කදෝකිමි ඇස් -38

0
3487
කදෝකිමි ඇස්

ආරණ්‍යා සමඟ මුල්ම හමුවට යන්නට හැඳ පැළඳ ගන්නට පළමුව මේඝ බොහෝ වෙලාවක් ඇඳුම් තෝරන්නට වූයේ ය.මෙය කිසිම ප්‍රේමවන්තියක වෙනුවෙන් ඉටු කළ දෙයක් නොවේ.ඔහු සැලකිලිමත්ව හැඩ වැඩ වී කෙල්ලන් දකින්නට නොගියේ ය.ඔහු තුළ ඇති පෞරුෂය කොහොමටත් කැපී පෙනෙන බව මේඝ දැඩි ලෙස විශ්වාස කළේ ය.එහෙත් මේ වෙනස් කතාවකි.ඔහුට හැඟෙන අන්දමට ඔහු සැබෑවටම ආදරයෙනි.

දුරකථනය නාද වූයේ එවලෙහි ය.නොදන්නා අංකයකින් ආ ඇමතුමට මේඝ පිළිවදන් දුන්නේ ය.ඒ ඉම වූයේ ඔහු කිසිසේත්ම අපේක්ෂා නොකළ මිනිසෙකි.

“පුතා,මම ජාලිය.ආරණ්‍යාගේ අප්පච්චි.”

ඒ හඬ නිස්කලංක එකකි.ආරණ්‍යාගේ දුරකථන පසුම්බිය රැගෙන යන්නට මේඝ සොයා ආ දිනයේ මේඝ ඔහු විශේෂ මතකයක තබා නොගත්තේ ය.මේකලා සමහර වැඩසටහන් වලදී බොහෝ ළතෙත් හඬකින් ඔහු ගැන පවසන අන්දම පමණක්ම මේඝගේ මතකයේ විය.නමුත් දැන් මෙතැන ඇත්තේ වෙනස් කතාවකි.

“අංකල්! කියන්න.”

ජාලිය මොහොතක් නිහඬව සිටියේ ය.මේ තරුණයා තවමත් දියණියගේ පෙම්වතාදැයි ඔහු නොදන්නේ ය.නමුත් ඇතිවන්නට යන සම්බන්ධතාවයකට රතු එළි දැල්වීම අප්පච්චි කෙනෙකුගේ අයිතියකි.

“පුතා දවසක් මට මුණ ගැහුණා.ඒත් එදා මම දැනන් හිටියේ නෑ ඔයා මහේන්ගේ පුතෙක් බව.”

ජාලිය පැවසුවේ කතාව ගෙනයන අත සිතමිනි.මහේන් කියන්නේ තමන්ගේ බිරිඳගේ පැරණි පෙම්වතා බව මේ යෞවනයාට පැවසීම සුදුසුදැයි ඔහුට සිතේ.නමුත් මේඝ ඉක්මන් වූයේය.

“එදායින් පස්සෙ තමයි අංකල් මාත් ගොඩක් දේවල් දැනගත්තෙ.”

වේදනාකාරී ප්‍රථම ප්‍රේමයක අමිහිරි මතකය අමතක කරන්නට තම සැමියා නොවන්නට ඉතා අසීරු බව මේකලා ලියා තිබුණේ ඇගේ කෘතියක පිදුමක ය.ඒ වාක්‍ය කිහිපය මතකයේ තිබූ නිසාම ජාලිය තමන් ගැන දන්නා බව මේඝට සහතික ය.

“පුතා,මට දැනගන්න ඕන එදා ඔයාලාගේ අහම්බ මුණ ගැහීම ගිහින් තියන දුර?”

ඒ ප්‍රශ්නය අසන්නේ තාත්තා කෙනෙකි.ආරණ්‍යා සහ තමන් විශාල ගමනක් ගොස් නොමැත.ආදරය සහ සෙනෙහස හද තුළ තබාගෙන තවමත් මිත්‍රත්වයකින් පසුවන තමන් ගැන සත්‍ය පැවසිය යුතු ය.

“අපි හොඳ යාළුවෝ අංකල්..”

ඔහු එසේ කියද්දී ජාලිය හිනැහිණ.දියණියක කියව ගන්නට තාත්තා කෙනෙකු තරම් සමතෙකු තවත් නොවේ.ආරණ්‍යා අම්මාට සමීප වුවද ජාලිය ඇගේ ඇහි පිල්ලමක වෙනස පවා තේරුම් ගත්තේ ය.ඇය ඔහුට සදාකල් කුඩා දැරියකි.දරු සිහිනය අතැර දමා සිටි කාලයක ඈ අහම්බයකින් පිපී තිබූ දවස ඔහු කිසිදා අමතක නොකරයි.එදා සිටම ජාලියට ඕනෑ වූයේ දුවකි.පුතෙකු ඕනෑ බව කියමින් ස්කෑන් පරීක්ෂණයේදී තදින් ඇස් වසා සිටි මේකලා ඇස හැර බැලුවේ ජාලියගේ පිරුණු සිනාව දෙස ය.ආදරය නිසා තමන් අප්පච්චිට බොහෝ වේදනා දුන් හන්දාම මේකලාට දියණියන් නුවුමනා විණි.

“දුවෙක් කියන්නේ හුළඟටත් බය වෙන කෙනෙක්.”

එදා ඈ වෛද්‍ය කාමරයෙන් ශෝකයෙන් පැවසුවා ය.

“එයා ආරණ්‍යා කෙනෙක්.එයා තමයි අපේ ජීවිතවල සැනසිල්ල.”

ජාලිය සිතූ පරිදිම ආරණ්‍යා අම්මා අලුතින් නිර්මාණය කළා ය.අතීත සැඩකුණාටු අමතක කරමින් මේකලා වඩවඩාත් ජාලියට බැඳුණේ ආරණ්‍යා නිසා ය.ඒ ආදරය නිසා ය.එහෙව් සිනාවකට කඳුලක් වන්නට ඉඩ තැබීම ජාලියට කළ නොහැකි ය.ඔහු මහේන්ට අමතන්නට සිතුවේම ඒ නිසා ය.

“සිංහයාගේ පැටියා සිංහ පැටියෙක් පුතා.නයාගේ පැටියා නයි පැටියෙක්.හාවාගෙ පැටියා හා පැටියෙක්.ඒවා ලෝක දහම.”

මේඝ මොහොතක් නිහඬව සිටියේ ය.අනතුරුව ඔහු හඬ අවදි කළේ ය.තාත්තා වෙනුවෙන් නොවේ.ඔහු වෙනුවෙනි.තාත්තාගේ අතීතය වෙනුවෙනි.

“අංකල්, අතීතය ආයේ වෙන්න නොදී ඉමු කියලානම් අංකල් කියන්නේ මං අංකල්ගෙන් ප්‍රශ්නයක් අහන්නද? අංකල් තවමත් විශ්වාස කරන්නේ අපේ තාත්තාගේ වරද විතරමද?”

මේකලාගේ සමහර හැසිරීම් තුළ ඈ සම්බන්ධතාවයක් තුළ විෂ සහිත වන ආකාරය ගැන ජාලියට නොදැනුණා නොවේ.මහේන්- මේකලා කතාව බිඳී යා යුතු නොවූ එකක් බව ඔහුට සිතෙන්නට වී බොහෝ කල් ය.

“අංකල්, මම ආරණ්‍යාට ආදරෙයි.ආරණ්‍යා ඒ කතාව තාම දන් නෑ.එයා මට ආදරේ වුණොත් මං පොරොන්දු වෙනවා එයාට කවදාවත් මේකලා ආන්ටි වින්ද වේදනාව නොදී ඉන්න.අංකල් කවදාවත් මේකලා ආන්ටිගේ තාත්තා වගේ දුක් විඳින් නෑ.අතීතය ආයේ ආයේ වෙන්නේ නෑ අංකල්.අපි මිනිස්සු.”

මේ වැදගත් තරුණයාගේ දැක්ම ගැන ජාලියට ඇති වූයේ සතුටකි.ඔහු මහේන්ගේ අතීතය වර්තමානයට නොගෙන එන බව ජාලියට සිතිණ.දියණිය දැනගන්නටත් පෙර ඇයට පවතින ආදරය ගැන තමන්ට හෙළි කරන්නට තරම් ඔහුට තිබු කශේරුකාව ගැන ජාලියට සිහින් සතුටක් ඇති විණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here