(අ)හිමි සිහින -67

විවාහ වුණා කියලා චමල් පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ.ඔහු හිටියේ නොනවත්වාම සාද පවත්වමින්.නොනවත්වාම යාලුවෝ එක්ක එහෙමෙහෙ යමින්.ඒක වෙනස් කරන්න කියලා ඔහුට මොනතරම් කිව්වත් ඔහු ඒකට ඇහුම්කන් දුන්නේ නැහැ.ඒත් මම ඔහුව වෙනස් කරන්න හැදුවේ සීමාසහිතව.කෙටියෙන් කීවොත් ඔහුට සමලිංගික යාළුවෝ බොහොමයක් හිටියා.ඒත් ඒවාට තහංචි දාන්න මට ඕනෑ වුණේ නැහැ.මම දැනගෙන හිටියා එහෙම නැමියාවක් ඔහුට නැති බව.ඕනෑම මිතුරෙකු ඇසුරු කරන්නට මම ඔහුට ඉඩ දුන්නා.නමුත් සීමාවක් තිබිය යුතුයි.ගෙදරට එන වෙලාව පවා අමතකව බිරිඳ ගැබිණියක බව අමතකව ඔහු ඒ දඟලන ආකාරය මගේ හිතට බොහොම අපැහැදීමක් ඇති කරා.

“ඔයා කොහෙද ඉන්නේ, මොනවද කරන්නේ,කවුද ඔතන ඉන්නේ,දෙන්න බලන්න ඔතන ඉන්න යාළුවෙකුට ෆෝන් එක..”

ආදී වශයෙන් සැමියා එක්ක ගැටුම් ඇති කරගන්න මිතුරියන් මට ඕනෑතරම් ඉන්නවා.නමුත් මට කිසිදවසක එසේ උවමනා වුණේ නැහැ.මම ඔහුගේ ආරක්ෂාව ගැන නම් විමසිලිමත් වුණා.

“ඔයා කොහෙහරි ගියාම ගියා කියලා මට කියන්න.ආපහු එනකොට කියලා එන්න.”

මම ඔහුට ඒ බව කියලා තිබුණා.මට අවශ්‍ය වුණේ එපමණයි.නමුත් චමල් ඒවා වුණත් කලේ ඔහුට මතක් වෙන වෙලාවට පමණයි.දෙකට තුනට ඇවිත් ජනේලයට තට්ටු කරන ඔහු අම්මලාට හොරෙන් ගෙදරට ඇතුළු වෙනවා.

විවාහය තුළ තිබිය යුත්තේ කිසිවක් නොව ආදරයයි.රැකවරණය සහ සොයා බැලීමයි.නමුත් මගේ කලින් විවාහයේ වගේම මේ විවාහයේත් ඒ දේ මට ලැබුණෙම නැහැ.ගැබිණියකට මොනතරම් ආදරයක් රැකවරණයක් සැමියාගෙන් ලැබිය යුතුද? නමුත් චමල් පුදුමාකාර විදියට මාව අතහරින්නට පටන් ගෙන තිබුණා.ඇත්තටම හරියට බැලුවාම ඔහු මාව අල්ලාගෙන හිටියෙත් නැහැ.ඔහු මට ආදරය කරුණාව දක්වන බව මට හරියටම දැනුණේ දියවැඩියා රෝගයට ගොදුරු වෙලා පාදයේ ආබාධයට ලක් වූ මොහොතේ.නමුත් මේ කාලයේ එය දැනුණේම නැති තරම්.

නමුත් මම රැකියාවෙන් අස්ථාවර වුණේ නැහැ.සිංගප්පූරු යන්න පෙර මම රැකියාව කළ ප්‍රමුඛතම සමාගමෙන් ඉවත් වුණත් මට ඒ ආයතනයේ තරගකාරී ආයතනයක රැකියාව ලැබුණා.ඒ ආයතනයේ ඉහළ තනතුරකට මම සුදුසුකම් ලැබුවා.මම මගේ පුංචි කිරිකැටියා කුස තුළ තියාගෙන ආයෙමත් රට වටේ යන්න පටන් ගත්තා.හැබැයි ඒ ගමන් වලට චමල් මාත් එක්ක එකතු වුණා.නමුත් ඔහු මං ගැන සැලකුවේ බොහොම අඩුවෙන්.මා ගැන හොයන එක ඔහු අමතකම කරලා තිබුණේ.මගේ වැටුප ලැබෙනවා.ඔහුටත් මුදල් ලැබෙනවා.අර ණය කොහොම හරි මම ගෙවනවා.වාහනයත් ගෙවමින් තිබුණා.ඒවා නිසා චමල්ට වගකීමක් තිබුණේම නැති තරම්.මගේ බංකු කාඩ් එහෙම අරගෙන මුදල් පරිපාලනය ඔහු කරත් ඒවා වඳුරට දැලිපිහිය ලැබුණා වගේ කාරණාවක් වුණා.තිබ්බ මුදල්වලට වෙච්ච දෙයක් නැතුව ගියා.ඒවා ඉතින් බෝතල්වලටම දිය වෙන්න ඇති කියලා මට හිතෙනවා.ඒත් අර රටවටා සවාරි නිසා අපි සමහර වෙලාවට හොඳින් හිටිය තැන් ද නැතුවාම නෙවෙයි.

ඒත් ගොඩ නැගෙන්න සහ දියුණු වෙන්න ඕනෑ තනියම බව මම දැනගෙන හිටියා! ඒක මහ තනිකමෙන් පිරුණු හැඟීමක්.මහා හිස් හැඟීමකින් මාව පිරිලා ගිය සිද්ධියක් වුණේ ඔය අතරදි! ඒ කතාව ලිව්වට පස්සේ ඔබ මගේ ජීවිතය සම්බන්ධයෙන් අනුකම්පා කරන්න පුලුවන්.ඒ වගේම තමයි හදිසි තීරණයක් ගත්තා කියලා මට බනින්නත් පුලුවන්.

ඒ කතාව හෙට කියන්නම්!!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles