කදෝකිමි ඇස් -29

0
3502
කදෝකිමි ඇස්

“කවුද ඒ?”

මේඝ ගැන සියල්ල අසා සිටි සහස් අසන්නේ නොකැමත්තෙනි.පසුම්බිය නැති වූ දා පටන්ම ආරණ්‍යා ජීවත් වූයේ හොඳ සිහියකින් නොවන බව කියන්නට ඔහු කැමති ය.ඔහුට ඒ නොදන්නා තරුණයා ගැන ඇත්තේ කෝපයකි.ආරණ්‍යා ඔහුට ආසක්තව ඇතැයි සිතීම ම සහස් ට ගෙන ආවේ ඉතා නොපහන් හැඟීමකි.

“එහෙම කොහෙවත් නැති මිනිහෙක් කොහොමද ආරණ්‍යාට කතා කරන්නේ?”

සහස් එසේ අසද්දී නිසලි දෙවුර හැකිළුවා ය.මේඝගේ ෆේස්බුක් ගිණුමේ ඔහු ගැන කිසිවක්ම නොවේ.ඔහු ඒවා ප්‍රසිද්ධියට පත් කර නැත.පිටත පෙනුමෙන් ඔහු සල්ලිකාර පවුලක කොල්ලෙකු බවට සහස් තීරණය කළේ ය.ඊට පසු මේඝ හඹා යන්නේ කෙසේදැයි සිතමින් සැලසුම් අඳින්නට පටන් ගත්තේ ය.

නේහා,පරිපූර්ණ නොවූ ප්‍රේමයක් හන්දා පීඩාවට පත් වී කල්පනාවට වැටී යහනේ පෙරළෙමින් සිටියා ය.ලක්ෂි ආන්ටි බොහෝ වාරයක් ඇයට අමතා ඒ තීරණය වෙනස් කරන්නට බල කරමින් සිටියා ය.

“ඔයා කොහොමද ඒ විදියට ඒ තීරණේ පිළිගත්තේ.ඔයා එක හිතින් ඉන්න..”

ලක්ෂි එසේ කියමින් නේහාට බලපෑම් කරන්නට පටන් ගෙන තිබිණ.එය එසේ කරන්නට දැන් නේහාට හිත නොවේ.මේඝ තමන් පිළිගන්නා බවක් පෙනෙන්නට නැතිනම් ඉවත් වීම තමන් කළ යුතුම නේහා තරයේ සිතමින් සිටියේ ය.

“මේඝ ඔයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ්ද?”

නොදන්නා තරුණයෙකු මැසේන්ජර් පණිවිඩයක් එවූයේ ඒ මොහොතේ ය.ඒ කවුදැයි සිතමින් නේහා මොහොතක් ගෙවා දැම්මා ය.ඊළඟ පණිවිඩය පැමිණියේ ඇයව වඩාත් ප්‍රකෝප කරමිනි.

“එයා දැන් මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක අෆෙයා එකක් තියනවා.”

නැති වූ පසුම්බිය ගැන කතාව සහස් දිග හරින්නට පටන් ගත්තේ ය.නේහා කම්පිතව කෝපයෙන් පෙළෙන්නට වූවා ය.මහේන් අංකල් පවසන අන්දමට ආදරය නොදන්නා මිනිසෙකු ජීවිතයෙන් නික්ම යාම සැබෑවටම අයහපත් නැත.නමුත් ඔහු ඒ නික්මෙන්නේ වෙනත් යුවතියකට ආසක්තව නම් ඒ ගැන දරා ගන්නට නේහාට පහසු නොවේ.

“මට ඒ ගෑනු ළමයට කතා කරන්න ඕන..”

ඇය සහස්ගෙන් ඉල්ලා සිටියා ය.සහස් වහාම ආරණ්‍යාගේ දුරකථන අංකය ඇය වෙත යැවූවේ ය.ෆේස්බුක් ගිණුම ද ලබා දුන්නේ ය.තමන් මේ කරමින් සිටින කාර්යය නිසා ආරණ්‍යාගේ මිත්‍රත්වය පවා තමන්ට අහිමිව යන බව සහස් ට සුළු හෝ හැඟීමක් තිබිණිනම් ඔහු එවැන්නක් කරන්නේ නැත.නමුත් ඔහු සිටියේ දැඩි ඊර්ෂ්‍යාවකින් පෙළෙමිනි.

“ඔයා කතා කරලා ඇත්ත කියන්න.මෙහෙම මිනිස්සු ගැන එයාලා ඇත්ත දැනගන්න එපැයි.”

සහස් ආරණ්‍යා නිවැරදි කරන්නට තැත් කළත් නේහා දෑසින් කඳුළු පනින තරම් හිනැහෙන මුහුණු කිහිපයක් එවූවා ය.ඇය මේඝට වරද පටවන්නට අකමැති ය.වරද ඇත්තේ කමකට නැති කෙල්ලන්ගේ ය.

“මේඝ කියන්නේ අවුරුදු ගාණක් ඇමරිකා හිටිය කොල්ලෙක්.එහෙදිවත් මෙහෙම නොවුණානම් මේක එයාගෙ වරදක් කියල ඔයා හිතනවද?”

සහස් නේහාව තදින් අවුළුවා තැබී ය.නේහාගෙන් හොඳහැටි අසා ගත් පසු ආරණ්‍යා සනසා ඇයට වඩාත් සමීප වීම ඔහුගේ අරමුණ විය.නමුත් නේහා ඇමතුමක් දුන්නේ ආරණ්‍යාට නොවේ.ලක්ෂිට ය.

“ආන්ටි දන්නවද මේකලා මායාදුන්න කියලා ඕතර් කෙනෙක්.?”

ලක්ෂි කැළඹී ගියා ය.ඈ සිටියේම අතීත පාපයක් ගැන බියෙනි.එය නේහා දැනගෙන ඇතිදැයි ඇය කැළඹීමෙන් සිතුවා ය.තමන් සිංහල ලේඛකයන් ගැන කිසිම උනන්දුවක් නැති බව ඇය නේහාට කියා ගත්තේ එනිසා ය.

“එයාගේ දුව එක්ක මේඝගෙ සම්බන්දයක් තියනව”

නේහා එසේ පවසද්දී හදවත වේගයෙන් ගැහෙන්නට වූ හන්දා ලක්ෂි ළය මතින් අතක් තබා ගත්තා ය.මේ සිදුවන දෙය නොසිදුවිය යුතු දෙයකි.නමුත් කරන්නට කිසිත් නොවේ.මේකලා අමතන තරමේ තරහවකින් ඇය ඔබමොබ යන්නට වූවා ය.

නැත! ඒ සිදුනොවිය යුත්තකි.සිදුවන්නට ඉඩ නොතැබිය යුත්තකි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here