වායු සමීකරණ පද්ධතිය ඉතා දැඩි සිසිලසකට සීරු මාරු කොට ඇතැයි අමාරසී ට සිතිණ. ඇය ට දැනුණේ එතරම් ම තද ක්ෂණික සීතලකි. පීච් පැහැති අත් දිග බ්ලවුසයක් හැඳ සිටිය ද, ඇගේ සිරුරේ ඇට මස් ලේ විනිවිද ඒ සිසිලස පැතිර යන ලදී.
“මිස්ට දිසත්…”
දෙතොල් වෙව්ලා ගියත් ඇය මුව විවර කළා ය.
“ටී ටයිම් එකේදි මට කට්ටියට කතා කරන්න ඕනෙ. මේක මේ ඔෆීශියල් මීටින් එකක් නෙවෙයි. ජස්ට් අ චැට්. සෙක්ශන් එක අඳුර ගන්නත් එක්ක. ඔයා පොඩ්ඩක් කට්ටියට මතක් කරන්න..ටී ටයිම් එකේදි කොහෙටවත් නොයා හිට්යොත් හොඳයි කියල”
“ඕකේ”
අමාරසී වීදුරු කුටියෙන් පිට වන විට ඇය අයිස් කුට්ටියක් සේ මිදී ගොස් සිටියා ය.
නමේ මුල් කොටස අමා වී ද ගෙදරත් පාසලේත් භාවිත නම වූයේ රසී යන්න ය. ඒ නිසා ම රැකියාව කරන්නට ගත් පසුත් ඇය නම විමසන සියල්ලන්ට කීවේ රසී කියා ය. ඒ නිසා එය කවුරුත් භාවිතා කරන ලද ඇගේ නම විය. නමුත් දිසත් අමා නමින් ඇය ඇමතුවේ ය!
තේ බොන ගමන් ඔහු වීදුරු කුටියෙන් පිටතට, ගිනුම් අංශයේ සේවක මඬුල්ල වැඩ කරන කොටසට පැමිණියේ තේ මග් එකත් එක්ක ම ය. කොල්ලෙකු නැගිට ඔහු ට අසුන පිරිනැමූවත් අතින් ඔහු ව වැළකූ දිසත් මේසයක් මතින් යන්තම් කොනක හිඳ ගත්තේ ය. ගෑනු ළමයින් ගේ ඇස් වල කණීනිකා වඩාත් විස්තාරය වී තිබිණි.
“ඉතිං…ඊයෙ කතා නොකර මං ඒක අදට කල් දා ගත්තෙ ඕගොල්ලොන්ට මං ගැන චූටි අයිඩියා එකක් ගන්න එක දවසක් හරි දුන්නොත් හොඳයි කියල හිතලයි”
“මාර ලැජ්ජකාරයෙක් වගේනෙ”
දිලිනි, අමාරසී ට දකුණු පැත්තේ හිඳ මිමිණුවා ය.
“සෝ ස්වීට්. අයි වනා ෆෝල් ඉන් ටු යූ…”
අමාරසී ට වම් පැත්තෙන් තරුෂි කෙඳිරුවා ය. එය ට නම් අමාරසී ට සිනහ ගියේ ය. ‘හිචිස්’ ගා ගෙන එළියට පැන්න ඒ සිනහව, ඇය අතක් මුවෙහි තබා ගෙන තද කර ගන්නට ගියා ය. නමුත් එතකොටත් එය පිට මං වී ඉවර ය. කොල්ලන් ගෙන් කෙනෙක් දෙදෙනෙක් ද ගීතානි හා තවත් ස්ත්‍රී පරාණ දෙක තුනක් ද අමාරසී වෙත ට තද බැලුම් හෙලූ හ. නමුත් දිසත් ඒ සිනහව ගැන කලබල නොවී සිය කතාව කර ගෙන ගියේ ය. ඒ වෙලාවේ බිම බලා ගත් අමාරසී යළි හිස එසවූයේ ම නැත.
“පිස්සුද බාං..උඹේ ඔය කබල් ස්කූටරේ ස්ටාට් නොකරන තැනක් නෑනෙ”
ප්‍රධානියා සිය කුටියට ගිය ගමන් නිරෝෂන් අමාරසී දෙසට හැරුණේ ය.
“අනේ මන්දා මේ ගෑනු ළමයිව ඉක්මනට කසාද බන්දල දෙන්නැතුව තවත් මොකට ගෙවල් වල තියං ඉන්නවද කියල”
ගීතානි නො රිස්සුමෙන් කියවනු ඇසිණි. ඒ කතාවට හිතේ කේන්තියක් නැගුණත්, අමාරසී ඒ නෑසුණා සේ හිටියා ය.
“ඉතිං අනේ…මේ දෙන්න දෙපැත්තෙං ඉඳං කියන ඒවට හිනා යන්නැද්ද…”
“පුදුමයි බොස්ට මළ පැන්නෙ නැතුවා. මං හිතුව එවෙලෙම තො ට අහගන්න වෙයි කියල කනේ ඇඟිලි ගහ ගන්න..”
“ඉතිං අනේ…මට බණින්නෙ ඇයි…මේ දෙන්නට බණින්නකො…මේ දෙන්නනෙ”
“මන්නං ප්‍රකාශ කළේ මගෙ අවංක හැඟීම”
තරුෂි ගාණකට නැතිව කීවා ය.
“මං එයාට වැටිල ඉන්නෙ. ඇයි අවුල්ද..”
අමාරසී ට නැවත ද හයියෙන් සිනහ ගියේ ය. ඇය දෝතෙහි මූණ ඔබා ගත්තා ය. තත්පර කිහිපයකට පසු ඇය අත් දෙක මෑත් කරත්දී ඒ වත රතු වී තිබිණ.
“පිස්සු බං මුන්ට”
කියා ගෙන නිරෝෂන් ද දමින්ද ද එතැනින් ඉවත් ව ඔවුන් ගේ අසුන් බලා ගියහ.
“අයියලට ජෙලස්. අපි උන්ට වැටුන්නැති නිසා”
තරුෂි ගේ කතාව යන්තම් ඇසී නිරෝෂන් නතර ව හැරී බැලුවේ ය.
“නෑ මුකුත් කිව්වෙ නෑ අයිය. යන්න…”
නැවත ද අමාරසී මේසයේ මූණ ඔබා ගෙන සිනහව හංගා ගත්තා ය..
වෙන වැඩක සේ සිටියත් දිසත් ඒ සියල්ල දුටුවේ ය.
එදා සිකුරාදා ය. සෙනසුරාදා ඉරිදා අමාරසී ලා ට නිවාඩු ය. ඒ නිසා සෙනසුරාදා උදේ මනමාලයා ආවේ ය. ඒ ඔහු ගේ මව ද අක්කා හා ඇගේ සැමියා ද සමග ය. ඒ විදිහට අම්මා ගේ අක්කා ගේ ගවුම් සායේ එල්ලී ගෙන මනමාලියක බලන්නට යන කොල්ලෙකු ගැන අමාරසී ගේ හිතේ යොදුන් ගණන් දුරකවත් කැමැත්තක් වූයේ නැත. නමුත් ඇය කැමති කොල්ලා තව ම ඉපදී නැත. එසේ නැතහොත් දැනටමත් ඔහු මිය ගොසිනි. අමාරසී ගේ නංගී පබසරා කියන්නේ එහෙම ය.
මනමාල පාර්ශවය එන්නට පෙර පබසරා සිය බිළිඳු පුතු ද ගෙන මහ ගෙදර ආවා ය. සෙනසුරාදා වී ද ඇගේ සැමියා රැකියාවට යයි. ඔහු ඉරිදා හෝ පෝය නිවාඩුවකටවත් ගෙදර නතර කර ගත නො හැකි ය. නිවාඩු ගත්තොත් අතට එන පඩියෙන් මාසය ගොඩ දා ගත නොහැකි යයි ඔහු කියයි. සතියේ දිනෙක නිවාඩු ගත්තත්, අතිකාල නිසා ඉරිදා නම් ඔහු කිසිදු හේතුවක් මත නිවාඩු නො ගනී.
නිර්මලා කොතෙක් කීවත් අමාරසී මනාලයා ඉදිරියට යන්නට සාරියක් ඇන්දේ නැත.
“උන්දා කැමති සාරි අඳින කෙල්ලෙක්ටනං ටීච කෙනෙක්ව හොයං බඳින්න කියන්න. අද ඇන්දයි කියල මං වෙන දවස් වලට සාරි අඳින්නෙ නෑනෙ”
ඇය මුරණ්ඩු වූවා ය.
“එහෙමයි කියල ඔය කොට කලිසං කෑල්ල ඇඳගෙනද එතකොට ඒ ළමය ඉස්සරහට යන්නෙ…”
“ඌ මට කැමතිනං මේ ශෝටටත් කැමති වෙන්න ඕනනෙ”
“ඌ…”
නිර්මලා ගේ ඇස් වඩාත් ලොකු විය.
“ආ නෑ…එයා…”
අමාරසී බිම බලා ගත්තා ය. පබසරා අම්මා ට ඇසින් ඉඟි කොට ඇය ව කාමරයෙන් පිටත් කරවූවා ය.
“හරි හරි. ඔයා කැමති එකක් ඇඳ ගන්නකො. ඒ වුණාට මෙහෙම වෙලාවකට ශෝටක් මැච් වෙන්නෙ නෑනෙ අක්කෙ”
“මේ…දැං ඔය එන හාදයත් ඕටී කාරයෙක්ද..”
“ආ..”
“නෑ මං ඇහුවෙ…තමුසෙගෙ හබී වගේ…ගෑනි මැරුණත් ඉරිදටයි පෝයටයි ලීව් ගන්නෙ නැති එකෙක්ද…”
“මේ..මන්නං ආයෙ තමුසෙට මගුල් හොයන්නෑ. මොන මගුලක් ද ය කෝ මේ..”
පබසරා ගස්සා ගෙන කාමරයෙන් නික්මුණා ය. අමාරසී සිනහ වෙවී අල්මාරිය ඇර ගවුමක් අතට ගත්තා ය.
මේ සිනහ වී සිටිත හැකි වෙලාවක් ද කියා ඇය ම දන්නේ නැත. නමුත් හඬන්නට වුව හේතුවක් කොයින් ද? තවත් අම්මා ගේ හෝ නංගී ගේ ගැහැනු පපු වලට වද දිය නො හැකි ය. අවුරුදු ගණනක් තිස්සේ ඇල්කොහොල් වලින් බඩ පුරවා ගත් තාත්තා දැන් ශරීර අවයව පවා අක්‍රිය තත්වයට පත් ව තව දුරටත් වගකීම් විරහිත ව මතින් සැනහේ. පබසරා නම් තාත්තා ගැන ඉන්නේ අතිශය කේන්තියෙනි. නමුත් අමාරසී ට එහෙම වෛරයක් දැනෙන්නේ ද නැත. ඔහු බීමතින් විත් අම්මා ගේ අත පය නිල් වෙන තුරු තඩි බානයුරු, ළමා වියේ සිට ම ඇය දැක තිබේ. ඒ වෙලාවට දැඩි ආවේගයකින් කෑ ගැසුව ද ඇය තාත්තා ට ආදරේ ය.
“අම්මගෙ වැරැද්ද…මේ වගේ බේබදු මනුස්සයෙක් එක්ක සිහි කල්පනාව තියෙන ගෑනු කෙනෙක් මෙච්චර කල් ඉන්නවද…මන්නං මට එක පාරක් අත උස්සගෙන ආවනං ඒ අත කඩල දාල ගිහිං දික්කසාද වෙනව”
තාත්තා ගේ බීමත නිසා ගෙදර රණ්ඩු ඇති වෙන රාත්‍රීන් හි ඇය ඕනෑ තරම් ඒ විදිහට අම්මා ට දොස් කියා තිබේ. නිර්මලා ඒ කිසි විටෙක සැමියාට එරෙහි ව නො ගිය ගැහැනියකි. අමාරසී නම් කියන්නේ ඒ පති භක්තිය නොව ආත්ම ශක්තියක් නැති කම කියා ය.
“පොලීසියෙ තියෙනව ළමා හා කාන්තා අංශයක්. මෙහෙම ගුටි කකා ඉන්නෙ නැතුව එතනට ගිහිං පැමිණිලි කරල නීතියෙංවත් සාධාරණයක් ඉෂ්ට කර ගන්න බලන්න”
ආවේගශීලී ව අමාරසී එසේ කියූ වෙලාවක නිර්මලා කළේ යන්තම් සිනහවක් නගා ගන්නා එක ය. අවුරුදු තිහක් තිස්සේ පවුල් කන මිනිහාට එරෙහි ව පොලීසි යනවා කියන්නේ ඇය ට අනුව නම් ආනන්තරීය පාප කර්මයකි.
ලොකු සුසුමකින් පපු කුහරය පුරවා ගත් අමාරසී ගවුම ඇඳ ගත්තා ය. දැනටමත් නොදුටු මනාලයා ට කැමැත්ත දී තිබි නිසාවෙන් හිතේ කිසිදු ගැස්මක්, බියක් හෝ දුකක් වූයේ නැත. ඇය හිත එකලාස කර ගෙන පබසරා එක්ක ම ඉස්සරහාට ගියා ය.
“මේ ඉන්නෙ අපේ අක්ක. රසී…අක්කෙ අර තමයි යොහාන් අයිය”
අමාරසී ඔහු දෙස බලා සිනාසුණේ ය. යොහාන් ද ඇයට සිනහවක් දුන්නේ ය. අමාරසී හෙමි හෙමිහිට, හඬ නො නැගෙන සේ හුස්මකින් පෙනහලු පුරවමින් සිටියා ය. ජීවිතය මේ වාගේ තැනෙක නතර වේවි යි ඇය සිතුවේ ම නැත. නමුත් ඇය නතර වූ පිරිමින් දෙදෙනා ම ඈ හෙවූ ජීවිතය දුන්නේ නැත. නැතහොත් ඔවුන් ළඟ, ඇයට දෙන්නට එවැන්නක් නො තිබිණි.
තේ පැන් සංග්‍රහයෙන් අනතුරු ව ඉස්තෝප්පුවේ පුටු දෙකක වාඩි වී කතා බස් කරන්නට ඔවුන් දෙදෙනා ට සිදු විය. මනාලයා ගේ පෙනුම ගැන කිසිදු ගැටළුවක් නැති බව අමාරසී ට දැනිණ. නමුත් ඔහු වහා හිතට දැනුණේ ද නැත. ප්‍රේමය කියන්නේ එහෙම දෙයකි. මේ මිනිසා ට ප්‍රේම කරන්නට ඇය ට කිසි දා නො හැකි බව අමාරසී ඒ වෙත්දීත් තේරුම් ගෙන සිටියා ය. නමුත් ඔහු ට අකමැතියි කියා කියන්නට තරම් පෙන්වා දෙන්නට හේතුවක් නොමැති බව ද ඇය දැන සිටියා ය.
“ඇයි මට කැමති වුණේ…”
යොහාන් ගේ පළමු ප්‍රශ්නය වූයේ එයයි. ඒ ප්‍රශ්නයට අමාරසී කැමති වූවා ය.
“දැං ඉතිං කාවම හරි මැරි කරන්න වෙන නිසා”
ඇය ඇත්ත ම කීවා ය. ඔහු එයින් රිදෙන්නට ඇති වී ද, ව්‍යාජයක් මත කිසිවකට පදනම දැමිය නො හැකි බව අමාරසී විශ්වාස කළා ය.
“ඒ කියන්නෙ මට කැමැත්තකින් නෙවෙයි…”
හයියෙන් හිනා වෙන්නට අවැසි වී ද සිනහවක් උපන්නේත් නැති තරම ය. කෙසේ වෙතත් මේ තරුණයා ගේ විලාශය, ඇය බලාපොරොත්තු වූ අම්මා ගේ ගවුම් සායේ එල්ලුන මනාලයා ට වඩා තරමක් යහපත් තත්වයක පැවතියේ ය.
“කමක් නෑ.ඉස්සරහට හරි ඔයා මට කැමති වෙන්නයි ඕනෙ. මං හිතනව එහෙම වෙයි කියල”
එය නම් තර්ජනයක් වාගේ ය ඇය ට දැනුණේ. අමාරසී මූණ ඇද කර ගෙන ඉවත බලා ගත්තා ය. ජීවිත කාලය ම එකට ජීවත් වන්නට සිදු වුවත් ඇය ඔහු ට ‘කැමති’ නම් වෙන්නේ නැති බව ඉඳුරා දැන සිටිය ද ඇය ඒ නො කියා සිටියා ය.
ඉරිදා ට ගෝල් ෆේස් යන්නට දිලිනි කතා කළා ය. අමාරසී කැමති වූයේ උඩ පැන ගෙන ය. නමුත් ඉරිදා උදෙන් ම මනමාලයා යතුරු පැදියෙන් අමාරසී බලන්නට ආවා ය.
“ඉරිදානෙ. මං හිතුවා ඔයා එක්ක ටිකක් කතා කර කර ඉන්න පුළුවන් නිසා එන්න ඕන කියල. මැරි කරන්න කලින් අපි ටිකක් හරි අඳුර ගෙන ඉන්න එක හොඳයිනෙ”
“ඒක හොඳයි පුතේ”
නිර්මලා ගේ ඒ කතාවට අමාරසී ඇදෙස බැලුවේ නො පහන් බැල්මකිනි.
“හොඳ වෙන්නෙ කොහොමද..මං දැන් යාළුවෙක් එක්ක ගමනක් යන්නයි හදන්නෙ. අදනං කතා කරන්න බැරි වෙනව යොහාන්”
ඔහු ගේ මූණ ඇද වී ගෙන ගියේ ය. දිලිනි හා ඇගේ සැමියා ද ඔවුන් ගේ පුතනුවන් ද රැගත් මෝටර් රථය අමාරසී කැටිව යන්නට විත් නතර වූයේ ඒ වෙලාවේ ම ය.
“යොහාන්”
රිය ළඟට ගොස් අමාරසී මිමිණුවා ය. දිලිනි යොහාන් වෙතට සිනහවක් පෑවා ය.
“මං යන්නං”
කියා යොහාන් ට කියමින් අමාරසී දිලිනි ලා ගේ රියෙහි පසුපස අසුනට ගොඩ වූවා ය.
“කලින් කිව්වෙත් නෑ එනව කියල..ඔහොම එක පාරටම ගෙවල් වලට කඩං පාත් වෙනවද අප්ප..එයා හිතං ඉන්නෙ දැන්ම මාව එයාට ලියල දීලයි කියලද කොහෙද”
ඇය නො රිස්සුමෙන් කියවූවා ය. අනිත් අතට යොහාන් පව් කියා ද නො සිතුණා නොවේ..ඔහු හා විවාහ වන්නට ඇය කැමැත්ත දී තිබේ. සිය අනාගත සහකාරිය සමග කතා බහ කරන්නට ඔහු පූර්ව වෙන් කර ගැනීමක් කර ගත යුතු නැත.
“අනිත් එක මං කිව්වෙ බඳින්න කැමතියි කියලනෙ. මට කකා කර කර ඉන්න දෙයක් නෑ”
කේන්ති මූණක් හදා ගෙන සිටිය ද අමාරසී ගේ ඇස් වල වූයේ ආත්මානුකම්පාව ට උපන් කඳුළකි.
දිලිනි ගේ සැමියා ඔවුන් ව ගාලු මුවදොර ඇරලවා සිය කටයුත්තක් සඳහා නික්ම ගියේ ය..
“වැඩේ ඉවර වුණොත් එයා පික් කරයි. නැත්තං කැබ් එකක් කෝල් කර ගන්නව”
දිලිනි ගේ ඒ නිදහස් විවාහ ජීවිතයට අමාරසී කැමති වූවා ය. යොහාන් නම් කඩේට යන්නටත් ඈ පසු පස මුරකාරයෙකු සේ පැමිණෙන සැමියෙකු වෙතැයි ඇය අනුමාන කළා ය.
ගාලු මුවදොර පිටියේ හුදෙකලා ව ඇවිදින තරුණයෙකු ගේ රුවක් අමාරසී ගේ නෙත ගැටිණ. ප්‍රශියන් නිල් පැහැති ඩෙනිම් කලිසමකට තුනී සුදු කපු අත් කොට කමිසයක් හැඳ සිටි ඔහු ගේ කමිසයේ උඩ බොත්තම් දෙක තුනක් විවර ව තිබිණි. දෑත් කලිසම් සාක්කු වල ඔබා ගත් හෙතෙම ඇවිද්දේ ඕනවට එපාවට වාගේ ය. අමාරසී ඒ මුහුණ දුටුවේ ඔහු ගේ අනිත් ඉරියව් දෑස් වලින් උරා ගැනීමෙන් අනතුරුව ය.
“මිස්ට දිසත්”
ඇගේ මුවින් ඉතා හෙමිහිට මිමිනිණි. නමුත් ඒ ඉසියුම් හඬ ඇසී වාගේ ඔහු එතකොට ම බැලුවේ ය. තමන් වෙතට ඉක්මන් පියවර තබා එන ඒ කඩවසම් රුව දෙස අමාරසී බලා සිටියේ ඇස් පිය සලන්නට අමතක ව ය.