ඔබ දකින තුරා – 24

අජිත් පොලිස් ස්ථානය ට ගොඩ වූයේ හිතේ චකිතයක් නැතිව නොවේ. ඔහු තුළ නොයෙකුත් මනස් රූප හොල්මන් කරමින් තිබිණි. අමාරසී ට එරෙහි ව පොලීසියේ පැමිණිල්ලක් දමන්නට සිටින්නේ කවුද? යොහාන් ද? කේෂි ගේ රුව මහත් භයංකර ලෙස අජිත් ගේ මනසෙහි නැගී සිටියේ ය. ඇය ගෙදොරකඩට විත් කෙල්ලට චෝදනා කර ගිය විලාශය ඔහු ට මතක ය. දිසත් කී කාරණා අනුව සේ ම එදා ඇය ව හැබැහින් පෙනුණ ස්වරූපය අනුව ඇය සාමාන්‍ය කෙල්ලක නොවේ. ඕනෑ ම විදිහේ පළි දැරීමක් කළ හැකි ගැහැනියකි.

නානාප්‍රකාර ගැහැනු පිරිමි පොලීසියේ සුළු පැමිණිලි අංශය තුළ ඔබ මොබ සරමින් සිටියහ. අජිත් සිය කාර්යාල බෑගය උකුල මත තියා ගෙන බිත්තිය අයිනේ තබා තිබූ දිගු ලෑලි බංකුවක් මත හිඳ ගත්තේ ය. ඒ බංකුවේ ම අනිත් කෙළවර හිඳ උන් යොහාන් නැගිට පොලිස් නිලධාරියෙකු වෙත යත්දී ය අජිත් ගේ හිතට සැනසිල්ලක් දැනුණේ. කේෂි ගේ චෝදනාවකින් අමාරසී ගේ හදවතෙහි ඇති විය හැකි තුවාලය වඩා නරක ය!

යොහාන් පොලිස් නිලධාරියා සමග කතා කොට අජිත් පෙන්වූයේ ය. නිලධාරියා ගේ තියුණු ඇස් මඳකට අජිත් වෙතට යොමු වී තිබිණ. වසර ගණනාවක් තිස්සේ හැන්දෑකරේ බීමත් වූව ද කාර්යාල කාල වේලාව තුළදී අජිත් ගේ පෙනුම වැදගත් ය.

“ඔය මහත්තයගෙ දුව ඇවිත් නැද්ද..”

නිලධාරියා හඬට සැරක් එක් කර ගන්නට තැත් කරමින් කතා කළේ ය. අජිත් බෑග් එක එකතකින් ගෙන නැගී සිටියේ ය.

“දුව ඔෆිස් ගිහිං සර්. වයිෆ් කෝල් කරල කියනකොට මාත් හිටියෙ ඔෆිස් එකේ”

“මේක ගැන ඕඅයිසී මහත්තය කතා කරයි”

ඔහු සැර කොට ම කියමින් නැගිට්ටේ ය. යොහාන් ගේ මුහුණේ ඇඳුණේ ජයග්‍රාහී සිනහවකි. කිසිදු හැඟීමක් නො ලියවුණ වත හරවා අජිත් යොහාන් දෙස බැලුවේ ය. ඔහු ඉවත බලා ගෙන පොලිස් නිලධාරියා සමගින් ස්ථානාධිපති කුටිය දෙසට පය ඉක්මන් කළේ ය.

“තමුං කවුද..”

ඕඅයිසී මහතා ගේ බැල්ම දැඩි විය.

“අමාරසී ගෙ තාත්ත සර්”

“දන්නවද මේ පැමිණිල්ල මොකද්ද කියල..”

“හරියටම දන්නෙ නෑ සර්”

“හරියටම දන්නෙ නෑ…මේ මනුස්සය කියන කතාව ගැන දන්නෙම නැද්ද…තමුංගෙ දුව මෙයාව බඳින්න කැමති වෙලා ඉඳල සේරම වැඩ ඉවර වුණාම බෑ කිව්වලු. මේව පුද්ගලික කාරණා වුණත් පොලීසියෙ පැමිණිල්ලක් ලියවුණොත් අපිට සිද්ද වෙනව ඒක විභාග කරන්න. මිස්ටගෙ දුව කරල තියෙන වැඩේ හරි නෑ නේද…කෝ එයා මෙතනට ඇවිල්ලත් නෑ”

අජිත් හෙමිහිට හඬ බුරුල් කර ගත්තේ ය.

“සර් මේක යෝජනාවක්. මනමාලයගෙ පැත්තෙං යෝජනාව ගෙනා වෙලා දුව බඳින්න කැමැත්ත දුන්නා. ඒත් මීට කලින් දන්න අය නෙවෙයිනෙ සර්. දවසක් දෙකක් ආශ්‍රය කරනකොට අපේ ළමයට නෙවෙයි අපිට වුණත් තේරුණා මෙයා එයාට ගැලපෙන්නෙ නෑ කියල. ඉතිං එහෙම දැනුණ ගමන් අපි මෙයාට කිව්ව ඒ විවාහය වෙන්නෙ නෑ කියල. ඉතිං ඕන කෙනෙකුට එහෙම තීරණයක් ගන්න අයිතියක් තියනවනෙ සර්…කසාද බැඳලත් දික්කසාද වෙන්න පුළුවන් එකේ…”.

“ඒ වුණාට මිස්ට දන්නවද…විවාහ පොරොන්දුවක් කඩ කිරීමත් නීතියෙන් දඬුවම් ලබන්න පුළුවන් වරදක්”

“ඒත් සර් ඒ විවාහයට ලිඛිත පොරොන්දුවක් දීල තියෙනවනංනෙ. අපි එහෙම දෙයක් කරල නෑ. අනික මේක දවස් කීපයක් විතරක් තිබුණ ඇයි හොඳයියක්. පොලීසි උසාවි ගිහිං තමුන්ට අකමැති කෙනෙක්ව බලෙං කසාද බැඳ ගන්න පුළුවන් කියල මං හිතන්නෙ නෑ සර්. අපි කසාද බඳිනව කියල ලිඛිත පොරොන්දුවක් දීල නැති නිසා මං හිතන්නෙ අපිට විරුද්දව නඩු කියන්න පුළුවන් කමකුත් නෑ”

අජිත් කියන්නේ නීතිය නො දන්නා මිනිසෙකු නොවන බව දැනෙත්දී යොහාන් ගේ මුහුණ අඳුරු වී ඇද වී යමින් තිබිණ.

“ඒක ඇත්ත මිස්ටර්. ඒත් පැමිණිල්ලක් තියනකොට ඒක විභාග කරන එක අපේ රාජකාරියනෙ. මේ  තරුණ මහත්තයට දැන් තේරෙනව ඇතිනෙ. මේක දුර දිග ගෙනියන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. නඩු දැම්ම වුණත් ඒක මුදලුයි කාලයයි නහස්ති වෙන වැඩක්. නීතිය ඉල්ලන ලිඛිත පොරොන්දුවක් මේ මහත්තය ළඟ නැති එකේ…ඔය පුංචි පුංචි දේවල් අත් ඇරල ඉස්සරහ ජීවිතේ අර්ථවත් කර ගන්න එකයි වැදගත් කියල හිතුවොත් නරකද..අනික මනමාලිගෙ පැත්තෙන් කියනවනං එයාලට මේ මහත්තයව ගැලපෙන්නෙ නෑ කියල..ඒක ලොකු සම්බන්දෙකුත් නෙවෙයිනං…අත්ඇරල දාල තමුන්ට ගැලපෙන කෙනෙක් හොයා ගන්න එක නේද හොඳ.. “

“මෙයා දුවගෙ ඔෆිස් එක ළඟටත් ඇවිත් කරදර කරල තිබුණා සර්”

“එහෙමනං ඒ ගැන පැමිණිල්ලක් දාල තියන්න. තමුන්ට තේරුණා නේද…ගෑනු ළමයින්ට එහෙම බලපෑම් කරන්න බෑ. ආයෙ එහෙම දෙයක් වෙලා තිබුණොත් තමුන් ගැන අපි බලා ගන්නව. හොඳයි දැන් යන්න පුළුවන්”

ඒ ප්‍රශ්නය ඒ විදිහට කෙලවර වීම හොඳ යයි ආපසු එන ගමන් අජිත් ට සිතිණ. පොලීසියට ගොස් කීයට පැමිණිය හැකි වේ දැයි නො දන්නා නිසා ඔහු එදා නිවාඩුවක් දමා ආවේ ය. අජිත් ගෙදර එන තුරු නිර්මලා බලා උන්නේ නො ඉවසිල්ලෙනි.

“අර කාඩ්බෝඩ් වීරයගෙ වැඩක්නෙ. ඕඅයිසී මහත්තය ටිකක් තදින් කතා කළා. මං හිතන්නෑ ආයෙ මිනිහ අපේ රසී ගැන මතක් කරයි කියලවත්”

නිර්මලා ගේ හිතට ද සැනසීමක් දැනිණ. ඇය වතුර කේතලය ළිප තැබුවේ අජිත් වේලාසන ගෙදර පැමිණිමේ සතුට හදවත දරා ගෙන ය.

“කෙල්ලට කතා නොකරම මං පොලීසියට ගියේ අර දිසත් ගෙ නෝනගෙ පැමිණිල්ලක්ද කියල හිතේ තිබුණ සැකේ නිසයි”

අජිත් හිතේ තිබුණ බරින් නිදහස් වන්නට සැනසුම් සුසුමක් හෙළුවේ ය.

“නොකියා හිටියට මාත් හිතේ ගින්දරෙන් හිටියෙ”

ඊළඟට දෙදෙනා අතරේ ඇති වූයේ නිශ්ශ්බ්දතාවයකි. නමුත් හදවත් දෙක ම ලොකු දොඩමළුවක තිබිණ. එය හා දිසත් හා අමාරසී යන දෙදෙනා ම විසින් ඇති කරනු ලැබුවා වූ කැළඹීමකි. සමහර කාරණා වලට පැහැදිලි ව පේනා හේතු ඇත්තේ නැත. නමුත් පැහැදිලි ව දැකිය නො හැකි හේතු බොහෝ තියෙන්නට පුළුවන. දිසත් හා අමාරසී අතරේ සම්බන්ධයක් තිබෙනා බවක් කොහෙත් ම දැකිය නො හැකි ය. නමුත් යම් ජීව රසායනයක් ක්‍රියාත්මක වන බවක් ද දැනේ!

එදා ගමේ සිට පමා වී වුව දිසත් කාර්යාලයට පැමිණියේ අලුත් සතුටක් හදවතින් දරා ගෙන ය. ඔහු ගේ මූණ පුරා අපිළිවෙලට රැවුල් කොට වැවී තිබිණ. ඒ දුක්බර පිරිමි පෙනුමට යටින්, සතුටක් ඉඟි කළේ ය. ඒ ඇස් මත්තේ බලාපොරොත්තුවක සහන් එළියක් දිළෙමින් තිබිණි.

ඔහු එන විට අමාරසී සිටියේ සිය පරිගණකයේ ස්ක්‍රීන් වෝල් පේපර් එක සඳහා පින්තූරයක් තෝරමිනි. ඇයි දෝ මන්දා කවදාවත් නැතිව ඇය ට ඕනෑ වූයේ බිළිඳු රුවකි. පුළුන් කොට්ටයක් සේ සුව යහනාවක නිල් පාට ගුලියක් ව නිදනා ළදරු රූප සිය ගණනක් ඇය බා ගත කර ගත්තා ය. ඒවා අතරින් කුමක් පරිගණක තිරයට යොදා ගන්න දැයි සිතා ගත නො හැකි ය. ඇය ඒ බිළිඳුන් ගේ මුහුණු වඩාත් ලොකු කොට බැලුවා ය. ලා නිල් ළදරු ඇඟළුම් තුළ ගුලි වූ සියලු බිළිඳු මුහුණු තුලින් ඇය ට පෙනුණේ දිසත් ගේ මුහුණුවර ය!

පිස්සු හැදී ගෙන එනවා දැයි ඇය ම සිතුවා ය. කේෂි ගේ කුස ඔත් දරුවා ගේ ජීව විද්‍යාත්මක පියා දිසත් නොවන්නට පුළුවන. නමුත් ඒ දරුවා ගැන කියත්දී ඔහු ගේ ඇස් වල වූ පිය සෙනෙහස, අමතක කළ නො හැකි විලසින් ඇගේ හද තුළ නිදන් ගත ව තිබේ.

නමුත් පිරිමි පුතෙකු තේරීමේ ආශාව සැඟව ඇත්තේ සිය සිතෙහි යයි අමාරසී වුව නොදැන සිටියා ය. ඇගේ යටි හිතෙහි සුවෙන් නිදනා ඇත් පැටවා ට දිසත් ගේ මුහුණුවර ආදේශ කළේ ඈ ය!

අමාරසී තිරයේ ඒ රූ දෙස බලා සිටියදී දිසත් සිය කුටියේ දොරකඩ ට විත් දෙතුන් වරක් “අමාරසී” කියා ඇමතුවේ ය. නමුත් ඇය ට ඇහුණේ නැත. නැතහොත් ඇය සිටියේ ඇහුණත් ඒ සිය යටි හිතෙහි හඬක් සේ සලකා ගෙන ය. ඔහු අමතත්දීත් පරිගණකයට මූණ ඔබා ගෙන හිඳිනා අමාරසී දෙස ගිනුම් අංශයේ හැම නෙතක් ම දැල්වී තිබිණි.

“ර…සී…”

අන්තිමට දිලිනි ඇය ට ඇඟිල්ලෙන් ඇන ඒ හැටි පිට නොවන හඬකින් කතා කළා ය. තිගැස්සී දිලිනි දෙස බැලූ ඇය, මිතුරිය දෑස් වලින් ඉඟි කළ දෙස බැලුවා ය. දිසත් අතින් එන්නයි සන් කර ගෙන අසුනට ගියේ ය.

“මොන ලෝකෙද ඕයි ඉන්නෙ…”

දිලිනි සැර වූවා ය.

“මට කතා කළාද….”

“තුන් සැරයක් විතර නම කිය කිය කතා කළා”

එවර ඇය අංශ ප්‍රධානියා ගේ කාමරය වෙතට දිව ගෙන ගිය ආකාරයට තරුෂි හඬ නගා සිනහ වූවා ය.

“මහ පිස්සියක් මේකානං”

ඒ සිනහව අතරේ ම ඕ කීවා ය.

“හොඳ පිස්සුවක් තමයි ඒකනං”

ගීතානි ඇඟට පතට නො දැනී කියා දැමුවා ය. දිලිනිත් තරුෂිත් උනුන් ගේ මුහුණු බලා සිය වැඩ වලට යොමු වූහ.

කලබලයෙන් කුටියට දිව ආ යුවතිය දෙස බලා, ඉඳගන්නයි මුහුණෙන් ඉඟි කරනා ගමන් දිසත් සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව වශීයක් වාගේ ය. අමාරසී මොහොතක් ඒ ඉනාවක් සරි සිනහවෙහි අතරමං වී සිටියා ය. ඔහු ගේ ජීවිතය මැද්දේ අතරමං වීමේ මිහිර, ඕ තත්පර ගණනක් තුළ හදවතින් විඳ ගත්තා ය.

“කොහෙද හිටියෙ…”

සිනහ වෙමින් ම දිසත් විමසුවේ ය. යුවතිය මුව මඳහසින් බිම බැලුවා ය.

“වෝල් පේපර් එකට පික්චර් එකක් සිලෙක්ට් කර කර හිටියෙ…”

“මං ආසයි ඒකට”

“ආ..”

අමාරසී ගේ ඇස් එක්වන විසල් වී දිසත් වෙත දැල්විණ. ඔහු ට නැවත ද සිනහ ගියේ ය. මේසය වෙතට නැඹුරු වූ හෙතෙම, වීදුරු තුලාව මත දිගහැරී ඇති ඇගේ කහ පාට දිගු අතැඟිලි දෙස බලාන කතා කළේ ය.

“මං කිව්වෙ…කරන වැඩේට ගිලිලම ඒක කරන එකට…ෆුල් කොන්සන්ට්‍රේට් කරල…මං දැකල තියනව ඔයාගෙ ඒ ගතිය…”

ඒ බිළිඳු රුවක වූ ඇස්, දිසත් ගේ ඇස් තුළ ඇය සෙව්වා ය. ඊයේ නොවූ අද වන සතුට ද ඇය ඒ වෙලාවේ ඒ ඇස් වල දුටුවා ය.

“මිස්ට දිසත් රිලැක්ස් වෙලා. ගෙදර ගිය නිසා වෙන්නැති”

ඔහු මොහොතක් කල්පනා කළේ ය.

“හිතට කරදර කරන දේවලින් ඈත් වෙන එක ඇත්තටම සැනසීමක් තමයි අමා. කරදර ගොඩේම ඉන්නකල්  ඒක තේරෙන්නෑ. අපිට මිනිස්සු විදිහට කොහොමත් තියනව වෙනස් වීම් වලට බය ගතිය. අන්න ඒ යටි හිතේ තියන බය නිසා තමයි අපි දුක් විඳගෙන හරි පුරුදු තැනම ඉන්න බලන්නෙ. සැලරි එක අඩු වුණත් පුරුදු ජොබ් එකම කරන්නෙ…ගැලපෙන්නෙ නැති වුණත් කසාදෙ එල්ලිල ඉන්නෙ…දාල යන්න ඕන වුණත් සිවුරෙම ලෝගුවෙම ඉන්නෙ…සමහර විට ඒක සමාජෙට තියෙන බයත් එක්ක බැඳිච්ච යටි හිතේ බයක්. වෙන දෙයක් වෙද්දෙන් කියල එළියට ආවට පස්සෙ තමයි දැනෙන්නෙ හිටියෙ කොහොම තැනකද කියල”

ඔහු ගේ වචන වල එක ඉස් පිල්ලක් පා පිල්ලක් ගිලිහී යන්නට ඇය ඉඩ තැබුවේ නැත. එසේ ම ඒ එක ඇස් පිල්ලමක් හෝ නො කියා කියන කතාවක් අතපසු කර ගන්නට ඇය ට ඕන වුණේ නැත.

“දවල්ට හෙඩ් ඔෆිස් එකට යන්න තියනව මීටින් එකකට. අමා…ඔෆිස් වෙහිකල් එකක එනවද නැත්තං මගෙ කා එකේ යනවද…කවුද අර ගර්ල්…තරුෂි නේද..එයාටත් යන්න වෙයි අපි එක්ක”

අමාරසී ගේ මුහුණට සිනහවක් ආවේ ය. නමුත් ඇය දිසත් ට ඊට හේතුව නොකියා හිටියා ය. ඔහු ගේ ප්‍රශ්නයටත් හිතා මතා ම උත්තර නොදී හිටියා ය. තරුෂි ගේ මේසය වෙත දිව ගෙන ගිය ඕ ආරංචිය කීවේ දෝරෙ ගලනා සතුටෙනි.

“කැමතිනං මිස්ට දිසත්ගෙ කා එකේ වුණත් යන්න පුළුවන් කිව්ව. ඔන්න චාන්ස් එකක් අරං දුන්නට මට අයිස් ක්‍රීම් ඕනේ”

“දෙන්නංකො මැණිකෙ අයිස් ක්‍රීම් ඩීෆ්‍රීසර් එකක් ම වුණත්”

යුවතියන් දෙදෙන උනුන්ගේ අත්තල වලට ගසමින් සිනහ වෙනයුරු දිසත්  මඳහසකින් බලා සිටියේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles

සුහදිනී -26

"ට්වින් ෆ්ලේම් ගැන මොකද හිතන්නේ" කතා කරන්නට වඩාත්ම පහසු වන්නේ හොඳින්ම දන්නා දේවල් සම්බන්ධයෙන් ය.සකී මේ සම්බන්ධයෙන් දන්නා දෙයක්...

(අ)හිමි සිහින – 186

මේ කතාව සත්‍ය කතාවක් බව නොකියා ලියා තැබුවානම් එය පිළි ගන්නටත් බැරි තරම් මහා ව්‍යාකූල සිද්ධීන් හා පුද්ගල චරිතවලින් පිරුණු එකක් බව...

ප්‍රේමයේ අභිමන් -19

කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රාමයක් වී ද එහි දුර ඈක ගමක වන ගති ලක්ෂණ මැනවින් වූයේ ය. ඇල ගලා ගියේ සසංක ගේ...

අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ

"නඟා ඇයි මූණ නාළු කොරගෙන, මෙච්චර හොඳ දවසෙ?" රේන්ද අල්ලාපු මහ බර ඔසරියකුත් ඇඟ වටේ ඔතාගෙන, සුදු පාටම හින්නික්කිතර...

පුතු ලබාගැනීම වෙනුවෙන් ගුවන් යානයක් පැහැරගත් ශ්‍රීලාංකික පියා..

පුතු සෙනේ මස්‌ නහර හම සිඳඇට සොයා ගොස්‌ ඇට තුළට වැදඇට මිදුලු මත රඳා සිට දුක්‌ දෙයි නිබන්දා" සිංහබාහු...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content