“මොකද මේඝ වෙලා තියෙන්නේ?”
හමුවීම් මඟහරින,ඇමතුම් හැකිතාක් කෙටි කාලයකින් අවසන් කරන මේඝ මුණ ගැසෙන්නට ආ නේහා ඇසුවේ කෝපයෙනි.ඒ කෝපය තමා දවාහළු කරන්නට සමත් බව මේඝට දැනෙයි.නමුත් ඔහු ඉවසීමෙන් ඈ ඇමතී ය.මේවා ගැටුම් ඇති කරගෙන විසඳන්නට අසීරු ය.
“ප්‍රශ්නයක් ඇති වුණාම අපේ අම්මා ඒකට ගාවා ගන්නෙ නැතුව ඇයි ඔයාට ප්‍රශ්නයක් විසඳා ගන්න බැරි..”
නේහා රිය කවුළුවෙන් පෙනෙන කලබල ලෝකය දෙස බලා සිටියා ය.අවම තරමකින් රියෙන් බැස නිස්කලංක තැනකට ගොස් මේ සංවාදය ගෙන යන්නටවත් මේඝට නුවුමනා ය.ඇය ඔහු දෙස බලා සිටියේ කෝපය උතුරා යන ඇස් දෙකකිනි.
“අපි අතරේ අෆෙයා එකක් ඇති කරන්න වැඩියෙන්ම ඕනෑ වුණේ ඔයාගේ අම්මටනෙ.”
මේඝට සිනාවක් ඉපදිණ.අම්මා නේහා ද තමන් ද කුඩාවුන් කාලයේ පටන්ම ළං කරන්නට දැරුවේ සුවිසල් උත්සාහයකි.නේහා එක් දිනක් ආදරය ප්‍රකාශ කරමින් මේඝට බැඳෙන තරමට ඒ සමීප කිරීම දුරදිග ගිය අන්දම මේඝ සිහි කළේ ය.
“මගේ යාලුවෙක් ඉන්නව.එයාගෙ හොඳම යාලුවා එහෙම නැත්නම් හොඳම සහෝදරයා එයාගෙ අම්මගෙ හොඳම යාලුවගෙ පුතා..”
මේ කලබල අතර ඔහු ආරණ්‍යා සිහි කළේ ය.මේඝ දෙස තවත් වියරුවෙන් බලන්නට නේහාට ඒ වචන ප්‍රමාණවත් විය.
“කවුද ඒ මං නොදන්න ගෑනු ළමයා..”
තමන්ගේ ජීවිතයේ නේහා නොදන්නා දේ තිබිය නොහැකිදැයි මේඝ ඇසුවේ සන්සුන්ව ය.නේහා උරහිස් ගස්සා හිනැහුණා ය.
“එහෙම වෙන්න බෑනෙ.ඔයා මගෙ හස්බන්ඩ් වෙන්න ඉන්න කෙනා.ඔයාගෙ හැමදේම මම දැන ගන්න ඕන.”
මේඝ රිය නතර කළේ ය.මේ ජනාකීර්ණ නොවන මාවතකි.ඔහුට කලබල මහා මාර්ගය මඟ හැර මෙතැනට එන්නට උවමනා වූයේ ද නේහාට යමක් පවසන්නට ය.
“මං ඒ යාලුවා ගැන ඔයාට කිව්වෙ ඔය විකාර හොයන්න නෙවෙයි නේහා.ඒ ළමයි දෙන්නා විශ්වාස කරනවා මොන දේටත් වඩා වටින්නේ යාලුකම කියල.මම ඇත්තටම හිතුවා උන් දෙන්නා අෆෙයා එකකට නොයන්නෙ ඇයි කියලා මාරම මැචින්.ඒත් ඕනෑම දුකක් කරදරයක් බෙදා ගන්න පුලුවන් යාලුවෝ වෙන එකයි එයාලගෙ තේරීම.මම තාම හිතනව ඇයි අපිටත් එහෙම ඉන්න බැරි වුණේ කියල.”
නේහා එයට පිළිවදන් නොදුන්නා ය.ඈ ඒ වෙනුවට ටැක්සියක නවතා යන්නට ගියේ සුපුරුදු පරිදි ගැටුමක් අවසන් කිරීමෙන් තොරව ය.ඇයට අවශ්‍ය ගැටුමක් දිගින් දිගටම ඇදගෙන යන්නට ය.එය ඇගේ අම්මා ද මේඝගේ අම්මා ද මැදිහත් කරගෙන විසඳන්නට ය.
“මං හිතුවා නේහාගෙන් බ්‍රේකප් වෙන්න.”
මේඝ එදා රාත්‍රියේ තම තීරණය දෙමාපියන්ට ඉදිරිපත් කළේ ය.කෑම මේසයේ මෙවැනි ප්‍රශ්න කතා කිරීම අයහපත් බව ඔහු දනියි.නමුත් අම්මාත් තාත්තාත් එක්ව හමුවන මොහොත මඟ හැර ගන්නට ඔහුට නොහැකි ය.
“ඔලුව නරක් වෙලාද?”
අම්මා සෑම ප්‍රශ්නයක්ම විසඳීම අරඹන්නේ එහෙම ය.ඉතා තදින් කෝප ගනිමිනි.ඕනෑම ගැටලුවක අනෙකාගේ පාර්ශවයේ කතාව අසා හිඳින්නට ඇයට උවමනාවක් නැත.ඇය ඇගේ තීරණය මුදුන්පත් කරගැනීම වෙනුවෙන් උස් හඬින් කෑගැසීම සෑම මොහොතකම තෝරා ගත්තා ය.
“අපි දෙන්නට එකට ගමනක් නෑ කියලා මට හිතෙනවා.”
මේඝ පැවසුවේ අම්මාට නොවේ.කිසිවක්ම නොපවසා ආහාර ගන්නා තාත්තාට ය.පිය පුතු අතර විශ්වාසනීය බැල්මක් හුවමාරු වූයේ ක්ෂණයකිනි.
“පුදුමතරම් කිට්ටු සම්බන්ධයක් ඔයාලට තිබ්බෙත් නෑනෙ.නේහාත් එක්ක කතා කරන්න.කතා නොකර හේතුවක් නොකියා වෙන් වෙන්න එපා.එකම දේ හරියට හේතුවක් කියල වෙන් වෙන්න..”
මහේන් එසේ පවසද්දී මේඝට පුදුමාකාර සැහැල්ලුවක් දැනිණ.නමුත් ලක්ෂිගේ ආවේගය දෙගුණ තෙගුණ වන්නට පටන් ගෙන තිබිණ
“ඇයි, හරියට තේරුම හොයාගන්න බැරි වුණොත් නේහාත් ජීවිතේම විකාර ලිය ලියා අනිත් මිනිස්සුන්ගෙත් ඔලු නරක් කරයි කියල හිතුවද?”
අම්මා මේ පළ කරන්නේ වෙනත් කෝපයක් බව වැටහුණු මේඝ ඇය දෙස බැලුවේ අසරණ ලෙසිනි.එහෙත් තාත්තා කෑම මේසයෙන් නැගිට ගත්තේ අම්මාට බර අවියකින් ප්‍රහාරයක් එල්ල කරන අතර ය.
“මේඝ,ඔයා නේහාගෙන් අයින් වෙනවනම් ඇත්තටම ඇත්ත කියන්න එයාට.ඔයාට වෙන සම්බන්ධයක් තියනම් ඒකත් කියන්න.ඒ ගෑනු ළමයාට හැමදාටම නේහා ගැන බය වෙවී එයාට බැන බැන ඉන්න ඉඩ තියන්නත් එපා.නේහාට වේදනා විඳින්නත් ඉඩ තියන්න එපා.ඇත්තටම වෙලා තියන දේ කියලා හරියට අයින් වෙන්න.මිනිස්සුන්ට ළං වෙන්න වගේම ඈත් වෙන්නත් අයිතියක් තියනවා.”
ලක්ෂි කළු කරගත් මුහුණකින් සැමියාට රවා බැලුවා ය.මහේන් අහිමි වී කාලයකට පසු තාරකාවක්ව බැබළෙන්නට ගත් ගැහැනියකට ඇය තවමත් වෛර කරන්නී ය.ඇගේ වෛරය තමන්ට හිමි විය යුතු වුව ද තමන් ඈට වෛර කරන කාරණය ලක්ෂිට තවමත් පැහැදිලි නැත.
“ඔයාට එහෙම නේහාගෙන් අයින් වෙන්න බෑ.ඕනනම් බැඳල ඩිවෝස් වෙන්න..”
අම්මා කතා කරන්නේ සිහි බුද්ධියෙන්දැයි මේඝ සිතී ය.