ඒකපාර්ශ්වික 16

නිම්නාද Rainbow Eye වෙත පැමිණ තිබුනේ මානව සම්පත් අංශයේ තිබූ ඔහුගේ සහතික ඇතුලත් ලිපි ගොනුව රැගෙන යාම සඳහාය. ඔහු ආ බව මුලින්ම නෙත ගැටුනු මේඝා උන්නේ ගල් ගැසීය.නිම්නාද වෙත ගොස් ඔහු සමඟ කතා කිරීමේ දැඩි උවමනාවකින් පෙලුනද ඔහු වෙතට දෙපා එස නොවෙන වගක් මේඝාට දැනුනි.

” ඔයාට එහෙම කරපු මිනිහෙක් දිහා හැරිලාවත් බලන්න හිතන්න එපා මේඝා. එයා ඇවිල්ලා ඉන්නේ එයාගේ Certificates ටික අරන් යන්න. ” 

අපූර්වා නැවතුනාය.ඒත් ඇය කියූ දේට එකතු කරන්නට තවත් යමක් ඇය සතුව ඇති බව පෙනේ.

” රට යන්න ” 

දෑස් තෙත් වනු මේඝාට දැනින. එසේ නම් ඔහු ඇත්තටම සමු ගන්නවාද ? 

” ගෙදර යන් මේඝා. පහමාර පහු වෙලා. ” 

තමා කොතරම් වෙලා ආසනය මත කල්පනාවේ උන්නාදැයි මේඝාට මතක නැත. මේඝාගේ අත් බෑගය ගත් අපූර්වා ඇයව පුටුවෙන් නැගිට්ටවා ගත්තාය. මේඝා දෑස් කරකවා කාර්‍යාලය පුරා බැලුවාය. නිම්නාද ආපසු ගියාද ? යන පැනය ඒ බැල්මේ විය.

මේඝා නිවසට පැමිණි පසුවත් බොහෝ වෙලා ඔහේ බලා සිටියාය. බිඳෙන් බිඳ හදා ගෙන ආ හිත නැවත බිමට සමතලා වී ගොස් ඇති බවක් ඇයට දැනෙමින් තිබුනි. නිවසේ සීනුව නාද වූයේ ඔය අතරය. මේඝා ස්වයංක්‍රීයව මෙන් ගොස් දොර ඇරියේ ඒ නිකිනි හෝ ධනුක වන්නට ඇතැයි සිතාය.

” නිම්නාද ? ” 

විවෘත වුන දොර ඉදිරියේ උන්නේ නිම්නාදය. මෙය සිහිනයක්ද ? තමා ඉදිරියේ මේ ඉන්නේ තමා ලෝකයම කර ගෙන ආදරය කල නිම්නාද නොවේද ? එහෙනම් අවසන ඔහු තමාව බලන්නට පැමිණ ඇත.

” මං ඔයාට කියලා යන්න ආවේ. ඔෆිස් එකේදි කතා කරන්න බැරි නිසයි මෙහෙ ආවේ ” 

නිම්නාද කීවේය. කිසිඳු හැඟීමක් ඒ දෑස් වල ලියවී නැත. 

” මං ඇතුලට එන්නද ? ” 

මේඝා කිසිත් නොකියා දොරෙන් මෑත් වූවාය.නිම්නාද නිවසට ඇතුලු වී සෝෆාව මත වාඩි විය. එහෙත් මේඝා නොසෙල්වීම සිටියාය.තමා මේ අවස්ථාවට මුහුණ දෙන්නේ කෙසේද ? 

” මේඝා. පරන දේවල් අමතක කරලා ජීවිතේ පටන් ගන්න අලුතෙන්. මල මිනියක් වගේ ඔහොම හිටියා කියලා කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ. කොහොමත් ටික දවසකින් මාව අමතක වෙලා යයි ඔයාට ” 

නිම්නාද කියාගෙන ගියේය. තමාව මළමිනියක් බවට පත් කළේ තමාට මළමිනියක් සේ ජීවත්වන්නට එපා යැයි කියන ඔහුම නොවේද ? ඔහු ජීවිතයට දුන්නේ ඔය කියනා තරම් පහසුවෙන් අමතක කල හැකි මතක ද ?

” මං තව සති දෙක තුනයි ලංකාවෙ ඉන්නේ. මං රට යනවා. මොනා උනත් ඔයාට නොකියා යන එක හොඳ නෑ කියලා හිතුන නිසයි මං ආවේ .මොකද මට කර ගන්න වැඩ ගොඩක් තියෙන නිසා ආයේ මෙහෙම වත් වෙලාවක් නොඑන්න පුළුවන් ” 

” වර්ෂා එක්කද යන්නේ ? ” 

මේඝා ඇසුවේ උගුරෙනි. 

” ඔව් ” 

නිම්නාද පිළිතුරු දුන්නේ ස්ථීර හඬකිනි. 

” මං යනවා මේඝා. මං ඇත්තටම ආවේ වර්ෂාට හොරෙන්. මං හොයපු ජීවිතේ මට ලැබෙන්නේ මං වර්ෂා එක්ක හිටියොත් විතරයි. ඒ නිසා මට මේ තීරණේ ගන්න වෙනවා මේඝා. ආයේ මොනව හේතුවකට වත් මාව කන්ටැක්ට් කර ගන්න හිතන්නවත් එපා. ඔයාගේ යාලුවන්ටත් කියන්න. ඒක මං පටන් ගන්න යන ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ” 

නිම්නාද නැගිට්ටේය. මේ ඔහුව දකින්නේ අවසන් වතාවටද ? මේඝා දොර අබියස සිටියදීම නිම්නාද පිටවූයේ ය.ඔහු මේඝා දෙස බැල්මකින් වත් හැරී බැලුවේ නැත. වැළඳ ගැනීමක් වත් නැති සමුගැනීමක් නිම්නාද සමඟ සිදු වේ යැයි මේඝා සිතා වත් තිබුනේ නැත. මේ තරම් වේදනාවක් තමාට අත් කරදී ඔහු ලබන සැනසීම කුමක්ද ? 

නිම්නාද නොපෙනී ගිය පසු මේඝා දොර වසා දැම්මේ මහ හඬිනි. අතට අසු වූ සියල්ල මේඝා පොළවේ ගැසුවාය. හිස පුපුරන්නට තරමේ වේදනාවක් දැනෙද්දි ඇය හිස කෙස් වලින් ඇද ගනිමින් මහ හඬින් හැඬුවාය.අහිමි වීමේ වේදනාව, පරාජය වීමේ වේදනාව යලි යලිත් දැනෙද්දි මේඝා යටි ගිරියෙන් කෑ ගසා හැඬුවාය. 

නිකිනි මේඝාගේ නිවස වෙත පැමිණියේ මේඝා සවස සිටම දුරකථනයට පිළිතුරු නොදුන් නිසාය. නිවසේ බොහෝ දෑ සුනු විසුණු කොට ඒවා මතම වැතිර හඬන මේඝා දුටු නිකිනිට උන් හිටි අමතක වී ගියාය.

” මේඝා ” 

නිකිනි විසින් මේඝා වැටී සිටි තැනින් නැගිට්ටවා ගත්තාය. අනතුරුව ඇයව කාමරය වෙත කැටුව ගියාය. 

” මේඝා ඇයි මේ ? ” 

නිකිනි ඇහුවේ කෙටි ප්‍රශ්නයකි.මේඝා නිකිනිව වැලඳගෙන යලිත් හඬන්නට ගත්තාය.

” නිම්නාද ගියා. ” 

මේඝා ඉකි ගසයි. නමුත් ඇය කියූ දේ නිකිනිට පැහැදිලි වූයේ නැත. 

” එයා ඇවිත් මට කියලා ගියා.ඒත්.. මං දිහා බැලුවේ වත් නෑ නිකී. එයා.. එයා වර්ෂා එක්ක යනවා. කොහොමද එයා මට එහෙම කරන්නේ”

නිකිනිට නිම්නාද සමඟ ඇති වූයේ ඉවසුම් නැති කෝපයකි. මේඝා යන්තමින් යථා තත්වයට පත් වෙන්නට ගත්තා පමණි. හිත්පිත් නැත්තෙකු සේ නිම්නාද පැමිණ සියල්ල අවුල් ජාලාවක් බවට පත් කර ගොස් ඇත. 

නිකිනි නිවස අස් කරන්නට පටන් ගත්තේ නිම්නාදට සිතින් බැන වදිමිනි.එක අතකට ඔහු විදෙස් ගත වන එක හොඳය. එවිට මේඝාට හිත හදා ගැනීමට හැකි වනු ඇත. කොතරම් ඇය පසුපසින් සිටියත් එය කල යුත්තේ ඇය විසින්මය. නමුත් එයට කාලයක් ගත වන්නේය.ඒ කාලය ඉක්මනින් ගත වෙනවා නම් යැයි නිකිනිට සිතුනේ හඬා හෙම්බත් වී සිටින මේඝාට නින්ද ගොස් සිටින ආකාරය දුටු විටය.

මේසය මත තිබූ මේඝා ගේ දුරකථනය නාද විය.නිකිනි එය බැලුවේ සමහරවිට ඒ නිම්නාද වන්නට ඇතැයි සිතාය. නමුත් දුරකථන තිරයේ සටහන් වූයේ ” අහස් අබේකෝන් ” කියාය. 

” හෙලෝ ” 

නිකිනි දුරකථනය කනේ තබා ගත්තේ සමහරවිට මෙය කාර්යාලයෙන් විය හැකි යැයි සිතාය. 

” මේඝා ? ” 

එහා පසින් ඇසෙන්නේ ගැඹුරු ,නමුත් කාරුණික හඬකි.

” මේඝා නිදි මිස්ටර් අහස්. මොකක් හරි පණිවිඩයක් තියෙනවද ?” 

” මේ කවුද ? ” 

අහස් ඇසුවේය.

” මං නිකී. මේඝාගේ යාලුවා. එයාට ටිකක් සනීප මදි. “

” එයාට මොකද වෙලා තියෙන්නෙ ? මං එන්නද ?” 

අහස් කලබලයෙනි.

” නෑ නෑ. මං ඉන්නවා. මිස්ටර් අහස් කතා කලා කියලා මං මේඝාට කියන්නම් ” 

” ඕකේ. ප්ලීස් ” 

අහස් ඇමතුම විසන්ධි කළේය. නිකිනි මොහොතක් කල්පනා කලාය. අනතුරුව දුරකථනය රැගෙන කාමරයට ගියාය. මේඝා උන්නේ දෑස් හැරගෙන වහලය දෙස බලාගෙනය.

” මේඝා.කෝල් එකක් ආවා “

මේඝා හිස හැරෙව්වේවත් නැත.

” කවුද ? ” 

ඇය ඇසුවේ වහලය දෙස බලාගෙනමය.

” කවුද මේ අහස් ?” 

නිකිනි ඇසුවේ ඇඳ මතින් වාඩි වෙමිනි.මේඝා එකවරම හැරී බැලුවාය.

” මං ඇහුවේ කවුද මේ අහස් කියලා ? ඔයාට සනීප නෑ කිව්වම මිනිහා කලබල උනා. එන්නද කියලත් ඇහුවා ” 

නිකිනිට සිනා යන්නට එන්නේය.මේඝා දුරකථනය උදුරා ගෙන එය පරීක්ෂා කළාය. ඇත්තටම අහස් මොහොතකට පෙර තමන්ව අමතා ඇත. 

මේ රාත්‍රියේ ඔහු ඇමතුවේ ඇයි ? 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles