මේඝ අවන්හල තුළට වී මඟ බලන්නට වූයේ ය.ආරණ්‍යා එන්නේ මිත්‍රත්වය වෙනුවෙන් ගමනකි.ඇගේ තාත්තා තමන්ගෙන් ඉල්ලා සිටි දෙය සිතට දැනෙද්දී ඔහුට වරදකාරී හැඟීමක් ඇති නොවුණා නොවේ.එහෙත් ඔහු පිළිණ දුන්නේ ය.ඒ අතීතය යළිත් ප්‍රතිනිර්මාණය නොවීම පිණිස ය.
“අංකල්, මම ආරණ්‍යාට ආදරෙයි.ආරණ්‍යා ඒ කතාව තාම දන් නෑ.එයා මට ආදරේ වුණොත් මං පොරොන්දු වෙනවා එයාට කවදාවත් මේකලා ආන්ටි වින්ද වේදනාව නොදී ඉන්න.අංකල් කවදාවත් මේකලා ආන්ටිගේ තාත්තා වගේ දුක් විඳින් නෑ.අතීතය ආයේ ආයේ වෙන්නේ නෑ අංකල්.අපි මිනිස්සු.”
මේඝ ඒ වචන කීවේ කටවචනයට නොවේ.හදවතින්ම ය.ඔහුට එසේ පිළිණ දෙන්නට හේතුවක් තිබිණ.ඒ හේතුව මහේන් පුතුට හෙළි කරේ දැඩි වේදනාවෙනි.
“ජීවිතේ නැති කරගන්න උත්සාහ කරලා හොස්පිටල් එකේ ඇඳක් උඩ හිටපු මේකලා මට කිසිම දවසක අමතක වෙන්නේ නැහැ පුතා.මම ඔයාගේ අම්මට හීනෙකින්වත් ආදරේ නොකරපු කාලයක් ඒ.ඒත් අම්මයි මායි අතර සම්බන්ධයක් ඇති වෙන්න එකම හේතුව එහෙම හිටපු මේකලාගේ රූපේ..”
මහේන්ගේ කටහඬෙහි සැඟවී තිබූ වේදනාව මේඝට තවමත් දැනේ.මේකලා මායාදුන්න ලියූ පොත් ගෙදර ගෙනෙනා සැනින් අතුරුදහන් වන්නේ තාත්තාගේ කාර්යාල කාමරයට බව මේඝ දැන සිටියේ ය.ඔහු සිතා සිටියේ ඒ තාත්තාගේ පොත් කියවීමේ රුචිය බව ය.නමුත් ඒ ඔහුගේ පළමු පෙම්වතිය බව මේඝ දැන ගත්තේ පෙරහැර යාමෙන් ද පසුව ය.
“බොරු කේලංවලට පුලුවන් දාහක් කරදර හදන්න..”
අතීතය ගැන කියන්නට පෙර මේඝට තාත්තා එසේ කීවේ ය.මහේන් නීති පීඨයට එද්දී මේකලා උසස් පෙළ හදාරමින් සිටි කුඩා කෙල්ලකි.ඇය ඔහු අහිමි වේයැයි දැඩි බියකින් පෙළෙන්නට වූ ඒ කාලය පාලනය කරගන්නට අසීරු තරම් කරදර ගෙනා කාලයක් බව මහේන් පැවසූ අන්දම මේඝ සිහි කළේ ය.
“මේකලාට ජීවිතේ හිටපු ළඟම කෙනා තිසර මල්ලි.මල්ලිගෙ මරණෙත් එක්කයි එයා මට ළං වුණේ.ඊටපස්සෙ තමන්ගෙ ළඟම මිනිස්සු එයාට නැති වෙයි කියන බය එයාට නිතරම තිබුණා.ඒ බය තමයි හැම විනාසෙකටම මුල වුණේ..”
මහේන් පවසන්නේ ළතැවුලෙනි.වයස විසි ගණනක තරුණයෙකුට ඒ හැඬුම් සහ සැක කිරීම් මහත් හිරිහැරයක් විය.නමුත් ඔහු දැන් ඒවා සිහි කරන්නේ වේදනාවෙනි.ඒ ළඳ බොලඳ යුවතිය ඒ වේදනාව කෙසේ දරා ගත්තාදැයි දැන් ඔහු සිතන්නටවත් අකමැති ය.
“මොකක්ද මහේන් ඔය මල විකාරේ.ඔන්න ඔය ඇඬියාව අයින් කරලා දානවකො..”
සරසවි මිතුරියක වූ නීෂා එසේ කියද්දී මහේන් ඇය දෙස බැලුවේ පුදුමයෙනි.ඒ කියනා තරමට ලෙහෙසියෙන් මේකලා ජීවිතයෙන් පිටමං කරන්නට ඔහුට ඕනෑ වූයේ නැත.සැබෑවටම එතරම් හිරිහැර මැද වුවත් මහේන් ඇයට ආදරය කළා ය.
“මං දන්නේ නෑ නීෂාට ඇත්තටම මාව ගලවා ගන්න ඕන වුණාද කියලා.තිස්සෙම සැකෙන් බයෙන් ජීවත් වුණු මේකලාට මමයි ලක්ෂියි අතරේ අෆෙයා එකක් තියන කතාව කියලා තියෙන්නෙ නීෂා.මේකලා පොඩ්ඩක්වත් ඒ කතාව ගැන කිරලා මැනලා බැලුවේ නෑ.ජීවිතේ විනාස කරගන්න උත්සාහ කරා මිසක්..”
තාත්තා එසේ කියද්දී මේඝට මහත් කෝපයක් ඇති වූයේ නීෂා ගැන ය.ඇය වර්තමානය දක්වාම තමන්ගේ පවුල සමඟ බැඳී සිටින්නයකි.නේහා සහ තමන් විවාහ වූවානම් නීෂා තමන්ගේ නැන්දනිය වන බව සිතද්දී මේඝගේ කෝපය අලුත් වූයේ ය.වේදනාවෙන් ද බියෙන් ද දැවෙන්නට වූ මේකලා ජීවිතය නැති කරගන්නට උත්සාහ කළ බව අසද්දී ඒ කෝපය දරා ගන්නට මේඝට අපහසු ය.
“ඕනැම දෙයක් එකිනෙකට සම්බන්ධයි තාත්තේ.නේහාගෙන් බ්‍රේකප් වුණාට පස්සෙ මට ආරණ්‍යාට හිත ගිය එකම හිතන්න.ඒක නීෂා ආන්ටිගෙ කනට ගැහුවා වගේ වැඩක්නෙ.”
මේඝට මේ අතීතයේ ප්‍රතිනිර්මාණය ගැන පුදුමයක් දැනේ.හොඳින් සිතා බලද්දී අම්මා තාත්තා පමණක් නොව ජාලිය සහ මේකලා පවා මේ තරම් කාලයක් දරා සිටින වේදනාවේ නිර්මාතෘ නීෂා ය.දැන් ඇගේ දියණිය වේදනා උහුලන්නේ තමන් නිසා ය.
“බලාගෙන ගියාම ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නේ අදාළම නැති පිට මිනිස්සු නිසා..”
සහස් මේ වෙද්දී අර්බුදයක් නිර්මාණය කර තිබේ.නීෂාගේ අතීත ගැටලු තවමත් මේ ජීවිත මත වැටී තියේ.පඹ ගාලක් යැයි කියන්නේ මෙවැනි කතා වලට වග ඔහුට සිතේ.