පෙමාතුර -42

නැකත් දවස් වලට වහිනවා යි අම්මා කියනු මා අසා තිබේ. පොල් බිඳිනා සද්දයට මුළුතැන්ගෙට දිව විත් පොල් වතුර ටික ඉල්ලා ගෙන බොන මට අම්මා හා පුංචි නිතර කියූ කතාවක් සිහි වේ.

“පොල් වතුර බිව්වහම මගුල් දාට වහිනවලු. අපි දන්නෑ ඔන්න”

මගුල් දවසට දෙගොඩ තලා ගියත්  මොකදැයි සිතා මම හිතේ හැටියට පොල් වතුර බී ඇත්තෙමි. 

එසේ නම් අද වහින්නේ විසල් හා ඉෂිනි අතරින් කවුරුන් පොල් වතුර බිව් හින්දා ද? 

මංගල උත්සවය පැවැත්වෙන්නේ මහ නුවර උත්සව ශාලාවක වන නිසාවෙන්, ගමනට ගත වන කාලය සලකා පාන්දර ම පිටත් වන්නට අම්මලා කටයුතු සූදානම් කොට තිබිණ. නදීරා ඇතුළු කණ්ඩායමක් පෙර දා රාත්‍රියේ ම පිටත් ව ගොස් තිබූ අතර, සැලෝන් එකේ සේවය කරනා තරුණියක් අම්මලා ව හැඩ ගැන්වීම සඳහා අළුයම් කාලයේ අපේ ගෙදරට පැමිණීමට නියමිත විය.

“කිසා ගෙදර හිටියනං හොඳයි කියලයි මන්නං කියන්නෙ”

අම්මා රාත්‍රියේ ම කීවා ය.

“ඇඳං යන්න ඇඳුමක්වත් ලෑස්ති කර ගත්තෙ නෑනෙ. එනව කියල කිව්වනං අපි මොකක් හරි අරං තියනව. එන්න තීරණේ කරං හිටියනං ඉන්දියන් කොස්ටියුම් එකක් හරි අරං එන්න තිබුණනෙ”

ඇඳුමක් පිට තබා කීවාට අම්මා ට වූයේ මා එහි කැටිව යාම ගැන හිතේ ගැස්මක් බව මම දනිමි. ඒ වගේ තැනකට ගිහිං මා කඳුළු සලන්නට ගත්තොත් එය කාට කාටත් නරකට හිටින බව ඇය සිතන්නට ඇත. 

“අනේ..ඇඳුම් නැති කෙල්ලෙක් නෙවෙයිනෙ. කලින් ඇඳපු එකක් ඇඳන් යමු. එහෙ කවුරුවත් දැකල නෑනෙ කිසා ඒව අඳිනව”

පුංචි ගේ මුහුණේ අභියෝගාත්මක මඳහසක් විය. ඒ ඇස් උද්‍යෝගයෙන් පිරී ඇති සැටියක් මට දැනිණ. මගේ ඇඳුම් අල්මාරිය වෙත ගොස් මට ඇඳුමක් තේරුවේත් ඇය ම ය.

“අම්මයි මායි සාරි අඳින නිසා කිසා ෆ්‍රොක් එකක් අඳින්න. අර බක්රම් එකක් දාන පින්ක් ඇන්ඩ් වයිට් එකක් තිබුණ නේද…ඒක ඔයා එක සැරයයිනෙ ඇන්දෙ”

මගේ පාසල් මිතුරියක ගේ කොළඹ ප්‍රධාන පෙළේ තරු හෝටලයකදී පැවති විවාහ මංගල උත්සවය වෙනුවෙන්, අන්තර් ජාලයෙන් ඇනවුම් කොට විදේශයකින් ගෙන්වා ගත් ඒ ගවුම මට ද සිහි නොවුණා නොවේ. නමුත් එය අඳින්නට සිත අදි මදි කළේ ය.

“ඒක වැඩියි වගේ දැනෙයි නේද පුංචා…ඒක කැපිල පේනව වැඩියි බක්රම් එක නිසා. සඳනිගෙ වෙඩින් එකේදිත් කීප දෙනෙක් කිව්ව මනමාලි කවුද කියල හිතා ගන්න බෑ කියල”

“ඉ…ඳා…මනමාලි කැපිල පේන්නෙ නැත්තං ඒක එයාගෙ ප්‍රශ්නයක්. ඔන්න ඒක ඇඳං යං. ඇඳුම මොක වුණත් කිසා කැපිල පේන එක නවත්තන්න බෑ. ඒක ඇඳුමෙන් නෙවෙයි ඇතුළෙන් එන දෙයක්. කිසා ගෙ ආත්ම ශක්තිය …මට ඒ ගැන මුකුත් කියන්න තේරෙන්නෑ”

“පුංචා මාව අඬවන්න හදන්නෙපා”

“අඬන්න ඕනනං එකටම අඬමු බං. අපි කඳුළු වල ලුණු රහ නොදන්න ගෑනු නෙවෙයිනෙ. හැබැයි කිසා අපිටත් ආඩම්බරයක්. ඉෂිනි මොන කුරු කූඹියෙක්ද කිසා ගෙ පර්සනලිටි එක ඉස්සරහ”

මට කිසිවෙකු සමගින් හෝ තරඟයක් ඇත්තේ නැත. මගේ තරගය මා සමග ය. මගේ ආත්ම විශ්වාසය සමග ය. ආත්ම විශ්වාසය ගැන විශ්වාසයක් දැනටමත් මට තිබේ. 

හැඩ ගැන්වීම් වලින් පස්සේ අම්මා මදෙස බලා සිටියේ තැති ගැන්මෙන් වාගේ මට දැනිණ. පුංචී නම් ආඩම්බරයෙන් සිනහ වූවා ය.

“අපේ කෙල්ල ඒන්ජල් කෙනෙක් අක්කෙ”

ඉෂිනි විරංග ට ද මංගල උත්සවය සඳහා ඇරයුම් කොට තිබිණි. මා ගෙදර ආ ගමන් කළේ විරංග ට කතා කිරීම ය. ඒ ඇයි කියා සිතා ගත නො හැකි ය.

“මං ආව”

මෘදු ලෙස මා එසේ කියත්දී ඔහු කලබල වූ සැටි මගේ සිත්විලි අවකාශයේ මැවෙන්නට විය.

“කිසා…මොකද්ද කළේ ආ…කොහෙද වැනිශ් වෙලා හිටියෙ..එනි වේ..යුවා හියර් නව් නො..යූ මේක් මී ක්‍රේසි කිසා”

“මං හෙට වෙඩින් එකට යන්න ආවෙ”

එහා ඉම තත්පර ගණනාවකට නිහඬ විය. ඔහු හුස්ම ගන්නා හඬක් හෝ මට ඇහුණේ නැත. කෙසේ වෙතත් ටික වෙලාවකට පස්සේ ඔහු ඒ නිහැඬියාව බින්දේ ය.

“යන්න ඕන නෑ ඔයා”

“මං යන්න ඕන විරං. අම්ම කිව්ව ඔයාටත් ඉන්වයිට් කරල කියල. ඒකයි මං කතා කළේ”

“මගෙ බල්ලවත් යවන්න නෙවෙයි හිටියෙ. ඒත් කමක් නෑ. යංකො එහෙනං…”

ඒ අනුව අප සූදානම් ව අවසන් වන වෙලාවට විරංග පැමිණ සිටියේ ය. ඔහු ගේ මෝටර් රථයෙන් අපි නුවර ගියෙමු. කඩුගන්නාව පහු වෙත්දී හදවත ගැස්ම වැඩි වෙන හැටි මම හොඳට ම අත් දුටුවෙමි.  ඇතැම් විට ඒ ගැස්ම අප සියලු දෙනාට ම දැනෙමින් තිබෙන්නට ඇත. කිසිවෙකු වැඩිපුර කතා නො කරන බවක් මට දැනිණ. ඒ පාළු හිස් කම තුනී රුධිර කේශනාලිකා වල බිත්ති පවා පුපුරුවා හරින්නට තැනුවේ ය. ‘අනේ ඔහොම කතා නොකර ඉන්නෙ නැතුව කතා කරන්නකො’ කියා කෑ ගසන්නට පවා මට ඕන විය. නමුත් වදනක් දොඩන්නට තරම් හෝ, කතා කිරීමට සම්බන්ධ පේෂි, පටක හා ස්නායු ක්‍රියා කළේ නැත. රියෙන් බැස පිළිගැනීමේ ශාලාව වෙත යන තෙක් පවා මා ඇවිද ගත්තේ කොයි මොහොතක හෝ ඇද ගෙන වැටේවිද යන බියෙනි. අම්මා, පුංචි හා විරංග මා වට කොට ගෙන ඇවිද ගියහ. දැවැන්ත දෙපළු කැටයම් ලෑලි දොර විවර වී අපට පාර පෙන්වූයේ දිව්‍ය ලෝකයට ය.  ලිලී හා සුදු ඩේසි මල් වලින් ද සයිප්‍රස් අතු වලින් ද සැරසිලි කරන ලද උත්සව ශාලාව තුළින් හැමූ දේවදාර සුවඳ මට පහසුවක් දැනවූයේ නැත. මම ගවුමේ දෙපැත්තෙන් අල්ලා ගෙන දිව්‍ය ලෝකයට යන පාර දිගේ ඉදිරියට ඇවිද යමින් සිටියෙමි. ඒ සැබෑවක් කියා සිතුණේ ම නැත. මට මා දැනුණේ කිසා ලෙස නොව බාබිඩෝල් කෙනෙකු සේ ය. ඒ සියලු රූප රාමු මායාවට මිස හැබෑවට අයිති දේ නො විය යුතු ය. විරංග මගේ පිටට අත තබා රවුම් මේසයක් වට වූ සුදු රෙදි කවර දමා රත්රන් පැහැති බෝ එකක් ගැට ගැසූ අසුනක් පෙන්වූයේ ය. බාබිඩෝල් එහි හිඳ ගත්තා ය. 

මගේ සිහින ලෝකයේ දී විසල් ව මනාලයෙකු ලෙස මවා ගන්නට කිසි දා මට සිතී නැත. සිහින වල පවා හිදැස් වූ බව දැනෙන්නට ගත්තේ එතකොට ය. සෑම අතින් ම ඉෂිනි ඉදිරියෙන් සිටියා ය. මේ මොහොතේත්!

මම ඉදිරිපස මනාල යුවල ගේ අසුන වෙත දෑස් පා කොට යැව්වෙමි. ඒ විසල් නොව වෙනත් මනාලයෙකි. එහෙම හිතන්නට මගේ ගැහැනු හිත වඩාත් කැමති වූයේ ය. මට ඒ මනාලයා හැඳින ගත නො හැකි විය. මම මනාලිය දෙස බැලුවෙමි. ඇය නම් ඉෂිනි ම ය. මනාලයා කෙරේ ඇය ට වන අයිතිය මෙලොව වෙන කිසිවෙකුට ලබා දෙන සූදානමක් නොවන බව පෙන්වීමට සේ ඇය ඔහු ගේ අත වටා සිය අත යවා ඔහු ගේ වැලමිට සන්ධිය තදින් අල්ලා ගෙන සිටියා ය. අනිත් අතේ සුදු රෝස මල් කළඹක් විය. මනාලයා ගේ කෝට් සාක්කුවේ ගසා තිබුණේ ද ඒ රෝස මලක් හා බේබිස් බ්‍රේත් කිනිත්තකි. ඒ සියල්ල හොඳින් ගැලපෙන බව දුරටත් මට පෙනිණ. නමුත් මට ඒ දුරට මනාලයා ගේ මූණ හැඳින ගත හැකි වූයේ නැත. ඉෂිනි ගේ අත ඉවත් කොට දමා, මනාලයා ගේ වැලමිට ළඟින් අල්ලා ගෙන මම පිළිගැනීමේ ශාලාව වටා මනසින් රවුමක් ගියෙමි. ඔහු ගේ දෑත් වල වෙලී බෝල් රූම් නර්තනයක නිරත වීමි. ඉෂිනි ගේ ඔසරියට වඩා ඔහු ට ගැලපුණේ මගේ රෝස හා සුදු වර්ණ මුසු වූ බාබි ඩෝල් මැක්සිය ය. 

“බොන්න කිසා”

මා සිහිනයේ සරමින් සිටිය දී පිළිගැනීමේ සිසිල් පැන් සංග්‍රහය සිදු වී තිබිණ. විරංග උස් සිහින් වීදුරුව මවෙත ලං කළේ ය. එහි වූ පාණයෙහි වන දීප්තිමත් කහ පැහැය මගේ පිපාස හැඟීම වැඩි කරවන ලදී. මම වීදුරුව මුව ට ලං කොට ඉන් අඩක් ම බී ගෙන බී ගෙන ගියෙමි.

“ඔයා තිබහෙන්ද හිටියෙ කිසා…”

විරංග ඉතා ආදරණීය ලෙස එසේ නො විමසුවේ වී නම්, මා නතර වනු ඇත්තේ බීම වීදුරුව ම එක හුස්මට හිස් කිරීමෙනි.

මා විසල් ව දුටුවේ අන්න ඒ වෙලාවේ ය. නැතහොත් මා ඔහු ගේ මූණ හැඳින ගත්තේ ඒ වෙලාවේ ය. වෙනත් මනාලයෙකු නොව ඉෂිනි ගේ මනාලයා වී සිටියේ ඔහු ම ය. මුලින් මට ඔහු ඔහු ලෙස නොපෙනී ගියේ මනසේ යම් කිසි ගලවා ගැනීමේ උපක්‍රමයක් නිසා විය යුතු යයි මා උගෙන ඇති කාරණා මට සිහිපත් කරවී ය. එක වර යමකට මුහුණ දෙන්නට අප තුළ වන භීතිය තුනී කරනු වස්, මනස එහෙව් උපක්‍රම යොදා ගනී. 

ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගන්නට අවශ්‍ය ම වී තිබුණ සෙයින් අප දෙදෙනා එක එල්ලේ අප දෙස ම බලා සිටින්නට පටන් ගතිමු.  මට සේ ම ඔහු ටත් මේ තත්වය පිළි ගත නො හැකි ව සිටින බව පෙනිණ. උන් හිටි ගමන් පහනක් නිවුණා සේ නැති ව ගිය මා යළි මේ විදිහට ඇස් ඉදිරියේ ප්‍රාදූර්භූත වීම තුළ ඔහු යම් විපිළිසර බවකට පත් ව සිටියේ ය.

“ඔයා වද කළේ නැත්තං මං කීයටවත් මේ ගමන එන්නෑ කිසා”

ඈත දුර මන්දාකිණියක සිට සේ මට ඇහුණ හඬ, මා ළඟ ම සිටිනා විරංග ගේ ය. 

“ආ එක හොඳයි. නැත්තං මට පාළුයි”

මම සිනහවකින් මුව සරසා ගතිමි. එය කෘතිම සිනහවක් බව ඇත්ත ය. එය හදවතින් ම උපන් සිනහවක් නොවන බව ඇත්ත ය. නමුත් මේ වගේ මොහොතක දී සිනහව කියන්නේ ප්‍රබල ආයුධයකි. ආරක්ෂිත පළිහකි.

පාළුව කෙසේ වී ද විරංග ආ එක මට හයියකි. මම ඔහු ට හිතා මතා ම ඒ නො කියා සිටියෙමි. බොරුවට හිනා වෙනකොට කම්මුල් රිදේ. මම ඒ රිදුම ද හැබෑ ලෙස අත්විඳිමින් සිටියෙමි. 

“මට මූගෙ මනමාල කම පැත්තක දාල ඇදල අරං අනින්න පුළුවන් දෙක තුනක්”

“විරංග…”

“මං දන්නව හිනා වෙලා හිටියට…ඕක ඇත්ත හිනාවක් නෙවෙයි කියල. එක අතකට මොන මගුලක්ද ඔයත් කළේ…ඒ මිනිහව ඕනෙමනං අර ගෑනිට ඕන කුදයක් ගහගනිං කියල බැඳ ගන්නනෙ තිබුණෙ. ගිහිං හැංගුණා. කුමාරය මූදු හතක් පීනල හොයං එයි කියල හිතං…”

“විරං…ග…”

“දැන් ඉතිං…”

කාලය හා අවකාශය ඉක්ම යන ප්‍රේමය නමැති  මිනිස් හැඟීමක් මා විශ්වාස කරමින් සිටිනා බවක් මම විරංග ට පැහැදිලි කරන්නට නො ගියෙමි. ඒ හැඟීම සර්ව කාලීන ය. නීත්‍යානුකූල හිමි කර ගැනීමක් හෝ හිමි වීමක් ඊට අදාල වනුයේ ම නැත. 

මනාල යුවළ ඔවුන් දෙදෙනා ගේ මවුවරුන් සමගින් පැමිණ සිටින ඥාති හිත මිත්‍රාදීන් ට කතා කරමින් යන්නට වූයේ ඔය අතරේ ය. 

“අපි එළියට යන්ද”

කියා විරංග මගේ කනට කොට ඇසුවේ ය. මම හිස දෙපසට සලා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළෙමි. ලොකු හුස්මකින් පෙනහලු පුරවා ගෙන, පින්තූරයක් වගේ සිනාවක් මූණේ ඇඳ ගෙන මම ඒ මොහොතට සූදානම් වීමි. 

අනෙක් කොටස්

More Stories

Don't Miss



Latest Articles

ශරදාකාසේ -35

එවක් පටන් දෙතුන් දිනක් යන තෙක් නිශාමනී සිටියේ නිර්වින්දිත තත්වයක ය. ඇය ආයතනයේ රැකියාවට ගියා ය. යන ගමන් එසඳිව පෙර පාසලෙන් දමා...

කෑම පෙට්ටිය

“අම්මා මේ,” පාසැල් ගොස් මහන්සියෙන් මුත් සිනහසෙමින් පැමිණෙන දෝණි සුපුරුදු පරිදි කෑම පෙට්ටිය මට දිගු කරන්නේ මා ඒ ගැන...

වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු...

හිමගිරි අරණ -20

"ඔයා කියන විදියට නම් වැඩ කරන්න බෑ රවිඳු.එහෙම ගිය මනුස්සයෙක්ට ආදරේ කරලා මොකටද?" පාරමී වහා එරෙහි වූවා ය.සහන් සමඟ...

ශරදාකාසේ -34

"විකාර නැතුව ඒ මහත්තයව බැඳපං පංචලී. මොන දේ වුණත් නීතියෙන් බැඳගන්න එකේ වාසිය ගැනයි හිතන්න ඕනෙ. මන් දන්න සෑම්පලේ ගෑනුනං හිතන්නෙ ඒ...