අද ආදරවන්තයන්ගේ දවස.ඈත අතීතයේ දවසක සුධාරක මට එවූ රතු රෝස මල් පොකුර ගෙදර කුණු බාල්දියෙන් හමු වුණු කතාව ඔබට මතක ඇති. ඒවා එහෙම තමයි. ආදරය නොසඟවා දුන් ආදරය කියන්නේ ඇත්තටම මොනතරම් සුන්දර හැඟීමක් ද කියලා මට අවුරුදු ගණනාවක් තිස්සෙ කියා දුන් ආදරණිය මිනිසාව ගල්කිස්ස උසාවියේදී දික්කසාද කරන්න මට සිද්ධ වුණා.
ඒ නඩුව වෙනුවෙන් මම ගියේ බරවුණු හදවතින්.වේදනාව වෑහෙන ඇස් දෙකකින්. ඒත් මම මේ වතාවේ දික්කසාධයට ගියේ එහෙම වේදනාවකින් නෙවෙයි, මොකක්දෝ සැනසිල්ලක් මට දැනෙමින් තිබුණා. නොගැළපෙන තැන්වලින් ඉවත් වෙන හැම ගැහැනියකටම ඒ සැනසීම සමහරවිට දැනෙනවා ඇති.
මමත් මගේ අම්මා තාත්තත් දික්කසාදය වෙනුවෙන් නුවර යන්න එන්න පටන් ගත්තා. අපි නැවතුණේ මගෙත් අසංකගේත් ගෙදරමයි.වෙන ගෙදරක නවතින්න තරම් අපි හතුරෝ නෙවෙයි.අපි අතර තරහක් නැහැ.ඔහු මාව නිදහස් කරන්න සුදානම්.මම නිදහස් වෙන්න සුදානම්.එපමණක් විතරක් අපිට පැහැදිලි වෙමින් තිබුණා.
“ඔයාලා ආවොත් දොර ඇරගෙන ඉන්න.යතුර පුරුදු තැන..”
නඩුවට කලින් දවසේ අපි නුවරට එනකොට අසංක එහෙම පණිවිඩයක් එවනවා.ඔහු ගෙදර නැතත් අපි දොර අරගෙන ගේ ඇතුලට යනවා.ඊටත් පස්සේ මම ගේ අස්පස් කරලා උයන්න පටන් ගන්නවා.කාලයක් මගේ ගෙදර වුණු තැන එහෙම දේවල් නොකර ඉන්න මට හිත දුන්නේ නැහැ.
අපි පහුවදා නඩුවට යන්නෙත් එකට, එක වාහනෙන්.
“මිනිස්සුන්ට මැජික් වගේ තියෙන්න ඇති”
ඔයාලට එහෙම හිතෙනවත් ඇති.ඒ වුනාට අපි ගිහින් උසාවියේ එකම බංකුවේ පවා ඉඳගෙන හිටියා.විවිධාකාර මිනිස්සු දිහා බලාගෙන ඒ අයගේ හැසිරීම් නිරීක්ෂණය කරන එක අපි දෙන්නට විනෝදයක් වුණා.
“අර මිනිස්සු දෙන්නා මෙතනට ඇවිල්ලත් මරාගන්නවා කියන්නකෝ.”
මම එකිනෙකාට රවාගන්න ජෝඩුවක් පෙන්නලා අසංකට කියනවා.එකිනෙකාට නියවමින් රවමින් ඉන්න ජෝඩුවක් එකට හිටපු කාලයේ ඇතුලාන්ත සාමය මොනතරම් අහිමි කරගන්න ඇතිද කියලා අපි කතා වෙනවා.
“අර ජෝඩුවක එළියේදී තව පොඩ්ඩෙන් ගහ ගන්නවා’
මම අසංකට ඕපාදුපයක් කියනවා.ඊටපස්සේ සම්බන්ධතා කියන්නේ මොනතරම් සංකීර්ණ දෙයක් දා කියලා අපි කතා බහ කරනවා.
අපි ඒ වගේ කතා කර කර එකම අසුනක ඉඳලා ඊටපස්සේ විත්තියේ සහ පැමිණිල්ලේ හිටගන්න අන්දම විනිශ්චකාරයාටත් පෙනිලා තිබුණා.වෙන්න ඇති.ටිකක් නෙවෙයි හොඳටම අස්වාභාවික සිදුවීමක් විදියට හැමෝටම ඒක පෙනෙන්න ඇති.
“අර දෙන්නට උසාවියට අගෞරව නොකර වෙනම ඉන්න කියන්න.මෙතන ඉන්න වෙලාවෙවත්”
විනිශ්චකාරතුමා අපේ නීතිවේදීන්ට එහෙම කියල තිබුණා.
බලාගෙන යනකොට ආදරේ කිරීම වගේම සමගිය සමාදානය කියන්නෙත් අපේ රටට අරුමපුදුම මාතෘකාවෙන් වෙනවා නම් නයි මුගටි වෛරයකින් ජිවත් වෙන්න ඕනෑ.නොගැලපීම් දරා ගන්න නොහැකි වීම නිසා කතාබහ කරලා වෙන් වෙන මිනිස්සුන්ට මිතුරුකම ඉතිරි කරගන්න ඇත්තටම අමාරුද|?
නැහැ එහෙම නැහැ!
නමුත් ලෝකයට එය බරපතල ගැටළුවක්.ලෝකයට එය පෙනෙන්නේ මහා අමුතු දේවල් විදියට.
ඔබ ආදරෙන් ඉන්න.ආදරේ රැකගන්න.නමුත් රිදෙන තැනක කොහොමහරි ආදරේ රැකගන්න උත්සාහ කරන්න එපා.එය ඔබටත් අනෙකාටත් වේදනාවක්ම ඉතුරු කරන්නක්.නමුත් ඒ වෙන්වීම් තරහ සහ කෝපය සහිතව කරන්න උවමනා නැහැ.
අපි දියුණු මිනිස්සු. මනුෂ්‍යත්වය කියන්නේ අනෙකාව පෙලීම නෙවෙයි කියන දේ මේ ආදරවන්තයන්ගේ දවසේදී අමතක කරන්නම එපා.