යුක්‍රේන යුවතිය 3

0
2437
ukraine yuwathiya

අමිත කිසියම් අපහසුවක සිටින බව ඔනෙලාට දැනෙනවා.නමුත් එය තමන්ට විසඳුමක් දිය නොහැකි එකක් බවත් ඇයට තේරුම් ගොස් තිබුණා.සංස්තික වශයෙන් තමන් සහ මේ රට බෙහෙවින් වෙනස් බව ඇය මේ වනවිට තේරුම් ගෙන සිටියා.අමිත වැන්නන් දෙවියන් වැනි මිනිසුන් නොවේද?නමුත් බහුතරක් එසේ නොවේ.ඒ මිනිස් ස්වාභාවය බැවින් ඒ ගැන කලකිරීමක් ඇති කර ගැනීමෙන් වැඩක් නැහැ.

සිය රටේ ඇවිලෙන යුධ ගිනි ගැන නිතරම අන්තර්ජාලයෙන් සහ ලංකාවේ තොරතුරු වලින් ඇය දැනුවත් වෙමින් සිටිනවා.පවුලේ කිසිවෙකු සමග හෝ කාර්‍යාලීය සගයන්,මිතුරන් කිසිවෙකු සමග හෝ සම්බන්ධ වීමට නොහැකි වේදනාවෙන් පීඩා විඳින ඇය මානසික රෝගියෙක් නොවූවේ අමිතගේ මිත්‍රශීලී බව නිසා නොවේද?සංචාරකයන් වශයෙන් ලංකාවට පැමිණි තම රටවැසියන් රටේ තැන් තැන් වල අසරණව සිටින බවත්,හෝටල් වලින් බැහැරවූ ඔවුන්ට හිත හොඳ ලාංකිකයන් පිහිටවනු බවත් ඇය දුටුවා.ඔවුන් සමග සම්බන්ධතාවක් ගොඩ නගා ගනිමින් කිසියම් දෙයක් කලහැකිදෝයි කල්පනා කරමින් ඔනෙලා දිගටම පසුවූවේ.ඒත් යන්නේ කොහේද?සියලුම ගුවන් යානා ගමන් ඇණ හිට ඇත.රුසියාව වියරු යකෙක් ලෙස තම දේශයේ රුහිරු පතා හිඳියි.ඉතාමත්ම හොඳ මහත්මා ගුණයෙන් යුතු සිය ජනපති කෙරෙහි ඔනෙලා ආඩම්බරය.ඔහු පසු බැසීමට,මේ අසාධරණයට විරුද්ධව මුහුණ දෙමින් සිටී.

තමා ආදරයෙන් වැළඳගත් ගෝර්කි,ටොල්ස්ටොයි,දොස්තොව්ස්කි රුසියන් භූමියෙන් පැන නැංගෝ නොවේද?ඔවුන් වැපූරූ ආදරය,මිනිසත් කම බල ලෝභයෙන් මුලාවූ රුසියන් දේශපාලකයන්ට නොමැත්තේ ඇයි?

සිය බටහිර පෙම්වතා සමග ඉඳහිට හෝ වන දුරකතන,ඊමේල් සංවාදයක් ඔනෙලා ට ඇති එකම සහනයයි.ඔහු අතිශයින් කාර්‍ය බහුල මෙන්ම අඩු ආදායම් ලබන්නෙකි.ඔනෙලාගේ බර ඔහුට දැරීම අපහසුය.කොරෝනා නිසා ලෝක ආර්ථිකය උඩු යටිකුරු වූ අතර ඔහුගේ රැකියාව නැතිවී ඔහු සුළු රැකියාවක නිරත වෙයි.එවන් පසුබිමක ඔහුගෙන් ආදරණීය ඇමතුමකට එහා ගිය දෙයක් බලාපොරොත්තු නොවිය හැකි බව ඔනෙලා දනී.එහෙත් ඇයව තම රටට ගෙන්වා ගැනීමට උත්සාහ කරන බව ඔහු පැවසූ වදන් ඇයට සහනයකි.

අමිත සිය නිවස ඇයගේ සිතා කටයුතු කිරීම ඇයට මහත් අස්වැසිල්ලකි.ඇය පැමිණි දින සිට නිවසට ගෙනා බඩු පවා ඇයගෙන් විමසා රැගෙන ඒමට ඔහු පුරුදු වී ඇත.බෙහෙවින් පරිත්‍යාගශීලී,සන්සුන් ඇවතුම් පැවතුම් ඇති මේ ශ්‍රී ලාංකික පුරවැසියා ඔනෙලාගේ ජීවිතයේ විසල් රුකක් වී ඇත.ඔහු නැත්නම් තමාට කුමකින් කුමක් වේවිද?අතේ ඉතිරිව ඇත්තේ ඉතාමත්ම සුළු මුදලක් වන අතර ලංකාවෙන් පිට ඇයට සිටින එකම හිතවතා පීටර් පමණි.අමිත සියලු වියදම්,පෑඩ් පැකට් එකේ සිට ඇය වෙනුවෙන් දරාගන්නා අතර ඇය යම්කිසි දිනයක ඒවා දෙගුණ තෙගුන කර ගෙවීමට තමාටම පොරොන්දු වෙමින් සිටී.

ගේට්ටුව ඉදිරිපිට වාහනයක් නවතන අතර ගැහැනියක්,පිරිමියෙක්,තරුණියක් බඩු මලු රැසක් ඔසවාගෙන ඉන් බසිනු පෙනේ.ඒ අමිතගේ අම්මාද?අනික් අය කවුද?අවශ්‍ය නම් අමිත තමාට කතා කරනු ඇති බැවින් තමන්ගේ පාඩුවේ වැඩක් බලා ගැනීම සුදුසු නොවේද?දිවා ආහාර වේලාව ලංවී ඇත.අමිත වෙනුවෙන් පිළියෙල කළ ඇවකාඩෝ සැන්ඩ්විච් එක පහලට ගෙන යායුතු ඇතත් යම්දෝ නොයම්දෝ කුතුහලයක් තමා වෙත ඇතිවන බව ඔනෙලාට දැනේ.

“කමක් නෑ.එයාට විසිටර්ස්ලා ඉන්නවනෙ,යන්නෙ නැතිව කෝල් එකක් දාල අහන්න පුලුවන්නෙ”

ඔනෙලාට සිහිවේ.වාහනයෙන් බට පිරිස නිවසට ඇතුල් වී ඔනෙලාට නුහුරු බසකින් කතා කරයි.ඔනෙලා පීටර් සොයා සිය පරිගනකය අතට ගනියි.

අමිත සෑහෙන වෙලාවක් බාත් ටබ් එකේ ගත කළා.දැන් ඔහු ඉන්නේ බෝම්බයක් ගැසුවත් එය බෝලයක් මෙන් අල්ලා උඩ දාන සැහැල්ලුවක.නාන කමරයෙන් පිටවී සැහැල්ලු ඇඳුමක් ඇඳ ගනිත්ම අම්මා ඇතුලු පිරිස නිවසට ගොඩවුන හඬ ඔහුට ඇසුනු අතර ඉතාමත්ම සන්සුන් ,ප්‍රීතිමත් මුහුණකින් යුතුව අමිත පිටතට පැමිණෙන්නේ අම්මා කෝප ගන්වමින්.අම්මාගෙ සහ තාත්තාගේ ඇස් කෝපයෙන් දිලිසෙන අතර මිත්සලා සෝෆාව අසල ඇති සඟරාවක් පෙරලයි.

“පුතේ,ඇත්තටම මොකද්ද මේ විලි ලැජ්ජා නැති වැඩේ.ගම්මුන්ට ආරංචි වුනොත් උඹ සුද්දියක් තියන් ඉන්නවා කියලා කසාදයක්වත් කරගන්නෙ කොහොමද?අනික අපිට වෙන ලැජ්ජාව ගැන නිකමට උඹ හිතුවද?කුඹුරු වැඩ අස්සෙ තකහනියක් මම මේ ආවෙ අම්ම කිව්ව දේවල් අහලා”

තාත්තා කවදත් අම්මා මෙන් නොසන්සුන් නැත.අධික කෝපයේදී පවා සන්සුන්ව කතා කිරීමේ හැකියාව ඔහුට තිබෙනවා.

“තාත්තා,මේ ළමයා එයාගෙ රටේ යුද්ධය නිසා එයාගෙ රටට යන්න බැරිව අසරණ වෙලා ඉන්නෙ.තේරුම් ගන්න.”

“ඉතින් ඔය හෝටලේ උඹම විතර ද ඕවා බාරගන්න ඉන්නෙ.ගෑණු ළමයෙක්ගෙ ගෙදරකට පංගරාත්තු කරන්න තිබ්බ නේද?”

“කාටවත් තව කෙනෙක්ගෙ වගකීම් ගන්න ලේසි නෑ.මම මේ ගෙදර තනියම ඉන්න නිසා එන්න කිව්වා.”

“අනික හැදිච්ච කෙල්ලක් නම් ඔහොම එනවද?සුද්දියන්ට කිසිම විලිසංගයක් නෑ කියන්නෙ ඒකනෙ”

මෙතෙක් කට වසාගෙන සිටින අම්මා ද කට අරිනවා.
“අනේ ද කියන්නෙ,මාත් මේ හිතුවෙ ඒක:

“අර ගංවතුර වෙලාවෙ අම්මා ගමනක් ගිහින් එද්දි ගඟ උතුරලා නිසා මෙගොඩ වෙන්න බැරිව හිටියේ කොහේද?මාතුපාල මාමාගෙ ගෙදර නේද?ඒ මනුස්සය විතරයි ඒ ගෙදර ඉන්නෙ.එතකොට ඒත් අම්මගෙ විලිසංගෙ නැති කමද අසරණ කමද?හොඳට කල්පනා කරල බලන්න.”

අම්මාගේ මුහුණ විලියෙන්ද,කෝපයෙන්ද රතු වෙනවා අමිතට පෙනෙනවා.මිත්සලා සඟරාවෙන් මුහුණ වහගන්නේ සිනහව නැන්දා දකිනු ඇතැයි බියෙන්.

තාත්තා අඩියක් පසු පසට ගෙන ගොස් පුටුවක වාඩි වෙනවා.

“කෝ,ඔය ගෑනු ළමයාව අපිට බලන්න ඕන.පොඩ්ඩක් එන්න කියමු බලන්න”

“ඔයාල වොශ් එකක් එහෙම දාගෙන ඉන්න.හවසට මම කතා කරන්නම්.මේ කලබල අස්සට අමුත්තෙක් ගේන්න මම කැමති නැහැ.හැබැයි මතක තියාගන්න.මේ ගෙදර ඔයාල වගේම එයත් ඉන්නවා.ඒක ඔයාලට හරි මදි නම් ගියාට මගේ කිසිම අමනාපයක් නැහැ.නමුත් ඒ ළමයාට යන්න තැනක් නැහැ.එයා ඉන්නේ මෙහෙ.කවදා හරි එයාගෙ රටට ආරක්ෂිතව යනකම් එයා ඉන්නේ මෙහෙ”

“වැඩේ සෑහෙන්න දුර ගිහින් වගේ,පුතා කවදාවත් අපිට ඔහොම කතා කරල නැහැ”

“එහෙම කතා කරන්න හේතුවක් ඔයාලත් ඇති කරල නැහැ.මෙහෙම දෙයක් වෙන්නේ අහම්බෙන්”

“හරි,අපි හවස ඒ ළමයා එක්ක කතා කරමු.දැන් එතකොට අපි නවතින්නෙ කොහෙද”

“මේ පහල කාමර ඔක්කොම හරි ඔයාල ගන්න”

“එතකොට පුතාත් උඩ තට්ටුවෙද”

“නෑ,මට සෝෆා එක තියෙන්නෙ,නැත්නම් ඔය පිල්කඩවල පවා මට නිදාගෙන පුරුදුයි.මට මෙතෙන්ට එන්න කලින් ජීවිතේ මතක නෑ,එතකොට මම නිදා ගන්නෙ කොහෙද,අල්ලපු කාමරවල ඉන්නෙ කවුද කියලවත් කාටවත් ප්‍රශ්නයක් වුනෙත් නැහැ.මතක් කරගන්න….”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here