(අ)හිමි සිහින -87

ඒ ඥාති පිරිස හදිසියේ ගම අතැර එන තීරණයකට ඇවිත් තිබුණා.ඒ අය ඒ ගමන ඇවිත් තියෙන්නේ සුධාරකව එහෙ අත් ඇරලා දමලා.ඒක මහා දරුණු සහ නරක තීරණයක් වුණත් ඔවුන් ඒ වගේ දෙයක් කරලා තිබුණා.ඔහු සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගන්න කාලයේ එහෙම වුණත් ඔහු තනි වෙලා නැහැ.මිතුරන්ගේ නිවෙස් වල නතර වෙමින් ඔහු අධ්‍යාපනය කරගෙන ගිහින් තිබුණා.

“මෙයාල තමයි මැණිකෙ මට කන්න දුන්නෙ.මට මොකුත් නැතුව අසරණ වෙලා ඉන්නකොට මෙයාලා තමයි මාව නවත්තගෙන කන්න බොන්න දීලා ඉස්කෝලෙත් යැව්වේ.”

පසුකාලීනව ඒ මිතුරන් මුණ ගැහෙනකොට ඔවුන්ව වැළඳගෙන සුධාරක මට කිව්වා.ඒ වෙලාවේ ඔහුගේත් ඔවුන්ගේත් ඇස් මත ඇඳෙන ලා තෙත් පැහැය දිහා බලාගෙන මම හිතුවේ එක දෙයක්.

මිත්‍රත්වය කියන්නේ මොනතරම් ලස්සන දෙයකටද!!

කොහොමහරි දුක් මහන්සියෙන් ඉගෙන ගන්නා අතර ශිෂ්‍ය භට කණ්ඩායමෙත් සාමාජිකයෙක් වෙලා කටයුතු කරපු සුධාරක උසස්පෙළ විභාගයෙන් පස්සේ හමුදා සේවයට එකතු වෙලා තිබුණා.

ඉතින් ඔහු ඒ වගේ ජීවිතයකින් ගොඩ නැඟුණු කෙනෙක්.ඔහු දැඩි ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක මගේ උදව් පතනකොට ඒ මුදල් අර්බුදය සිදු වූ ආකාරය හොයා ගන්න මට උදව් නොකර ඉන්න පුලුවන් වුණේ නැහැ.

අපේ රට මේ වෙලාවේ තියන අර්බුදය මොකක්ද කියලාවත් අපි කටවත් හිතා ගන්න බැහැ නේද? මේ සුධාරකගේ බැංකු ගිණුම් පරීක්ෂා කරනකොට මටත් ආවේ මේ මොහොතේ අපි ඉන්නවා වගේම පැටලුම් සහගත සිතුවිල්ලක්.ඒක පුදුම ආර්ථික පරිහානියක්.රටේ තියන තරමක් බැංකුවලට මහා විශාල ණය කන්දරාවක්.උකස් කළ හැකි තරමට සියල්ලම උකස් කිරීම් රාශියක්.ඒ ආර්ථික පරිහානිය ගැන ඔහු කිසිම දෙයක් නොදැන ඉන්නකොට මම ඒ දේවල් ඇති වූ අන්දම ගැන බැංකු නිලධාරීන් සම්බන්ධ කරගනිමින් මම ඒ අර්බුද ඇති වූ ආකාරය සොයා දුන්නා.ඒත් ගිය හකුරට නාඩන්නේ කියලා වැයවූ මුදල් ආයේ ගන්න බෑ.නැවත එසේ නොවෙන මාර්ගයක් හොයා ගන්නවා මිසක අතුරුදහන් වූ සල්ලි ආයේ හොයා ගන්න ක්‍රමයක් ඇත්තටම සුධාරකට තිබුණේ නැහැ.

ඒක ඔහුගේ බිරිඳ සහ ඔහු අතර ඇති වූ ගැටලුවක්.ඒ ගැන සියල්ලම දැන හිටියත් වෙනත් පවුලක ප්‍රශ්නයක් ගැන දිගු විස්තරයක් ලියන්න මට හිතක් නෑ.නමුත් ඒ විවාහය නිසා සුධාරක මානසිකව සහ ආර්ථිකව දැඩි පරිහානියකට ලක්ව සිටියා.

ඔහු ඒ මානසික පරිහානියෙන් ගොඩ එන්නට මගේ ආදරය සොයන බව මට දැනෙන්නට පටන් ගත්තා.සුධාරකගේ හැඟීම් කියවා ගන්නට මට එතරම් වෙලා යන්නේ නැහැ.ඔහු ඒ වෙනකොට මානසිකව බිංදුවට වැටිලා හිටියේ.රැකියාව තුළත් ඔහු තරුවක්ව වැජඹීම නිසාම ඔහුට ආයතනය තුළ පවා ගැටලු ඇති වෙමින් තිබුණා.ඒ සියලුම දේවල් නිසා මානසිකව බිංදුවට වැටී සිටි ඔහු මගෙන් ආදරය අයදින්න පටන් ගත්තා.

“මැණිකේ මට ඔයාව ඕන.ඔයාගේ මගෙ ළඟ තියාගන්න ඕන..”

ඔහු එහෙම නිතරම කියන්නට පටන් ගත්තා.අවුරුදු දහතුනක යොවුන් දැරියකව සිටියදී ප්‍රේමය කියන දේ මම ඉගෙන ගත්තේ ඔහුගෙන්.ඔහු තමයි ආදරය ගැන මට ඉගැන්වූ ගුරුතුමා.ඔහුගෙන් ආදරය ඉගෙන ගෙන ආදරය නොමැති ලෝකයක තනිව සිටි මට නැවත ඔහුගෙන් ප්‍රේමාරධානා එද්දී මාව සසැලෙන්නට පටන් ගත්තා.මේ ප්‍රේමාරධානාව පිළිගන්නට බැහැ.මම මගේ හදවත මට තර්ජනය කරන්නට පටන් ගත්තා.ඒ නිසා මට ලිපියක් ලියන්නට හිතුණා.

“අපි පුංචි කොල්ලො කෙල්ලො කාලේ ආදරේ කරන කාලයේ අපිට එරෙහි වෙන්න හිටියේ අපේ අම්මලා තාත්තලා විතරයි.ඒත් දැන් අපිට එරෙහි වෙන්නට අපේ ලේ වලින් හැදුණු දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා.ඒ දරුවෝ අපිට එරෙහි වෙන සාප කරන විදියට අපි එකතු වෙන්න ඕනද? අපි ආයේ ළං වෙන්න ඕනෑ නැහැ නේද?”

බොහෝ වෙලාවක් කල්පනා කිරීමෙන් පස්සෙ මම ඔහුට එහෙම ලිපියක් ලියා යැව්වා.මට ඒ ආදරය පිළිගන්නට නොහැකි වුයේ ඒ නිසාමයි.චමල් සහ දිල්හානි සමහරවිට හිත හදා ගනීවි.නමුත් දරුවෝ? ඔවුන් අපේ අතීත ආදර කතා විශ්වාස කරන්නේ නැහැ.ඔවුන් අනිවාර්යයෙන් අපිට වෛර කරන්නට ඉඩ තියෙනවා.මම ඒ නිසා ඔහුට ළං නොවෙන්න තරයේම හිතා ගත්තා.

සංසාරගත ප්‍රේමයක මිහිරි මතකය මගේ හිත තුළ වසර ගණනාවක් තිස්සේ මම ප්‍රේමයෙන් රැක ගත්තා.දැන් ඔහු නැවතත් මවෙත ඇවිත්.මගේ ආදරය ඉල්ලා සිටිමින් මා අසල දැවටෙන සුධාරකට මගේ ප්‍රතික්ෂේප කිරීම වේදනාවක් වෙන්න ඇති.මරණයෙන් මෙපිට අපේ වෙන්වීමක් නැතැයි කේන්දර වල තිබූ හැටි මට සිහි වෙනවා.ඒ දේවල් කොහොම වෙතත් “අනියම් සම්බන්ධයක්” කියන ලේබලය ගැන මට බයක් දැනෙන්නට ඇති.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles