස් කළේ”

“ලිමිට් එකක් ඉවර වීමක් කියල දේකුත් නෑනෙ. මේ මනුස්සය කවද වෙනකල් මෙහෙම පළි ගන්නද…මට දෙවෙනි වතාවටත් ආලෝක ගෙන් ඈත් වෙලා ඉන්න වෙනව. ඒක හරි වේදනාවක් නටාෂා. එක සැරයක් මං වෙනුවෙන් එයා ඒ සැක්‍රිෆයිස් එක කළා. අපි දෙන්නම විඳෙව්ව. දැන් මේ සැරේ එයා වෙනුවෙන් මට ඒක කරන්න වෙලා. ගිය සැරේටත් වඩා අපි විඳවයි. මොකද…ගිය සැරේට වඩා මේ සැරේ අපි හුඟක් ම ක්ලෝස් වුණ නිසා. ඒ කාලෙ අපි පොඩියි. ආදරේ කියන හැඟීම දැනුණා විතරයි. දැන් එහෙම නෙවෙයි. ආදරේ කියන්නෙ මොකද්ද කියල අපි හොඳටම අඳුරගත්තෙ මේ සැරේ. ඒක ඇට මස් ලේ වලටම කා වැදිච්ච බැඳීමක් නටාෂා. එහෙම එකනින් ඈත් වෙලා ඉන්න ලේසි නෑ. ඒත්…අපි ඇත්තටම ආදරේ කරන්න ගත්තහම මොනාද ඒ වෙනුවෙන් කරන්න බැරි…ගිය සැරේ මං හිතුවා ආලෝක මට හුඟක් ආදරේ කරල නැති නිසා එහෙම කළා කියල. ඒත් දැන් මට හිතා ගන්න පුළුවන් ඒ දවස් වලත් එයා මොන තරං මට ආදරේ කරන්න ඇත්ද කියල…”

සූර්යා ගේ ඇස් වල වන ආදරය, මරිය මව් තුමිය ගේ ප්‍රතිමාවක මුහුණේ වන සන්සුන් සමාධිගත ආදරයමයි කියා නටාෂා ට සිතිණ. ප්‍රේමය කියනා හැඟීම  උත්කර්ෂය ට නංවා තිබෙනු ඈ දැක ඇත්තේ මරිය මව් තුමිය සිය දේව පුත්‍රයා වන ජේසු ට දක්වන්නා වූ අසීමිත ප්‍රේමය තුළිනි. ප්‍රතිමාවක් තුළින් ඒ තරම් තියුණු ලෙස ප්‍රේමය කියන හැඟීම පිළිබිඹු කරවන්නේ කෙසේද කියා පල්ලියට යන බොහෝ අවස්ථා වල ඇය ට සිතී තිබේ. මිනිසුන් අතරේ දී එක වරක් හෝ ඈ දැක නොමැති ඒ දිව්‍යමය හැඟීම ඉතා නියුම් ලෙස මිනිස් හදක දනවන්නට මැටි පිඬකට හැකි වූයේ කෙසේ ද කියා කොතෙකුත් ඇය සිතා තිබේ. ඒ ප්‍රේමයට ජීවමාන සාක්ෂියක් දැන් ඇගේ පියවි නෙතු ඉදිරියේ වේ. ප්‍රේමය!

“මට ඕව තේරෙන්නෑ. හැබැයි එක දෙයක් තේරෙනව..ආලෝක මාර අවුලෙන් ඉන්නෙ. නැත්තං කොල්ලා මට කතා කරල ඔයා ගැන ගිහිං බලන්න කියන්නෙ නෑනෙ. ඒක න්සා ඉක්මන්ට ආලෝකව මීට් වෙන්න. කතා කරල සොලූශන් එකකට එනව මිසක් තනියම කිසි දෙයක් කරන්න එපා. මං හිතන්නෙ ඔයාට එහෙම කරන්න අයිතියක් නෑ”

නටාෂා නික්ම යන තුරු සූර්යා හිටියේ නො ඉවසුම්වය. මේ වෙලාවේ ඇයට ඕන වී තිබුණේ තනි වෙන්නටයි.

මිතුරිය සමු ගත් පසු සූර්යා යහන මත උඩුකුරුව වැටුණා ය. දරුණු ටර්නාඩෝ සුළි සුළඟක් ඈ කේන්ද්‍ර කර ගනිමින් ඈ වටා ක්‍රියාත්මක වන්නා සේ ඇයට දැනෙයි. සූර්යා මොහොතක් නෙතු පියාන ඒ සුළි ප්‍රවාහයට හසු වී ගෙන සිටියා ය.

“මට පුතෙක් ඕනෙ!”

ඒ වචන ටික විශ්වයේ කොහේදෝ ඈත කොනකින් ඇසෙන්නා සේ, යළි යළි ඇසෙන්නා සේ, නින්නාද වෙමින් ඇසෙන්නා සේ සූර්යා ට දැනෙයි. ඇගේ සුරත උදරය වෙත ගියේ ඉබේට ම ය. මල් රේණුවක් මෝරා වැඩෙන්නට පටන් ගෙන තිබේ. ඒ ආදරය ය. ආදරය මලක් වී කුස යහනක පීදෙනා එක තරම් ප්‍රීතියක් ගැහැනියකට  මෙලොව දී අත් විඳිය නො හැකි ය. සූර්යා ගේ ඇස් වලින් කඳුළු ගලා යන්නට විය. ඒ සතුටු කඳුළු විය යුතු ය. ඇය කිසි සේත් ඒ කඳුළු අවුරා වැට බඳින්නට ගියේ නැත. ඇය ඉතා හෙමිහිට හුස්ම ගනිමින් සිටියා ය. අතීතය ද වර්තමානය ද මාරුවෙන් මාරුවට හිත මත පතිත වන්නට විය.

එමිලි කුළුඳුළේ ම කුසට ආ බව නැන ගත් දාත් ඇය හැඬුවා ය. ඒ ආලෝක සිහි කරමින් බව ඇය මිස දන්නා වෙන කෙනෙකු නැත. ඒ ආලෝක ගේ ආදරයෙන් පිළිසිඳ ගත් කළලයක් වී නම් ඇය කෙතරම් වාසනාවන්ත ගැහැනියක වන්නට තිබිණි දැයි ඇය හඬමින් ම සිතුවා ය. ඉන් පසු වතාවේ ඈ හැඬුවේ නැත. බරක් පමණක් පපුව මත්තේ විය. ජීවිතය යනු ලැබෙනා දේ මිස ආශා කරන දේ නොවන බව ඇය ඉගෙන ගනිමින් සිටියාය.

නමුත් ඉරණම ඇය ආශා කළ හා ඇය ට උවමනා කළ දේ පමා වී හෝ දෝතට ගෙනැවිත් දී තිබේ. ආලෝක ගේ සංසාරගත ප්‍රාර්ථනාව ඉටු කර දෙන්නට ඉරණම බලා සිටියේ ඈ යළි එන තුරා ය. වසර විසි දෙකක් තිස්සේ විවිධාකාර ගැහැනු ශරීර පසු කොට ගෙන ගිය ද ඒ එක සිරුරක හෝ සිය අපේක්ෂාවන් තැන්පත් කරන්නට ඔහු ට ඕනා වූයේ නැත. එය වූ කලී ආත්ම ගණනක් තිස්සේ පුරා ආ පාරම්තාවකි. උපදිනා හැම ආත්මයක ම සිය දරුවන් ට කුස යහන තනනා අම්මා ඇය වනු දැකීම ඔහු ගේ ප්‍රේමයේ ප්‍රාර්ථනාව වූයේ ය. හමු වී සූර්යා මග හැරුණා ය. ආලෝක සිය අපේක්ෂාවන් හද ගැඹරේ ම තබා ගෙන සංසාරයේ සොබා නීතියට එකඟ ව බලා සිටියේ ය. අන්තිමට එය සිදු වී තිබේ!

සූර්යා ඇස් පියන් තද කොට ගත්තා ය. මිරිකී ගිය කඳුළක් කන් පෙති අතරේ සැඟවී ගියේ ය.

ඇය නටාෂා ගෙන් ඇත්ත සඟවා ගත්තේ හිතා මතා ම ය. ආලෝක මේ ශුභාරංචිය දත යුතු නැත. ඔහු ගේ ගමන ට මේ මග අවුරන රාහුලයෙකු විය යුතු නැත. සූර්යා හිත තද කර ගත්තා ය. 

“එයාට මොනා වෙලාද මන්දා. හැබැයි කෙල්ල හිතන්නෙ ඔයා ගැන කියලනං දන්නව. එයා බයයි එයා නිසා ඔයාට කරදරයක් වෙයි කියල. ප්‍රවීන් ඔයාගෙ බිස්නස් වට්ටයි කියල”

නටාෂා ආලෝක ට කේලම කීවා ය. ආලෝක ගේ කට කොනක් සිනහවකට ඇද විය.

“පිස්සුනෙ. බිස්නස්නං මොනාද මට එයත් එක්ක කම්පෙයා කරද්දි…”

නටාෂා ගේ පපුවට කුමක්දෝ වුණා සේ ඇය ට දැනිණ. පිර්මියෙකු ප්‍රේමය පිළිබඳව ඒ තරම් භාවාතීෂය වූ හැඟීමකින් කතා කරනවා ඊට පෙර ඇය දැක ඇත්තේ ම නැත. ඉසියුම් ඊර්ෂ්‍යාවක් ද හදවතට ඉඳිකටු තුඩු වලින් ඇන්නේ ය. තමන් ජීවත් වී ඇත්තේ මොන තරම් ඝණ අන්ධකාර හිස් කමක් ඇතුළේ දැයි නටාෂා ට දැනෙන්නට විය. ආදරයක් අත් නොවිඳි ආත්මයක් කියන්නේ අඳුරු ගුහාවකි. එහි ආදරවන්ත රස රහස් එකක්වත් නිදන් ගත ව නොමැත!

ආලෝක එදා දුන් දුරකතන ඇමතුම ට පිළිතුරු නොදී සිටින්නට තරම් දැඩි වන්නට සූර්යා ට නොහැකි විය.

“නටාෂා කිව්ව ඔයාට ස්ටොමැක් ඒක් එකක් කියල”

“ඔව්. ඒක එච්චර දෙයක් නෙවෙයි. කෝපි එකක් බිව්වම හරි ගියා”

“මට හරි පාළුයි සූර්යා”

මහා දිය ප්‍රවාහයකට හසු වී ඇය ව ගසා යන්නට හදනවා බඳු සංවේදනයකින් සූර්යා තෙරපී ගියා ය. 

“මටත්”

කියා කියවෙන්නට ම ගියේ ය. ඕ අමාරුවෙන් ඇය ව පාලනය කර ගත්තා ය.

“දැං මේක ඇති. ඔයා අපාට්මන්ට් එකට එන්න. නරත්තං මං ගෙදර ඇවිත් කෙලින් ම අම්මලත් එක්ක කතා කරන්නද…”

“අනේ එපා ආලෝක ප්ලීස්. මේ ඇසිඩ් සිද්දිය නිසා ඒ දෙන්නා හොඳටම බය වෙලා ඉන්නෙ. මේ වයසෙදි ඒගොල්ලන්ව එහෙම බය කරන එක මහ පවක්. මං ඒක කරන්න කැමති නෑ”

“ඉතිං ළමයො අපි මැරි කරන්නනෙ හදන්නෙ…”

“හරි හරි. අපි තව ටික දවසක් මෙහෙම ඉමුකො. පොඩ්ඩක් ඒගොල්ලො කූල් ඩවුන් වෙනකල්. මට ගෙදරින් එළියට බහින්න දෙන්නෙ නෑ ආලෝක”

ඒ විදිහට ඔහු ට බොරු කියත්දී ඇගේ පපුව රිදුණේ ය. නමුත් ඔහු වෙනුවෙන් කළ යුතු හොඳ ම දේ එය යැයි ඇය සිතුවා ය. 

“ඔයා කොහොමද ඔය නිදිහට ඉන්නෙ කියල මට තේරෙන්නෑ. මං ගැන කිසිම ගාණක් නෑ වගේ…”

සූර්යා ඇස් දෙක තද කොට පියා ගෙන යටි තොල රිදෙන්නට සපා ගත්තා ය. ආලෝක තවත් ටික දවසක් ඉවසීමෙන් කටයුතු කරන්නට සිතා ගත්තේ ය.

“හැබැයි සූර්යා මං තව දවස් කීපයයි බලන්නෙ. අපි ඔය තරං ප්‍රවීන් ට බය වෙන්න ඕන නෑ. එහෙනං ඌට ගිය රටනෙ. මට ඔයා ගැන බයක් තිබුණා. ඒත් ඔයා මං ගැන බය වෙන්න ඕන නෑ. මොකද යක්කුන්ට බය නං මං මේ සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ”

ඔහු ගේ ඉවසීමේ සීමාව පැන යන්නට පෙර මේ රටින් පැන යන්නට සූර්යා තීරණය කර ගත්තා ය. එක වතාවක් ඈ නිසා ඔහු ට මුළු ජීවිතය ම අත්හැරිණි. මේ වතාවේ, අමාරුවෙන් ඔහු හදා වඩා ගත් ව්‍යාපාරික ජීවිතයත් අහිමි වෙන්නට හැරිය නො හැකි ය! 

සැබවින් ම මේ ආහාර අජීර්ණයක් මිස දරුවෙකු නො වන්නට බැරි ද?

ඒ හදිසි සිතිවිල්ලත් සමග සූර්යා වහා නැගිට ඇඳුමක් දමා ගෙන පිටතට ගියා ය. දරුවන් දෙදෙනෙකු ගේ අත්දැකීම් ඇය ට තිබේ. ඒ අනුව ස්වභාවික චක්‍ර වල දින වකවානු සිතින් ගණනය කළ ද මේ දරු පිළිසිඳ ගැනීමක් බව අනුමාන කරන්නට පුළුවන. නමුත් එසේ නොවන්නට වුව බැරි නැත. ඖෂධ හලකට ගිය ඕ ගර්භනී බව තහවරු කෙරෙනා පරීක්ෂණ කට්ටලයක් මිලදී ගත්තා ය. යළිගෙදර එන තෙක් සිත්හි වූයේ දෙගිඩියාවකි. නමුත් පරීක්ෂණය වහා ම තහවුරු කොට සිටියේ මුල් නිගමනය නිවැරදි බවයි. සූර්යා ආදරයෙන් සිය උදරය පිරිමැද ගත්තා ය.

මේ සතුට ආලෝක සමගින් බෙදා හදා ගන්නට ඇත්නම්! ඔහු කොයි තරම් ප්‍රීතියකට පත් වනු ඇත්ද? ඔහුට මිස වෙන කිසිවෙකුට අයිති නැති ඒ සතුට ඔහු ගෙන් හොරකම් කර ගැනීම කවර අපරාධයක් දැයි සූර්යා සිතුවා ය. නමුත් ඒ සතුට ම ඔහු ගේ මග අවහිර කරනා බාධකය විය යුතු ද? ඇයට දැනෙනා හැටියට ප්‍රවීන් ඔවුන් දෙදෙනා ට ප්‍රීතිමත් ජීවිතයක් ගෙවන්නට කිසි දා ක ඉඩ දෙනු නැත. ආලෝක ගේ මුළු ජීවිතය ම උදුරා ගන්නේ කෙසේ ද?

සූර්යා වහා වහා නැවත ප්‍රංශය බලා පිටත් වීම සඳහා කටයුතු සූදානම් කළා ය. 

හෝරාවක් ගානේ සිය ශක්තියක් ඉවසීමත් ක්ෂීණ වී යන බවක් ආලෝක දැන සිටියේ ය. බෝ වෙලාවක් කල්පනා කරමින් සිටි ඔහු මේසය මත වූ ජංගම දුරකතනයත් රියෙහි රිමෝට් එකත් ගෙන නැගිට ගත්තේ ක්ෂණික තීරණයකට එමිනි. පීටර්ස් පෙදෙසේ සූර්යා ගේ මහ ගෙදර ගොස් හෙට ම හෝ විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු කරන්නට ඔහු දැඩි තීරණයකට එළඹෙමින් සිටියේ ය.

ජංගම දුරකතනය නාද වන්නට විය. එහි තිරයෙහි නටාෂා යනුවෙන් සඳහන් ව තිබෙනු දැක, ආලෝක යළිත් අසුන මතට වැටුණේ ය.

“කියන්න නටාෂා”

“සුමන්. මං හිතන්නෙ සූර්යා ආයෙ ෆ්‍රාන්ස් යන්නයි හදන්නෙ”

එය ඉතා කලබලකාරී හඬකි. ආලෝක වහා අසුනෙන් නැගිට ගත්තේ ය.

“මොකද්ද…”

“ඔව්. දැං මං ඒ පැත්තෙං යන ගමන් නිකමට ගෙදරට ගොඩ වුණා. ආන්ටි කිව්ව ඩොකියුමන්ට්ස් වල වැඩකට එළියට ගියා කියල. සූර්යා ලංකාවෙ ඉන්න එක සේෆ් නෑ කියලත් කිව්ව”

ශරීර කූඩුව තුළ ඉතිරි ව පැවති අන්තිම ශක්ති බිඳුව ද සිඳී ගියා සේ ආලෝක ට දැනිණ. තොල කට වියළී ගිය බවක් ඔහු ට දැනිණ. ආලෝක පුටුවේ වත වමතින් අල්ලා ගෙන ඉතා හෙමිහිට එහි අසුන් ගත වූයේ ය. මහත් සන්තාපයක් ඔහු ව යට කර ගන්මින් තිබිණ. සුරතින් දුරකතනය අල්ලා ගෙන ඉන්නට බැරි තරම් එය බරට දැනුණේ ය. ආලෝක ඒ අතට වාරුවක් වනු වස් වැළමිට මේසයෙහි ගසා ගත්තේ ය.

“එයාට එච්චරටම මං එපා ද ඒ කියන්නෙ…”

ඒ වාක්‍යය වූ කලී ලෙහෙසියෙන් පිරිමි මුවකින් පිට වන්නක් නොවේ. නටාෂා කලබල වූයේ ඒක ය. 

“මටනං හිතෙන්නෙම සූර්යා ප්‍රෙග්නන්ට් කියලයි සුමන්”

“මොකක්…”

ආලෝක ඒ වචනය කෙඳිරුවා සේ ය. මහා ජල තලාවක් මත්තේ උඩුකුරුව පා වෙමින් යනවා බඳු සහනශීලී හැඟීමකින් ඔහු හුස්මක් දෙකක් ගත්තේ ය. ඊළඟට දුරකතන සම්බන්ධය බිඳ දමා එය පසෙකට විසි කොට අත් දෙක මේසයෙහි වීදුරු තලාව මත විහිදුවා දිග හැර ඒ මත හිස තියා ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles