විෂ

විමංසාට අවුරුදු තිස් පහක්. ඒ හින්දාම අම්මට ඕනි වුණේ විමංසාව පුලුවන් ඉක්මනට  විවාහ කරවලා දෙන්න. අම්මගේ බලාපොරොත්තුව වුණේ විමංසාව ගෙදරින් යවලා මල්ලිගේ මනාලිය වුන අමායව ගෙදර ගෙන්නගන්න. ඒ හින්දාම සති අන්ත වල විමංසාව බලන්න දවසට එක්කෙනා ගානේ මනමාල මහත්තුරු ආවා ගියා. ඒ හැම කෙනෙක්ගේම ජීවිත වල විමංසාට ගලපගන්න නොතේරෙන කොටස් තිබුණ නිසාම විමංසා කලේ නිහඬ වුන එක. අනෙක් අතරට පිරිමියෙක් විශ්වාස කරන්න විමංසාට පොඩිවත් උවමනාවක් තිබුණේ නැහැ. ඒ නිසාම  නිහැඬියාවන් වලට පස්සේ ඒ ආව අය ඉබේම මඟ හැරිලා ගියා.

අනිල් එහෙම ආව එක මනමාලයෙක්. මුලදී අනිල් ගැන විමංසාට තිබුණේ හරිම නිද්‍රාශීලී හැඟීමක් වුණත් අනිල්ට පුලුවන් වුණා විමංසාගේ හිතට හීන් සීරුවේ රිංගන්න. මාසයකට විතර පස්සේ විමංසා අම්මලාට කිව්වා අනිල් එක්ක කතා බහ කරලා බලන්න කැමතියි කියලා. එදා හවස අම්මයි, නෑනයි හැසිරුණේ විමංසා මංගල්ලේට කැමැත්ත දුන්න ගානට. ඒ ගැන අනිල්ට කිව්වාම අනිල් කිව්වේ එක දෙයයි.

“එයාලා නෙවෙයි, අපි දෙන්නානේ කසාද බඳින්නේ.. කලබල නොවී ඉන්න…”

අනිල් ට අවුරුදු තිස් හතක්. ආදරණීය ප්‍රේම සම්බන්ධතාවයක අවුරුදු හතකට පස්සේ අනිල්ගේ පෙම්වතිය හදිසි අසනීපයක් නිසා මිය ගියපු විස්තරේ විමංසාට අහන්න ලැබුණේ ඊට පස්සේ. විමංසා එදා ඇත්තටම ඉකි ගහ ගහ ඇඬුවා. එච්චර ආදරයක් අනිල්ට අහිමි වුණේ ඇයි කියලා හිත හිතා ගෙදර ඇවිල්ලත් ඇහුවා. අනිල්ගේ දුක විමංසා අහනවා වෙනුවට, විමංසාගේ දුක අනිල් අහන එක තමා අන්තිමේදී වුනේ.

” ඔයා මහ පුදුම සහකම්පනයක් තියෙන ගෑණියෙක්.. පුදුමයි මේ තරම් කල් තනියෙන් උන්නා..”

අනිල් එහෙම කිව්වාම විමංසාට කියන්න කිසිම දෙයක් තිබුනේ නැහැ. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගත්ත එකටම විතරක් අවධානය යොමු කල බවත්, පිරිමි ගැන කිසිම විශ්වාසයක් හිතේ නොතිබුන බවත් විමංසා එදා හවස ගෙදර ගිහින් කතා කරනකොට අනිල්ට කිව්වා.

“ඔයාගේ තාත්තා අම්මාව දාලා යන්න, බලපෑවේ එයා පිරිමියෙක් වීම නෙවෙයි විමූ… ඔයාගේ අම්මයි තාත්තයි එකිනෙකාට වටහා නොගත්තු ගෑණියෙකුයි, පිරිමියෙකුයි වීම…”

අනිල් එහෙම කිව්වම විමංසා අම්මා ගැනත් හිතලා බැලුවා. අම්මා ඉන්නේම තරහ අරගෙන ඒ තරහෙන් පිපිරෙන්න බලාගෙනම බව විමංසාට මතක් වෙනවා. කොයි තරම් හොඳ දෙයක් වුනත් අම්මාගෙන් හොඳක් අහන එක ලේසි නෑ. අනෙක් පැත්තට තාත්තා පොඩ්ඩක් පරක්කු වෙලා ආවත් ඔෆිස් එකේ අයව පටලවලා අම්මා තාත්තාට කෑ ගහලා බනින හැටිත් විමංසාට තවම මතකයි. කාර්‍යාලයට කඩාගෙන පැනලා තාත්තටයි, සමාලි නැන්දාටයි දෙන්නට කෑ ගහපු දවසෙන් පස්සේ තාත්තා ගෙදර ආවේ නැති බවත් විමංසා මතක් කලා. ඊට පස්සේ තාත්තා රිය අනතුරකට මුහුන දුන්නා. අම්මා ඒ ගැන මල්ලිටයි, තමන්ටයි කිව්වේ සෑහෙන්නම කාලෙකට පස්සේ බවත් විමංසා මතක් කලා.  තාත්තා එක්ක වෛර බැඳගෙන හිටියාට, ඇත්තටම ඒ කතාවේ වැඩිපුරම වැරදි තිබුණේ අම්මාට නේද කියලාත් විමංසාට හිතුණා.

“අපි තාත්තාව බලන්න යමු?”

මාසයක් විතර තිස්සේ ඔය හැඟීම් එක්ක රන්ඩු කරලා අවසානේ විමංසා අනිල්ගෙන් එහෙම ඇහුවා. ඒ වෙද්දීත් අනිල්ව මුණ ගැහෙන්න විමංසාගේ තාත්තා ඇවිල්ලා තිබුනේ. ඒ නිසා අනිල් හරි ඉක්මනට ගමන සූදානම් කලා.

විමංසාව පිළිගත්තේ සමාලි නැන්දා. තාත්තා කාමරේ ඉඳන් එලියට එනකොට විමංසා අඬාගෙන ගිහින් තාත්තාව වැළඳගත්තා. මේ තාත්තාගේ උණුහුමට ගුලි වෙන්නේ අවුරුදු විස්සකට පස්සේ නේද කියලා හිතනකොට ඒ ඇඬුම් තව වැඩි වුණා.

“දැන් ඉතින් ඔය මැදෑ…”

අනිල් එහෙම කියනකල්ම විමංසාගේ ඇඬුම් නැවතුණේ නැහැ.

“ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මට ජොබ් එක නැති වුණා පුතේ..  ඒ දවස් වල මාව බලාගත්තේ ඒ ඔෆිස් එකේ කට්ටිය.. එතනදී සමාලි නැන්දා මට ලං වුනා…. අම්මා කවදාවත් මට නොදීපු ආදරේ, ගෞරවය සමාලි නැන්දාගෙන් මට ලැබුණා. මට සමාලි නැන්දාව ජීවිතේට ලං කරගන්නේ නැතුව ඉන්න බැරි වුණා… ඒත් මට ඔයාලා දෙන්නාට තව සහෝදරයෝ දෙන්න උවමනා වුනේ නැහැ.. සමාලි ඒකට ඉහලින්ම එකඟ වුණා… ඔයාලා දකින්න නාවට එයා ඔය දෙන්නාට අම්මා කෙනෙක් වගේ යුතුකම් කලා…”

බැංකුවට සතියකට වතාවක් ලැබෙන උණූ කෑම එක අම්මගෙන් නෙවෙයි කියලා සමාලිට තේරුණා. හැමදාම අම්මාගෙන් ඒ ගැන ඇහුවම අම්මා මුකුත් නොකියා ඉන්නේ ඒක තාත්තාගේ වැඩක් බව අම්මා දැනගෙන ඉන්න ඇති කියලත් විමංසා තේරුම් ගත්තා.

” අම්මාට දැන් ඕනි මල්ලිව බන්දන්න.. ඒ නංගීත් එක්ක අම්මාගේ පුදුම ආදරයක් තියෙන්නේ… මාව ගෙදරින් එලවගන්නමයි හදන්නේ..”

විමංසා නෝකාඩුවෙන් කියනකොට සමාලි නැන්දා විමංසා ළඟින් ඉඳගත්තා.

“ඉතින් දූ… ඔයා අනිල් පුතාව මැරි කරනකල් මෙහෙ එන්නකෝ… තාත්තත් ආස වෙයි…”

විමංසා තාත්තගේ දිහා බැලුවා. ඒ ඇස් වල තිබුන ආශාව, බලාපොරොත්තුව, මඟෑරුණ යමක් වෙනුවෙන් තියෙන හිස්කම විමංසාට හරි ඉක්මනට පෙනුනා.

අම්මාට ඒ ගැන කිව්වම, බලාපොරොත්තු වුන විදියටම දොස් විතරයි ලැබුණේ. ඒත් විමංසා ගත්ත තීරනේ වෙනස් කලේ නැහැ.

“අන්තිමේදී බඩට නොකා උස් මහත් කරපු මව වඩා මඟුල් විසේ ඔලුවට ගහපු අප්පව ලොකු වුණා..ඔහොම ගිහින් බලපංකෝ..”

අම්මා අහල පහල ගෙවල් වලටත් ඇහෙන්න කෑ ගහද්දීත් විමංසා කලේ නිහඬව උන්න එක. තාත්තා අපහු එනකොට කිව්ව දේ ආයේ ආයේ මතක් කරගෙන ඒ නිහඬ බව දිගටම අරගෙන ගියා.

“මොන දේ වුණත් ඒ ඔය දෙන්නාගේ අම්මා…”

විමංසා තාත්තා ළඟ නවතින්න ඝින් ටික දවසකින් මල්ලිත් තාත්තව බලන්න ආවේ, විමංසා දිගින් දිගටම ඇමතුම් දීලා තාත්තා ගැන මල්ලිට කියන්න ගත්ත නිසා.

“අම්මා ඉන්නේ අමායා ගැන පිස්සුවෙන් වගේ තාත්තේ.. අමායාගේ දොස්තරකමට පිස්සුවෙන්… ඒත් මං දන්නවා බැඳලා අම්මා එක්ක එකට ජීවත් වෙන්න ගත්තොත් අමායාටයි මටයි වැඩි කාලයක් එකට ඉන්න වෙන්නේ නම් නැහැ….”

තාත්තා මල්ලීට ජීවිතේ ගැන පැහැදිලි කරන විදිය විමංසා අහගෙන හිටියා.

“අම්මාගේ ඔය හැසිරීම් එයාගේ පොඩි කාලේ අත්දැකීම් එක්කම ආව දේවල් පුතේ.. ඉතින් ඒකට එයාට දොස් කියන එකේ තේරුමක් නෑ…  අක්කා වුනත් මෙච්චර කල් කසාදයක් වෙනුවෙන්, ආදරයක් වෙනුවෙන් ඉස්සර වුනේ නැත්තේ අම්මා ඔයාලාගේ හිතට පිරිමි ගැන දාලා තිබුන විෂ නිසා…. අම්මාගේ ඔය පුරුදු ඔයාට වෙනස් කරන්න බෑ… අනෙක දැන් අම්මට ඕනි ඔයාව ළඟ තියාගන්න…. ඒකයි ඔයාට කලින් අක්කව බන්දලා දීලා ගෙවල් දොරවල් ඔයාටම දෙන්න හදන්නේ….. අම්මා ඔයාට අයිතිවාසිකම් කියන එක අමායා කොයි කාලයක් දරාගනිවිද කියන්න අපි දන්නේ නෑ පුතේ… අම්මා ගැන මම බලාගන්නම්.. ඔයා සැලසුම් කරගත්ත විදියට අලුත් ගෙදරකට යන්න…”

 තාත්තා එහෙම කියනකොට එච්චර කාලයක් අම්මා කිව්ව දේවල් අහගෙන තාත්තා ගැන  පුරවගෙන හිටපු විෂ ඔක්කොම නැති වෙලා ගියා කියලා මල්ලි පස්සේ විමංසා එක්ක කිව්වා.

“ගෑණුන්ට හැමවෙලේම අනුකම්පාව ලැබෙනවා… එතකොට මල්ලී පිරිමි අපි කොහොමටත් වැරදිකාර පාර්ශවය වෙනවා….”

අනිල් මල්ලි එක්ක එහෙම කියනවා අහගෙන ඉඳලා විමංසාත් ඒක එහෙම නේද කියලා හිතුවා.

More Stories

Don't Miss


Latest Articles