“ඔයාට ඩිවෝස් වෙන්න ඕන නැති වුණාට මට තවත් ඔයත් එක්ක මෙහෙම ඉන්න ඕන කමක් නෑ කේෂි”
දිසත් එසේ කීවේ සිය කෝපයෙහි කෙළවර දී කෑ ගසා ය. ඔහු ගේ එවන් විලාශයක් ඇය දැක ඇත්තේ ම නැති තරමි. මේ මොහොතේ ඔහු බෙහෙවින් කෝප ගෙන ඇති බව ඇය හැඳින්නා ය.
“දිසත්…ඇයි ඔහොම කතා කරන්නෙ…ඇයි අපි ඩිවෝස් වෙන්නෙ…මට ඔයාගෙංවත් ඔයාට මගෙංවත් වැරැද්දක් වෙලා නෑනෙ”
“හොඳ සිහියෙන්ද ඔය කතා කරන්නෙ…ආ…වැරැද්දක් වෙලා නෑලු. ඔයා එක්ක එක වහළක් යට ජීවත් වුණා කියල වයිෆ් කෙනෙක්ගෙං වෙන්න ඕන මොන යුතුකමද ඔයාගෙං මට ඉෂ්ට වුණේ…මට බත් කටක් උයල කන්න දීල තියෙනවද…තේ එකක් හදල දීල තියෙනවද…ඇඳුමක් හෝදල මැදල දීල තියෙනවද…”
“අයියෝ අනේ…ඔය දේවල් කර ගන්නනං සර්වන්ට් කෙනෙක් හිටියම ඇතිනෙ..වයිෆ් කෙනෙක් ඕන නෑනෙ…”
“මං ළමයෙක් හදා ගන්නත් ඕන සර්වන්ට් කෙනෙක් එක්කද එතකොට…මගෙ දරුවට ඉපදෙන්න දුන්නෙ නෑ. මොන ජාතියෙ ගෑනියෙක්ද කේෂි ඔයා…ඔය විදිහට දිගටම ජීවත් වෙන්න නං ඇයි ඔයා මාව මැරි කළේ…ඇයි මාව මේ වගේ අපායකට ගෙනත් දැම්මෙ….”
දිසත් ගේ හඬ වෙව්ලා ගියේ ය. ඔහු ට තියෙන්නේ ගල් වූ හදවතක් නොවේ. නමුත් දැන් කාලයක් තිස්සේ උත්තරාර්ද්ර ගෝලය තරම් තද ශීතලකින් ඔහු ගේ ආත්මය මිදී ගොස් තිබේ. ඒ පාප කර්මයට වග කිව යුතු වන්නේ කේෂි සේනානායක ය.
“දිසත්…අපිට බබෙක් හදන්න පුළුවන් ළමයො. ඒකට තව කල් තියෙනව. අපි දෙන්නම නාකි වෙලා නෑනෙ”
දිසත් ගේ හිම මිදුණු ආත්මය දිය කර හරිනා හිරු මඬලක් වන්නට දැන් ඉතින් කේෂි ට නුපුළුවන. දිසත් කට කොනකට සිනහවක් නගා ගත්තේ ය.
“දැන් ඕව ගැන කතා කරල වැඩක් නෑ. මං තීරණයක් අරං ඉවරයි කේෂි. ඒ තීරණේ ඔයාගෙ තාත්තටත් ඉන්ෆෝම් කරලයි තියෙන්නෙ. අපි ඩිවෝස් වෙනව”
“නෑ නෑ නෑ. මං ඩිවෝස් එක දෙන්නෙ නෑ. මට ඩිවෝස් වෙන්න ඕන නෑ දිසත්. තේරුං ගන්නකො”
“ඔයාට මේක කිව්වට පස්සෙ තවත් මේ ගෙදර ඉන්න මට බෑ. ලීගල් ඩොකියුමන්ට්ස් රෙඩි වෙනකල් මං හොටේල් එකක නතර වෙනව. මගෙ ඇඳුනුයි පොඩි පොඩි දේවල් ටිකයි මං හවසට ගෙනියනව. ඔයා ඒ වෙලාවට ගෙදර නැති නිසයි මං දැන් කිව්වෙ”
එසේ කිවූ දිසත් රියෙහි රිමෝට් යතුර ද ගෙන නිදන කාමරයෙන් පිට වූයේ ය. ඇඳ ඇතිරිල්ල ඇද දැමූ කේෂි අතට හසු වූ හැම දේම බිම ගැසුවා ය. දිසත් ගෙන් වෙන් වන්නට ඇය ට කිසි දා ඕන වී තිබුණේ නැත!
රිය පදවා ගෙන ගිය දිසත් ගේ හිත යකා ගේ කම්මල සේ අවුල් ව තිබිණ. ඔහු කේෂි හා විවාහ වූයේ අතර මගක දී මෙහෙම වෙන් වී යන්නට නොවේ. ඔවුන් දෙදෙනා අතරේ සජීවී සම්බන්ධයක් නො තිබූ බව ඇත්ත ය. එය වූ කලී නිකං ම නිකං වියළි සම්බන්ධයකි. එහෙම යුග දිවියක් මෙලොව කිසිවෙකුට උවමනා නැත. දික්කසාද නීතියක් මිනිසුන් විසින් ම නිර්මාණය කර ගෙන තිබෙන්නේ එබැවිනි. නමුත් නීතියෙන් වෙන් වන්නට සිතු හැම විටෙක ම දිසත් ගේ හිතේ ඔහු ට ම නොතේරෙන පසු බෑමක් ඇති ව තියේ. එය කෙතරම් වියළි සබඳකමක් වී ද මුළුමනින් අත් හැර දැමීම හිතනා තරම් පහසු නැත. මේ වතාවේ එය වෙන කිසි දා කට වඩා දැඩි පීඩනයක් දනවන්නේ සිය තීරණය ක්‍රියාත්මක කරවන්නට ඔහු තදින් සිතා ගෙන ඇති බැවිනි.
සැබවින් කෙතරම් නො ගැලපෙන්නේ වී ද වසර කිහිපයක් එක ගෙදරක්, එක සයනයක් බෙදා හදා ගත් දෙදෙනෙකු ට දික්කසාදයකින් සදහට ම වෙන් ව යාම යනු පහසු දෙයක් නොවේ. එක අතකට එය ශරීරයේ කොටසක් වෙන් කර දැමීම හා සමාන ය. දිසත් හා කේෂි අතරේ කල් ගත වෙත්දී හිස් තැනක් මිස කිසිවක් ම නොවී ද ඔහු ට මේ තීරණය ගැනීම ඉතා අසීරු ය. නමුත් තව කොයි තරම් කාලයක් කේෂි සමගින් ඔය සබඳකම ඇතුළේ සිටිය ද ඉතිරි වන්නේ හිස් කමක් හා කලකිරීමක් ම පමණකි.
පාරේ ඉඩ ඇති තැනක රිය නවතා ගෙන දිසත් ටික වෙලාවක් හිටියේ ය..ඔහු ට මේ තීරණය පහසු නැත. සියොළඟ ම ගැහෙනවා බඳු ය. නමුත් මේ වෙලාවේ බුද්ධිමත් ව තීරණ ගත යුතු බව ද ඔහු දැන සිටියේ ය.
වෙනදා සේ කාටත් කලින් දිසත් කාර්යාලයට පැමිණ තිබුණේ නැත. අජිත් සමගින් කාර්යාලය දොරකඩට ම පැමිණි අමාරසී, දිසත් ගේ වීදුරු කුටිය දෙස බැලුවේ හොරැහිනි. එහි විදුලි පහන් නො දැල්වී මඳ අඳුරක පැවතිණ.
“ඊයෙ ඉඳල නෑවෙ එහෙම නැතුව ඇති නේද…අත හේදුවෙත් නැද්ද…”
දිලිනි යටැසින් බලා අමුතු හඬ තානයනින් ඇසුවා ය. අසුන් ගත වෙන ගමන් අමාරසී සිය අත දෙස බැලුවා ය. දිලිනි අසනා දේ පසක් වූයේ ඒ වෙලාවේ ය. ඇගේ ඇස් සිය මැණික් කටුව මත රැඳිණි. එහි තවමත්, දිසත් තදින් අල්ලා ගෙන සිටි සංවේදනය පවතින්නා සේ ය.
“ප්‍රශ්න දා ගන්නව වගේ ලේසි නෑ ඒව විසඳ ගන්න කියල ඔය යොහාන් ගෙ කේස් එක නිසා පැහැදිලියිනෙ නේ…ඒ නිසා අලුත් ප්‍රශ්න දාගන්න යන්නෙ නැතුව ඉන්නව හරිද…ඉඟුරු දීල මිරිස් ගන්න කොහොමත් ඕන කමක් නෑ”
අමාරසී පිළිවදන් නොදී සිටියා ය. නමුත් හදවත, තිගැස්ම සපිරි දොඩමළුවක නිරත වූයේ ය. පරිගණක තිරය දෙස බලා උන් ඇගේ ඇස්, දිසත් පැමිණෙත්දී ඔහු වෙත යොමු වූයේ ඔහු එන බවක් කෙසේ දැන ගෙන ද කියා ඇය ම නො දැන සිටියා ය. ඇගේ දෑස් මඳ වෙලාවක් චුම්බක සේ ඔහු වෙත එල්ලී ගෙන තිබිණ.
දිසත් සිටියේ අවුල් සහගත ව ය. කාර්යාලයීය කටයුත්තකට ඔහු වෙත ගිය මොහොතක ඒ ගැන නො විමසා සිටින්නට අමාරසී අපොහොසත් වූවා ය.
“මිස්ට දිසත් ට…කරදරයක් ද…”
ඔහු වහා නෙතු නගා තමන් අභියස හිඳ සිටිනා යුවතිය දෙස බැලුවේ ය.
“නෑ..මිස්ට දිසත් අවුලක ඉන්නව වගෙයි පේන්නෙ. ඒකයි මං එහෙම ඇහුවෙ”
ලොකු හුස්මකින් නිදහස් වූ දිසත් දෑත් මේසය මත නිදහසේ තබා ගෙන ඉදිරියට නැඹුරු වූයේ ය.
“ඇත්තටම මං දුකෙං”
ඇයි කියන ප්රශ්නය තිබුණේ අමාරසී ගේ දෑස් මත ය.
“ජීවිතේ ගැන සමහර තීරණ ගන්න හරි අමාරුයි අමා. අපි සෑහෙන්න අසරණ වෙන වෙලාවල් එනව. කොච්චර ඉන්න බෑ කියල හිතෙන තැනකින් වුණත් යන්න ගියහම තමයි ඒක කොච්චර අමාරු වැඩක් ද කියල දැනෙන්නෙ. මං කේෂි ට කිව්ව අපි ඩිවෝස් වෙමු කියල..මං අද හවස මගෙ බඩු ටිකත් අරං ගෙදරිං යනව කියල. ඒ වුණාට…එහෙම කරනව කියල හිතන තැන මාර ශොක් එකක් තියෙන්නෙ”
ඔහු ගේ ඇස් වල ගැඹුරේ ඈ දුටු ශෝක කලාපය එසේ නම් එයයි! කිව යුත්තේ කවරක් දැයි අමාරසී ට එක වර සිතා ගත හැකි වූයේ නැත. ඇය ද සිටියේ අර ශෝක කලාපය තුළ දෙගිඩියාවේ සැරිසරමිනි. ජීවිතය වූ කලී අප නොසිතනා තරම් සංකීර්ණ වූ සිදුවීම් වලින් ගහන ඉසව්වකි. එය තේරුම් නො ගෙන ඇය ද යොහාන් හා විවාහ වන්නට කැමැත්ත දුන්නා යයි සිතෙත්දී දැන් ඈ හිරි වැටී යයි.
“අපි හිතනව බැන්දට පස්සෙ එකට ඉන්න බෑ වගේනං ඩිවෝස් වෙන්නනෙ තියෙන්නෙ ඒක මහ ලොකු දෙයක්ද කියල. ඒක කොච්චර දරුනු දෙයක්ද කියල දැනෙන්නෙ ඒ ස්ටෙප් එක තියන්න ගියාමයි අමා”
“ඉතිං…ඩිවෝස් නොවී ඉන්න බලන්නකො මිස්ට දිසත්”
ඇය ඒ ප්‍රකාශය කළේ අවංකව ම ය. ඔහු එතැනට පිය නගනු නොහී මේ තරම් හදවතින් විඳවනවා නම්, වඩා වැදගත් වන්නේ විඳවුම් කලාප ජීවිතයේ අවම කර ගැනීම ය. එකට හිඳිමින් නොගැලපීම් දරා ගන්නවාට වඩා වෙන් වෙන එක අසීරු නම්, එසේ නොකොට හිඳින්නේ ඇයි? මේ වෙලාවේ අමාරසී ට ඕන වුණේ ඔහු අව ම වේදනාවක් තුළ දකින්නට ය.
“ඔයාට තේරෙන්නෑ. ඔයා තාම මැරේජ් ලයිෆ් එකකට අඩිය තියල නැති නිසා. වෙන් වෙනවටත් වඩා ඒ විදිහට එකට ඉන්න එක අමාරු වැඩක් නිසා වෙන්න ඇති හුඟක් අය අමාරුවෙන් වුණත් අන්තිමට මේ දේ තෝර ගන්නෙ”
“බයත් හිතෙනව”
අන්තිමට ඇය කෙඳිරුවා ය.
විශෙන් විශ නසනට දිසත් හිත හදා ගත්තේ ය. එකට ජිවත් විය නො හැකිය යන ශෝචනීය සත්‍යය, නීතියෙන් වෙන් වීම නමැති දුෂ්කර ක්‍රියාවෙන් එතෙර කර ගත යුතු ය.
අමාරසී ගේ හිතත් බර වී තිබිණි. එදා ඇය අත්‍යවශ්‍ය ම දේකට මිස දිසත් වෙත නො ගියා ය. පෙර දා සැඳෑවේ වූ සිදුවීම ගැන ද කාර්යාලය තුළ කනින් කොනින් කතා වෙමින් පැවතිණ.
“කොච්චර වැරදිද අර විදිහට මිනිස්සු ඉස්සරහ ගෑනු ළමයෙක්ගෙ අතින් අල්ලපු එක. අනිත් එක ඒ දෙන්න අතරෙ ප්‍රශ්න තිබුණට ඒ කසාද බඳින්න ඉන්න දෙන්නනෙ”
ගීතානි අමාට ඇහෙන්නට ම කීවා ය. දිලිනි දෙස බලා බිම බලා ගත්තා මිස ඇය කිසිත් කියන්නට නො ගියා ය. මිනිස්සු බලනා විදිහ වෙනස් කරන්නට නුපුළුවන. ඔවුන් හිතනා විදිහ වෙනස් කරන්නට ද නුපුළුවන.
“ගීතානි මිස්ගෙ අතින් ඇල්ලුවනං ඔහොම කියන එකක් නෑ”
නිරෝෂන් ගේ කට කැඩුණ කතාවට ගීතානි රවා බැලුවා ය. පිරිස සිනහව තද කර ගෙන සිටියේ අසීරුවෙනි. නමුත් වෙනදාට පුංචි දේට පවා ඕනවාටත් වැඩිය සිනහ වෙන අමාරසී ට සිනහ වෙන්නට මතක් වූයේ නැත.
එදා දිලිනි සමගින් මිදුලට නො ගොස් අමාරසී පඩි පෙළ ඉහත්තාවේ වීදුරු දොර ළඟ නැවතී හිටියා ය. දිසත් ඈ එහි සිටිනු දුටුවත් කිසිත් විමසන්නට ගියේ නැත. අජිත් පඩි පෙළ පා මුල දර්ශනය වෙත්දී ඇය දිව ගෙන පහළට ගියා ය. ඉස්කෝලේ ඇරුණ වෙලාවක ගේට්ටුව ළඟ තාත්තා ව දුටු දැරියක සේ ඕ ඔහු ගේ වැලමිට සන්ධියේ එල්ලුණා ය. සුරූපී යොවුන් දියණියක් සිය අතේ එල්ලා ගත් ආඩම්බර තාත්තා කෙනෙකු ගේ ඉසිහින් සිනහව අජිත් ගේ දෙතොලතර විය.
“කොල්ලො මට විහිළු කරයි. තාත්ත ඔෆිස් එක ළඟට ඇවිත් එක්කං යනව කියල”
ගුරු පාරේ ඇවිද යන ගමන් අමා ඒ කතාව කීවේ අජිත් ආ එක ගැන නො සතුටකින් නොවේ.
“ඒ කොල්ලො තාත්තල වෙනකල් උන්ට ඒක තේරෙන්නෑ”
දිසත් ගේ රිය ඔවුන් අසල නැවතුණේ එතකොට ම ය. සැබවින් මේ අහඹු හමුවක් නොවේ. ඇය යන තෙක් කුරුමානම් අල්ලමින් සිටි ඔහු ඉක්මනට රියට නැගී පැමිණියේ සැලසුම් කොට ය. උසස් පෙළ කරනා යොවුන් වියේ දී කෙල්ලක හඹා ගිය අවධියේ හදවත වූ දඩබ්බර බව නැවතත් ඔහු අත්විඳිමින් සිටියේ ය.
” බය වෙච්ච පාරට අද තාත්තවත් ගෙන්නෝගෙන නේ…”
දිසත් රියෙහි වීදුරුව පහත් කරමින් සිනහ වී විචාලේ ය. අමාරසී තාත්තා ගේ අත තවත් පරිස්සමට අල්ලා ගත්තා ය. අජිත් ගේ මුවග සාඩම්බර මඳහස විය.
“තාත්තෙ මේ මිස්ට දිසත්..අපේ බොස්. ඊයෙ මාව ගෙදරට ඩ්‍රොප් කළේ මිස්ට දිසත්”
“එහෙමද… අනේ තෑන්ක් යූ මිස්ටර්. මේක මේ ගෑනු ළමයෙක්ට තනියම පාරට බහින්න බැරි කාලයක් වෙලානෙ”
“තාත්තත් එක්ක නගින්න අමා. මං ගේ ළඟට එක්කං යන්නං”
“අනේ කරදර වෙන්න එපා මිස්ට දිසත්. අද ඉතිං අපේ හීරෝ ඉන්නවනෙ. බස් එකේ යන්නං”
තාත්තාත් දුවත් දෙදෙනා ම සිනහ වූහ.
“ඒකට මොකද…මං ඉතිං ඒ පැත්තෙං යන එකනෙ. නගින්න අංකල්”
දිසත් රියෙහි ඉදිරි දොර ද විවර කළේ ය. ඉතින් තවත් පෙරැත්ත කරන්නට නො තබා අජිත් එහි නැගුණේ ය. අමා පසු පස අසුනේ හිඳ ගත්තා ය.
“ගෑනු ළමයි පරිස්සං කරන එක ලේසි නෑ නේද අංකල්…”
“කතා කරල වැඩක් නෑ මිස්ට දිසත්. මේ ටිකේ හැන්දෑවට මට අඩියක් ගහන්නත් නෑ මේ කෙල්ල නිසා”
දිසත් හඬ නගා සිනාසුණේ ඉදිරි කැඩපතින් අමාරසී දෙස බලමිනි.
“අපි එහෙම හදන කෙල්ලො සෙල්ලම් බඩු කියලනෙ මුං හිතං ඉන්නෙ”
දිසත් ක්ෂණික දැවීමක් අත් වින්දේ ය. ඔහු ට වහා සිහි වූයේ කේෂි ගේ පියා ව ය. සමාජ හා ආර්ථික තත්වයන් ගේ කවර වෙනස්කම් වී ද තාත්තා කෙනෙකු ට දුවක කියන්නේ මහානර්ඝ වස්තුවකි.
දිසත් විවාහක ද කියා අසන්නට ගිය අජිත්, ඔහු ගේ මුදු ඇඟිල්ලෙහි දිළිසෙන මංගල මුදුව දුටුවෙන් ඒ ප්රශ්නය නාසා සිටියේ ය. ඉදිරි අසුන වෙත අත දිගු කළ අමාරසී තාත්තා ගේ හිස මුදුනේ කෙහෙ රැල් අවුල් කළා ය.
“මිස්ට දිසත් ඊයෙ ලොකු උදව්වක් කරල තියෙන්නෙ. අද හම්බ වුණ එකත් හොඳයි ස්තූති කරන්න”
“අනේ ඒක මොකද්ද අංකල්”
“මං මිස්ට දිසත්ට කිව්ව…තව ටිකකිං තාත්ත එයි ඉන්න කියල..තේ එකක් බීල යන්න. ඒත් හිටියෙ නෑ”
“අද ඉතිං කොහොම හරි තාත්තව හම්බ වුණානෙ”
ඔවුන් ගේ සිව් නෙත්, කැඩපතින් පරාවර්තනය වී නාභි ගත වන අවකාශයේ යම් තැනක දී නැවතත් එක මත එක ගැටිණ.
“ඒ වුණාට අදනං ගෙට එන්න ඕන. නේද තාත්තෙ…අදත් අපිට ලිෆ්ට් එකක් දෙන එකේ..”
“ඔව් ඔව්. අපි දෙන්නට පොඩි ශොට් එකක් වුණත් දාල…”
“ආ නෑ නෑ නෑ”
අමා තාත්තා ගේ කතාවට වහා බාධා කරමින් මැදින් පැන්නා ය. අජිත් හා දිසත් උස් හඬින් සිනහ වන්නට වූහ.
“ශොට් නෙවෙයි. මිස්ට දිසත්ට අම්ම රස තේකක් හදල දෙයි”
අමාරසී ගේ ඇස් දිසත් දෙස බලත්දීත් එහි තරවටුවක් විය.