ඉඳුදුන්න -40

“ප්‍රෝග්‍රෑම් එක අතරේ අපි වෙඩින් එකත් ඉවරයක් කරගමු..”

තරිඳි ඒ යෝජනාව ඉඳුවරට ගෙන ආවේ “කිඩ්ස් ස්ටාර්” වැඩසටහනට යන අතරමගදී ය.

“ඉවරයක් කරන්න?”

ඉඳුවර ඒ වචන නුහුරට ගත්තේ ය.ඔහුට අපුලක් දැනෙන්නට විය.ජීවිතය අලුත් කරගන්නා සිදුවීම ඇයට “ඉවරයක් කරගත යුතු දෙයක්”වීමම ඔහුට කෝපය උපදවන කතාවක් විය.

“මම කියන්නේ මේ අපිට ස්පොන්සර්ලා ගන්න පුලුවං කාලේ..අපි දෙන්නගෙම ජනප්‍රියම කාලේ..”

ඉඳුවර රථයේ වේගය වැඩි කළේ ය.බොහෝ දෑ දෙස සැහැල්ලුවෙන් බලන්නට පුරුදුව හිඳින ජෙනිෆර් ඉඳුවරගේ සමීප හිතවතියක වූයේ ළමා තරු තරගය නිසා ය.ජෙනිෆර් හිතේ ඇති දේ වචන කරන්නියක ලෙස ක්ෂේත්‍රයේ ප්‍රකටව හුන්නා ය.වැඩසටහනක් අතරමැද විවේකයකදී තරිඳි ඉඳුවරට හිරිහැර වන තරමට ඇලෙමින් හුන් අන්දම බලා සිටි ජෙනිෆර් තමා සමඟ පැවසූ දේ ඉඳුවර සිහි කළේ ය.

“මල්ලා..තමුසෙ ඒ අෆෙයා එක කරන්නෙ සිරාවටමද?”

ජනප්‍රිය ගැහැනුන් සේ රූපය ගැන නොසිතන ගවොම් සහ කාන්තා විලාසිතාවන්ගෙන් වැලකී කොලු ඇඳුම් අඳින ජෙනිෆර් හැකියාව අතින් සිටියේ ඉහළම තැනක ය.ඈ මනුස්සකම අතින් ද එවැනිම තැනක හිඳින බව ඉඳුවර දැන සිටියේ ය.

“ඔව් අක්කා.මං කැම්පස් කාලේ බ්‍රේකප් එකක් හින්ද පොඩ්ඩක් අවුලින් සෑහෙන කාලයක් ගෙව්වෙ..තරූ මට හරියනව කියලයි මට හිතෙන්නෙ..”

ජෙනිෆර් ඉඳුවරගේ කර වටා අතක් දමා ගත්තා ය.සුහදශීලි හැසිරීම් ඇති ඇය මේ අයුරින් දුටුවානම් තරිඳිට යක්ෂාරූඪ වන බව ඉඳුවර දැන නොසිටියා නොවේ.නමුත් ඔහු ජෙනිෆර්ට සවන් දුන්නේ ය.

“මල්ලි, ලව් කරන්න පුලුවං ඕන තරම්.ඩේට් කරල බූට් කාලා ජීවිතේ ගෙවා ගත්තැකි.ඒත් කසාදයක් පටලා ගන්න කලින් එක පාරක් නෙවෙයි දාස් පාරක් හිතපං..ලස්සනට ගැළපෙන කපල්ස් වල මොකක්දෝ කෙමෙස්ට්‍රියක් එළියට පේනව.මට මෙතන ඒක පේන්නෑ කොල්ලො…”

මේවා තරිඳිට ඇසුණහොත් ලෝක විනාශය මේ මැදිරිය තුළ සිදු වන බව සිතූ ඉඳුවර සිනාවකින් ජෙනිෆර්ගේ වචන දරා ගත්තේ ය.නමුත් ජෙනිෆර් කියනා කතාවේ අසත්‍යයක් නැති බව ඔහුට නොසිතුණාම නොවේ.

ඉඳුවරගේ දැහැන බිඳුණේ තරිඳිට නොනවත්වාම එන දුරකථන ඇමතුමක් නිසා ය.තරිඳි ඒ සියල්ල මඟ හැරෙන්නට හැරියා ය.

“ෆෑන්ස්ලද?”

ඉඳුවර අසද්දී තරින්දි සසැලී ගියා ය.නමුත් ඉඳුවර එවගක් දුටුවේ නැත.

“ඔව් අනේ..”

ඇය කියන්නේ ඕනෑවට එපාවට ය.

“සමහර ඒඩීලා ගන්නව තරිඳි.එකම නම්බර් එකෙන් කෝල්ස් දිගටම එනවනම් පොඩ්ඩක් බලන්න.වැඩක් මඟ ඇරුණා වෙන්න පුලුවන්නෙ..”

ඉඳුවර පැවසුවේ තරිඳිගේ ඉදිරි කටයුතු ගැන සිතා ය.ඇය හිඳින්නේ ජනප්‍රියත්වයේ උච්ඡතම තැනක ය.මෙවැනි කාලයක උපරිමයෙන් වෙහෙස විය යුතු බවත් සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගත යුතු බවත් ඉඳුවර විශ්වාස කළේ ය.

“නෑ..මේක එහෙම එකක් නෙවේ වගේ..”

තරිඳි ඒ ඇමතුම ගැන නොසලකා හැරියා ය.තමන්ගේ අත වරදක් ඇති බව ඇය දැන සිටි නිසාම වහා කතාව වෙනස් කරන්නට තරිඳි ක්‍රියා කළා ය.

“අර ඔයාගෙ කැම්පස් යාලුව අදත් එයිද දන් නෑ.”

ඉඳුවර ඒ බසට සසැලුණේ නැත.අමන්දී සුන්දර ජීවිතයක හිමිකාරියක බව ඔහුට පෙනෙන හන්දාම ඔහු සිටියේ ඈ අමතක කර දමන්නට යත්න දරමිනි.

“අර දරුවව අරන් එයි..”

ඉඳුවර කටහඬ වෙනස් වන්නට නොදී පැවසී ය.අමන්දී සතියකට වතාවක් හෝ දැකීම දරා ගත යුතු බව දැන් ඔහු දන්නා කාරණාවකි.තරිඳි සිටියේ තීරණයක් අතරමැද නැවතී ය.ඒ තීරණය ගන්නට උත්පලා කී ඕපාදූපය සත්‍යයක් දැයි සොයමින් ඈ මෙහෙයුම් දියත් කළා ය.එහෙත් ඉඳුවර පිටුපෑවේ අමන්දීගේ අප්‍රකාශිත ප්‍රේමයට නිසා පැහැදිලි සාක්ෂි සපයන්නට කිසිවෙකුත් සිටියේ නැත.

“මං කීපපාරක්ම ගත්තනෙ.ආන්සර් කරෙත් නෑ..”

නාලිකා පිවිසුම් දොරටුවේ දී ඔවුන් මුණ ගැසුණු සහස් පැවසුවේ ඉඳුවරට ද ඇසෙන හඬකිනි.තරිඳි තිගැස්සී ගියා ය.සහස්, කාලාන්තරයක් තිස්සේ ජනප්‍රිය නළු කිරුළ දිනා ගන්නා තරුණ නළුවා ය.ඔහු ඉඳුවරට ලැබෙන හදිසි ආකර්ෂණය ගැන තිගැස්මෙන් හුන් කාලයේ ඉඳුවරගේ තිරයේ සහ සැබෑ ජීවිතයේ පෙම්වතියව වැඩසටහකදී මුණ ගැසුණේ ය.

තාරකා දීප්තිය හිටිහැටියේ නිවී යා හැකි බවත් නළුවෙකු ලෙස ස්ථාවර වූ තමන්ගේ ගමන බොහෝ පැහැදිලි බවත් ඔහු තරිඳිට කියා දීම ඇරඹුවේ ඉන්පසු ය.තම නිළි බිරිඳගෙන් දික්කසාද වී සැහැල්ලු ජීවිතයක ගිලී හුන් සහස් තරිඳිට ඒ පාඩම ඉගැන්වූයේ ඉඳුවරට පාඩමක් උගන්වන්නට සිතමිනි.

ඉඳුවර නොදැන සිටියාට ඒ පාඩම් බොහෝ දුර දිග ගොස් තිබිණ.ඔහුගෙන් ගිලිහී ඉඳුවරට ලැබෙමින් තිබූ ජනප්‍රියත්වය යළි දිනා ගන්නට නම් ඉඳුවරට දැඩි මානසික පීඩාවක් දැනෙන්නට ඉඩ හැරිය යුතු බව සහස් විශ්වාස කළේ ය. ජනප්‍රිය නිර්මාණවලට වඩා සම්භාව්‍ය නිර්මාණ ප්‍රිය කළ ඔහුගේ හිටපු බිරිඳ දැන් බොහෝ කාලයක් නිහඬ කර තබන්නට හැකි වූයේ මානසික පීඩාව නම් වෛරසය ට ය.සහස් ජනප්‍රිය රැල්ලේ දිව යද්දී කතාබහට ලක් වන මට්ටමේ නිළියක වන්නට හැකි වූ රවීෂා නින්දා අපහාස ගොන්නක් සහිතව දික්කසාද ගැහැනියක වූවා ය.දැන් ඈ නිළිකම අමතක කර දමා යුරෝපා රටක දිවි ගෙවන්නී ය.

“එයත් එහෙම බැහැල ගියානම් උඹ මොකෙක්ද මල්ලි..”

සහස් සිතුවේ පිටුපා යන ඉඳුවර දෙස නෙත් දල්වාගෙන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles