පරාක්‍රම සේනානායක කියන්නේ නිහඬ මිනිසෙකි. ඒ වගේ අය හැඟීම් මත ක්‍රියා කරනවා අඩු ය. ඔවුන් තීරණ ගන්නේ හදවතට වඩා බුද්ධිය ට ඉඩ දීමෙනි. මනුස්ස කම් වලට වඩා ලාභය ගැන සිතීමෙනි. නො එසේ ව කෝටිපති ව්‍යාපාරිකයෙකු වීම පහසු නැත.
කේෂි වනාහි පරාක්‍රම ගේ එක ම දරුවා වූවා ය. ඔහු රැස් කළ සියල් වස්තුව දවසක හිමි වන්නේ ඇයට බව මුළු ලෝකය ම දැන සිටියේ ය. නමුත් කේෂි ගේ සැමියා වන දිසත් පමණක් ඒ ගැන අබ මල් රේණුවක තරම් සැලකිල්ලක් දැක්වූයේ නැත. විවාහයෙන් අනතුරුව සිය ව්‍යාපාර වලට සම්බන්ධ වන්නට දිසත් ට ඇරයුම් කළ ද, පරාක්‍රම ගේ ආරාධනය හෙතෙම ඉතා සරල ලෙස ප්‍රතික්ෂේප කළේ ය.
“නෑ අංකල්. මං කැමතියි මං කරගෙන ආපු විදිහට මේ ජොබ් එක කරන්න”
සිය එක ම බෑණා වෙනත් ආයතනයක මාස් පඩියට සේවය කරන්නෙකු වීම පරාක්‍රම තුළ සිහින් හීන මානයක් ඇති කරන්නට හේතුවක් විය. නමුත් දිසත් කිසි සේත් සිය අදහස වෙනස් කරන්නට එකඟ නොවිණි.
“ඉඳගන්න දිසත්. මොකද අද මේ පැත්තෙ ම්..මාත් මේ දිසත් ට කතා කරන්න ඕන කියලමයි හිතං හිටියෙ. මේ වීක් එන්ඩ් එකේවත් අපේ ගෙදරදි කතා කරමු කියල මෙසේජ් එකක් තියන්නයි හිටියෙ”
දිසත් පැමිණියේ කුමටද යන ඔහු ගේ ම පැනයට පිළිතුරු දීමට ඉඩක් නො තබා පරාක්‍රම වෙනත් කතාවක් ද කර ගෙන ගියේ ය.
“ඇයි දන්නෑ නේද අංකල්…”
“මේකනෙ පුතා…දැං මං රෙස්ට් කළොත් හොඳයි වගේ. ඔයාට මේ බිස්නස් හැම දේම බාර ගන්න කියන්නයි මට ඕන වුණේ”
දිසත් ගේ කට කොනකට සිනහවක් ආවේ ය. ඇරඹුමේ සිට ම සේනානායක ලා ගේ ධනස්කන්ධයෙන් ඈත් වී හිඳීම ඔහු කළ නැණවත් ම ක්‍රියාව සේ දැන් දිසත් ට දැනේ. කොහොමත් දිසත් යනු ධනය රැස් කිරීමෙන් සතුටු වූ කෙනෙකු නොවේ. ඔහු ට ඕනෑ වූයේ පහසු ජීවිතයක් වෙනුවෙන් මුදල් පමණකි. හරි හම්බ කරනා මුදල් වී ද අවශ්‍යතාවය මත වියදම් කිරීමෙන් ලබනා සතුට, රැස් කිරීමෙන් ඔහු නො ලැබුවේ ය. සිය දෙමාපියන් ට ද සහෝදරයන් ට ද අවශ්‍යතා ඇති ඥාතීන්ට ද උදව් කිරීමෙන් ලද වෙනම ම සතුටක් ද ඔහු ට තිබිණි.
කේෂි ගේ හැසිරීමත්, ඔවුන් ගේ යුග දිවිය ඉහත්තාවේ දැල්වෙනා රතු එළිත් දුටු මුල් යුගයේ දී දිසත් ඒ ගැන පරාක්‍රම සමගින් කතා කළේ ය. කේෂි ගෙන් නීත්‍යානුකූල ව වෙන් වීම කියනා තැනට යන්නට ඔහු ට සිදු වනු ඇති බවට ද අනතුරු ඇඟෙව්වේ ය. නමුත් පරාක්‍රම ඒ අදහස ක්‍රියාත්මක කරන්නට ඉක්මන් නොවන ලෙස කියා බෑණනුවන් ගේ හිත සන්සුන් කළේ ය. ඔහු කේෂි ට අවවාද දී ඇගේ පැවතුම් වෙනස් කරනා බවට පොරොන්දු වූයේ ය. එදා දිසත් අඩියක් යළි පසු පසට ගත්තේ පරාක්‍රම ගැන බලාපොරොත්තු තබා ය. නමුත් දවසකට දෙකකට වඩා කේෂි ගේ වෙනසක් පැවතුණේ නැත. ඇය යළිත් පුරුදු කේෂි ම වූවා ය.
“අංකල් මං ආවෙ…මං කේෂිගෙන් ඩිවෝස් වෙනව කියල කියන්න. ඇත්තටම මට ඕන බිස්නස් නෙවෙයි අංකල්. මං කේෂිව මැරි කළෙත් සල්ලි බලාගෙන නෙවෙයි. ඒත් එයාට කවදාවත් ඕන වුණේ නෑ මාව තේරුං අරගෙන අපි දෙන්නගෙ ජීවිතයක් ගැන හිතන්න. ඇත්තටම දැන් මට මේක ඇති අංකල්”
පරාක්‍රම සිය අසුනේ පසුපසට හේත්තු වූයේ ය. ප්‍රතාපවත් මිනිසෙකු වන ඔහු ඍජු තීරණ ගැන බිය වූ කෙනෙකු නොවේ. නමුත් ව්‍යාපාරික පරාක්‍රම ව පැත්තකින් ම තැබූවොත් දුවක ගේ තාත්තා යන භූමිකාව තුළ මහත් අසරණ හැඟීමක්, දිසත් ඉදිරියේ දී ඔහු ට දැනේ. මුදල් කොපමණ හරි හම්බ කොට තිබුණත් දුවක ගේ ජීවිතය ලස්සනට පිළිවෙල කළ නො හැකි වීම පියෙකු ගේ හදවතට දැනෙනා බරපතල පරාජයකි.
“දිසත්..මං ඔයාට කියලනෙ තියෙන්නෙ. කේෂි තාම සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන්න තමයි ආස. බරක් පතලක් ඇතුව හැදුන ළමයෙක් නෙවෙයිනෙ. ඒත් ඔයා දැනුම් තේරුම් තියන මනුස්සයෙක්නෙ..පොඩ්ඩක් එයාව හදා ගන්න බලන්න”
“අංකල්. දරුවෙක්වනං අරං හදා ගන්න පුළුවන්. හුරතලේට ඇති කරන්න සතෙක් වුණත් අරං හදා ගන්න පුළුවන්. ඒත් ගෑනියෙක්ව අරං හදා ගන්න පුළුවන්ද…”
ඔහු ගේ දෙතොලතර වූයේ අවඥා සහගත සිනහවකි. මාමණ්ඩියට බෑණා දෙස කෙලින් බලන්නට බැරි ලැජ්ජාවක් දැනිණ. ලොව කිසි ම තාත්තා කෙනෙකු දුවක නිසා ඒ තරම් අසරණ නොවිය යුතු ය. ලෝකයේ බොහෝ පියවරුන් ට දුක් විඳින්නට වන්නේ දූවරුන් ගේ ස්වාමි පුරුෂයන් අමන පිරිමින් වන නිසා ය. එක්කෝ ඔවුහු බේබද්දෝ වෙති. බීමතින් තමන් ගේ දූ වරුන්ට පහර දෙමින් අමානුෂික වධ හිංසනයන් ට ලක් කරති. සමහරු සල්ලාලයෝ වෙති. රට වටේ ම වන ගැහැනුන් කරා යමින් ඔවුහු තාත්තලා ආදරයෙන් හැදූ දූ වරුන් ව මානසික වශයෙන් දරුනු අගාධයකට ඇද දමති. බොහෝ පිරිමින් සිය බිරින්දෑවරුන් ට සලකන්නේ නැත. එවන් පිරිමින් අතරේ තමන්ට ලැබුණ බෑණා දේව දූතයෙකු බව පරාක්‍රම හොඳින් ම දනී. කේෂි මේ ඔප්පු කොට පෙන්වන්නට හදන්නේ යක්ෂ විමාන වල දේව දූතයන් ට වැඩ සිටිය නො හැකි බව ද?
“කියන්න පුළුවන් හැම විදිහට ම මං කේෂිට කියල තියෙන්නෙ අංකල්. ෆැමිලි ලයිෆ් එකක් කියන්නෙ විහිළුවක් නෙවෙයිනෙ. සමහර විට අංකල් දකින්නත් ඇතිනෙ මේක”
සිය ජංගම දුරකතනය ගෙන, ගොසිප් සයිට් එකක රස කොට ලියා තිබි ‘කෝටිපති ව්‍යාපාරිකයා ගේ දියණිය ඇමති පුතෙකු සමග පැටලේ’ යන සිරස් තලය දිසත් පරාක්‍රම ට පෙන්වූයේ ය. ඔහු ගේ නළල රැලි නැගිණි. මූණේ මාංශ පේශියක් ගැස්සී ගියේ ය. පරාක්‍රම දිසත් ට නො දැනෙන සේ ලොකු හුස්මක් ගත්තේ ය.
දුවක ගේ දික්කසාදයක් කියන්නේ කෙතරම් ධනවත් වී ද තාත්තා කෙනෙකුට දරන්නට බැරි සිදුවීමක් වී ද තව දුරටත් දිසත් වෙතින් යමක් අයැද සිටීම අසාධාරණ බව පරාක්‍රම ට වැටහිණ.
“යොහාන් රසීගෙ ඔෆිස් එක ළඟට ඇවිත්නෙ හවස”
කුස්සිය පුටුවේ හිඳ උන් අජිත් අතට තේ කෝප්පය දෙන ගමන්, නිර්මලා එතරම් බරක් නොදී සැහැල්ලුවට ඒ පුවත කියා දැමුවා ය. අජිත් ට මේ කතාව නොකියා ඉන්නවා යි මුලදී සිතුව ද, හැංගීම ඔහු ගේ කෝපය අවුස්සනා හේතුවක් විය හැකි බව පසු ව ඇය ට වැටහිණි.
අජිත් බිරිඳ ගේ මූණ බැලුවේ ප්‍රශ්නාර්ථයෙනි. ඇය කොයි දේත් ඔහු ට කියන්නේ බර අඩු කොට බව තිස් වසරක යුග දිවි අත්දැකීම් අනුව අජිත් දන්නේ ය.
“රසීගෙ බොස් කාර් එකෙන් මෙතනට ගෙනත් දාල ගියා. බස් එකට එන අතරෙ මගදි රසීව අල්ලගනී කියල”
“ඒකා එච්චර චණ්ඩියෙක් වෙලාද…”
“හරි හරි ඉතිං. ඔයා කලබල වෙන්නැතුව ඉන්නකො”
“මං ඕකව…දන්නෑ ඌ.. රසීගෙ තාත්ත කවුද කියල”
අජිත් දත් මිටි කෑවේ ය. අමාරසී සිනහ වෙවී මුළුතැන්ගෙට ආවේ එතකොට ය.
“එයාට කෙල්ලෙක් හොයා ගන්නම බැරුවද කොහෙද ඉඳල තියෙන්නෙ. නැත්තං ඉතිං මෙච්චර මගෙ පස්සෙං එන්න මං අයිශ්චර්යා රායි යෑ…අම්ම නංගිට කියන්න එයා ඇඩ්වාන්ස් පේ කරපු සල්ලි මං දෙන්නං කියල. ගාන අහන්නකො. පොලියත් එක්ක දුන්නත් සනීපයි”
“එහෙම කොහොමද..සතයක් දෙන්නෑ ඕකට”
අමාරසී සිනහ වෙවී ඉතා සැහැල්ලුවෙන් කී දේ ට අජිත් ප්‍රතිචාර දැක්වූයේ වෙඩි කෑ වල් ඌරෙකු ගේ බඳු කෝපයකිනි. යුවතිය පියා ගේ උරහිස වටා අතක් දමා ගනිමින් ඔහු ට සමීප වූවා ය.
“ඔය ඉතිං..තාත්ත පොඩි දේටත් කේන්ති ගන්නවනෙ”
“ඌට සල්ලි දෙන්න යන්නෙ…නිකං.. මං පොඩි අඩියක් ගහන්න කීයක් හරි ඉල්ලුවොත් තමයි උඹලගෙ අතේ සතේ නැත්තෙ”
“ඒ ඉතිං ඔයාට ආදරේ නිසානෙ”
අජිත් ට මේ විදිහට ආදරේ පෙන්වන්නේ අමාරසී පමණකි. පබසරා සේ ම රුක්ෂාන් ද පියා ගේ බීමත් කම ගැන පිළිකුළෙන් ඔහු ගෙන් ඈත් වූහ. අජිත් ද සිය දරු තිදෙනා ගෙන් වඩාත් ළෙංගතු වූයේ අමා ට ය. එය ඈ කුඩා කල පටන් ම පියා හා දියණිය අතරේ තිබූ බැඳීමකි. අජිත් බීමත් ව සිටි දාක වුණත් අනිත් දෙදෙනා ඔහු ට දොස් කියත්දී අමා බැලුවේ තාත්තා ගේ හොඳක් දකින්නට ය.
“මීට පස්සෙ රසී උදේට මාත් එක්කයි ඔෆිස් යන්නෙ. මං එතනිං දාගෙන යන්නං”
“ඒක හොඳයි”
අජිත් නිර්මලා දෙස බැලුවේ තරමක පුදුමයෙනි.
“මේ ගෑනි මං කියපු දේකට හොඳයි කියල කිව්වමද කොහෙද”
අමාරසී හඬ නගා සිනහ වූවා ය.
“හවසටත් මං ඔෆිස් එක ළඟට එනකල් ඇතුලට වෙලා ඉන්න ඕන”
“තාත්තට කරදරයිනෙ ඉතිං”
මොන හේතුවක් නිසා ද මන්දා තාත්තා හවසට කාර්යාලය අසලට නාවාට කම් නැතැයි අමාරසී ට සිතිණ.
“ඔෆිස් එකේදි ඉතිං බය නෑ. කට්ටිය ඉන්නවනෙ”
‘කට්ටිය’ යන්න බර කොට කීවාට ඇගේ හිතේ දැවැන්ත ව නැගී සිටියේ දිසත් ය.
“නෑ නෑ පිට මිනිස්සුන්ට කරදර කරන්න ඕන නෑ. මං එන්නංකො එක්කං යන්න”
අමාරසී හෝ නිර්මලා හෝ ඉල්ලීමක් කළේ නැතත් අජිත් පෙර දා ගෙනා බාගේ බෝතලය මේ හැන්දෑවේත් විවර නො කළේ ය. නිර්මලා කෑම පිසුවේ සතුටෙනි. පිට වෙන්නට අවසර නැති මඳහසක් ඇගේ මුවග නළියමින් තිබිණ. අජිත් ආසා නිසා ඇය නයි මිරිස් කපා දමා කරවල බැදුමක් සැදුවා ය. රම්පේ දමා පරිප්පු සුදට පිස සුවඳ හමනට තෙම්පරාදු කළා ය.
“ආව් ආව්”
කුස්සියට ආ අමාරසී අම්මා ගේ සතුටු මුහුණ දැක එසේ කීවාට, ඒ ගැන වැඩිමනත් යමක් නොකියා කරවල බැදුම හැර සුවඳ බැලුවා ය.
සතුටෙන් ඉන්නට මිනිසුන් ට මහා ලොකු දේවල් උවමනා නැත. නමුත් පුංචි දේවල් මගහැර ගෙන අපි සතුට කියා ලොකු ඉලක්ක හඹා යන්නෙමු. නොදැනුවත්ව ම සතුට අපෙන් මග හැරී ඇති බව දැනෙන්නේ පසුව ය.
අජිත් එදාත් මත් පැන් නොබී සිටීම ගැන නිර්මලා සිය සතුට වචන වලින් නොකියා හිටියා ය. නමුත් ඒ සතුට හැඟවෙන බොහෝ පුංචි දේවල් කළා ය. අජිත් ගේ හිසට තෙල් ටිකක් දැමීම ද එවැනි ක්‍රියාවකි.
“අවුරුදු ගාණකින් තෙල් ටිකක් දාල නැතුව ඔළුව කර වෙලා”
“අයියෝ..මොකද්ද අප්ප කළේ..දැං හෙට තෙල් පෙරාගෙන ඔෆිස් යන්නද…”
අජිත් ගේ ඒ නෝක්කාඩුව තුළ ද වූයේ අමනාපයක් නොවේ.
“උදේට නාල යන්න බැරියැ”
නිර්මලා සැමියා ගේ හිස කේ අතර ඇඟිලි යවමින් තෙල් සාත්තුව කළේ හදවත වාන් දමනා සතුටෙනි.
“දැක්ක නේ..කොච්චර සැලකිලිද බීල නැතිකොට…”
අමාරසී සිනහවකින් කීවා ය. අජිත් හිස පිරිමැදෙනා සුවයෙන් ඇස් පියා ගත්තේ දුවගේ මූණ බැලීමේ මඳ ලැජ්ජාවකුත් එක්ක ය.
“අපේ කොණ්ඩෙට ඔයිල් මසාජ් එකක් දෙන්න තමයි කෙනෙක් නැත්තෙ”
ඈ සිය කතාව ඌණ පූර්ණය කළේ නොක්කාඩුවක් ද සමගිනි.
“අපෝ ඔව්. අනිත් දෙන්නම අපිට තොඳොල් වෙවී හිටියෙ නෑ මෙයා වගේ”
“අරූ ආවෙ නෑනෙ අප්ප. අපරාදෙ මං මෙහෙම අමුවෙන්ම නිදියන්නෙ”
“ඔන්න ඔන්න ඉතිං…ඔය මගෙං ගුටියක් කන්න… හොඳේ තාත්තෙ”
ජීවිතය මෙතැනින් වත් බදා වැළඳ ගත යුතු යයි අජිත් ට දැනී නො දැනී ගියේ ය. දරුවන් ඔහු ගේ තුරුලට නාවේ මත් පැන් වල සැර දුගඳ නිසා ය. ඒ මත් වීමට වඩා ආදරයෙන් මත් වීමෙහි වන්නේ සව්මිය බවකි.
උදේ කාර්යාලයට යන්නට සූදානම් ව යහනේ හිඳ ගත් දිසත්, තවමත් නිදන කේෂි දෙස බලා සිටියේ ය. ඔහු ගෙන් සුසුමක් ගිලිහිණි. මේ විදිහට දවස් කීයක් නම් ගෙවී යන ලද්දේ ද? තවත් එවැනි ම දින ගණන් අනාගතයෙනුත් වැය කළ යුතු වන්නේ ද? කිහිප වරක් කතා කොට දිසත් කේෂි ව අවදි කොට ගත්තේ ය.
“ඇයි අනේ මාව ඇහැරෙව්වෙ…”
ඇය දෝතින් ම හිස කේ සකසමින්, තව දුරටත් පියවී ඇති නෙතු වාරු කොට ගනිමින් විචාලා ය.
“කේෂි. මං හිතන්නෙ ඔයා හොඳට ඇහැරිල හොඳට අහ ගත්තොත් හොඳයි. අපි තව දුරටත් මෙහෙම ජීවත් වෙන එක තේරුමක් නෑ. අපි දෙන්නගෙ ම ජීවිත වල හොඳම දවස් නිකං ගත වෙලා යන එකයි වෙන්නෙ. ඔයා ඔයාට ඕන විදිහටයි මං මට ආස විදිහටයි ඉමු. ඩිවෝස් වෙලා”
කේෂි හරියට ම අවදි වූයේ දිසත් ඒ අන්තිම වචන ටික පැවසූ පසුව ය. ඇය නෙතු විදා සැමියා දෙස බැලුවා ය. ඔහු ඇගේ ගමන් වලකා ගෙදර හිර කොට තබන්නට එසේ කියනවායි සිතන්නට ඇය ට ඕනා විය. ඒ විහිළුවක් කියා හිතන්නට ඇය උත්සාහ කළා ය.
“ඔච්චර දුෂ්ට වෙන්න එපා දිසත්..මං ලයිෆ් එක එන්ජෝයි කරන එක ගැන ඔයා ඔච්චර ම ජෙලස් ද…”
“කේෂි. අපි ඩිවෝස් වෙමු”
එවර ඔහු අවධාරණයෙන් කීවේ ය. මඳ වෙලාවක් ඔහු දෙස බලා උන් ඇය ඇඳෙන් බිමට පැන්නා ය.
“නෑ. මට ඩිවෝස් වෙන්න ඕන නෑ”
ඒ මොහොතේ දිසත් ට ඇය ව පෙනුණේ නො මිනිස් ආත්මයක් සේ ය. සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත් වනු වලකන්නට ඔහු ඉදිරියේ රැඟුම් පෑ මාර දූ වරු ඔහු ට සිහි විය.