පිය ගැට පෙළ නැගෙන්නට පෙර ම පරාක්‍රම ගේ ඇස් හා බැල්කනියේ උන් දිසත් ගේ ඇස් එක මොහොතකට හමු විය. පරාක්‍රම ගේ මුහුණේ වූයේ පශ්චත්තාපයකි. ඇස් වල ගැඹුරේ වූයේ ගැඹුරු දුකකි. හෙතෙම හිස පහලට හරවා ගෙන කිසිදු උද්‍යෝගයකින් තොර අලස ගමනකින් පිය ගැට පෙළ නැග ආවේ ය. ඇවිත් මතු මහලේ දොරකඩ නතර විය.
“අංකල්”
දිසත් මනුස්ස කමින් කතා කළේ ය.
“අයිම් සොරි දිසත්…මට සමා වෙනව”
සිය හිටපු මාමණ්ඩිය ඒ තරම් පරාජිත ඉරියව්වක හැසිරෙනවා දිසත් දුටු ප්‍රථම වතාව මේ විය යුතු ය.
“අංකල් එන්න ඇතුළට. ඉඳගන්න”
මේ ඉන්නේ සිය නඩුවේ විරුද්ධවාදී පාර්ශවයේ පුද්ගලයෙකුයි දිසත් ට නිකමට හෝ සිතුණේ නැත. ඔහු පරාක්‍රම ට අසුන් පනවා තෙමේ ද ඒ යුගල සෝෆාවේ අනිත් පස හිඳ ගත්තේ ය. ඔහු ගේ සරල කුළී නිවසේ අසුනකට කියා තිබෙන්නේ ඒ යුගල සෝෆාව පමණකි.
පරාක්‍රම පැමිණ තිබෙන්නේ මොන විදිහේ හේතුවක් දෝත දරා ගෙන ද කියා අනුමාන වශයෙන් සිතන්නට දිසත් උත්සාහ කළේ ය. ඉතා ප්‍රතාපවත් හා අභිමානවත් පුරුෂයෙකු වූ හෙතෙම මේ වෙලාවේ ශාරීරික හා මානසික වශයෙන් වකුටු වී ඇති ස්වරූපයක් විදහා ලයි. ඒ පෙනුම නිසා ම ආවේ ඇයි කියා අසන්නට දිසත් ගේ හිත ඉඩ දුන්නේ නැත. පරාක්‍රම බිම බලා ගෙන සුසුම් හෙළමින් හිඳ අවසාන වශයෙන් හිස ඔසවා දිසත් දෙස බැලුවේ ය.
“කේෂි ට ඩිප්‍රෙශන් වලට එන්න ඇවිත්”
තාත්තා කෙනෙකුට සිය දරුවෙකු සම්බන්ධයෙන් ඒ තරම් වේදනාත්මක යමක් දැනුම් දීම පහසු නැත. ඒ මොහොතේ ඔහු ගේ ඇස් කෙවෙනි දැවී, ලෝදිය වන් කඳුළකින් නෙතු තෙත් ව ගියේ ය.
“අපි ඩිවෝස් එක දෙනව දිසත්. කිසිම වන්දියක් නඩත්තුවක් ඉල්ලන්නෙ නැතුව ඔයාට ඒක දෙනව. මගෙ දුවගෙං මං නොදැනුවත්වත් ඔයාට සෑහෙන්න වැරදි වෙලා තියෙනව. ඒකට මං අපි හැමෝම වෙනුවෙන් දිසත් ගෙන් සමාව ඉල්ලනව. මට තේරෙනව කේෂිගෙයි වරද. එයා ඔයාට කිසිම විදිහකින් හස්බන් කෙනෙකුට වයිෆ් කෙනෙක්ගෙන් වෙන්න ඕන යුතුකං ඉෂ්ට කරල නෑ. ඒත් ඒ මගෙ දරුවනෙ දිසත්. උසාවියෙදි එයා අවනම්බු විඳිනකොට ලැජ්ජා අපහාස විඳිනකොට මට බලං ඉන්න බෑ. එයත් දැං ඒකෙ උපරිමේකට ඇවිත් ඉන්නෙ. ඒකයි මං තීරණේ කළේ මේ හැම දේම නවත්තල දාන්න. කේෂි ට ඕන වුණත් ඩිවෝස් නොවී ඉන්න…මේ සැරේ මං එයාට ඕන දේ කරන්න දෙන්නෑ. එක අතකට මේව අපෙත් වැරදි. මං දන්නෑ ඒ වැරදි කොයි තරං දුරකට හරිගස්සන්න පුළුවන් ද කියල. හැබැයි තව තවත් මේව පැටලිල අවුල් ජාලයක් වෙන්න නොදී මෙතනිං හරි කෙළවරක් කර ගත්තොත් හොඳයි කියල මං හිතනව. සමහර විට කේෂිට විඳවන්න වෙයි. එයාගෙ හිතත් එක්ක. දැනටමත් මේ අපහාස නින්දා ඔක්කොම එයා කරපු වැරදි වලට ලැබුණ දඬුවම වෙන්න ඇති”
“අංකල්”
දිසත් තව දුරටත් නිහඬ ව නො සිට මැදින් මැදිහත් ව ඒ කතාව ට බාධා කළේ ය.
“ඇත්තටම මටත් කණගාටුයි මේ දේවල් මේ විදිහට සිද්ද වෙන එක ගැන. අපි අතරෙ ප්‍රශ්නයක් තියෙනව තමයි. ඒත් කේෂිට එහෙම සභාවක් ඉස්සරහ අපහාස කරන්න මටත් ඕන වුණෙ නෑ. අංකල්ට මතක ඇතිනෙ අංකල්ව හම්බ වෙලා මං කිව්ව…නඩුව දාන්න කියල. එහෙනං මන්නෙ වැරදි කාරය. කන්ටෙස්ට් කරන්න යන්නෙ නැතුව එහෙනං මං නිකං ඉන්නවනෙ. ඩිවෝස් එකත් වෙනවනෙ. දැං ඉතිං සිද්ද වෙලා ඉවර දේවල් ගැන කතා කරල වැඩක් නෑ”
“ඒක ඇත්ත”
පරාක්‍රම යළිත් දිග සුසුමක් හෙළුවේ ය. දිසත් ට ඔහු ගැන බලවත් කණගාටුවක් දැනිණ. නීතියෙන් ඇති කර ගත් බැඳීම් නීතියෙන් ම කටු ගා දමන්නට පුළුවන. නමුත් හදවත් වලින් උනුන් හා ඇති වන බැඳීම්, නීතියෙන් කටු ගෑවී ගිය ද ඉතිරි වේ.
“මං සුබ පතනව පුතා ඔයාගෙ අනාගතේට. ජීවිතේ මෙහෙම තමයි. සමහර වෙලාවට හොඳම දේවල් ලැබුණත් ඒව හැමදාම අපේ ළඟම තියා ගන්න අපිට හිමි කමක් නැති වෙනව”
පරාක්‍රම දිසත් වැළඳ සුබ පැතුවේ ය. ඒ වෙලාවේ නම් ඔවුන් දෙදෙනා ගේ ම ඇස් වල කඳුළක තෙත විය.
සෙනසුරාදා උදේ ම කඩේ ගොස් අජිත් ඉවුම් පිහුම් සඳහා කලමනා ගෙන ආවේ ය.
“මොකෝ මේ..පඩි දවස නෙවේනෙ අද…ඇඩ්වාන්ස් එකක්වත් අර ගත්තද…”
නිර්මලා විහිළු කළා ය.
“උඹලට මං කන්න බොන්න දීල තියෙන්නෙ පඩි දවසට විතරනෙ…අනේ බං”
එදා දිවා ආහාර සඳහා මෙනුව සැපයුවේ අජිත් ය. චිකන් කරියත්, අල කිරි හොද්දත්, අන්නාසි මාළුවත්, පිපිඤ්ඤා සලාදය හා කට්ලට් බැදුමත් එළවළු බත සඳහා සැකසිය යුතු විය.
“අපි ඔක්කොමල ගෙදර ඉන්න දවස වෙච්චි…කාල බීල සතුටෙන් හිටියහම මොකද…අනිත් එක දැන් ඉතින් අපි හිටියට වඩා ඉස්සරහට ඉන්න කාලෙ අඩුනෙ නිර්මලා. ලැබිච්ච ජීවිතේ සතුටෙන් ජීවත් වෙලා යන එක විතරයි කරන්න පුළුවන්”
“එහෙම යන්න හිතන්න එපා අජී”
නිර්මලා ගේ උගුරේ හිර වීමක් ඇති විය.
“යන දවසක අපිට එකටම යන්න පුළුවන් නං තමයි මං කැමති. ඒත් රසීව පිළිවෙලක් කරනකල් එහෙම දෙයක් ගැන හිතන්න පුළුවන් කමක් නෑ. ඒ නඩුවත් කවදා ඉවර වෙයිද කියල හිතා ගන්න බෑ. ඒ ගැන හිතනකොටත් මටනං පිස්සු වගේ. ඒත් රසී හරිම ඉවසීමකින් ඉන්නව”
“ඒගොල්ලන්ට සැනසීමෙන් ඉන්න පුළුවන් වෙයි නිර්මලා. මට ඒ කොල්ලව විස්වාසයි”
අම්මාත් දුවත් දිවා ආහාර පිළියෙල කළේ සතුටෙනි. කොහොමටත් දැන් අමාරසී ඉතා කුඩා දේවලින් පවා සතුටු වෙන්නට බලයි. ප්‍රේමය කියන්නේ සිතට ළඟ හැඟීමක් වුව සමීප ව එය විඳ ගන්නට ඇය ට අවස්ථාවක් ලැබුණේ ම නැත. ඊටත් වඩා ඒ ප්‍රේමය නිසා විඳ ගන්නට වූ නින්දා අපහාස ආක්‍රෝෂ පරිභව වල පරිමාව අනන්ත අපරිමිත ය. හිත් වේදනා එමෙන් දස දහස් ගුණයකි. එහෙම අවස්ථාවක හිතෙන් නො වැටී සිටීම ඉතා අසීරු වූ කටයුත්තකි. හේතුවක් නැතත් සිනහ වෙන්නට අමාරසී නිබඳ උත්සාහ කළා ය. නිසංසල ගෘහස්ථ පරිසරය තුළ දී සේ ම කාර්යාල පරිශ්‍රයේදීත්, ඒ දෙක අතරේ සැරිසරනා ජනාකීර්ණ හා කලබලකාරී නාගරික වීදි වලදීත් ඇගේ මුවග මඳහසක් නැති මොහොතක් දැකිය නො හැකි තරම් විය. සෙනසුරාදා දවස ප්‍රීතිමත් කරන්නට තාත්තා දැරූ මේ පරිශ්‍රමය ද ඇය ට මහ මෙරක් සරි වූයේ ය. නිර්මලා ව්‍යාංජන වලට මිරිස් පහේ දමන හැටි හිතෙන් මිනුම් කරමින් අමාරසී ඉගෙන ගත්තා ය. දිනෙක දිසත් වෙනුවෙන් ඇගේ අතින් පිසෙනා කෑම වේලක සුවඳින් ඈ හිත පිරී තිබිණි.
අජිත් හිටියේ ඉස්තෝප්පුවේ ය. ඔහු විටෙක අසුන් ගත ව සිටියේ ය. තවත් විටෙක නැගිට සක්මන් කළේ ය.
කේෂි ගේ නීතීඥවරයා තව දුරටත් හබ නො කොට දික්කසාදය සඳහා යොමු වීමට එකඟතාවය පළ කිරීමෙන් පස්සේ, එතෙක් නඩුව සඳහා ගොනු කොට තිබූ සාක්ෂි සහ සියලු කාරණා සලකා බැලීමෙන් පසු විනිසුරුතුමා විසින් නයිසයි ආඥාව නිකුත් කරන ලදී. ඒ ඉදිරි මාස තුනක් සඳහා ය. එම මාස තුන තුළ දී නැවතත් කැමති නම් විවාහය පවත්වා ගෙන යන්නට දික්කසාදය ඉල්ලා සිටිනා දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණිය හැක. නො එසේ වී නම් තෙමසක ඇවෑමෙන් නයිසයි ආඥාව නියත තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත කෙරෙනු ඇත. දික්කසාදය අනුමත වන උසාවි ලියකියවිලි නිකුත් වන්නේ ඉනික්බිති ය.
“රසී..”
කුස්සියේ අහර පිසිමින් උන් අමාරසී,
“තේ ඕන වෙලාද කොහෙද අම්මෙ”
කියා ගෙන නැගී සිටියා ය.
“අනේ මේ…අරුමෝසං කෑම හදන්නයි තේ හදන්නයි දෙකක් දැං කරන්න බෑ කියන්න”
අමා පසු පස නිර්මලා ගේ හඬ ඇදී ආවේ ය. අමාරසී ආලින්දයත් බරාඳයත් අතරේ ඉද්ද ගැසුවා සේ නතර වූයේ දෙනෙත් අදහා ගත නො හැකි ව ය. කලිසම් සාක්කු වල අත් දෙක ඔබා ගත් දිසත් දොරකඩ සිනහ වෙවී සිටියේ ය.
“හරි නරකයි තාත්තෙ ඔයා”
අමාට කියවුණේ එසේ ය. නමුත් ඇගේ ඇස් වල තිබූ හැඟීම ඊට වඩා හාත්පසින් වෙනස් ය. අජිත් හඬ නගා සිනහ වූයේ ය.
“උදේ කතා කරද්දිවත් මට කිව්වෙ නෑ අද එනව කියල”
එවර ඇගේ නෝක්කාඩුව එල්ල වූයේ දිසත් වෙත ය.
“කිය කිය ස’ප්‍රයිස් කරන්න බෑනෙ. නේද අං….තාත්තෙ…”
‘අංකල්’ කියා කියවෙන්නට ගිහින් දිසත් එය ‘තාත්තා’ ලෙස නිවැරදි කර ගත්තේ ය. පරාක්‍රම ව අංකල් කියා ඇමතුවත් අජිත් ට වඩා සුදුසු වන්නේ තාත්තා කියන ඇමතුමයි ඔහු තීරණය කොට තිබිණ.
අජිත් සිය අනාගත බෑණා වෙත විත් ඔහු ව වැළඳ ගත්තේ ය.