මගේ වෘත්තිය ජීවිතය සම්බන්ධයෙන් ඔබට කියනකොට තමන්ගේ පාර වෙනස් කරගැනීම ගැන,තමන්ගේ සිහිනය කෙසේ හෝ හඹායාම ගැන ධෛර්යය ගත් සහෝදරියන් ඕනෑතරම් සිටියා.මාව පෞද්ගලිකව සම්බන්ධ කරගෙන ඔවුන් ඔවුන්ගේ ගමනට මගෙන් බොහෝ අවවාද ඉල්ලා සිටියා.මගේ වෘත්තීය ජීවිතය සම්බන්ධයෙන් ඔබට සුබවාදී ආදර්ශ ලබා දෙන්න මට පුළුවන්.
“මෙච්චර රැවටෙන මනුස්සයෙක්ගේ කතාවකින් අපිට මොනවද අපේ ජීවිතයට ගන්න පුළුවන්..”
මගේ කතාව කල්පිතයක් නොවන නිසා මේ කාන්තා වෙබ් අඩවියක පල වෙන කතාවක් නිසා ඔබ මගේ පෞද්ගලික ජීවිතය ගැන SmartLady කණ්ඩායමෙන් එහෙම අහන්න පුළුවන්.අසංක සමඟ ජීවත් වූ අවුරුදු හතේ කතාව ගැහැනියක එතරම් ඉවසිය නොයුතු බව ඔබ මගෙන් ඉගෙන ගත් පාඩමයි. සුදාරක සමඟ මට ඇත්තේ සංසාරික ප්‍රේමයක්.ඒ ආදරය තුල කොතැනක වත් මට වැරදීමක් සිදු වුණා කියලා මම කිසිම දවසක විශ්වාස කරන්නේ නැහැ.නමුත් චමල්ගේ ආදරය සහමුලින්ම රැවටීමක් බව ඔබට හිතෙනවා ඇති.
නමුත් මෙය මට පමණක් පොදු කතාවක් නෙමෙයි.මත්පැනට අතිශය ඇබ්බැහි වූ බිරිඳගෙන් බැබළෙන්නට උත්සාහ කරන සැමියෙක් ඔබටත් ඉන්නවනම් ඇත්තටම ඔබට මගේ කතාවෙන් ගන්න දෙයක් ඇති.අහගෙන ඉන්න! අනුරාධා කියන්නේ ලේසියකට පරදින ගෑනියෙක් නෙමෙයි.
ගර්භනී කාලය ආදරේ කරන මුල්ම කාලයටත් වඩා ගැහැනියට ආදරය උවමනා කාලයක්.සැමියා ආදරයෙන් කවන එක බත් කටකට,රිදුම් දෙන සිරුරේ ඔහු ගල්වන වේදනා නාශක වලට ජීවත් වෙන්නට නැවත නැවතත් හේතු සපයන කාරණා එක්රොක් වී තියෙනවා.ආදරයේ මිහිරිම අස්වැන්න කුස තුළ දරා සිටින විට ඒ ආදරේ හිමිකරුවාගේ නිරන්තර ඇල්ම බැල්ම ගැහැනියකට අවශ්‍යමයි.
එහෙත් මගේ කුස තුළ සිටින කලලයට වත් මටවත් ඒ දරුවාගේ පියාගේ ආදරෙන් නොලැබුණු තරම්.
“ඇයි චමල් රෑ වෙනකන් පාටිවලට යන්නෙ.මට දැන් අමාරුයිත් එක්ක..”
මහ රෑ මැද්දේ බඩත් උස්සන් දොරවල් අරින්න යන ගමන් මම අහනවා.ඒත් තමන්ගේ නිදහසට සීමා පනවනවා කියලා චමල් කරන්නේ මාත් එක්ක රණ්ඩු වෙන එක.වෙලාව හවස හතර පහ වෙනකොට චමල්ට අනිවාර්යෙන් බොන්න යන්න ඕනි.ඒ නිසා දවස ගානෙම රණ්ඩු පටන් ගත්තා.
ටික ටික චමල්ගේ හඬ වැඩි වෙන්න පටන් ගත්තා.මට අත උස්සන තරමට ම චමල්ගේ හැසිරීම් දරුණු වුණා.ගර්භනී බිරිඳට ආදරය දෙනවා වෙනුවට අත උස්සන සැමියෙක් ලැබුණාම ඒ වේදනාව ගැන මම ඔබට අමුතුවෙන් කියන්න ඕනෑ කියල මම හිතන්නේ නැහැ.
ඒක මරණීය වේදනාවක්!
ඒ අතර වෙරි මරගාතේ ගෙදර ඇවිල්ලා චමල් නිදා ගත්තම මට දැනෙන්නෙ පුදුම අපහසුවක්.එක්කෝ මහ හයියෙන් ගොරවනවා.නැත්තං නින්දෙන් දඟලමින් මගේ බඩේ අතපය වැදෙන්න සලස්වනවා.පාඩුවේ සැනසිල්ලේ ඉන්න තිබ්බ ජීවිතයකට බලෙන් කරදර දාගත්තද කියලා මං හිතන්න පටන් ගත්තා.
මට ජීවිතය එපාම වෙලා යන අත්දැකීමකට මුහුණ දෙන්න ලැබුණේ ඔන්න ඔය කාලයේදී.මගේ කුසට මාස හයහමාරක් වගේ සම්පූර්ණ වෙලා තිබියදී අපි චමල්ගේ ගමට නෑගම් ගිය දවසක් තමයි ඒ.විශාල බඩකුත් උස්සාගෙන ඒ ගමන ගිය හැටි මට අද වගේ මතකයි.චමල්ගෙ මිතුරෙකුගේ නිවසින් අපට දවල් කෑමට ආරාධනාවක් ලැබුණා.දවල් ආහාර අරන් ඉවර වුණ වෙලාවේ ඉඳන් ඒ මහ දවාලෙම චමල් බෝතලේ ළං කරගත්තා.යාලුවා එක්ක බොන්න පටන් ගත්තේ කිසිම වගවිභාගයකින් තොරව. බිරිඳ ගැබිණියක වුණාට පස්සෙ රැකියාව කරන තැනින් පවා ඉක්මනින් ඔෆ් වෙලා ගෙදර යන මිත්‍රයෝ මට ඕනෑතරම් මුණ ගැහිලා තියනවා.හැමතිස්සෙම ඇයට ඕනෑ මොනවද, අපහසුතා මොනවද, ඇත්තටම කොයිවෙලාවේ හදිසියක් වෙයිද කියලා බිරිඳගෙන් බැනුම් අහන තරමට ඇය ගැන වද වෙන සැමියන් ඕනෑ තරම් මම ආශ්‍රය කරන මිතුරන් ඥාතීන් අතර ඉන්නවා.ඒත් චමල්ට මම ගැබිණියක කියන පුංචි හෝ කල්පනාවක් තිබුණේ නැහැ.
මහා විශාල වරදක් ඔහු මට කළේ අන්න ඒ දවසේ!!