ඔබ දකින තුරා –7

තාත්තා කියන්නේ මහ බෝ රුකකට ය. ඒ තරම් සිහිලක් හා සෙවනක් තාත්තෙකු ගෙන් දියණියකට ලැබෙයි. එය මෙලොව වසනා වෙනත් කිසිදු ප්‍රාණියෙකු ළඟ දී නො දැනෙන්නකි. අජිත් ගේ ගොරෝසු අතක් අමාරසී ගේ හිස මත තැවරෙත්දී ඇය ඉතා කුඩා අංශු වලට බිඳී විසිරී ගියේ ඒක ය. ඇය ට තවත් අර ශෛලමය ආත්මය නඩත්තු කළ නො හැකි විය. එසේ කරන්නට ඕනෑ වූයේ ද නැත. බලයෙන් යම් යම් දේ නඩත්තු කරන්නට වීම වෙහෙසකි. සමාජ සම්මුතීන් නිසාවෙන් අපට එසේ කරන්නට සිදු වී තියේ. සමාජය අපෙන් එවැනි මායාවන් බලාපොරොත්තු වෙන නිසාවෙනි. නමුත් දෙමාපියන් පාමුල දී කිසි සේත් එසේ කිරීමේ අවශ්‍යතාවයක් පැන නො නැගේ. ඔවුන් ඉදිරියේ අප මුළුමනින් නිදහස් වන බැවිනි. අවංක වීමේ අවස්ථාව සියයට දහස් ගණනකින් ලැබෙන්නට ගන්නා නිසාවෙනි.

“අනේ තාත්තේ…”

ටික කාලයක සිට හිර කර ගෙන හිටි දුක් කන්දක් ගිනි කන්දක් ව පුපුරා, ලාවා සේ හැඟීම් පිටතට ගලා යන්නට වූයේ ය. අමාරසී තාත්තා ගේ උරයකට බර වූවා ය. අජිත් සිය දියණියගේ හිස හෙමිහිට පිරිමැද්දේ ය.

තාත්තා ළඟින් සැර මත් පැන් ගඳක් හැමුවේ ය. ඒ වූ කලී අමාරසී ට දරන්නට ම බැරි දෙයකි. ඇගේ ළමා වියේ සිට ම ඇය ට මේ දේවල් පුරුදු ය. නමුත් තවමත් ඒවා ඉවසිය නො හැකි ය. යම් යම් අවස්ථා වල තාත්තා ගේ අධික මත් පැන් හා දුම් වැටි පාණය ගැන ඇය ගේ ඇතුළේ අරගල කොට තිබේ. විශේෂයෙන් ම ඔහු බීමත් ව ගෙදර එන රැයක අම්මා ට තඩි බාමින් කරනා අමානුෂික හිංසා ගැන ළමා වියේ දී ඈ තුළ වූයේ අසීමිත බියකි. තාත්තා එන්නට පෙර නිදන්නට අමාරසී ට අවැසි විණි. ඇය ඇඳට ගොස් රෙද්දක් හිසේ සිට පොරවා ගෙන ඇස් තද කර ගෙන ඉන්නී ය. නමුත් අප මහත් ඕනෑ කමින් ඉල්ලා සිටින දේවල් ඒ තරම් පහසුවෙන් අප වෙත ළඟා වෙන්නේ නැත. තාත්තා විත් අම්මා සමග රණ්ඩු සරුවල් කර ගන්නා තුරුත් ඇයට නින්ද ගොස් නැත. එතකොට කුඩා අමාරසී අත් දෙකෙන් දෙසවන් තද කොට වසා ගනී.

තාත්තා ගැන යම් යම් අවස්ථා වල නොසතුටෙන් සිතූ බව ඇත්ත ය. විශේෂයෙන් ම ඔහු අම්මා ට දුන් වද හිංසා නිසා ඔහු ගැන ඇගේ හිත අනන්ත වාරයක් කලකිරී තිබේ. නමුත් තාත්තා කෙරේ දුවකගේ හදවතෙහි වන අප්‍රමාණ ආදරය අවු වැසි සුළි සුළං නොව ටර්නාඩෝ නිසාවත් සෙලවී යන්නේ නැත. සියල්ල අතරේ, තාත්තා ට වන අමාරසී ගේ ආදරය නො වෙනස් ව පැවතිණ.

“අකමැත්තෙන් කසාද බඳින්න එපා මගෙ මෝඩ කෙල්ල”

බීමතින් වුව ඔහු විසින් කියනා ලද්දේ මොන තරම් සත්‍ය කතාවක් ද?

“එක එකා බෙර ගැහුවයි කියල අපි නටන්න ඕන නෑ”

“ඒත් තාත්තෙ අම්ම…”

“අම්ම ගින්දරට පනින්න කිව්වොත් පනිනවද…රසී…අම්මට වුණත් දැනෙන්නෙ නෑ…තමුං කසාද බඳින්න ඕන කාවද කියන එක දැනෙන්න ඕන තමුන්ට”

“ඒත්…අම්ම දුක් වින්ද වැඩියි තාත්තෙ. මං නිසාත් අම්ම විඳවන්න ඕන නෑ. මං දන්නව. එක එක්කෙනා අහනකොට අම්මගෙන්..මං බඳින්නෙ නැත්තෙ ඇයි කියල…එයාට දුක ඇති. ලැජ්ජ ඇති. මට බඳින්න කෙනෙක් නැති වුණා කියල අම්මව හැමදාම අසරණ කරන්න බෑ”

“රසී ගෙ හිමිකාරය තාම හම්බ වෙලා නැතුව ඇති. ඒ කෙනාව හැම කෙනාටම එකම වයසකදි හම්බ වෙන්නෙ නෑ රසී. කලබල නොවී ඉමු”

“ඒත් තාත්තෙ අම්ම…”

“අම්ම ගැන මං බලා ගන්නං”

අජිත් බංකුව මතින් නැගිට ගත්තේ ය. ඔහු ගේ හිතට අලුත් හයියක් ලැබුණා මෙනි. විවාහ දිවියට වසර තිහක කාලයක් සපිරී තියේ. නමුත් කිසි දාක බිරිඳ හෝ දරුවන් ඔහු ට එකඟ වී නැත. සවන් දී නැත. අනුබල දී නැත. මුල දී සුළුවෙන් පටන් ගත් බීම ද පහු වෙත්දී වැඩි වෙමින් නරක අතට හැරෙන්නට වූයේ ඒ විදිහට ගෙතුළ දී ම ඔහු ව ප්‍රතික්ෂේප වීම නිසා ය. කිසිවෙකු ඔහු ව ගණන් ගන්නා බවක් නොපෙනෙත්දී අජිත් කළේ වැඩි වැඩියෙන් මත් වෙමින් අවධානය ඔහු වෙත යොමු කර ගන්නට තැත් කළ එක ය. මේ වෙලාවේ දී ලොකු දුව ඔහු ට සවන් දීම හා එකඟ වීම යන කාරණා දෙක මත ඔහු තුළ අමුතු සතුටක් හා ජවයක් ලියලා වැඩෙන්නට ගති.

හිතා මතා ම අජිත් ඒ වෙලාවේ නිර්මලා ට කිසිත් නොකියා හිටියේ ය. ඕවා ගැන කතා කරන්නට ගියේ වී නම් ඔවුන් කියන්නේ මත් පැන් කතා කරනා බවකි. නමුත් මේ වෙලාවේ අන්ත අසරණ වී හිඳිනා රසී වෙනුවෙන් පෙනී සිටිත යුතු යයි අජිත් සතුටු සිතින් සිතා ගත්තේ ය.

“මං කැමති නෑ අර හෝතම්බුවට”

ඔහු එසේ කීවේ උදෑසන කිරි තේ එක බොන්නට කුස්සියට ගිය වෙලාවේ ය. ලහි ලහියේ බත් මුල් වලට කෑම පිසිමින් සිටි නිර්මලා හැරී බැලුවේ ඇස් කුඩා කර ගෙන ය.

“මොන හෝතම්බුවෙක්ද…”

“අර රසීව කසාද බන්දන්න ලෑස්ති කරල ඉන්න එකා”

“ආ. ..මෙන්න වැඩක්”

“ඌ ගල් ආඳෙක්. රසීට එහෙම එකෙක් හරි යන්නෙ නෑ”

“අඩේ. තාත්තට නින්ද ගිහින් තිබිල දැන්නෙ ඇහැරිල තියෙන්නෙ. එහෙනං දූට තක්කෙටම හරි යන කෙනාව අරං එයි දැං ගෙදරටම”

“නිර්මලා මේ…තමුං ඔක්කෝම දන්නවය තමුං කරන ඔක්කෝම හරිය කියල විතරක් හිතං ඉන්න එපා”

“අනේ මේ…තාම ඔය දොඩවන්නෙ ඊයෙ රෑ බීපුව වෙන්නැති. මේං වැන්දා. මෙච්චර කල් හිටියා වගේ මේ ටිකත් පාඩුවෙම ඉන්නවද…අපිට මේක කර ගන්න දීල. නැත්තං මෙතන ඒ මගුලත් කඩල දානවකො”

“ඒ මගුලත් කියන්නෙ…මං තව මගුල් කීයක් කැඩුවද ඕයි”

අජිත් දඩස් ගා කෝප්පය පැන්ට්‍රි කඩඩ් එක මතින් දැමුවේ ය. නිර්මලා එතෙකින් මුව වසා ගත්තේ ඉක්මනින් කෑම ටික උයා බෙදා දිය යුතු නිසාවෙනි.

අමාරසී ගේ හදවත අලුත් සතුටක් අත් විඳිමින් සිටියේ ය. එය බලාපොරොත්තුවක් වාගේ දෙයකි. ගිලෙන්නට යන මිනිස්සු පිදුරු ගස් වලත් එල්ලෙති. නමුත් ඇය යොහාන් හා විවාහ වන්නට එකඟ වූයේ එල්ලෙන්ට පිදුරු ගසක් හෝ නැති කමට නොවේ. මේ කරදරය එතෙකින් වත් කෙළවර විය යුතු ය යන අදහසිනි. නමුත් ඔහුත් එක්ක යා නො හැකි ය කියා දැන් දැන් හදවතේ ඈත කොනක් කෙඳිරි ගාන්නට පටන් ගෙන තිබේ. එසේ වන්නට නියත හේතුවක් නැත්තේ ය. නමුත් පුංචි පුංචි හේතු ගොඩක් නැත්තේ ද නැති ය.

“කවද්ද වෙඩින් එක…”

රාජකාරී අත්සනක් ගැනීම වෙනුවෙන් අමාරසී සිය කුටියට පැමිණි විටෙක දිසත් ඇසුවේ ය. මේ වගේ වැඩකට තත්පර දෙකක් තරම් ගත වෙන්නේ නැත. නමුත් දැන් දැන් ඇය පැමිණි විටෙක ඔහු අත්සන දැමීම සඳහා වඩා වැඩි කාලයක් වැය කරයි. කියෙව්වේ නැතත් ලිපියෙහි ඉහළ පහළ නෙතු දුවවමින් හිඳියි. එය කෙතරම් සදාචාර සම්පන්න දැයි සිතෙන ඇතැම් වෙලාවක වහා රාජකාරිය නිම කොට ඇය පිටත් කොට හරී.

“හොරස්කෝප් බැලුවහම තව මාස තුනකින් තමයි දින දීල තියෙන්නෙ”

“ළඟයිනෙ”

ඔහු විධායක අසුනේ පසු පසට කඩා වැටුණේ අප්‍රාණික ගතියකිනි. අමාරසී දෙතොල් තද කොට සිනහ වූවා ය.

“ඒ කියන්නෙ දැන් ඔයා බිසී ඇති නේ…”

ඇය ඔහු ට නො දැනෙන සේ මුවින් හුස්මක් ගත්තා ය. ඊළඟට ඇයටවත් නොදැනෙන තරම් සිහින් වූ හඬකින් මිමිණුවා ය.

“සමහර විට…ඒක කෙරෙන එකක් නෑ”

දිසත් වහා අසුනේ ඉදිරියට නැඹුරු වූයේ ය. ඔහු ගේ දුකක් දිය වුණු ඇස්, ඇගේ සේද දුඹුරු වරලෙන් වට වූ ඇස් ඇතුළට ම රිංගුවා සේ ය. සතුටක සේයාවක් හොයා ගන්නට ඔහු සමත් විය.

“ඔයා ඒකට කැමැත්තෙන් නෙවෙයිද හිටියෙ…”

දිසත් කලබලයකින් ඇසුවේ ය.

“කෙරෙන එකක් නෑ කිව්වෙ…ඩේට් ෆික්ස් කර ගෙනත් තියෙද්දි…”

“මං හා කිව්වෙ මගෙ කිසිම උවමනාවකට නෙවෙයි මිස්ට දිසත්…අම්මගෙයි නංගිගෙයි වදේට. මං තාමත් මැරි කරන්නෙ නැතුව ඉන්න එක එයාලගෙ හිතට වදයක්”

“ඔයා මාර ළමයෙක්නෙ”

ඔහු ගේ ඇස් වලට ක්ෂණික දීප්තියක් ආවේ ය. හරියට, ඒ කටයුත්ත නොකෙරෙනවා නම් හොඳයි වාගේ සතුටු පුංජයකි එය.

“ඉතිං දැන්…කෙරෙන එකක් නෑ කිව්වෙ…”

“තාත්ත එච්චර කැමති නෑ. තාත්ත දන්නව මං මේ ඔහේ ඉන්නෙ කැමැත්කකින් නෙවෙයි කියල”

අමාරසී නෙත් පියන් බිමට නැඹුරු කර ගෙන සිටියා ය. දිසත් හිතේ හැටියට සිය දෑසින් ඒ සූරියකාන්ත මල විඳ ගන්නට වූයේ ය.

“අමා”

ඇයට ඒ හඬ ඇසුණේ ඈත ඈත ශරදාකාශයේ ආගන්තුක මන්දාකිනියකින්‍ සේ ය. යුවතිය හෙමිහිට ඇස් පියන් පත් විවර කළා ය.

“හිතේ කැමැත්තක් ඇති වෙන්නෙ නැත්තං එයාව මැරි කරන්න එපා”

අසුනත් එක්ක ම එතැන බිම ඇය මිහිදන් වෙමින් යන්නා සේ ය අමාරසී ට දැනෙන්නට වූයේ. ඔහු ගේ මුහුණ දෙස ඇය හොඳින් බැලුවා ය. බොර පැහැ ගැන්වුණ සිහින් දුක්බර ඇස් සේ ම දින කිහිපයකින් නොබෑ රැවුල ද නිසා ශෝක රසයක නිමග්න ව හිඳිනා තරුණයෙකු ඔහු වෙතින් විද්‍යමාන වේ. එය ඔහු ගේ කඩවසම් පෙනුමට අමුතු කාන්තියක් ගල්වන්නේ ය.ඔහු ව මේ තරමට ස්ත්‍රීන් ගේ ඇසට රසඳුණක් වී ඇත්තේත් එනිසාවෙන් විය හැකැයි අමාරසී ට සිතිණ.

“අපි ඔක්කොම මල් කඩල දැම්මත් ජීවිතේට වසන්තය එන එක නතර කරන්න බෑ අමා. ඒ නිසා වසන්තෙට එන්න ඉඩ දීල ටිකක් බලං ඉන්න. එතකොට මල් පිපෙන හැටි බලන්න පුළුවන්”

“මිස්ට දිසත්…”

අමාරසී ගේ දෙතොල් සේ ම ස්වරය ද වෙව්ලා ගියේ ය.

“අත්දැකීමෙන් කියන්නෙ. මං තාම හිතනව ඇයි මං බැන්දෙ කියල…මං එයාට ආදරේ නැතුවත් බැන්දෙ ඇයි කියල. ආදර කතා දෙක තුනක් පහු කර ගෙන ආපු මිනිහෙක් විදිහට…අඩු ගානෙ එයා මට ආදරේ කරනවනෙ කියලයි මට හිතුනෙ. එයාගෙ ආදරෙං අපිට මැරේජ් ලයිෆ් එක මේන්ටේන් කර ගන්න පුළුවන් වෙයිනෙ කියලයි හිතුවෙ. අපි ආදරේ කරන කෙනෙක් ළඟ නෙවෙයි සේෆ්ටි වැඩි අපිට ආදරේ කරන කෙනෙක් ළඟයි කියල කට්ටිය කතාවට කියනවනෙ. ඒ කතාව විශ්වාස කරල මාත් බැන්දෙ. ඒත් අපිට සම්බන්දයක එල්ලිල ඉන්න හිතෙන්නෙ එයා අපි ආදරේ කරන කෙනෙක් වුණොත් විතරයි අමා. එහෙම නැති වුණාම ඒ සම්බන්දෙ තිබුණත් එකයි නැතත් එකයි කියන හිස් තැනට අපි කඩං වැටෙන එක නතර කරන්න බෑ. මැරේජ් ලයිෆ් එකක් එහෙම තැනකට වැටුණහම…ජීවිතේ පඹ ගාලක් වගේ පැටලිලා යන එකයි වෙන්නෙ. කොතනකින් ලිහා ගන්නද කියල හිතා ගන්න බැරුව…”

අමාරසී සිය උගුර ඇගේ අතකින් ම අල්ලා ගත්තා ය. කිසිවක් විචාලිය හැකි වූයේ නැත. එපමණට ම උගුර වියළී ගිහින් තිබිණ. යුග දිවිය තුළ ඔහු සිටිනා තත්වය ගැන මනා චිත්‍රයක් ඇගේ ඇස් ඉදිරියේ මැවී තියේ. ඔහු කොයි තරම් අසරණ ද කියා ඇගේ හදවත ඉකි හඬක් නැගුවේ ය. සිනාසෙන අමාරසී කොහේ කොතැනක සැඟව ගියාද කියා සොයා ගත නො හැකි විය. ඇය හිටියේ සසලව ය. කම්මුලක පේෂියක් ගැහි ගැහී ගියේ ය. දැන් දැන් ඉකි ගැසේවියි කියාත් ඇය ට නො හිතුණා නොවේ. නමුත් ඕ නාඬා සිටියා ය.

“මට වෙච්ච දේම ඔයාටත් වෙන්න දෙන්න එපා”

ඔහු ගේ ඇස් වල තෙතමනයක් දිළිසිණි. හැඬෙන්නට පෙර අමාරසී ෆයිල් එක තුරුලු කර ගෙන නැගී සිටියා ය. කකුලක් ඔසවා තබා ඇවිද යා නො හැකි බවක් දැනිණ. පය පැකිළී ඈ වැටෙන්නට ගියේ ය. වීදුරු බිත්තියෙන් ඒ බව දුටු කාන්තාවෝ ‘ස්’ ගෑහ.

“මං යොහාන්ව බඳින්නෙ නෑ”

අමාරසී කෑම විවේකයේ දී දිලිනි ට කීවා ය. ඇය මුව තුළට දමා ගන්නට ගිය බත් කට නැවත ලන්ච් ශීට් එක මත තබා යෙහෙළිය දෙස බැලුවා ය.

“රසී…”

“තාත්ත කියනව වගේ…ඇයි මං  කැමති නැති කෙනෙක්ව බඳින්නෙ..එහෙම බැඳල විඳවන්න වුණොත්…කසාද ජීවිතයක් ඇතුළෙ විඳවන එක ලේසි නෑ දිලිනි”

එසේ කියත්දී අමාරසී ට සිහිපත් වූයේ දිසත් ගේ තෙත ඇස් දෙක ය.

“දුක් විඳ විඳ එහෙම තැනක එල්ලිල ඉන්නවට වැඩිය හොඳ නැද්ද හැමදාම තනියම ඉන්න එක…”

“ඕක කියන්න පොරොන්දම් ගලපල නැකත් හදනකල්ම හිටියෙ ඇයි බූරුවො…මං කිව්වෙ නැද්ද හා කිව්වයි කියපු දවසෙම…දැං මේ මිණී මැරෙන කතාවක්නෙ කියන්නෙ”

“කැමති විදිහට ජීවත් වෙන්න අයිතියක් නැති ලෝකෙක…මැරෙන එක සනීපයක් වෙයි දිලිනි. මැරුනත් මං යොහාන්ව බඳින්නෑ”

දුර්වල හඬකින් කීවාට එය වූ කලී ස්ථිරසාර ප්‍රකාශයක් වූයේ ය. වෙන දෙයක් වුණාවේ යි අමාරසී හිතා ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles