“පුතා..”
තාත්තාගේ හඬ වඩා සෞම්‍යව පුතුගේ සවනේ හැපිණ.ඔහු නෙත් ඔසවා තාත්තා දෙස බැලී ය.තාත්තා කුමක් හෝ දෙයක් කියන්නට ය.නේහාට රිදුම් නොදෙන්නැයි ඔහු ඉල්ලා සිටින්නට යන බවක් මේඝට දැනිණ.
“ආරණ්‍යා එක්ක ආපහු කතාවට යන්න එපා..”
මේඝ උගත්තේ විදෙස් විශ්ව විද්‍යාලයක ය.එහි උගන්නා කාලයේ දී ඔහුට විවිධාකාර මිතුරන් විය.ලෝකයේ විවිධ රටවල තරුණ ළමයින් සතුව විවිධ ඇබ්බැහිකම් වූ බව තාත්තා දැන සිටියේ ය.නොයෙකුත් මත්ද්‍රව්‍ය ඇබ්බැහිවීම්,ආගමික විශ්වාස,ලිංගික දිශානති ඇති මිතුරන් මේඝ ඇසුරු කළේ ය.ඒ කිසිවෙකු වෙනුවෙන් තාත්තාගේ නීති වැටුණේ නැත.
“තාත්තා.”
ඔහු පුදුමයෙන් හඬ නැඟී ය.ඒ හඬ වඩා පුදුමයකින් ඇලලී තිබිණ.
“ඔයා ඒ දරුවා ආස්සරේ කරනවට මේකලා කැමති වෙන් නෑ.මම හිතන් නෑ ඔයා නේහා අත් අරී කියලා.ඒ දේවල් වුණා නැතා ඔයාට ආරණ්‍යා එක්ක සාමාන්‍ය යාලුකමක් තියාගන්නවත් මේකලාගෙන් ඉඩක් නෑ..”
මේකලා මායාදුන්න මාන්නය සහිත ගැහැනියක බව මේඝට නොසිතේ.එසේ වූව ද ඇගේ දියණිය හිමි කර ගන්නට තමන්ට කිසිම අඩුපාඩුවක් ඇතිදැයි මේඝ සිතී ය.
නේහා! හේතුව එය ය.මේකලාගේ ගැඹුරු නවකතා කිසිවක ප්‍රේමය රැවටීමක් කරගන්නා ගැහැනු හෝ මිනිසුන් සමාවක් නොලබයි.වෙන් වී අන් තැනක බැඳීම මිසක තැනක රැඳෙමින් තව තැනක බැඳීම ඇය අනුමත නොකරයි.තාත්තා ඒවා කියවන බවත් මේකලාගේ දර්ශනය තේරුම් ගෙන ඇති බවත් මේඝට සිතිණ.
“නේහා රණ්ඩු කරයි කියලද?”
මේඝ තාත්තාගෙන් ඇසුවේ ය.ආරණ්‍යාට සමීප වීම පසෙකින් තැබිය යුත්තකි.නුදුරේම කළ යුතු දෙයක් වන්නේ නේහා ජීවිතයෙන් ගලවා දැමීම ය.ඈ කිසිම ප්‍රේමයක් දන්නා කෙල්ලක නොවේ.
“නෑ.ඔයා මහේන් සේනාධීරගේ පුතා නිසා..”
මේඝ තිගැස්සිණ.කුඩා දරුවෙකු කාලයේ මේකලා ලියූ පොතක් නිවසට උස්සාගෙන ආ කුඩා කොලුවාට අම්මා රැවූ අන්දම ඔහු සිහි කළේ ය.නමුත් ඔහුට තනිව ප්‍රහේලිකාව ගලපා ගන්නට සිත නොවේ.එය තාත්තා අතින් පසිඳලන තුරු මේඝ ඉවසී ය.
“මේඝ කියන්නේ මේකලා එයාගේ පළවෙනි පුතාට දාන්න හිටිය නම.එක අතකට එයාගේ පළවෙනි දරුවා ඒ පොතේ ළමයා තමා.මේකලා හැමදේම ලබා ගත්තේ ඒ නිසා..”
තාත්තා කියන කිසිවක් මේඝට නොවැටහේ.මේඝ නම් දරන දරුවන් මේකලාට ලියා එවන ලිපි ඈ ඉඳහිටක රූපවාහිනී වැඩසටහන් වල කියවන අන්දම ඔහු දැක තිබේ.ඒ නම දරුවෙකු දැරීම කෝප ගන්නට තරම් දෙයක් ද?
“මේකලාගෙ මුල්ම ආදරවන්තයා මම පුතා.සමහරවිට අන්තිමයත් මම වෙන්න ඇති.ආරණ්‍යාගේ තාත්තා මේකලාගේ ආරක්ෂකයා මිසක ආදරවන්තයා කියල මං අදටත් හිතන් නෑ..”
තාත්තාගේ ප්‍රථම ආදරවන්තිය අම්මා යැයි සිතන තරමට බොළඳ හිතක් මේඝට නොවේ.ඔහු එවැන්නක් සිතා නැත.තාත්තා හෙටානිද්දා දවසක අම්මාගෙන් නීතියෙන් වෙන් වී වෙනත් විවාහයක් කරගත්ත ද එය මේඝට ගැටලුවක් වන්නේ නැත.නමුත් මේ අගමුලක් සොයන්නට සිතෙන කතාවකි.
“තාත්තා මට මේඝ කියල තිබ්බෙ මේකලා ආන්ටිගෙ පොත නිසාද?”
මහේන් හිස වැනී ය.අනතුරුව ඔහුගේ තොල් මත පිපුණේ හිතුවක්කාර සිනාවකි.
“මගේ පුතාට මම දාන්න ආස නම ඒක නිසා..”
සිදු වූ කතාන්දරය හාරාවුස්සා බැලීම වෙනුවට මේඝට ද සිනා ඉපදිණ.ඔහු තාත්තා දෙස සරදම් සිනාවකින් බැලී ය.
“මට නංගි කෙනෙක් හිටියනම් එයාගෙ නම ආරණ්‍යා වෙනවද?”
එවර මහේන්ගේ සිනාව උස්ව නැඟී ආවේ ය.වඩා උස්ව නැඟෙන සිනාව ගැන විපරමින් ලක්ෂි සඳලුතලයෙන් එබී බැලී ය.නමුත් එතැනට විත් පියපුතු සංවාදයට හවුල් වීමට අකමැති ඈ නැවත කාමරයට වැදෙද්දී මේඝ තාත්තා ඇමතී ය.
“තාත්තේ, ඔයාලා බ්‍රේකප් වුණේ ඇයි කියල මට කියන්න එපා.ඒක ඔයාලගෙ පර්සනල් දෙයක්නෙ.මම ඔයා ගැනවත් මේකලා ආන්ටි ගැනවත් අහිතක් හිතන්න ආස නෑ.මට තාත්තගෙ පැත්තෙන් කතාවවත් මේකලා ආන්ටිගෙ පැත්තෙන් කතාවවත් ඇත්ත කතාවවත් අහන්න ඕන නෑ..”
කිසිවෙකුත් නොදන්නා සත්‍යය මේඝට හෝ පවසන්නට නොහැකි වූ වේදනාවෙන් මහේන් නිහඬ වූයේ ය.මේකලා පවසන කතාවක් තිබේ.ලක්ෂි සෑමතැනම දොස් නඟන කතාවක් ද වේ.අම්මා මිය යන තුරුම විස්සෝප වූ කතාවක් වේ.
සත්‍යය තවමත් දන්නා කෙනෙකු නොවේ.ඇතැම්විට සත්‍යය තමන් සමඟම මියැදෙනු ඇතැයි මහේන්ට සිතිණ.
“ඔයාගේ කැමැත්තක් පුතා..”
මේඝ තාත්තාට තනිව හිඳින්නට ඉඩ හැර නැඟී සිටියේ ය.නමුත් ඔහුගේ සිතෙහි පෙරළි කරන්නක් තිබිණ.අතීතය නිවැරදි කරන්නට තමන්ට අවස්ථාවක් වේ.ආරණ්‍යාගේ තාරකා නෙත් අහස් ගඟ මත හිඳ හිනැහෙන්නාක් මෙන් ඔහුට දැනිණ.